ක්‍රි.ව. 1911 දී කුඩා පැල්පත් දෙව්මැඳුරකින් තේවතු පුදබිමේ දී තේවත්ත පල්ලිය ඉදිවිය. මෙම තේවත්ත මුල් කාලයේ දී රබර් වතු යායකි. එම වතුයාය හැඳින්වූයේ (ඔරේන්ජ් හිල්) හෙවත් දොඩම් කඳු වතුයාය නමිනි. එම ගම්මානයේ නම (තේවත්ත) තේවත්ත පල්ලිය ප්‍රසිද්ධියට පත්වූයේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුවය. ක්‍රි.ව. 1939 දී ආරම්භ වූ දෙවැනි මහා යුද්ධය රටවල් ගණනාවක ආක්‍රමණයෙන් පසුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට සැරසුණි. ඒ බව දැනගත් ශ්‍රී ලාංකිකයන් මහත් බියට පත් විය. එවකට කොළඹ අගරදගුරු තැන්පත් අතිඋතුම් ජෝන් මේරි මසෝන් හිමිපාණෝ තේවත්ත කුඩා දෙව්මැඳුර වෙත ගෙන ගියේය. ඒ 1940 මැයි මස 26 වැනිදාය. උන්වහන්සේ දේව මාතාවන් වහන්සේගෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පැතූහ.
ඒ වෙනුවෙන් හිමිපාණෝ තේවත්ත භූමිය තුළ බැසිලිකා දේව මන්දිරයක් ඉදිකිරීමට බාර වූහ.
“1942 වසරේ දී ජපනුන් ත්‍රිකුණාමලය වරායට බෝම්බ හෙලා නැවතත් හැරී ගිහින් තියෙනවා. කතෝලික විශ්වාසයට අනුව දේව මෑණියෝ අප සැම රැකදුන්නා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ලංකාවේ අප ස්වාමි දූ හැටියට මෙය නම් කරලා මේ බැසිලිකාව එතුමිය නමින් බාරකිරීම තමයි මේ බැසිලිකා පල්ලියේ ආරම්භය වෙන්නේ.”
මෙලෙස අදහස් දැක්වූයේ දේවස්ථානයේ වත්මන් පරිපාලක, වික්ටර් ජයමාන්න පියතුමාය.
ජෝන් මේරි මසෝන් හිමිපාණෝ මෙලෙස බාරවීද, එම බාරය ඔප්පු කිරීමට උන්වහන්සේට නොහැකි විය. ක්‍රි.ව. 1948 ජුලි මස 28 වැනිදා උන්වහන්සේ ස්වර්ගස්ථ වී වදාළහ. ඉන්පසුව එය ඉටුකිරීමට පැවරී තිබුණේ අගරදගුරු තනතුරට පත්ව ආ අතිඋතුම් තෝමස් කුරේ හිමිපාණන් වෙතටයි. උන්වහන්සේ ද මරියතුමියට දැඩි සේ භක්තියක් දැක්වූ පියතුමෙකි.
“මෙම බැසිලිකා පල්ලිය සාදා නිමකරන්නට අවුරුදු විස්සක් පමණ ගතවෙලා තියෙනවා. රටේ බොහෝ දෙනෙක් පැමිණ මේ සඳහා මුදල්මය ආධාර මෙන්ම ශ්‍රමයෙන් ද දායකවෙලා තියෙනවා.” වික්ටර් ජයමාන්න පියතුමා අදහස් දැක්වීය.
බැසිලිකාව සඳහා මුල්ගල තබන ලද්දේ ක්‍රි.ව. 1951 පෙබරවාරි මස 04 වැනි දින පෙ.ව. 10.30ට පමණය. අද බැසිලිකා දෙව්මැඳුර ගොඩනගා ඇති ස්ථානය එකල පාළු කඳුකරයකි. හේන් බිමක් වැනි එහි කිසිදු වටිනා ගහක් කොළයක් නොතිබුණි. ඉඳි, එරමිණියා, කැප්පෙට්ටියා වැනි පඳුරු පමණක් එක යායට වැටී තිබුණා.
“බැසිලිකාව හදන්න එකවර ප්‍රතිපාදනයන් වෙන්වුණේ නෑ. ඒ නිසා දෙව්මැඳුර හදලා ඉවර කරන්න කල්ගත වුණා. ටිකින් ටික මුදල් ලැබිලා, මිනිස් ශ්‍රමය එකතු කරලා තමයි බැසිලිකාව හදලා ඉවරවුණේ. අපි පුංචි කාලෙත් මෙතනට ඇවිත් උදවු කළා අපිට මතකයි. කතෝලික පාසල්වල දරුවන්ගේ කැපකිරීම මේ බැසිලිකාවට ඉහළින්ම ලැබුණා. මිනිසුන්ගේ දායකත්වයෙන් තමයි මේ දෙව්මැඳුර ගොඩනැගුණේ.
බැසිලිකා දෙව් මැඳුරේ ප්‍රධාන අල්තාරය අඩි දොළහක් දිග අඩි හතරක් පළල අඩි හතරක් උස තනි කළු ගලකි. මෙය සපුගාමි කන්ද ප්‍රදේශයේ සිට ගෙන එන ලදී. දෙව් මැඳුර ඉහළ ඇති කුරුසය අඩි විසිහතරක් උස යකඩ කුරුසයකි. අක්කර ගණනාවක විශාල ඉඩ ප්‍රමාණයක ඉදිවී ඇති තේවත්ත දෙව් මැඳුර අද වෙද්දී විශාල බැතිමතුන් සංඛ්‍යාවක් ආශිර්වාදය ලබාගැනීමට පැමිණෙන දෙව්මැඳුරකි. රබර් ගස් මැදින් දෙව්මැඳුරට පිවිසෙන මාර්ගය දෙපස ඇති ගහකොළවලින් හමා එන සිසිලස ගතට මෙන්ම සිතට ද ගෙන එනු ලබන්නේ අප්‍රමාණ සැනසීමකි.
තේවත්තේ බැසිලිකා දෙව්මැඳුරේ පුදසුන වටා ඇති ලී වැට සඳුන්, නා, කොස්, තේක්ක, මහෝගනී වැනි වටිනා දැවවලින් නිර්මාණය වූවකි. නුවර අම්පිටිය ජාතික දෙව්සන්හල් වතුයායෙන් ලබාගත් “රෝස්වුඩ්” නැමැති රතු පැහැයෙන් යුත් දැව වර්ගයෙන් දිව්‍ය සත්ප්‍රසාද කූඩාරම තැන්පත් කොට ඇති ශුද්ධ මන්දිරයට ඇතුළු වන “වාහල්කඩ” සාදා ඇත. එමෙන්ම දිව්‍ය සත්ප්‍රසාද කූඩුව ගැන බයිබලයේ සඳහන් වන “ගිවිසුම් කූඩාරමේ” අනුකරණයකි. එහි ප්‍රමාණය හා හැඩරුව ජුදා කූඩාරම් මෙන්ය. දෙපස ඇති සුරදූත ප්‍රතිමා ද එලෙසින්ම නිර්මාණය කර ඇත.
මරියෝත්තමාවගේ කිරුළ පැළඳීම සඳහා ඔවුහු සකස් කරන ලද්දේ කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුරෙන් කලක් තුළ ලබාගත් රන්මාලවලින්ය. දේව මෑණියන්ගේ කිරුළ පැති තුනකින් සමන්විතය. දෙව්මැඳුර ඉදිරිපසට කුලුනු හයකි. ඒවායින් කොළඹ, ත්‍රිකුණාමලය, හලාවත, යාපනය සහ නුවර යන රදගුරු වසම් හය නියෝජනය වේ. එකල පාළු කඳුකරයක්ව තිබූ තේවත්ත දෙව්මැඳුර අද වෙද්දී ඉතා නිස්කලංක ගහකොළවලින් සිසිලස ගෙන එන වටපිටාවකි. හිමිපාණන්ගේ උපදෙසට අනුව ගස් රෝපණය විය. උන්වහන්සේ පවසන ලද්දේ උස ගස මෙන්ම කොළ හොඳට තියෙන, නමුත් නිතරම කොළ හැලෙන්නේ නැති ගස් රෝපණය කරන ලෙසයි. එහි ප්‍රතිඵලය වන්නේ අද වෙද්දී සිසිලස ලැබෙන වටපිටාවක් ඇති බැසිලිකා දෙව් මැඳුර ඉදිරිපස මිදුලේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව බැසිලිකා මණ්ඩපය බලාගැනීමට හැකිවීමයි.
නව දිව්‍ය සත්ප්‍රසාද කුටිය තුළ කාදිනල් තෝමස් කුරේ හිමිපාණන්ගේ ශ්‍රී දේහය තැන්පත් කොට තිබේ.
“බැසිලිකා දෙව් මැඳුරේ රෝගීන්ගේ මංගල්‍ය නමින් වසර හැත්තෑ ගණනාවක් තිස්සේ සෑම වසරකම අගෝස්තු මාසේ අවසාන ඉරිදා පූජාවක් පවත්වනවා. එම දවසේදී රෝගීන්ගේ සුවයක් තියෙනවා. සති ගණනාවකට පෙර සිටත් දෙව් මැඳුරේ කූඩාරම් ගහගෙන ලංකාවේ විවිධ පළාත්වලින් බැතිමතුන් එදාට එනවා. රෝගීන් වෙනුවෙන් කරන විශේෂ ආශිර්වාදය ඉතා සුවිශේෂීයි. එමෙන්ම දරුවන් නැති අය දේව මෑණියන් ඉදිරියේ කන්නලව් කරනවා. රැකියාවක් වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් තම මෑණියන්ට දුක කියනවා වගේ හැම දරුවෙක්ම දේව මෑණියන් ඉදිරියේ තම දුක කියලා පිහිටක් බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ට ආශිර්වාදය ලැබෙන නිසා දේව මෑණියන් වෙත එන දරුවන් වැඩියි.”
වික්ටර් ජයමාන්න පියතුමා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට බැසිලිකා දෙව් මැඳුරේ පහළ කොටසක මුර්ද්‍ර මෑණියන් සිහිවීම පිණිස ලූර්දු ගල් ගුහාව සහිත මුර්ද්‍ර දෙව්මැඳුර ඉදිවෙමින් පවතී. එය 2018 පෙබරවාරි 04 වැනිදා විවෘත කිරීමට නියමිතය. ලූර්දු වත්පිළිවෙත් මෙම දෙව්මැඳුරේ දී කිරීමට නියමිතය.
දේව මෑණියන් වෙනුවෙන් ඉටි පහන් පෙරහරක් ඉතා භක්තියෙන් ලබන වසරේ සිට පැවැත්වීමට නියමිතයි.
මංගල්‍ය කාලේ දී බොහෝ බැතිමත්හු පියතුමන්ලා ඉදිරියේ පාපොච්චාරණය කිරීමක් සිදුකරති. ඒ වෙනුවෙන් පාපොච්චාරණය කුටියක් දෙව්මැඳුරේ ඇත. එම පාපොච්චාරණය මගින් පව් සමාකිරීමක් සිදුවේ. “පව් සමාකිරීමේ ප්‍රසාද නිධානය” ලබාගැනීම එමඟින් සිදුවේ. එමඟින් තමන් කළ වැරදි පිළිගෙන, පසුතැවීම් වීමක් සිදුවේ. එමඟින් පියතුමා අවසානයේ දී සමාව දෙයි. පියතුමන්ට පමණක් එම දානය දීමට හැක. වෙන කිසිදු කෙනෙකුට ඒ සඳහා සමාවක් දිය නොහැක. ඒ පාපොච්චාරණයෙන් පසුව ඇතුළාන්තයට සුවයක් ලැබේ.
මෙම නත්තල් දිනය ද බැසිලිකා දෙව්මැඳුරට සුවිශේෂී වේ. 24 වැනි මධ්‍යම රාත්‍රී මෙහෙය පැවැත්වේ. එහි රාත්‍රී 11.30ට පමණ කැරොල් ගායනය ඇරඹේ. එයින් නත්තලේ පණිවිඩය ගීතයෙන් ගායනා කෙරේ. රාත්‍රී 11.50ට පමණ පූජාව ආරම්භ වේ.
“නත්තල් පණිවිඩය තමයි උපත. එය සාමාන්‍ය උපතකට වඩා වෙනස්. එය සාමයේ දේවපුත්‍රයා මෙලොවට බිහිවීමයි. ඒ උපත මුළු මිනිස් සංහතියටම ලොකු ආශිර්වාදයක්. කිසිම භේදයකින් තොරව දේවපුත්‍රයා මෙලොවට එන්නේ අපිව පාපයෙන් මුදවාගෙන දේව සම්බන්ධතා ඇතිකරන්නයි. අපි තුළ නැතිවෙලා තියෙන ඒ දේව ගතියට මේ නත්තලේදී දේව පුත්‍රයා මෙලොවට පැමිණීමෙන් මනුෂ්‍යත්වය ඉහළ යනවා. ඒ නිසා මනුෂ්‍යයන් හැටියට අපි අතරේ සුහදතාවය, සහෝදරත්වය ගොඩනගාගත යුතුයි. මේ නත්තලේ විශේෂයෙන් විය යුත්තේ අනිත් අය වෙතට සමීප වෙමින් මේ සහෝදරත්වය බෙදා ගැනීම” යැයි තේවත්ත බැසිලිකා දෙව් මැඳුරේ වත්මන් පරිපාලන වික්ටර් ජයමාන්න පියතුමා පැවසීය.
එතුමන් සියල්ල මැව්වේ
ජීවත්වන පිණිසය.
මිහිපිට මැවිලි සියල්ල යහපත්ය.
ඒවා තුළ මාරක විෂ ගතියක් නැත.
මරණයට මිහිතලය කෙරෙහි
බලයක් නැත.
දැහැමිකම අමරණීයය.
- බයිබලය -
♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ