2018 ජනවාරි 27 වන සෙනසුරාදා

හොරෙන් රටපනින්න හැදු බිරිඳ කොටු කරදුන් බලගතු සාදු

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 938

මේ ගෙවී යන්නේ හිඹුටානේ සාදු ගැන අප ලියන සිව්වැනි සතියයි. මේ වෙද්දී හිඹුටානේ සාදු පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ප්‍රතිචාර සංඛ්‍යාත්මකව අති විශාලය. බොහෝ පාඨකයන් අපෙන් ඉල්ලා සිටියේ හිඹුටානේ සාදුගේ දුරකථන අංකය හා ලිපිනයයි. එහෙයින්ම හිඹුටානේ සාදුගේ පිහිට සොයමින් යන්නට අදහස් කරන අපේ පාඨක ජනතාවගේ ප්‍රයෝජනය පිණිස හිඹුටානේ සාදු වෙසෙන පත්තිනි දේවාලයට යන එක් මාර්ගයක් අපි මෙලෙස සටහන් කර තබමු.

කොළඹ සිට බත්තරමුල්ල පසුකර කොස්වත්ත හන්දියට පැමිණ කොස්වත්ත හන්දියේ සිට මීටර් 50කට ආසන්න දුරක් මාලඹේ දෙසට යද්දී පාරේ වම් අත පැත්තට පයිප්ප පාර නමින් නම් කළ පාරක් හමුවේ. ඒ පාරෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය ළඟට පැමිණ එතැන් සිට වැව පාර දිගේ හිඹුටාන දෙසට ගොස් පත්තිනි දේවාලය කරන හිඹුටානේ සාදු වෙසෙන තැන ඒ ප්‍රදේශවාසියකුගෙන් විමසුවහොත් ඔබට එම ස්ථානය නිවැරදිවම සොයා ගත හැකි වනු ඇත. කවර ආකාරයේ හෝ කිල්ලකට අසු නොවී එම ස්ථානයට පැමිණිය යුතු අතර පැමිණ එම දේවාල භූමියෙන් බුලත් අතක්, පොල් ගෙඩියක් ගෙන රුපියල් පන්සිය පහක පඬුරක් තබා සිටිය යුතුය. නොම්බර ගැනීමක් අවශ්‍ය නොවන අතර ඔබට අවස්ථාව ලැබෙන්නේ ඔබ පැමිණි පිළිවෙල හෝ ඔබ ලබාගන්නා අංකයක පිළිවෙලට නොවේ. උදෑසන 11.00 - 11.30 පමණ වනවිට එම පත්තිනි දේවාලයේ වැඩ කටයුතු ආරම්භ වෙන අතර ඔබ උදෑසන සිට එම ස්ථානයට ගොස් සිටීම අවශ්‍ය නැත. දේවාලයේ වැඩ කටයුතු පටන් ගැනීමට ටික වේලාවකට ප්‍රථම ඔබ එහි යෑම ප්‍රමාණවත් වේ. මක්නිසාදයත් ඔබට හිඹුටානේ සාදුගෙන් කැඳවීම ලැබෙන්නේ පැමිණි පිළිවෙලට හෝ ලබාගන්නා අංකයක් අනුව හෝ නොව පැමිණ සිටින ඔබ වරමින් බල ගැන්වුණු ඉනික්බිති හිඹුටානේ සාදුට පෙනෙන ආකාරයටය.

හිඹුටානේ සාදු කවුරුන්ද? සාදු නමින් ප්‍රචලිත මේ ගිහි තරුණයා පත්තිනි දේවියගේ වරමින් කරන කියන විස්මිත දෑ මොනවාද මේ සියල්ල සති තුනක් තිස්සේ අපි සවිස්තරාත්මකව ඔබට හෙළිදරව් කළත් යළිත් ඒ සියල්ල සාරාංශ කර අපි ඔබට කියන්නේ ඒ සති තුනම මඟහැරී ගිය දේශය පාඨකයෙක් වෙත්නම් ඒ පාඨක ඔබගේ දැනගැනීම උදෙසාය.

හිඹුටානේ සාදු හමුවට යන ජනතාව විවිධ ප්‍රශ්න හිස තබාගෙන හිඹුටානේ සාදු හමුවට යති. තම මී මිත්තණිය වූ ලුසිහාමි මාතාවගේ ආරූඩයෙන් පත්තිනි දෙවියන්ගෙන් වරම් ගෙන විස්මිත ලෙස බල පෙන්වන හිඹුටානේ සාදු පැමිණ සිටින අයට කතා කරන්නේ ඒ අයගේ නම, ගම, පැමිණි වාහන අංකය, රැකියාව කරන ස්ථානය මේ ආදී තොරතුරක් සඳහන් කරමිනි. ඉනික්බිති පැමිණි කාරණය නිවැරදිවම කියමින් තමන් තම ජීවිතයේ සඟවාගෙන සිටින වැරදි නොමනා ක්‍රියා සබඳකම් ඇත්නම් ඒ සියල්ලද හෙළි කරයි. සොරකමක් ගැන අසන්නට පැමිණියහොත් සොරාගේ නම, ගම, දුරකතන අංකය, හැඳුනුම්පත් අංකය, සැඟවී සිටින තැන, සොරකම් කළ බඩු ඇති තැන ඒ සියල්ල සඳහන් කරයි. මිනිස් ඝාතනයක් ගැන විමසන්නට ගියද අදාළ ඝාතකයාගේ නමේ පටන් සියල්ල හෙළි කරයි. මේ නිසාම රටේ නම ගිය හොරකම් මිනීමැරුම් ගැන අසා තොරතුරු දැනගන්නට ආරක්ෂක අංශ නිලධාරීන් ද හිඹුටානේ සාදු සොයා පැමිණෙයි. කොඩිවින ගැන අසන්නට ගියොත් ඒ කොඩිවිනය කළ සියලු පුද්ගලයන්ගේ තොරතුරු නම්, ගම් සහිතව හෙළි කරයි. වශී බන්ධන කර කැඩුණු පවුල් එකතු කර පසුව ඒ බන්ධන අයින් කරයි. රෝගයක් ගැන අසන්නට ගියොත් ඒ පිළිබඳව සියලු තොරතුරු සඳහන් කරමින් ප්‍රතිකාර ගත යුතු වෛද්‍යවරයාගේ නමත් සඳහන් කරයි. දරු සම්පත් නැති අයට දරු සම්පත් ලබා ගැනීමේ මාර්ගය කියා දෙයි. මළවුන් ගෙන්වා නෑදෑයන්ට මිත්‍රයන්ට ජීවත්ව සිටි කාලයේදී මෙන් කතා කරමින් තමන්ගේ මරණය සිදුවූ අයුරු මෙන්ම තමන්ට පින් අවැසිනම් ඒ ගැනද සඳහන් කරයි.

ඉඩම්වලට, ගෙවල්වලට අරක් ගත් මළගිය ප්‍රාණකාරයෝ වෙත්නම් ඔවුන්ගේ ගිහි කාලයේ නම් සඳහන් කරයි. මැණික් ව්‍යාපාරිකයන් මැණික් ඇති තැන් විමසන්නට ගියහොත් හරියටම පතල කැණිය යුතු තැන, මැණික් ඇති දිශාව කියයි. ව්‍යාපාර දියුණුව, විභාග ජය උදෙසා පුද පූජා පවත්වයි. මේ ආකාරයෙන් ඔබ අසන්නට යන ඕනෑම කාරණාවක් ගැන අදහාගන්නට නොහැකි ලෙස විස්තර දිග හරින හිඹුටානේ සාදුගේ විස්මිත හැකියාවන් ගැන පරිච්ජේද කිහිපයක් ඔස්සේම කිසිඳු අතිශෝක්තියකින් තොරව අපි ඔබට කරුණු ගෙනහැර පෑවෙමු. ඒ සමඟම තවත් කරුණක් ද අවධාරණය කළ යුතුව ඇත. එනම් මිනිසුන්ගේ අනේකවිධ ප්‍රශ්න, දුක් වේදනා තමන්ගේ සල්ලි ඉපයීමේ මාර්ග බවට පත්කරගත් දෙවියන්ට මුවා වූ වංචනිකයන්, සොරුන් හිඟ නැති රටේ හිඹුටානේ සාදු යනු තම බලවර කිසිඳු ලෙසකින් අසාධාරණ ලෙස මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත්කර නොගත් ඉතාමත් සාධාරණ ලෙස මනුෂ්‍යත්වය ද පෙරදැරිව දුකට පීඩාවට පත් ජනතාව කෙරේ සත්‍ය මතම පිහිටා කටයුතු කරන ධාර්මිකයෙකි. ප්‍රසිද්ධිය පසුපස හබා නොයන්නෙකි. අප හිඹුටානේ සාදු ගැන තොරතුරු ඇසුවේ හිඹුටානේ සාදුගේ පිහිට ලබාගත් කෙනෙක්ගෙනි. ඒ අනුව අප හිඹුටානේ සාදු සොයා ගිය මොහොතේ පවා හිඹුටානේ සාදු කියා සිටියේ ප්‍රසිද්ධියක් තමන්ට අවශ්‍ය නැති බවත් තම එකම පරමාර්ථය තමා ලද මේ වරමින් මිනිසුන්ට සත්‍ය මත පිහිටා පිළිසරණක් ලබාදීම පමණක් බවත්ය. මේ සියලු කරුණු අප මේ මොහොතේ සිහිපත් කළේ හිඹුටානේ සාදු සතු ඒ උත්තම ගුණාංගයන්ට හරසර දක්වනු පිණිසමය.

දේශපාලනඥයන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, ඇමැති බිරින්දෑවරුන්, නළු නිළියන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ජාත්‍යන්තර මට්ටමට ගිය මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පූජ්‍ය පක්ෂ නායකයන්, ව්‍යාපාරිකයන් මේ ආදී බොහෝ දෙනා කලක් මුළුල්ලේ හිඹුටානේ සාදු සොයා එන්නේද කලක් මුළුල්ලේ ලද සරණ නිසාමය. වරක් පුද්ගලයෙක් හිඹුටානේ සාදු සොයා පැමිණියේය.

“උඹ ආවේ උඹේ ගෑනි කොහේද පැනලා ගියේ කියන එක දැනගන්න නේද?”

ඔව් සාදු

උඹෙනුත් ගෑනිට මේ මේ වැරදි වුණා.... ඒකයි ගෑනි උඹව දාලා ගියේ. මම උඹට ගෑනි ඉන්න තැන කියන්නම්... ඒත් උඹ උඹේ වැරදිත් හදාගනින්. උඹේ වැරදි තියාගෙන ගෑනිගේ වැරදි හොයන්න එපා... කිවයුත්ත නොවලහා කියන ලුසිහාමි මාතාවගේ ආරූඩයෙන් පත්තිනි මෑණියන්ගෙන් බලවර ගෙන සිටින හිඹුටානේ සාදු පැවසුවේය. ඉකුත් සතියක සඳහන් කළ පරිදි ආරූඩයෙන් කියන කිසිවක් හිඹුටානේ සාදු දන්නේ නැත. නිවැසියන් සහ අදාළ පුද්ගලයන් නැවත පැමිණ කියන තොරතුරු අනුවය හිඹුටානේ සාදු තමන් කළ කී දෑ දන්නේ. එසේම වශී බන්ධන, කොඩිවින කැපීම, ආශිර්වාදාත්මක පූජා මේ සියල්ලේදී කියනු ලබන මන්ත්‍ර ආදි යද ආරූඩයේදීම කියන දෑ මිස ඉන් පෙර දැන සිටි හෝ කටපාඩම් කරගෙන සිටි මන්ත්‍ර නොවේ. ඇතැම් අවස්ථාවල හිඹුටානේ සාදු ආරූඩයෙන්ම පැරැණි මියගිය යක දුරන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් වල දා තිබූ ඉතා බලගතු යන්ත්‍ර මන්ත්‍ර වශී බන්ධන පිළිබඳව ලියවුණු පුස්කොළ පොත් ගොඩගෙන ඇත.

උඹ අහවල් දවසේ පලයන් අහවල් තැන තියෙන පාස්පෝට් කන්තෝරුවට... උදේ නවය වෙද්දී පලයන්... නවය වෙද්දී උඹේ ගෑනි එතෙන්ට එනවා රට යන්න පාස් පොර්ට් හදාගන්න... පලයන් එතෙන්ට ගිහින් ගෑනිව අල්ලගනින්. හැබැයි උඹ ගෑනිට හොඳට සලකපන්... උඹේ වැරදිත් හදා ගනින්

හිඹුටානේ සාදු පැවසුවේ එසේය. එකී පුද්ගලයා කී දිනයේ අදාළ ස්ථානයට නියමිත වෙලාවට ගොස් සිටියේය. ඒ වෙද්දීත් බිරිඳ එතනට පැමිණ සිටියේය. ඔහු බිරිඳ සමාදාන කරගෙන යළි නිවෙස වෙත කැටුව ගියේය.

මම කිසිම අසාධාරණ වැඩකට කාටවත් උදවු කරන්නේ නෑ. දෙපැත්තම බලලා සාධාරණනම් පමණයි උදවු කරන්නේ. පවුලක් එකතු කරන්න වශී බන්ධනයක් වුණත් කරලා දෙන්නේ සාධාරණද නැද්ද කියලා බලලා විතරයි.

දේශපාලනඥයෝ ආවම මගෙන් අහනවා සාදුට මොනවද අපෙන් වෙන්න ඕන.. අවශ්‍ය දෙයක් අපි කරලා දෙන්නම් කියලා. ඒත් එසේ කී පමණින් මම කිසිවකුගෙන් කිසිවක් ලබාගන්නේ නෑ.

තවත් දවසක හිඹුටානේ සාදු මුණගැසෙන්නට පැමිණියේ මවක් සහ පුතෙකි. ඒ පැමිණ සිටියේ පුතාගේ ප්‍රශ්නයකටය. එහෙත් ඒ ප්‍රශ්නය ගැන කියන්නටත් පෙර හිඹුටානේ සාදු ඒ පුතා ගැන අප්‍රසන්න සත්‍යක් හෙළිදරව් කළේය.

“උඹේ මිනිහ මැරිලා නේද?”

ඔව් සාදු 

උඹේම පුතා බොරු ආරූඩයක් අරගෙන උඹට කායික හිරිහැර කරනවා නේද කාලයක් තිස්සේ... මූ මානසික විකෘති මිනිහෙක්. මූට ඇති ආරූඩයක් නෑ. 

මගේ පුතාට මගේ මහත්තයව වැහෙනවා. ඒ වෙලාවට පුතා හැසිරෙන්නේ මගේ මහත්තයා විදිහට. එහෙම මිසක් අනිත් වෙලාවට පුතා මට කරදර කරන්නේ නෑ.

මූට වැහෙන කිසි එකෙක් නෑ. මූ ඔච්චර කල් ආරූඩයක් එන විදිහට අම්මව රවට්ටලා මහා තිරිසන් වැඩක් කළේ. 

ඒ අම්මා ඊළඟ මොහොතේ ක්ලාන්තව බිම ඇද වැටුණේය.

හිඹුටානේ සාදු සත්‍ය බලවර විදාහල එවන් අවස්ථා අනල්පය. වසර ගණන් ලියා තබන්නට තරම් ඒ සත්‍ය කතා සාගරය විසල්ය. ගැඹුරුය.

අප එවන් කතා කිහිපයක් සමඟ හිඹුටානේ සාදු ගැන ලියා තැබුවේ අනේක විධ ප්‍රශ්න හමුවේ තැලී පොඩිවෙන මිනිසුන් වංචනිකයන්ට බොරුකාරයන්ට හසුවී ලක්ෂ ගණන් මුදල් නාස්ති කරගන්නා එමෙන්ම කපුවන් යැයි කියා ගන්නා ඇතැම්  පුද්ගලයන් අතින් දූෂණයට පත්වෙන කාන්තාවන් සම්බන්ධ සත්‍ය සිද්ධීන් පවා කන වැකෙන පසුබිමකදීය. ඉතාමත් සාධාරණ සහ මානුෂික ප්‍රතිපත්තියක සිට අනුපමේය මෙහෙවරක් කරන හිඹුටානේ සාදුගේ විස්මිත බලයට හා සේවයට උපහාරයක් වනු පිණිසම අපි මේ ලිපි පෙළ සම්පාදනය කළ වගද සඳහන් කරමු. 

►සංජීවිකා සමරතුංග
සේයාරූ / චන්න කස්සප කෝරලේආරච්චි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05