ඉස්සර ගමක ගුරුවරයා මෙන්ම වෙදැදුරු වශයෙන් කටයුතු කළේ ද ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේය. එදා මෙන් අදත් උන්වහන්සේලාට ඇති ගෞරවය නොවෙනස්ය. ඈත රජ දවසට පෙර පටන් වෛද්‍යවරයා කෙරෙහි පැවැති ගෞරවපූර්වත්වයට හේතු රාශියකි. එහෙත් අද ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය නිසා කා තුළත් හටගෙන ඇත්තේ අප්‍රසන්න හැඟීමකි.
වර්තමාන ලංකාවේ ඇතැම් වෛද්‍යවරුන්ගේ හැසිරීම ඔවුන්ගේ වෘත්තීය භාවයට ගැලපෙන්නේ නැත. ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහා සමාජගත වන විවිධ කරුණු හේතුවෙන් වෛද්‍යවරයාගේ මානසිකත්වය සමාජය හමුවේ පෙන්වා තිබේ. එබැවින් අතලොස්සක් හෝ වෛද්‍යවරුන් නිසා වර්තමාන වෛද්‍යවරුන් කෙරෙහි රටේ ජනතාව අතර හොඳ පිළිගැනීමක් ඇත්තේ නැත. ඊට හේතු සාධක රාශියක් බලපා තිබේ. මෑතකදී මෙයට පණ පෙවූ හොඳම සිද්ධිය සයිටම් වෛද්‍ය විද්‍යාලයට එල්ල වූ විරෝධයයි.
ඒ සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ගැටලු පැනනැගී තිබියදී මැදිහත් වූ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හරහා ඔවුනගේ සිතීමේ ශක්තිය හා හැසිරීම සමාජය හමුවේ මනාව හෙළි විය. එහි යහපත කෙසේ දුටුවද ඒ අවස්ථාවේ අසරණ රෝගීන්ගේ ජීවිත හා සෙල්ලම් කිරීම තුළ වර්තමාන වෛද්‍යවරුන්ගේ රෝගී සත්කාර සේවය පිළිබඳව ද ජනතාව සැක පහළ කළහ.
මේ කෙසේ වෙතත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් තවමත් ජනතාව තුළ පවතින්නේ ගෞරව බුහුමන් සහිත පිළිගැනීමකි. ඔවුන්ගෙන් ඉටුවන මෙහෙවර නිසා ජනතාව පූජනීයත්වයෙන් දෙවියන් හා සමානව වෛද්‍යවරයාට ද තවමත් සලකති. වෛද්‍ය වෘත්තියේ සුවිසල් ප්‍රතිරූපයට ජනතාව මහත් කෘතවේදීව සලකති.
ඒ අතරවාරයේ මේ සියල්ල සුණු විසුණු කරන වෛද්‍යවරුන්ගේ හැසිරීම් වාර්තා වේ. ආසන්නම සිදුවීම පසුගිය 24 වැනිදා දක්නට ලැබුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් සිව්දෙනකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැති නිලවරණය අවසන් වූ මොහොතේය. එහිදී කලහකාරී ලෙස හැසිරුණු වෛද්‍යවරුන් දෙපිරිසක් ගුටිබැට හුවමාරුවකට මැදි වීම නිසා එක් වෛද්‍යවරයකුගේ ඇඳුම පවා ඉරී ගැලවී ගොස් තිබුණි. ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරුන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණේ වෛද්‍ය වෘත්තියේ ගරැත්වය මනාව මිනිසුන්ට පසක් කරමිනි.
මේ ගැටුම හටගෙන තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරයකු හා එම සංගමයේ නොවන වෛද්‍යවරයකු අතරය. වෛද්‍ය සභාව දේශපාලනීයකරණයෙන් තොරව පවත්වාගෙන යාමට කැමති පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියහ. වාර්තා වන පරිදි වෛද්‍ය සභා ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය භාවිතා කළ අවස්ථාව මෙයයි. එදින බහුතර පිරිසක් නිලවරණයට සහභාගී වීම නිසා පෝලිම් 7ක් ඔස්සේ ඡන්දය භාවිතා කරන්නට පියවර ගෙන තිබිණි.
ඉන් නික්මෙන පිරිස අතර සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාට තුසිත කහදුව නමැති වෛද්‍යවරයා පහරදී තිබුණි. ඊට විශේෂ හේතුවක් පෙනෙන්නට නොවීය. මේ ගැටුම අසල සිටි වෛද්‍ය රුචිර සරණපාල මහතා පටිගත කර තිබුණේ තම ජංගම දුරකථනයෙනි. එය දුටු වෛද්‍ය තුසිත කහදුව ඔහුටද පහර දී ඇති අතර වෛද්‍ය රුචිර සරණපාල මහතාගේ කලිසමේ කොටසක් පවා ඉරී ගොස් තිබුණේ එහිදීය.
පළමුව වෛද්‍ය තුසිත කහදුව විසින් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාට පහර දීම ගැටුමේ ආරම්භයයි. සිදුවීම ව්‍යාප්ත වෙමින් දෙපිරිස අතර මත ගැටුමක් නිර්මාණය වෙද්දී මරදාන පොලීසියේ නිලධාරීන් ද එහි කැඳවන්නට කටයුතු කර තිබුණි. ඔවුන්ගේ මැදිහත් වීමෙන් ගැටුම සමථයකට පත් කර තිබුණ ද ඒ වනවිටත් සිදුවීම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී හමරය.
සිදුවීම සියැසින් දුටු වෛද්‍යවරුන් පවසන්නේ වෛද්‍ය සභාව දේශපාලනීයකරණය වීමෙන් වළක්වා ගැනීමට බහුතරය ඡන්දය භාවිතා කරන්නට පැමිණි බවත් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා මෙම ගැටුම ඇති කරන්නට ඇති බවය. වෛද්‍ය සභාව කෙසේ වෙතත් මේ වනවිට සමස්ත වෛද්‍ය වෘත්තිය දේශපාලනීයකරණය වී තිබෙන බව රටට රහසක් නොවේ. මාරාන්තික ලෙඩ රෝග හමුවේ ජීවිතය අයදින ජනතාවට ජීවිතය දෙනවා හැරෙන්නට බොහෝ වෛද්‍යවරුනට වෙනත් වැඩ රාජකාරී බොහොමයකි. අයිතිවාසිකම් ඉල්ලීම, විරෝධතා පළ කිරීම, උද්ඝෝෂණ සංවිධානය, වෘත්තීය සමිති කටයුතු, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හරහා එක් දේශපාලන පක්ෂයකට මඩ ගැසීමත් තවත් පැත්තකට ආවැඩීමත් ඒ අතරය. මේ නිසා රෝගියකුට බෙහෙත් පෙත්තක් නියම කරන්නට තරම් වේලාවක් වෛද්‍යවරුන්ට ඉතිරිව නැති තරම්ය. වර්තමාන ඇතැම් වෛද්‍යවරුන් කාර්යබහුලව ඇත්තේ මෙකී කටයුතු සඳහා මිස සිය වෘත්තීය භාවිතාව සඳහා නොවේ.
වෛද්‍ය වෘත්තියට අවලාද නැගෙන යුගයක වෛද්‍ය සභාව ඉදිරිපිටදී වෛද්‍යවරුන් ගහ ගැනීම වෛද්‍ය වෘත්තියටම අගෞරවයකි. එම පහරදීම සිදුකළ බව කියන වෛද්‍යවරයා සයිටම් සුරැකීමේ ක්‍රියාවලියට දායකව සිටින්නෙක් බව කියයි. ඔහු ප්‍රසිද්ධ දේශපාලන පවුලක කිට්ටු හිතවතෙක් බවද කියයි. මේ ගැටුම සඳහා ඔහු එම බලය ද යොදවා තිබෙන බවද වාර්තා වේ.
මේ පුද්ගලයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඡන්දය අවුල් කිරීමට උත්සහා කළ අයෙක් බවට ඇතැම් වෛද්‍යවරු චෝදනා කරති. මීට ඉහතදී ගම්පහ ප්‍රදේශයේ වූ ගැටුමකට අදාළව එම වෛද්‍යවරයා බන්ධනාගාරගත වූවකු බවත් සිද්ධිය පිළිබඳ නඩුව තවමත් විභාග වන බවත් එම පිරිස චෝදනා කරති. ගැටුමෙන් පහර කෑමට ලක් වූ ළමා රෝග වෛද්‍යවරයෙක් වූ සෙනාල් ප්‍රනාන්දු මහතා මීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස එම රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර හෙට සඳුදා දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීම සිදු නොකළොත් මීගමුව රෝහලේ වෛද්‍ය වර්ජනයක් සිදු කරන බවට මේ වනවිටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර