“දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී
දිග දළ අටෙකී - සත් ගැබෙකී...”
ගජගා වන්නමේ තාලයට නැලවෙමින් යන ඇතුගේ පිටමත රැඳි කරඬුවට බැතිමත්හු වදිති. ඒ වැඳිල්ල ඇතාටත් එක්කමය. දළදා මාලිගාවේ රාජා, නැඳුන්ගමුවේ හස්තියා, කතරගම දේවාලයේ වාසනා හස්තියා ඇතුළු කරඬුව වැඩම වූ හස්තීන් රාශියක් ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව සිටිති. දළදා මාලිගාවේ රාජා රෝගී වී මරණයට පත්වූ විට බොහෝ දෙනා කඳුළු හෙලූහ. එලෙසම පසුගියදා වනාන්තරයේ ජීවත් වූ හස්තියෙක් ඝාතනය වූ පුවත ඇසූ ලංකාවාසීහු බොහෝ දුකට පත්වූහ. ඌ වෙනුවෙන් පිංපෙත් පැමිණවූහ. ඒ දළ ලබාගැනීමේ ලොබින් වෙඩි තබා මරා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාය.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ කුරිරු ඝාතනයෙන් පසු එළඹි සති දෙක තුන තුළ තවත් ඇතුන් සිව්දෙනෙක් ඝාතනයට ලක්වූහ. ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය අලිඇතුන්ගේ ඝාතන ගැන පෞද්ගලිකවම කනගාටුවන බවත් එම ඝාතන සෙවීම සඳහා පොලිස් බුද්ධි අංශයට දැනුම් දීමටත් අමාත්‍යවරයා ක්‍රියාකළ බවත් සඳහන් කරයි.
තබ්බෝව, අලගොල්ලෑව හා සෙල්ලකණ්ඩල යන ප්‍රදේශවල දී ඝාතනයට ලක්වූ ඇතුන් තිදෙනා පිළිබඳ පරීක්ෂණ ඇරඹීමට බුද්ධි අංශවලට තමන් නියෝග දුන් බවත් ඊට අතිරේකව දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශය විසින් පරීක්ෂණ දෙකක් සිදුවන බවත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසා ඇත. අලිඇතුන් මරණ වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා ඒකාබද්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවද මාධ්‍ය නිවේදනයේ සඳහන්ය. පසුගිය වසර දහයට සාපේක්ෂව වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාත්මකව අඩුවී ඇති බවද 2016 දී 276ක් ලෙස පැවති අලි මරණ සංඛ්‍යාව 2017 වර්ෂය වනවිට 207 දක්වා අඩුවී ඇති බවත් වනජීවී අමාත්‍යංශය සඳහන් කරයි. නමුත් මේ මාධ්‍ය නිවේදනයෙන් පසුවද අලි ඇතුන්ගේ ඝාතන රටවටෙන්ම ඇසේ.
පසුගිය 7 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ මාස දෙකක් තුළ සද්දන්ත දළ ඇතුන් දහදෙනකු වෙඩි උණ්ඩයට බිලිවී ඇති බවයි. මේ වනවිට අපට ඉතිරිව සිටින්නේ වැඩුණු දළ ඇතුන් සුළු සංඛ්‍යාවක් බවද උන්වහන්සේ පවසති.
ගල්ගමුවේ දළපූට්ටුවා, පුත්තලම තනි දළයා, තබ්බෝව ඇතා, කල්ලාරු ඇතා, විල්පත්තුවේ මේඝා ඇතුළු දළ ඇතුන් මෙලෙස පසුගිය කාලයේ මරා දමා ඇති බවත් ඒ හිමියෝ පැවසූහ. පරිසරවේදීන්ගේ ආදරයට ලක්වූ වළගම්බා, මහසෙන්, අනුරාධා, වලවරාජා, කල්තොට රාජා, තලාකොල, වැවපූට්ටුවා වැනි ඇතුන් ද මේ වනවිට අතුරුදන්ව ඇති බව පරිසරවේදීහු පවසති.
වනජීවී අමාත්‍යවරයා පවසන්නේ මෙම හස්ති ඝාතන පිටුපස යම් ක්‍රමන්ත්‍රණයක් ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
ඇතා පූජනීය සතෙකු ලෙස සැලකූ රටක මිනිසා තාක්ෂණයෙන් දියුණුවත්ම දළ ලබා ගැනීම සඳහා ඇතුන් ඝාතනය ඉහළ යාම සැබවින්ම ලජ්ජාවට කරුණකි. වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව ඇතකු හෝ අලියකු ඝාතනය කිරීමට වරදකරුවකු වන පුද්ගලයකුට වසර පහකට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා වූ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළහැකිය. අලි ඇතුන් ඝාතනයට මේ දඬුවම් ප්‍රමාණවත් නැති බව නම් කාටත් වැටහෙන දෙයකි. කෙනෙකු වරදකරුවී සිරගෙට ගියත් පොදු සමා ආදිය ලැබීම නිසා සැබවින්ම සිරගතව සිටිය පැත්තේ ලැබෙන දඬුවමට වඩා බොහෝ අඩු කාලයකි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසුවේ මෙය මරණීය දණ්ඩනය දක්වා ඉහළ නැංවිය යුතු බවයි.
පරිසර සංවිධාන එකමුතුවේ නයනක රන්වැල්ල බී.බී.සී. පුවත් සේවයට පැවසූවේ අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව ලබාදෙන දඬුවම් ඉහළ නැංවීම සඳහා වන යෝජනාවලියක් වනජීවී අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ බවයි.
එම යෝජනා වන්නේ රුපියල් මිලියන 10 දක්වා වන්දියක්, වරදකරුවන්ගේ දේපළ රාජ සන්තක කිරීම, වසර 25 දක්වා සිරදඬුවමක් වේ. “රුපියල් මිලියන 10 වන්දිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය එකගතාව පළ කළා. ඉන් ඔබ්බට ගොස් නව නීතිය පණගැන්වීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඉන්නවා.” නයනක අප සමඟ පැසුවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “පරිසරවේදීන් හැටියට අප පවසන්නේ අපට විද්‍යාත්මක අලි සංරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. සිටින ඉන්දියාවේ පවා ක්‍රමවත් සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මකයි. අලි තමන්ගේ උපන් ප්‍රදේශයෙන් පිටතට යාමට කැමැති නැහැ. ඔවුන් තමන්ගේ ප්‍රදේශ අතහැරයාමට කැමති නැහැ. අලි අල්ලලා දුරබැහැරට ගෙනිහින් දැම්මත් නැවත සිටි ප්‍රදේශවලට එනවා. ඒ නිසා සංවර්ධන වැඩ ක්‍රියාත්මක කිරීමේදී උන්ගේ නිජබිම්වලට බාධා නොවන පරිදි කළ යුතුයි. ඒ වගේම දැනට කැලෑ වටේට විදුලි වැට ඉදිකරනවා වෙනුවට ඒ ආශ්‍රිත ගම් වටේට විදුලි වැට ඉදිකළ යුතුයි. ජීව වැව වැට වගේම අධිතාක්ෂණික වැටවල්ද තිබෙනවා. අධිතාක්ෂණික බැලස්ටික් කොලර් කියලා එකක් තිබෙනවා. අලියට වෙඩිල්ලක් පත්තු වුණොත් ඒ බව ළඟම එයට සම්බන්ධ දුරකතනයට දැනුම් දීමට එම කොලර් එක ක්‍රියා කරනවා. එවිට වනජීවී නිලධාරීන්ට වහාම ක්‍රියාත්මක විය හැකියි. එවිට දඩයක්කාරයන් අල්ලාගත හැකි අතරම අලියාට ප්‍රතිකාර කිරීමත් කළ හැකියි.
ඒ අතරම පාරම්පරික දැනුමත් අපි භාවිත කළ යුතුයි. පුරාණයේ ජනතාව ජීවත් වුණේ වන සතුන් සමඟ සහයෝගයෙන්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 දී පැවැත්වූ වන අලි සංගණනයට අනුව අලි ඇත් ගහණය 5879 කි. 2011 සිට මේ වනතෙක් ගතවූ කාලය තුළ මේ අතර විශාල සංඛ්‍යාවක් අලි ඇතුන් ඝාතනයට ලක්ව ඇති බව නොරහසකි. අප රටේ අලින්ගෙන් දළ පිහිටන්නේ 4% ක් තරම් සුළු ප්‍රතිශතයකට පමණි. උන් අතර දළ පූට්ටුවන්ද සිටී. ඒ ඉතා දුලබවය. දළ පූට්ටුවන් යනුවෙන් හඳුන්වන්නේ දළ යුගල එහි කෙළවරින් එකිනෙක හරහා කතිරයක් මෙන් පිහිටා තිබෙන ඇතුන්ටය. වඩාත් ප්‍රකට මෙන්ම අලංකාරද වූ දළ පූට්ටුවා යාල වනයේ සිටියදී 1970 දී ඇත් දළ ජාවාරම්කරුවන් විසින් මරාදැමූ වලස්කෙම දළ පූට්ටුවාය. 2003 පෙබරවාරියේ දී ශ්‍රීපාද අඩවියේ දී කුරු ඇතා නම් හස්තියාද දළවලට ලොබින් ඝාතනය කෙරිණි.
අලි ඇතුන් පිළිබඳ පර්යේෂකයකු වන වෛද්‍ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසන්නේ ඇත්දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබාගත යුතු නැති දෙයක්. මොකද ඒවා ලේ තැවරුණු දේවල්. කියාය. එහෙත් මේ ලේ තැවරුණු අලින්ගේ කඳුළු මුසුවුණු ඇත්දළ පන්සල්වල තබා ගැනීමට හාමුදුරුවරු මෙන්ම තම ධනවත් බව ප්‍රකට කිරීමේ සලකුණක් ලෙස තබාගැනීමටත් බොහෝ දෙනා ලොල්වෙති.
ඇත් දළවලට ලෝබකිරීම මානසික විකෘතියක්. මේ විකෘතිය නිසා ඇත්දළවලට රටේ ඉල්ලුමක් ඇතිවෙලා තිබෙනවා. ගජමුතු කියන මිත්‍යාවත් ඇතුන්ට මාරකයක් වෙලා. ලෝකයේ ඇත් දළ ජාවාරම්වල පවා ගජමුතු කියල දෙයක් නැහැ. අපේ රටෙන් හමුවන ගජමුතු වැඩිහරියක් හදන්නෙ හරක්ගේ කකුල්වල ඇටකටුවලින්. නයනක වැඩිදුරටත් පැවසුවේය.
යාල වනෝද්‍යානයේ දළ ඇතුන් කිහිපදෙනෙක් සිටිති. විල්පත්තුව ද දළ ඇතුන් සිටින වනෝද්‍යානයකි. ඒ අතරින් කල්ලාරු ඇතා නමින් හැඳින්වූ සද්දන්තයා මාස අටක පමණ කාලයක සිට අතුරුදන්ව සිටී. පසුගියදා තන්තිරිමලේ දී අත්අඩංගුවට ගත් ඇත්දළ යුගල කල්ලාරු ඇතාගේ බවට පොලීසිය සැක කරයි. මේ දළ යුගල ලක්ෂ පනහකට අලෙවි කිරීමට යාමේදී පොලිස් උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගැනීමට හැකි විය.
පරිසරවේදීන් පවසන්නේ මෙලෙස පොලීසියට අනාවරණය නොවන දළ ඇතුන් ඝාතන ද මහවන මැද සිදුවන බවයි. බොහෝ දළ ඇතුන් වනාන්තර මැද රහසිගත ජීවිත ගත කරන අතර, නිතර මිනිසුන්ට පෙනෙන්න හැසිරෙන්නේ කලාතුරකින් සතෙකු පමණි. ගල්ගමුවේ ඇතා එලෙස ජනතාව සමීපයේ දිවිගෙවූ හස්තියෙකි. දැනට අප රටේ දළ ඇතුන් 70-100 අතර සංඛ්‍යාවක් සිටින බවට විශ්වාස කෙරේ.
සුද්දන්ගේ කාලේ මේජර් විලියම් රොජර්ස් විනෝදයට අලි ඇතුන් මැරූ දඩයක්කාරයෙකි. ඔහු විසින් අලි ඇතුන් 1400 ක් පමණ මරාදමා තිබේ. දැන් අලි ඇතුන් මරණ විදිහට අපට පෙනෙන්නේ විලියම් රොජර්ස් ආයෙත් ඉපදිලාවත්ද කියලාය.
සේයාරුව: අන්තර්ජාලයෙනි
කුසුම්සිරි විජයවර්ධන