2018 ජනවාරි 06 වන සෙනසුරාදා

බැඳුම්කර ජරමරයක් තටු කැපෙන්නේ කාගෙද?

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 328

යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරකම් වංචා දූෂණ නැවැත්වීමට ය. එය 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයේදී තම ගාමක බලවේගයක කරගත් එජාපය ප්‍රමුඛ පොදු අපේක්ෂක හවුල හොරකමින් තොර දේශපාලන සංස්කෘතියක්, එසේත් නැතිනම් යහපාලනයක් රටට හඳුන්වාදෙන බව කියමින් ආණ්ඩු බලය ලබාගත්හ. එහෙත් නව ආණ්ඩුව පත්වී මාස කිහිපයක් යනවිට මෙරට ඉතිහාසයේ සිදුවූ බරපතළම මූල්‍ය වංචාව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා සිදුවූ බවට දරුණු චෝදනාවකට ආණ්ඩුව මුහුණ දුනි. 

ඉකුත් බදාදා වනතුරු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සමාජය හමුවේ පැවැතියේ විවිධ අදහස් ගොන්නකි. නිදසුනක් ලෙස රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ඇත්ත නැත්ත යනුවෙන් පොතක් ලියමින් 2015 මහ මැතිවරණය අතරතුරදී බැඳුම්කර ගනුදෙනුවේ සැක ඇති කිසි තැනක් නැති බව ඔප්පු කිරීමට වෑයම් කළේය. එහෙත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාවක් මෙන්ම විගණකාධිපති වාර්තාවක්ද නිකුත්ව තිබූ නමුත් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිකරගනිමින් ක්‍රියාත්මක වුණු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමත්, එහි තොරතුරු හා නිර්දේශ ජනාධිපතිවරයා රටට ඉදිරිපත් කිරීමත් සමඟ බැඳුම්කර ගනුදෙනුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘මගඩියක්’ වූ බව රට ඉදිරියේ පැහැදිලි වී හමාරය. 

පළමු ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සිදුවන්නේ 2015 පෙබරවාරි මස 27 වැනිදා ය. එය සිදුවන්නේ රජයේ සංවර්ධන කාර්යයන්ට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන්ට නියමිත ගෙවීම් කිරීම පිණිස මුදල් සොයාගැනීම නම් වූ අරමුණක් හුවා දක්වමිනි. නමුත් පසුව මහ බැංකුවේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි අවශ්‍යතාවයක් නොතිබූ බවට බැඳුම්කර කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවලදී කියා තිබුණි. 

මෙම ගනුදෙනුව සම්බන්ධව බරපතළ සැකයක් යොමුවන්නට පටන් ගැනුණේ නව රජයේ මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් නම් තැනැත්තාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් බැඳුම්කර වෙළෙඳපොළේ ක්‍රියාත්මක ප්‍රාථමික ගනුදෙනුකරුවකුට අධික ලාභයක් ඉපැයීමට ඉඩ සැලසීම තුළිනි. 

මෙහිදී සිදුවූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් මිලදීගත් භාණ්ඩාගාර බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සෙසු ආයතනවලට වැඩි මිලකට නැවත විකුණා තිබීමයි. 

එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස් ඇතුළු අසූ අටදෙනෙකුගේ අත්සන්වලින් යුතුව මේ සම්බන්ධව සොයාබලන ලෙස කථානායකවරයා ද දැනුම්දෙනු ලැබිණ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කෝප් කමිටුව විසින් පත්කරන අනුකාරක සභාවක් හරහා විමර්ශනයක් ඇරඹීමයි. 

2015 මැයි මස 22 වැනිදා එවකට කෝප් කමිටු සභාපතිවරයා වූ ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 13 දෙනෙකුගේ විශේෂ අනුකාරක සභාවක් පත්කෙරිණ. එම අනුකාරක සභාව විසින් රැස්වීම් වාර 11ක් තුළ 42 දෙනෙකුගෙන් සාක්ෂි කැඳවමින් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයක් දියත් කළ ද එහි වාර්තාව සභාගත කිරීමට ප්‍රථම 2015 ජූනි 26 වැනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. 

කෙසේ නමුත් නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවද බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් දිගටම විමර්ශනය කළ යුතු බවට අවධාරණය කෙරිණ. එම විමර්ශන කටයුත්ත පැවරුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුත් නව කෝප් කමිටුවට ය. කෝප් කමිටුවේ උපදෙස් මත විගණකාධිපතිවරයා විසින් මේ සම්බන්ධව සකස් කළ සම්පූර්ණ විගණන වාර්තාවක් භාරදෙනු ලබන්නේ 2016 සැප්තැම්බර් 23 වැනිදා ය. 

විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගනිමින් කෝප් කමිටුව තම විමර්ශන ආරම්භ කරන අතර 2016 ඔක්තෝබර් දක්වා කාලය තුළ සාක්ෂිකරුවන් 23 දෙනකුගෙන් සටහන් ලබාගැනිණි. ඊට මහ බැංකු අධිපතිවරයා ද ඇතුළත්ව සිටීම කැපීපෙනෙන සිදුවීමක් විය. අනතුරුව කෝප් කමිටුව විසින් සකස් කළ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුයේ 2016 ඔක්තෝබර් 28 වැනිදා ය. 

මේ අතර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට අගමැතිවරයා විසින්ද ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එම පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් තීරණය කර තිබුණේ මේ සිදුවීම සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට ඍජු වගකීමක් නොමැති බව වීමද කැපී පෙනේ. 

ජනාධිපති කොමිසම 

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවේ 2017 ජනවාරියේදී ය. ඊට  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි (සභාපති), ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරු ද කොමිසමේ ලේකම් ලෙස සුමතිපාල උඩුගමසූරිය මහතා ද අයත් වූහ.

2017 පෙබරවාරි 21 වැනිදා කොමිසම සාක්ෂි විභාග කටයුතු ඇරඹූ අතර මුලදී මාස තුනක් ඇතුළත සියලු සාක්ෂි කැඳවා අවසන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණද අවස්ථා දෙකකදී කොමිසමේ කාලය දීර්ඝ කෙරිණි. කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, හිටපු අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම්, ආන්දෝලනාත්මක හෙළිදරව්වකට මඟ පෑදූ අනිකා විජේසූරිය මෙනවිය මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවනු ලැබූහ.

පාඩුව

ජනාධිපති කොමිෂන් සභාවේ සොයාබැලීම් අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම බැඳුම්කර ගනුදෙනුව හරහා අයථා ලෙස උපයාගත් ලාභය අවම වශයෙන් රුපියල් කෝටි 68.8කි. ඊට අමතරව ද්විතීයික වෙළෙඳපොළ තුළදී එම සමාගමට හිමිවූ ලාභය රුපියල් රුපියල් කෝටි 1145කි. එය මාස පහක් තරම් කෙටි කාලයකදී උපයාගත් ලාභයක් වීම ද කැපී පෙනේ. එහිදී සේවක අර්ථ සාධක අරමුදල හා වෙනත් රජයේ ආයතනවලට සිදුවූ පාඩුව රුපියල් කෝටි 852ක් බවද කොමිසම පෙන්වාදෙයි. එහෙත් ඒ මොහොතේ සේවක අර්ථ සාධක අරමුදල හා රාජ්‍ය බැංකුවලට ඇතිවූ ආවස්ථික පිරිවැය ද නිසි ගණනය කිරීමකට ලක්කළහොත් මේ පාඩුව තව තවත් බරපතළ වනු ඇත. 

එකම වරද නැවත නැවතත්? 

ඉන් අනතුරුව 2016 මාර්තු 29 සහ 31 යන දිනවලදී නිකුත් කෙරුණු තවත් බැඳුම්කර ගනුදෙනුවකදී ද මීට සමාන සිදුවීමක් වාර්තා විය. එනම් ප්‍රාථමික වෙළෙඳපොළේදී සේවක අර්ථ සාධක අරමුදල අඩු ලංසුවක් ඉදිරිපත් කරන අතර ද්විතීයික වෙළෙඳපොළේදී ඊට වඩා වැඩි අගයකට පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙතින් එම බැඳුම්කර මිලදී ගැනීමට සේවක අර්ථ සාධක අරමුදල ක්‍රියාකර තිබිණි. වෙනත් අයුරකින් කියතොත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් කිසිදු හිරිකිතයකින් තොරව මෙරට වැඩ කරන ජනතාවගේ දහදියයෙන් කඳුළෙන් එක්රැස්වන සේවක අර්ථ සාධක අරමුදලේ ඇති රුපියල් සත පික්පොකට් ගසා ඇති බව කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිවේ. මෙසේ ප්‍රාථමික වෙළෙඳපොළේදී පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සමඟ තරග නොකරන තැනකට සේවක අර්ථ සාධක අරමුදල හා රාජ්‍ය බැංකු නොගෙන ඒමට ක්‍රියාකළ යුතු බව සඳහන් දුරකථන සංවාද කිහිපයක්ම බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ අතරතුර අනාවරණය විය. 

චෝදනා

බැඳුම්කර මගඩියට අදාළව එල්ල වෙන පළමු චෝදනාව වන්නේ (විගණකාධිපති වාර්තාවේ මේ බව පැහැදිලිව දැක්වේ) මහ බැංකුවේ ණය කළමනාකරණ කමිටුව විසින් රුපියල් බිලියනයක මුදලක් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් උපයාගැනීමට තීරණය කර තිබියදීත් එවක මහ බැංකු අධිපතිවරයා විසින් අත්තනෝමතික අයුරින් රුපියල් බිලියන 10ක බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගැනීම ය. ඒ බැඳුම්කර නිකුතුව වසර 30කින් කල් පිරෙන ලෙස සියයට 12.5ක පොලී අනුපාතයක් යටතේ මිල ගණන් කැඳවා තිබුණි. 

බැඳුම්කර ගනුදෙනුව හරහා රටට අති දැවැන්ත පාඩුවක් සිදුවීමට මුල් වූ ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ අධික පොලී අනුපාතයක් නියම වී තිබීමය. 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ මෙම කුප්‍රකට බැඳුම්කර ගනුදෙනුවට පෙර සතියේ එවැනිම බැඳුම්කර ගනුදෙනුවලදී දක්නට පැවැති පොලී අනුපාතය සියයට 9.48ක් විය. එය සතියක් ඇතුළත සියයට 12.5ක් දක්වා සියයට තුනකටත් වැඩි අගයකින් වැඩිවීම ප්‍රහේළිකාවකි. 

ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පදනම් කරගනිමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් අසම්මත හා සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් හරහා බැඳුම්කර වෙන්දේසියට මැදිහත් වී ඇති බව ය. එමෙන්ම අභ්‍යන්තර තොරතුරු පිටතට ඔහු ලබාදී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. 

පෙරළිකාර බැඳුම්කර කොමිෂන් වාර්තාව හරහා අර්ජුන් මහේන්ද්‍රන්ට අමතරව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ද චූදිතයකු ලෙස නම් කර තිබේ. රවී කරුණානායකට එරෙහිව නැඟෙන චෝදනාව වන්නේ ඔහු අර්ජුන් ඇලෝෂියස් පවුලට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ නම් සමාගමකට අයත් පෙන්ත් හවුස් නම් සුපිරි නිවාසයක් ලබාගැනීම සහ කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබාදීමය. ඒ අනුව අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ඇරඹිය යුතු බව ද බැඳුම්කර කොමිසම ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවට ද නිර්දේශ වී තිබේ. 

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොපැවතිය ද ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු මත පිහිටා පාර්ලිමේන්තුවට කරුණු දැක්වීමට අගමැතිවරයා ක්‍රියාකිරීම අනුමත කළ නොහැක්කක් බව ද ජනාධිපති කොමිෂන් සභාව විසින් පෙන්වා දී ඇත. 

මේ අතරම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ගණනාවකටත් ශ්‍රීලනිපයේ ඇතැමුන්ටත් පසුගිය කාලයේ චෝදනා එල්ල වූයේ පර්පචුවෙල් ට්‍රෙෂරීස්හි අර්ජුන් ඇලෝෂියස් සමඟ පෞද්ගලික දුරකථන සංවාද පවත්වාගැනීම පිළිබඳ කරුණු ජනාධිපති කොමිසම හමුවේ හෙළිවීම නිසා ය. 

අගමැතිගේ ප්‍රතිචාරය

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් දෑ ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ පසුගියදා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් ද විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කෙරිණ. එහි සඳහන් වූයේ සුනිල් හඳුන්නෙත්ති කොප් කමිටු වාර්තාව මත පදනම්ව බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ චූදිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැතිවරයා විසින් 2016 දෙසැම්බරයේදී නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇති බව ය. එනම් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට වසරකට පෙර ඒ සඳහා අගමැතිවරයා පියවර ගනු ලැබූ බව ය. එසේ නම් මේ මොහොතේ වසරක කාලයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුව කුමක් කළේය යන්න ගැන රට හමුවේ කරුණු ඉදිරිපත් කළ යුතුව ඇත. මන්ද වසරක් පුරා සිදුනොවුණු චුදිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවීම ඉදිරියේදී හෝ බලාපොරොත්තු වීම උගහට බැවිනි. 

එහෙත් දූෂණ මර්දනය සඳහා අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් ඇති කැපවීම එක සමාන ද නැත්නම් ඒවා අතර පරස්පරතා තිබේද යන්න නුදුරු අනාගතයේදීම තහවුරුවනු ඇත. ඒ දෙස ජනතාව ද විමසිල්ලෙන් බලා සිටිනු ඇත. 

බැඳුම්කර කියන්නේ මොනවාද? 

ඒ ඒ රජයන් තම ඉදිරි මාසික මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නියෝග මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ නියෝජිතයා ලෙස භාණ්ඩාගාර සුරැකුම්පත් නිකුත් කිරීමේ තනි අයිතිය භුක්ති විඳී. ඒ මුදල් නීති පනතේ 106 (1) වගන්තිය ප්‍රකාරව ය. භාණ්ඩාගාර සුරැකුම්පත් වර්ග හතරකි. ඒ භාණ්ඩාගාර බිල්පත්, රුපියල් සුරැකුම්, සංවර්ධන බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර වශයෙනි. උක්ත චෝදනාවට ලක්වූයේ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවකි. 

කවුද මේ අර්ජුන් මහේන්ද්‍රන්? 

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් දැනට පනස් අට හැවිරිදි වියේ පසුවන ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙකි. කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු හෙතෙම ඔක්ස්ෆර්ඩ් බැලියල් කොලීජියෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව යන විෂයන්ගෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගෙන ඇත. 
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික උපදේශකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අර්ජුන් මහේන්ද්‍රන් අනතුරුව ආයෝජන බැංකුකරණ ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමුකරමින් සිංගප්පූරුවේ HSBC Private බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන ආයෝජන උපදේශකයා ලෙස ද සේවය කළේය. පසුකාලීනව ඔහුට Emirates NBD සමාගමේ ප්‍රධාන ආයෝජන නිලධාරී තනතුර ද හිමිවිය. 2001 – 2004 එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කළ ඔහු මෙරට ආයෝජන මණ්ඩලයට ලබාදුන් සුවිශේෂී දායකත්වය අගයමින් යුරෝමනී වෙතින් විශේෂ ඇගැයීමක් ද හිමිකරගත්තේ ය. ප්‍රධාන පෙළේ ස්විස් බැංකුවක් වන ක්‍රෙඩිට් සුයිස් සමූහයේ ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන ආර්ථික විශ්ලේෂක හා උපායමාර්ගික නිලධාරියා ලෙස ද අර්ජුන් මහේන්ද්‍රන් කටයුතු කර ඇත. 

ඔහු 2015 ජනවාරි 26 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට පත් කෙරුණු අතර 2016 ජුනි 30 දින දක්වා එම තනතුරේ කටයුතු කළේය. 

රවී කරුණානායක

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට අනුබද්ධ කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනයත් අනතුරුව කොළඹ රාජකීය විදුහලෙන් උසස් පෙළත් හැදෑරූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයකි. ගණකාධිකාරවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හෙතෙම අනතුරුව මෙරට Delair සමූහයේ රෝට්න් වැන්ඩර් සේවය කළේය. ඉන් අනතුරුව හෙලීස් සමූහයේ සහ MIT Air Cargo සමාගමේ සේවයේ නිරතව සිටි ඔහු වෘත්තීය ජීවිතයට සමුදෙමින් ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වූයේය. US Global Lanka, Vacume Processing Lanka, Global Transportation & Logistics, Eagle Air International, Global Air & Tours වැනි සමාගම් රැසක් ඔහුගේ පාලනයට යටත් ය. 

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමඟ අසූව දශකයේ අග භාගයේදී දේශපාලනය ආරම්භ කළ හෙතෙම 1994දී ශ්‍රීමණී ඇතුළත්මුදලි මහත්මිය චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට සහාය දැක්වීමත් සමඟ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඉන්පසුව ශ්‍රීමනී ඇතුළත්මුදලි මහත්මිය නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂයෙන් ඉවත් වූ හෙතෙම කලක් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ද පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 2000 මහ මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේය. එජාප කෝට්ටේ සංවිධායකවරයා ද වූ රවී කරැණානායක 2001 මහ මැතිවරණයෙන් පසු පිහිටුවන ලද එක්සත් ජාතික පෙරමුණු රජයේ වෙළෙඳ, වානිජ හා පාරිභෝගික කටයුතු ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේය.  

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමත් සමඟ පිහිටුවන ලද නව රජයේ මුදල් ඇමැතිධූරය ඔහුට හිමිවුණු අතර එම වසරේ අගෝස්තු මැතිවරණයෙන් පසු ද ඔහුට එම ධූරය හිමිවිය. 2017 මැයි මාසයේ සිදුකළ කැබිනට් සංශෝධනයේදී ඔහු මුදල් ඇමැති ධූරයෙන් ඉවත් කර විදේශ අමාත්‍ය ධූරයට අනුයුක්ත කෙරුණු අතර බැඳුම්කර කොමිසමේ සිදුවුණු පෙන්ත් හවුස් හෙළිදරව්වත් සමඟ ඔහු 2017 අගෝස්තු මස විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

►රජිත ජාගොඩ ආරච්චි