හිඹුටානේ සාදු කවුරුන්දැයි අපි ඔබට හඳුන්වා දුන්නෙමු. විස්මිත ලෙස තමා හමුවට පැමිණෙන්නවුන්ගේ නම, ගම, රැකියාව කරන ස්ථානය, පැමිණි වාහන අංකය, මේ කුමක් හෝ සඳහන් කරමින් අඬගසන, තමා සිත්හි තබාගෙන පැමිණෙන කාරණය නිවැරදිව සඳහන් කරන, සොරුන් මිනීමරුවන් ගැන අසන්නට ගිය විට ඔවුන් සැඟවී සිටින ස්ථාන, ඔවුන්ගේ දුරකතන අංක, ජාතික හැඳුනුම්පත් අංක, නම, මේ සියලු විස්තර නිවැරදිව සඳහන් කරන, ඒ නිසාම ආරක්ෂක අංශ නිලධාරීන් පවා සොරකම් මිනීමැරුම් ගැන තොරතුරු දැනගන්නට පැමිණෙන, කොඩිවින ගැන අසන්නට පැමිණි විට කළවුන්ගේ නම් ගම් පවා නිවැරදිවම කියන, විසිරී යන පවුල් බන්ධන මගින් ගැටගසන හිඹුටානේ සාදුගේ අදහාගත නොහැකි ආරූඪයේ විස්කම් ගැන පුරා සති දෙකක් තිස්සේ අපි ඔබට සත්‍ය වූ තොරතුරු ගෙනහැර පෑවෙමු. ඒ නිසාම හිඹුටානේ සාදු ගැන විමසමින් සති දෙකක් තිස්සේ දේශය පාඨක ඔබගෙන් අප වෙත ලැබුණු දුරකතන ඇමතුම් සංඛ්‍යාව ද විශාල විය.
ලුසිහාමි මාතාවගේ ආරූඪයෙන්, පත්තිනි මෑණියන්ගේ වරමින් බලවර ගෙන, එක් අතකින් විපතට දුකට පත් ජනතාවට මාහැඟි සේවයක් සලසන හිඹුටානේ සාදු වෙත පැමිණි ඇතැමෙක් හිඹුටානේ සාදු සත්‍ය පවසන විට ඒ සත්‍ය මඟහරිමින් බොරු නිර්දෝෂීභාවයක් මවාපෙන්වන්නට උත්සාහ ගන්න අවස්ථාද අතරින් පතර ඇත. එවන් පුද්ගලයන්ට හිඹුටානේ සාදු තම සත්‍යතාව ඔප්පු කර පෙන්වූ එක් අවස්ථාවකි මේ.
වරක් කාන්තාවක් තම සැමියා සමඟ පැමිණියේ පවුම් ගණනක තමන්ගේ රන් මාලය නැති වී ඇති බැවින් ඒ ගැන අසන්නටය. ඈ සිත තබාගෙන උන් කාරණය හිඹුටානේ සාදු පැහැදිලිවම කීවේය. කියමින් මෙසේ ද සඳහන් කළේය.
උඹ මීට ටික දවසකට ඉස්සර ගිය තැනක ඒ මාලය අමතක වෙලා දාලා ඇවිත් තියෙනවා. ඒක කවුරුත් හොරු අරගෙන නෑ. උඹ ඒ ගිය තැනට ගිහින් මාලය අරගනින්...
හිඹුටානේ සාදු එසේ පවසද්දී ඇය පුනපුනා පැවසුවේ තමන් මින් දින කිහිපයකට පෙර කිසිදු තැනකට නොගිය බවයි.
හිඹුටානේ සාදු බොරැවක් පවසන බව ඇගේ සැමියා ද සඳහන් කරද්දී හිඹුටානේ සාදු තමන් පවසන්නේ මුසාවක් නොව සත්‍යයක්ම වග පියවරෙන් පියවර පැහැදිලි කළේය.
උඹ මීට දවස් කීපයකට ඉස්සර උඹගේ යාළුවෙක් එක්ක උඹේ ව්‍යාපාර වැඩකට අහවල් ප්‍රදේශයේ අහවල් හෝටලයට ගියා නේද? හිඹුටානේ සාදු එම හෝටලයේ නමත්, ඒ හෝටලය ඇති ප්‍රදේශයත් සඳහන් කරමින් විමසුවේය.
හිඹුටානේ සාදු නිවැරදිවම බලාසිටියා මෙන් කී දෙයින් දෙදෙනාම තිගැස්සී ගියාය.
උඹ ගිය තැන උඹේ යාළුවගේ නම මේක... ජාතික හැඳුනුම්පත් අංකය මේක... උඹලා ගිහින් නැවතුණු කාමරේ අංකය මේක... ඒ නම් අංක සියල්ල හිඹුටානේ සාදු බලාසිටියාක් මෙන් කියාගෙන කියාගෙන ගියේය.
දැන් ගහපන් ෆෝන් එක අරගෙන මෙන්න මේ නම්බරේ... ඒ අණකිරීම හිඹුටානේ සාදු මුසාවක් පවසන්නේ යැයි පැවසූ පිරිමි කෙනාටය.
ඔහු සාදු කී නම්බරය ගැසුවේය.
මේ නම්බරේ සාදු අපි හදිස්සියකට ගමනක් යන්න ගෙන්න ගන්න ත්‍රීවිල් මල්ලිගේනේ
උඹ උඹේ යාළුවත් එක්ක එදා ගිහින් පැය දෙක තුනක් යද්දී මේ ගෑනි ගමනක් යන්න ගෙන්නා ගත්තේ මෙන්න මේ කෙනාගේ ත්‍රීවිල් එක. ඒකෙ ටික දුරක් ගිහින් බැස්සා. ඊටපස්සේ ගියේ අහවල් තැනට... එසේ කියමින් අනතුරුව ගිය ස්ථානය ද හරියටම සඳහන් කළේය.
දැන් උඹ ගහපන් මේ නොම්බරය... සාදුගෙන් ඒ අණකිරීම ලැබුණේ කාන්තාවටය.
එහෙත් ඇය ඒ කී නොම්බරය සම්පූර්ණයෙන්ම ගසන්නේ නැත.
උඹ ගනින් ඔය ෆෝන් එක. අරන් ගහපන් මම මේ කියන නොම්බරේ. එතකොට ගෑනු නමක් එයි. ඒ නොම්බරෙන් ඉන්නේ අහවලා. සියලු සත්‍ය පියවරෙන් පියවර හෙළි කළ සාදු අවසානයේ මෙසේ කීවේය.
උඹ ගිහින් අහවල් තැන මාලේ ගලවලා තිබ්බා. එතන ඒ විදිහටම මාලය තියෙනවා. ඒක කවුරුත් හොරකම් කරලා නෑ. පලයන් ගිහින් ගනින්.
මාලය කී ලෙසම හමුවී තිබුණු අතර සාදු මුසාවක් කියතැයි පැවසීම ගැන පසුව ඔහු සමාව අයැද සිටියේය.
සමහර කාන්තාවෝ පිරිමි එනවා, තමන්ගේ සැමියාගේ බිරියගේ නොමනා වැඩ ගැන දැනගන්න. මම අහන්න එන අයගේ එහෙම නොමන වැඩ තියෙනවා නම් ඒ ගැන මුලින් කියලා, ඊළඟට සැමියා බිරිය ගැන සියලු විස්තර කියනවා. සමහරු තමන්ගේ හොර වැඩ නොමනා සම්බන්ධකම් තියාගෙන එනවා, අනිත් කෙනෙක්ගේ එහෙම දේවල් තියෙනවා නම් ඒක හදාගන්න.
දවසක් ගෑනු කෙනෙක් එයාගේ මුද්දක් නැතිවෙලා ඒ ගැන දැනගන්න ආවා.
මම කීවා උඹ ඔය මුද්ද නැතිවුණා කියලා අහවල් ගෑනිත් එක්ක රණ්ඩුත් කළා, ඒ ගෑනිව සැක කරලා. උඹේ මුද්ද උඹ කුණු පුච්චද්දී කුණුගොඩට වැටිලා පිච්චිලා ඇති. පලයන් ගිහින් බලපන්... මම එහෙම කියලා තිබුණා. මම සිදුවුණු දේවල් දන්නේ පස්සේ ඒ අය නැතිවුණු දේවල් හම්බවුණාම මම මෙහෙම කීවා හරියටම කියලා මට ඇවිත් කියන දේවල් වලින්.
වරක් මේ රටේ දේශපාලන ප්‍රභූවරයකුගේ බිරියක් හිඹුටානේ සාදු හමුවෙන්නට ගියේ තමන්ගේ නැතිවූ ඉතා වටිනා රන් ආභරණයක් ගැන අසන්නටය.
උඹේ නැතිවුණේ අහවල් ආභරණය, අහවල් දවසේ. ගත්තේ අහවලා. උඹ බය නැතුව හිටපන්. අහවල් දවස වෙද්දී ඕක උඹේ අත්බෑගයටම ගෙනත් දානවා. ගත්තට දැන් බයවෙලා ඉන්නේ.
සාදු කී ලෙසම ඒ රන් ආභරණය ඇගේ පසුම්බියේ තිබී ඒ කී දිනයේම හමුවිය. ඇය ඒ බව දැනුම් දෙන්නට සාදු සොයා පැමිණියාය.
මම ඉහත කී ප්‍රභූ කාන්තාවගේ පුත්‍රයාගේ ලක්ෂ තිස් ගණනක් වටිනා තාක්ෂණික උපකරණ වගයක් නැති වී තිබුණා. ඒ ගැන සෑහෙන සිත් තැවුලකින් තමා ඔහු මා ළඟට පැමිණියේ. මම ඒ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සියල්ල සඳහන් කළා. ඒ අනුව ඔහුට ඔහුගේ නැති වූ භාණ්ඩ සොයාගැනීමට හැකිවුණා. මගෙන් පිහිට ලබන බොහෝ දෙනා මම ආරූඪයෙන් තොරව ඉන්න වෙලාවට ඇවිත් මා පැවසූ සියල්ල සහ ඔවුන් ලැබූ ප්‍රතිඵල ගැනත් කියනවා. කළ යුතු ප්‍රතිකර්ම පූජා, ඒ සඳහා රැගෙන ආ යුතු දේවල්, නැවත පැමිණිය යුතු දිනය, මේ විස්තරත් අවශ්‍ය අයට මම ආරූඪ වූවිට කියනවා...
ඔබ කීවා, ඔබ ළඟට ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ජාත්‍යන්තර තලයට ගිය මලල ක්‍රීඩිකාවන්, ව්‍යාපාරිකයන්, ආගමික පූජකවරු, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, නළු නිළියන් වගේ අය එනවා කියලා. පොදුවේ ගත්තම මේ අය එන්නේ කුමන කාරණා ගැන දැනගන්නද?
මම දේශපාලන අනාවැකි කියනවා... ඇසිය යුතු කෙනා ඇවිත් ඇහුවොත් තමා ඒ ගැන කියන්නේ... සමහර අය මගෙන් මේ රටේ අනාගත දේශපාලන නායකත්වය ගැන අහන්න ආවා... සමහර අලුත් දේශපාලන පක්ෂ පිහිටුවද්දී ලාංඡන වර්ණ ගැන අහගන්න ආවා. මම ඒ හැමදේටම අදාළ නිවැරදි විස්තර කීවා. ඒ අවශ්‍ය දේවල් කරලා දුන්නා. රටේ දේශපාලන අනාගතය, ස්වාභාවික විපත්, කාලගුණ දේශගුණ වෙනස්වීම්, විපත්, මේ හැමදේම අදාළ අය ඇවිත් ඇහුවොත් මට කියන්න පුළුවන්. හුඟක් දේශපාලනඥයෝ ඔවුන්ට බලයේ තව කොච්චර කල් ඉන්න ලැබෙනවද? හිරේ යන්න වෙනවද? ඔය වගේ දේවල් දැනගන්න ආවා. හොරකම් ගැන දැනගන්නත් දේශපාලනඥයන් එනවා. හිරේ ගිය ඇමැතිවරුන්ට මම ඔවුන්ට හිරේ යන්න වෙන කාලවකවානු හරියටම කීවා. ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන හරියටම කීවා. ඔවුන්ගේ දරුවන් කරන කියන දේවල්, ඔවුන්ට වෙන දේවල්, ඔවුන් අනාගතයේ යොමුවෙන ක්ෂේත්‍ර ගැන කීවා.
නළු නිළියන් හුඟක් එන්නේ ප්‍රේම සම්බන්ධතා ගැන දැනගන්න. ව්‍යාපාර දියුණුව ගැන දැනගන්නත් සමහර අය එනවා. මැණික් ව්‍යාපාරිකයන් එනවා, මැණික් තියෙන තැන් හරියටම දැනගන්න. මම පතල කැණිය යුතු තැන්, මැණික් හමුවෙන තැන, දිශාව, කාලය, හරියටම කියනවා. නිදන් ගැන වුණත් ස්කෑන් කළා වගේ මට කියන්න පුළුවන්. එහෙත් මිනිසුන්ට කිසිම අයහපත් දේකට මම අනුබල දෙන්නේ නෑ. ඒ නිසා මම නිදන් ගැන කියන්නේ නෑ. ජීවිතයේ නොයෙක් ප්‍රශ්න වගේම ආයතනික ප්‍රශ්න අරගෙනත් මේ අය එනවා.
අයහපත් ව්‍යාපාර කරන අයත් එනවා මගේ ගාවට ව්‍යාපාර දියුණු කරගන්න උපදෙස් ගන්න. දවසක් ඇවිත් හිටියා, ස්පා ආයතනයක් කරන කෙනෙක්. ඒගොල්ලෝ කියන්න ඕන නෑ, මට පේනවා ඒ අයගේ ව්‍යාපාර මොනවද කියලා. ව්‍යාපාර විතරක් නෙවෙයි, ලුසිහාමි මාතාවගේ ආරූඪය ශරීරගත වුණාම මට හරියට ස්කෑන් කළා වගේ ඒ පුද්ගලයා කරන කියන සියල්ල පෙනෙනවා.
උඹ ස්පා ආයතනයක් නේද කරන්නේ? උඹගේ ස්පා ආයතනය තියෙන්නේ අහවල් ප්‍රදේශයේ නේද? උඹ ස්පා කියලා වෙන වෙන දේවලුත් කරනවා නේද? මේ හැමදේම කියනවා. කොහොමත් මිනිසුන්ගේ යහපතට මිසක් අයහපතට මම කාටවත්ම උදව් කරන්නේ නෑ.
තවත් දවසක් අම්මා තාත්තා සහ එයාලගේ කුඩා දියණිය ඇවිත් හිටියා. මම කීවා, මේ දරුවාගේ ඔළුවේ ලොකු අසනීපයක් තියෙනවා කියලා. ඒ අම්මයි තාත්තයි කීවා අසනීපයක් තිබුණා සාදු, දැන් ප්‍රතිකාර කරලා දරුවට සනීපයි කියලා. මම කීවා උඹලා සනීපයි කියලා හිතුවට තාම සනීප නෑ. ඉක්මනට දරුවාව ප්‍රතිකාරවලට යොමුකරපන්. නැත්නම් මේ දරුවාගේ ජීවිතය බේරාගන්න බැරිවෙයි කියලා. මම කීවා වගේම දරුවාගේ අසනීපය සුව වී තිබුණේ නෑ. ප්‍රතිකාර කර තමා සුව කරගත්තේ.
සමහර අය එනවා රෝග ගැන දැනගන්න. මම රෝගය කියලා අහවල් වෛද්‍යවරයා ළඟට යන්න කියලා වෛද්‍යවරයාගේ නමත් කියනවා. පිළිකා වැනි රෝග ගැන පවා කියන්න පුළුවන්. ඒ වගේම කුඩු ආදී මත්පැන්වලට ඇබ්බැහි වෙච්ච අය ඒවායින් මුදවාගැනීමටත් මම යම් යම් දේ කරනවා. ඉතා දිගු කාලයක් මුළුල්ලේ ඊට ඇබ්බැහි වෙච්ච අය ඇරෙන්න අනිත් අය එයින් මුදවන්න පුළුවන්.
දිනක් ගෑනු කෙනෙක් ඇවිත් හිටියා, මම ඒ ගෑනු කෙනාගෙන් මෙහෙම ඇහුවා.
උඹේ මිනිහා නෑ නේද? උඹේ මිනිහත් උඹත් එක්ක දැන් මෙතෙන්ට ඇවිත් ඉන්නේ
ඔව් සාදු මීට අවුරුදු තුනකට ඉස්සර එයා ගඟේ ගිලිලා මැරුණා.
උඹේ මිනිහා මැරුණේ නෑ මැරුවා...
උඹේ මිනිහා වැලි ගොඩදාන රස්සාව නේද කළේ? මිනිහා වැලි ගොඩදාන්න ගියේ උඹලගේ ගෙවල් කිට්ටුවම ඉන්න මිනිහගේ අහවල් යාළුවත් එක්ක නේද? මිනිහා වැලි ගොඩදාන්න ගිය තැනට කිට්ටුව හිටපු ගෙදරක හිටපු ගෑනු ළමයකුට මිනිහගේ යාළුවා කැමැත්තෙන් හිටියා. හිතවත් වෙලා උඹගේ මිනිහයි යාළුවයි ඒ ගෙදරට ආවා ගියා. ඒත් උඹගේ මිනිහට තමා ඒ ගෑනු ළමයා සහෝදරයකුට වගේ සැලකුවේ. ඒක අර මිනිහට රුස්සන්නේ නැතුව ගියා. වැලි ගොඩදාන්න ගඟට ගිය වෙලාවක පණ යනකම් වතුරේ ඔළුව ඔබාගෙන ඉඳලා මැරුවා... ඊටපස්සේ මළගෙදර වැඩවලටත් නෑදෑයෙක් වගේ උදව් කළා.
සාදු මෙසේ පවසද්දී ඇගේ සියොළඟම හිරිවැටී ගියාය.
මළවුන් මගේ ශරීරයට එන හැටි, කතා කරන දේවල් ආදී හැම විස්තරයක්ම මම ගිය සතියේ විස්තර ඇතුව කීවා... මළවුන් ගෙන්වාගන්න ප්‍රබල දේශපානලඥයන් වගේම ඔවුන්ගේ බිරින්ඳෑවරුත් එනවා... ප්‍රභූ දේශපාලනඥයකුගේ බිරිඳක් එනවා තමන්ගේ අම්මව ගෙන්න ගන්න... තවත් ඉතා මුඛරි දේශපාලනඥකුගේ බිරිඳ එනවා ඇගේ මව ගෙන්න ගන්න... යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ භවවල ඉන්න අය ඒ විදිහට ගෙන්නන්න පුළුවන්... ඒ සියලු විස්තර ගිය සතියේ සඳහන් කළ නිසා පෙර කීවක් මෙන් ඒ ගැන නොකියා ඉන්නම්.
(හිඹුටානේ සාදුගේ විස්මිත හැකියාවන් සමඟ එන ඉරිදාත් හමුවෙමු.)
සංජීවිකා සමරතුංග
සේයාරූ - චන්න කස්සප කෝරළේආරච්චි