අපට ළඟම අභ්‍යවකාශ වස්තුව වන චන්ද්‍රයා 2018 ජනවාරි 31 ඉතිහාසගත දිනයක් බවට පත් කළේය. ඒ යස සංදර්ශනයක් ඉදිරිපත් කරමිනි. ලෝකයේ බටහිර රටවල්වලට වසර 152කට පසුව දිස්වූ ස්වභාවික ආශ්චර්යයක් වන මේ දර්ශනය දැන් කවුරුත් පාහේ දන්නා අයුරින් හඳුන්වන්නේ නීල-ලෝහිත-සුපිරි චන්ද්‍රයා ලෙසිනි. මෙවන් දසුනක් බටහිරට මෙයට පෙර දිස්ව තිබුණේ 1866 මාර්තු 31 දිනය. නමුත් එදින පායා ඇත්තේ ඊයේ පෙරේදා මෙන් සුපිරි සඳක් නොවේ නීල ලෝහිත සඳකි.
එසේම අප රටද අයත්ව ඇති නැගෙනහිර අර්ධගෝලයේ රටවල් කිහිපයකට නීල ලෝහිත සඳක් අවසන්වරට දිස්ව ඇත්තේ 1982 දෙසැම්බර් 30 වැනිදාය. යුරෝපයේ අඩක්, අප්‍රිකාව සහ බටහිර ආසියා රටවල් කිහිපයකට මේ දෙවැනි පුරහඳ මහ පොළොවේ සෙවනැල්ල ගිලගන්නා දසුන දක්නට ලැබි තිබුණි. එයද සුපිරි සඳක් නොවීය. නමුත් පසුගියදා සිදුවූ සංසිද්ධිය මේ දෙකටම වඩා වෙනස්ය. එසේ වෙනස් වන්නේ එදා පෑයු පුරහඳ නීල ලෝහිත සඳක් මෙන්ම, පෘථිවියට ඉතා ළං වූ එහෙයින්ම වඩා විශාලව පෙනෙන සුපිරි සඳක් වූ හෙයිනි.
චන්ද්‍රයා සිය පෘථිවිය වටා යන ඉලිප්සාකාර ගමන් මගේ පෘථිවි ගෝලයට ඉතා ආසන්නව ඇති අවස්ථාවක දිස්වෙන පුරහඳ සුපිරි හඳ ලෙස හැඳින්වෙයි. මහපොළොවෙන් වඩාත් දුරස්ථ ස්ථානයක රැඳී ඇති විට දක්නට ලැබෙන පුරහඳට වඩා පසුගියදා පෑයූ පුරහඳ ප්‍රමාණයෙන් සියයට 30ක් විශාලව දිස්විය. එහි ආලෝකය වෙනදාට වඩා සියයට 14 ගුණයකින් ඉහළ මට්ටමක විය.
සුපිරි නීල ලෝහිත හඳක් ලෙස හැඳින්වීමේදී නීල හඳක් යන්නට ද අර්ථ දැක්වීමක් ඉදිරිපත්ව තිබේ. සාමාන්‍යයෙන් වසරේ මාස 12ටම පුරහඳ 12ක් තිබිය යුතුය. නමුත් සමහර වර්ෂවල කිසියම් මාසයක හෝ දෙකක පුරහඳ දෙකක් එකම මාසයට ඇතුළත් වේ. හරියටම පසුගිය ජනවාරි 01 සහ 31දා සිදුවූ ලෙසටය. මෙයින් දෙවැනියට දක්නට ලැබෙන පුරහඳ හැඳින්වෙන්නේ එහි ඇති එම විශේෂත්වය නිසා නීල චන්ද්‍රයා ලෙසටය. මේ වසරේ මාර්තු මාසයේ 31 වැනිදාද ඒ අනුව ඔබට දක්නට ලැබෙන්නේ නීල චන්ද්‍රයෙකි. මේ අන්දමට නීල චන්ද්‍රයන් දෙදෙනකු ජනවාරි සහ මාර්තු ආශ්‍රිතව මීට පෙර අවසන් වරට දක්නට ලැබුණේ 1999 වසරේදීය.
ලෝහිත හඳක් යන විරුදාවලිය ලැබෙන්නේ ආලෝකය නැවීමේ සහ විසිර යාමේ ස්වභාවික සංසිද්ධින්වල ප්‍රතිඵලයක් හැටියටය. මහ පොළොවේ වායුගෝලය ඔස්සේ ගමන් ගන්නා හිරු කිරණ වායුගෝලීය බලපෑමෙන් නැවීමට ලක්වන අතර එම ආලෝකය බෙදී විසිරීමටද ලක්වේ. එසේ බෙදී විසිරෙන ආලෝකය අතරින් රතු ආලෝකය ඒ වනවිට මහපෙළොවේ සෙවනැල්ල තුළ පවතින චන්ද්‍රයා මත පතිත වේ. මේ නිසා සෙවනැල්ල තුළට යන සහ පිටතට යන සඳ අපට දිස්වන්නේ රතු තැඹිලි පැහැයෙන් යුතුවය. ලෝහිත සඳ ලෙස හැඳින්වෙන්නේ මෙයයි.
නීල ලෝහිත සඳක් සුපිරි විශාලත්වයකින් යුතුව දිස්වන්නේ කලාතුරකිනි. මේ නිසාම මේ අමුතු සඳුගේ පැමිණීම පිළිබඳ බොහෝ අමුතු ප්‍රකාශද ඉදිරිපත්ව තිබුණි. එක් ආගමික ප්‍රචාරකවාදියකු කීවේ මේ සඳ මිනිසාට කෙරෙන අවසන් අනතුරු ඇඟවීම බවය. දෙවියන් මෙසේ අනතුරු අඟවන්නේ ලෝක විනාශය සහ ගැලවුම්කරුවාණන්ගේ දෙවැනි පැමිණීම පිළිබඳව බව ආගමික ග්‍රන්ථවල කොටස් උපකාර කර ගනිමින් ඉතා අපූරුවට පහදා දෙන්නට කටයුතු කර තිබුණි. තවත් පිරිසක් සමාජ මාධ්‍ය ජාල මෙන්ම අන්තර්ජාල පුවත් සේවා තුළින් භීෂණාත්මක හඬක් නැගුවේය. ළංවූ සඳ නිසා ඇතිවිය හැකි දළ රල ප්‍රවාහ සුළි සුළං සහ සුනාමි මෙන්ම භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් ආදිය ගැනය.
සඳ අඳුරු වන කාලසීමාව අසුබ කාලයක් ලෙසත් ඒ කාලය තුළ කෑම බීමක් හැදීම පවා නොකළ යුතු බවටත් සමහරු උපදෙස් දී තිබුණි. මේ කාලයේ හදාගන්නා මෙන්ම කෑමට ගන්නා ආහාර අපත්‍ය වන බවටද කරුණු කී අප දන්නා හඳුනන තරුණියක් තවත් අපූරු එළිදරව්වක්ද කළාය.
“අපේ නාවලපිටි ගමේ අප්පා අම්මාගේ (ආච්චි) අම්මා ඉන්න කාලේ හඳ අඳුරු වුණාම කාටවත් එළියටවත් යන්න දෙන්නේ නැහැලු. එදාට අහසේ වළාකුළු පිරිලා අඳුරු වෙලා තියෙන්නේ. කොහොමත් ඒ පැත්ත මීදුම් බරයිනේ. ඉතින් මේ අය හඳ අඳුරු වුණාද නැත්නම් අඳුරෙන් එළියට ආවාද කියලා බලන ක්‍රමයක් තිබුණලු. පැතලි තැටියකට කහ දියර ගාලා ගෙදර මෝල්ගහ ඒක උඩ කෙළින් හිටවන එක තමයි ඒ ක්‍රමේ. තැටිය උඩ මෝල්ගහ නොවැටී තිබ්බොත් ඒ කියන්නේ තාමත් හඳ අඳුරු වෙලා කියන එකයි. නැතුව මෝල්ගහ ලිස්සලා ඇලවෙලා වැටෙනවා නම් ඒ කියන්නේ හඳ අඳුරෙන් එළියට එනවා කියන එකයි. එතකොට ඒ අයටත් එළියට පහළියට යන්න කෑම ගන්න පුළුවනි.” මේ කතාව ඇසූවිට සමහරුන්ට මතක් වනු ඇත්තේ සූර්යග්‍රහණය දා ලස්සන වන්නට වදකහ සුදිය භාවිත කළ අයට වූ හදිය ගැනය.
ඉහත කී කතාව කෙසේ වෙතත් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ වැනි ස්වභාවික සංසිද්ධි ඈත අතීතයේ සිටම මිනිසුන් කළඹවාලූ අමුතු අපූර්ව සිදුවීම්ය. නමුත් විද්‍යාත්මකව දියුණු වීමත් සමඟ දැන් මේ අමුතු සංසිද්ධිවල යථාව එළිදරව් වී තිබේ. ඒ නිසා මේවාට තවදුරටත් මුලාවීම විහිළුවකි. මේ නිසාමදෝ ලෝකයා මොනවා කිව්වත් අමෙරිකාවේ නාසා ආයතනය ප්‍රමුඛ ප්‍රධාන පෙළේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනවල විද්වත්හු සඳ අඳුරු වූ විට එය මත සිදුවන වෙනස්කම් පිළිබඳ පුළුල් අධ්‍යයනයක ඔය කියන 31දා නිතර වූහ.
චන්ද්‍රයා පෘථිවිය වටා යන්නට දින 29 ½ක් ගන්නා අතර තමන් වටා කැරකීමටද ඒ කාලයම ගනී. ඒ හෙයින් චන්ද්‍රයාගේ එක් දිනයක් යනු එක් මාසයකි. මේ නිසා සඳේ එක් පැත්තක් තද ශීතලෙන් යුතු අතර අනෙක් පස තද උණුසුම්ය. ඉතින් මේ උණුසුම් ප්‍රදේශය හිටි අඩියේ සිසිල් වූ විට එහි බාහිර ස්ථරයේ සිදුවන වෙනස්කම් ගැන සොයන්නට එදින මේ අය කටයුතු කළහ. තමන් තාප සංවේදී කැමරා මගින් මේ අඳුරු කාලයේ සඳ පරීක්ෂා කළවිට තමන්ට දක්නට ලැබුණේ අමුතුම හඳක් බව අභ්‍යවකාශ සහ වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ කොලරාඩෝ සරසවි ආයතනයේ ආචාර්ය පෝල් හෙයින් පෙන්වා දී තිබේ. සඳ ආවාට සහ නිම්න කඳුවැටි අඳුරු වෙද්දී එතෙක් උණුසුම රැකගෙන තිබූ ආවාට අද්දර පාෂාණ දීප්තියෙන් බැබලෙන්නට වූ බව නාසා පර්යේෂණායතනය කියයි. මේ පාෂාණවල ආලෝක සංවේදී හැසිරීම මගින් ඒවායේ ව්‍යුහය සහ ඒවා විසිරී ඇති ආකාරය ගැන අධ්‍යයනය කිරීමට ඔවුන් සමත්ව තිබේ. මේ අධ්‍යයනයක් අනාගතයේ සඳමත ගොඩබැසීමට සහ චන්ද්‍ර ජනාවාස තැනීමට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉතා වටිනා දැනුම් සම්භාරයක් තිලිණ කර තිබේ. 2018 ජනවාරි 31 නීල ලෝහිත සුපිරි සඳ මිනිසාට වැදගත් වූවා නම් ඒ, එකී කරුණු නිසාය.
සෑම දින 29 ½කට වරක් පුරහඳක් දක්නට ලැබේ. නමුත් අප භාවිතා කරන දින දර්ශනයට අනුව ගණනය කරන මාසයේ දින ගණන පෙබරවාරියේදී හැර ඊට වඩා වැඩිය. මේ කාලසීමා වෙනස හේතුකොට සෑම වසර දෙකකටම වරක් එක් මාසයක් හෝ දෙකක් තුළ පුරහඳ දෙකක් පවතින අවස්ථා ප්‍රථිපල වේ. එනම් සෑම අවුරුදු දෙකකටම වරක් නීල චන්ද්‍රයා සහිත මාසයක් දක්නට ලැබේ.
මහ පොළොව එක් පසෙකින් සූර්යයාත් අනෙක් පසින් චන්ද්‍රයාත් පිහිටන චන්ද්‍රග්‍රහණ අවස්ථාවද දුර්ලභ වූ දෙයක් නොවේ. සාමාන්‍යයෙන් සෑම වසරකටම දෙවරක් පමණ චන්ද්‍රග්‍රහණ සිදුවීම ස්වභාවිකය. එසේම විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට සුපිරි හඳ හෙවත් චන්ද්‍රයා සිය ගමන්මගේ පෘථිවියට ආසන්න පිහිටුමකට පැමිණ විශාලව පෙනීමද දුර්ලභ අවස්ථාවක් නොවේ. එය පවා වසරකට හතර වතාවක් නැතිනම් හයවතාවක් පමණ සිදුවන්නක් ලෙස පෙන්වා දී තිබේ. මෙවර ජනවාරි 31ට පළමුව ජනවාරි 01දාද තිබුණේ සුපිරි හඳකි. මේ ජනවාරි 31 සිදුවූ සංසිද්ධියේ ඇති විශේෂය වන්නේ එය සුපිරි හඳක් වීමත්, එය එක් මාසයක් තුළ දක්නට ලැබෙන දෙවැනි පුරහඳ වීමත්, මේ සියල්ලටම වඩා එදින පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවීමත් යන කාරණාය. නිල ලෝහිත සුපිරි හඳ ලෙස හැඳින්වෙන මෙය ලෝකයේ සෑමදෙනාටම එකවර දක්නට ලැබෙන තත්ත්වයක් නොවේ. චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාවේ මිහිමත ප්‍රදේශ කිහිපයක රටවල් ගණනාවකට පමණක් එය දක්නට ලැබේ. නැවත එම රටවල්වලට අදාළව මේ තත්ත්වය උදාවීමට කාලයක් ගතවේ. ඒ අනුව අමෙරිකානු වැසියන්ට තවත් ලෝහිත සුපිරි හඳක් දැකගන්නට වාසනාව ලබන වසරේදීද උදාවේ. 2019 වසරේ ජනවාරි 21 දිනයේදීය. නමුත් එදාට සඳ සුපිරි වුවත්, චන්ද්‍රග්‍රහණයක් සිදුවුවත් ඒ සඳ නීල චන්ද්‍රයකු නොවේ. එසේම 2021 මැයි 26 වැනිදාද පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන අතර එදාටද ලෝහිත හඳක් දැකගන්නට වාසනාව අපේ රටවලට උදාවනු ඇත. නමුත් එය සුපිරි හඳක් හෝ නීල හඳක් නොවේ. පසුගිය 31දා පෝයදා චන්ද්‍රයාගේ සංදර්ශනය ඓතිහාසිකව සුවිශේෂී වන්නේ ඔන්න ඔය දුර්ලභ කාරනා තුනට එක්වූ නිසාය.
සුගත් පී. කුලතුංගආරච්චි