ප්‍රවීණ මාධ්‍ය විශාරද එඩ්වින් ආරියදාස
මතකය කෙතරම් සාෙදුරුද හිතවත!අදටත් දිලිසෙන ඒ දෙනෙත් මත මම ඇවිද්දෙමි. මට සොයන්නට අවැසි වූයේ අදටත් ඔහු මතකයේ නින්නාද මතක කන්දරාවෙන් එක් සමුච්චයක් පමණි. මා ඇසූ සඳ ඔහු කී දෑ කී අයුරැ අවසනයේ මා වෙත එකම එක ප්‍රශ්නයක් ඉතිරි කළේය. අවුරුදු 96ක වියපත් මනුස්සයෙක් මතකයෙන් මෙච්චර තරුණ වෙන්නෙ කොහොමද? මෙච්චර නිවැරදි මෙච්චර ප්‍රකෘති සිහියකින් අතීත මතක මං මාවත් දිගේ වියපත් ඔබ තරුණයකු වෙසින් ඇවිද යන්නේ කෙසේද? එසේ ඇසූ සඳ ඔහු හිනැහුණේය. හිනැහෙන අතරේ දුන් උත්තරය ඒ හිනාවටත් වඩා අපූරුය. එදා ළමා වියේදී අම්මාගේත් තාත්තාගේත් අය්යණ්ඩිලාගේ සහ අක්කණ්ඩිලාගේත් පුංචි මහත්තයාත් හින්නි මල්ලීත් ඔහුය. ඒ පුංචි මහත්තයාගේ මතක නැණස වඩවන්නට ළදරැ වියේ සිට ගැටවර විය දක්වාම අම්මා කැව්වේ අපූරු ඔසුවකි.
දවස ගාණේ අපේ අම්මා මට මී පැණියි එළඟිතෙලුයි කලවම් කරලා කැව්වා. අම්මා කීවේ ඒක මතක ශක්තිය දියුණු කරන්න දිව්‍ය ඖෂධයක් කියලා...
ඒ මී පැණියෙයි එළඟිතෙලෙයි බලයෙන්දෝ වසර ගණනක් ඈතට ඔහු අප කැටුව ගියේය. මේ ඒ මතක සමුදායෙන් මගේ පෑනට අහුලාගත් මතක සමුච්චයක්ම පමණි.
ලංකාවේ පළමු අපේම සරසවිය
අපේ රටටත් ස්වාධීන විශ්වවිද්‍යාලයක් ඕනෑ... ඒ සිතුවිල්ලේ අයිතිකාරයා අගමැති ඩී.එස්. සේනානායකය. සිතූ ලෙසම හෙතෙම University of Ceylon ඇරඹීය. ඒ 1942 දීය. 1943 පළමු ශිෂ්‍ය කණ්ඩායම සරසවියට ඇතුළත් කර ගත්තේය. ඒ ශිෂ්‍ය කණ්ඩායමේ එක් ශිෂ්‍යයකුගේ නම එඩ්වින් ආරියදාසය.
ඉතින් ඊටපස්සේ... නෑ... ඉතින් ඊට ඉස්සර.
ඒ කාලේ සරසවියට ගන්න විභාග තිබුණෙ නෑ. ඒ නිසා අලුතින් විභාගයක් හැදුවා එච්.එස්.සී. කියලා. ලංකාවේ තෝරාගත්ත පාසල් කීපයක විතරයි එච්.එස්.සී. තිබුණෙ. දකුණේ එච්.එස්.සී තිබුණේ මගේත් ඉස්කෝලෙ වුණ ගාල්ල මහින්දයේ. විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන පිරිමි පාසලක් වුණ අපේ පාසලටත් එදා ශිෂ්‍යාවෝ ආවා. මම කළේ කලා විෂය ධාරාව. විනී විතාරණ, සිරි ගුණසිංහ එදා මගේ හොඳ යාළුවෝ. විද්‍යා විෂය ධාරාව කළ අය අතර නන්දදාස කෝදාගොඩ හිටියා. කොළඹ හතේ හිටපු ඇය දැනගෙන හිටියා අලුතෙන් විශ්වවිද්‍යාලයක් පටන් ගන්නවා, ඒකට මෙහෙම විභාගයක් තියනවා කියලා. ඒ නිසා ඔවුන් ඊට කල්තියා ලෑස්ති වුණා. උතුරෙත් දකුණෙත් කට්ටිය ආවත් එදා සැරේ විශ්වවිද්‍යාලයට ආව වැඩිම පිරිස ආවේ කොළඹ 07 න්. 1945 තමා අපි ඉගෙනීම පටන් ගත්තේ.
හොඳම යාළුවා සිරි ගුණසිංහ
අපේ හොස්ටල් තිබුණේ ගල්කිස්සේ. මම විනී විතාරණ, සිරි ගුණසිංහ, ඩබ්ලිව්.එම්. තිලකරත්න එක්ක මාතර ළමයි වගයකුත් අපි එක්ක හොස්ටල් හිටියා. අපි ඉස්කෝලෙ යන කාලෙත් විනී හිටියේ නේවාසිකව.
සිරි ගුණසිංහගේ ගම අක්මීමන. මම උණවටුන. සිරි, වෙලා තියෙන වෙලාවට අපේ ගෙදර ආවා. එයා මගේ ළඟම යාළුවෙක් වුණා. සිරි ගමට හරි ආදරෙයි. බුද්ධිසම්පන්නයි. නිසදැස් ලීවා ඒ කාලෙත්. මමත් හොඳ කවි හම්බවුණාම එයාට දෙනවා කියවන්න. මහින්දේ පුස්තකාලයේ හිටපු ස්ටීවන් මහත්තයා දවසක් කීවා, පුස්තකාලයේ කවුරුත් නොකීව පොත් මම කියෙව්වා කියලා. මම හොඳ පොත් ලැබුණම සිරීටත් කියවන්න ගිහින් දුන්නා.
අර සර් මේ සර් අස්සේ හැන්ඩිතුමා
අපට ඉංග්‍රීසි ඉගැන්නුවේ තලබාලසිංහම් සර්. අපි ඔය කාට කාටත් සර් කීවේ. අපි ගුරුවරුන්ට බොහෝම ගෞරවයෙන් සැලකුවේ. අපිට පාලි ඉගැන්නුව සර්ගේ නම හැන්ඩි. ඒ සර් හරියට හාමුදුරු කෙනෙක් වගේ. පාලි ඉගැන්නුව හැටිත් හරි අපූරුයි. ඒ නිසා අපට එයාට සර් කියන්න හිතුණේ නෑ. අපි කීවේ හැන්ඩිතුමා කියලා.
ගියේ කෝච්චියෙන් - කෑවේ ටක්ෂොප් එකෙන්
ගල්කිස්ස හොස්ටල් එකේ ඉඳන් අපි බම්බලපිටියේ විශ්වවිද්‍යාලයට ගියේ කෝච්චියෙන්. අපි කෑවේ බීවේ ටක්ෂොප් එකෙන්. ටක්ෂොප් එකේ කෑම නියමෙට තිබුණා. වියදම් අපිට ගෙදරින් දුන්නා. ඒත් අපිට හරි ලොකුවට සල්ලි නෑනේ. නමුත් කොළඹ හතේ ළමයින්ට ඒ ඔක්කොම තිබුණා. කෑවෙ බීවෙ ගෙවල්වලින්. නිදහස් අධ්‍යාපනය ලැබුණෙ 1946දි. එතැනින් පස්සේ ඉගෙන ගන්න ගාස්තු නොගියත් අනික් වියදම් අපිට ගියා. නිදහස් අධ්‍යාපනය ලැබුණම කොළඹ හතේ ළමයි කීවා ඔන්න දැන් උතුරෙන් දකුණෙන් ආව ළමයින්ට හරි වාසියි කියලා. මම කීවා මොන බොරුවක්ද? යථා තත්ත්වය ඕක නෙවෙයි. වාසි ලැබුණේ වාසි තිබුණ අයටමයි කියලා.
සිංහල ගෞරවත් එක්ක ඉංග්‍රීසි කරපු පළමු සරසවි ශිෂ්‍යයා
පළමු අවුරුද්ද විභාගයෙන් පසු සිංහල අංශයෙන් මට කීවා සිංහල ගෞරව උපාධිය කරන්න කියලා. මම කීවා හා කියලා. අතිරේක විෂය මොකද්ද ඇහුවා. මම කීවා මම අතිරේක විෂය විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. සිංහල දෙපාර්තමේන්තුව කීවා යුනිවර්සිටි කොලේජ් තියෙන කාලෙවත් එහෙම නෑ. සිංහල කරනවා නම් අතිරේක විෂය විදිහට පාලි කරන්න. ඕනෑ නැත්නම් ඉන්දියානු ඉතිහාසය කරන්න ඕනෙ. ඒක අනිවාර්යයි කියලා. මම කීවා මට බෑ කියලා. සිංහල දෙපාර්තමේන්තුව කීවා බෑ... බෑ... බෑ... නීති වෙනස් කරන්න බෑ කියලා. ඒක නීතියක් නෙවෙයි සම්ප්‍රදායක්නේ. සම්ප්‍රදාය වෙනස් කරන්න බැරිකමක් නෑනේ... මමත් ඒ කාලේ රණ්ඩු කරන කොල්ලා. මම තර්ක කළා. සිංහල අංශයේ මහාචාර්යවරයා අන්තිමට කීවා ප්‍රශ්නයක් නෑ කරන්න හැබැයි ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයා අවසර දෙනවා නම් පමණක් කියලා. මට අවසර ලැබුණා. විශ්වවිද්‍යාල ඉතිහාසයේ සිංහල ගෞරව උපාධියක් එක්ක ඉංග්‍රීසි අතිරේක විෂය විදිහට කළ පළමු ශිෂ්‍යයා මමයි.
ගිනි මැලයයි - බෝතලයයි
සරසවියේ ඉන්න කාලෙ ඔන්න අපි රෑට ගිනිමැලයක් ගහගන්නවා. ඔය ළාවට මධ්‍යසාරත් පානය කරනවා. අකමැති නම් නොබී ඉන්නත් පුළුවන්. මධ්‍යසාර ටිකක් වැඩි වුණාම අපිටත් ටිකක් තදවෙනවා. අර කොලුකම කියන්නේ අන්න ඒක ඇවිස්සෙනවා. අපි ඉතින් පාරට බහිනවා. එක ගෙදරක නම ගහලා තියෙන පුවරුව ගලවගෙන ගිහින් වෙන ගෙදරක ගහනවා. පාරවල්වල පුවරුත් ගලව ගලවා මාරු කර කර ගහනවා. දවසක් බීලා බීමතින්ම ගියා චිත්‍රපටයක් බලන්න මැජෙස්ටික් සිනමා ශාලාවට. ටිකට් මොකුත් නැතුව තමා ගියේ. පාලකයන්ට බෑ අපිව පාලනය කරන්න. හිටි හැටියේ ශාලාවම ආලෝකවත් වුණා. උපකුලපති සර් අයිවර් ජෙනිංස් ඇවිත් ශාලාවට වහාම යන්න හැකියි කීවා. ඔක්කොගෙම මත බැස්සා.
දේශනයක් මඟහැරුණේ එකම එක දවසයි
මුළු විශ්වවිද්‍යාල ජීවිතයේදීම දේශනයකට නොගියේ එකම එක දවසයි. එදා දේශන ශාලාවේ අලුත්වැඩියාවක්. වාඩිවෙන්න පුටු නෑ. අපි කවදාවත් වර්ජන කළේ නෑ.
අවසර නැත්නම් ආණ්ඩුකාරයාටවත් එන්න බෑ
ඒ කාලේ නීතිය නම් නීතිය. ශිෂ්‍යයාටත් එකයි. ආණ්ඩුකාරයාටත් එකයි. ආණ්ඩුකාරයා වුණත් සර් අයිවර් ජෙනිංග්ස්ගෙන් අවසර අරන් එන්න ඕනෑ එනවනම්. කොලේජ් හවුස් එකේ උඩ තට්ටුවේ තමා සර් අයිවර්ගේ නිල කාමරය තිබුණේ. කොලේජ් හවුස් ගිහින් එද්දි අපිට පේනවා ඒ අවට හුඟාක් හිටියේ සුදු පවුල්. ආයලා අවුරුදු තුන හතරේ පුංචි සුදු කෙල්ලො කොල්ලො අරන් එනවා එතෙන්ට. බලු පැටවුන් වගේ උන්ට බඳ පටියක් බැඳලා. ඒ බඳ පටියෙන් තමා උන්ව දක්කගෙන යන්නේ.
හිට්ලර්ගේ යුද්දෙටත් වඩා සද්ද මෝටර් බයිසිකල්
ඒ කාලෙ තිබුණා මෝටර් බයිසිකල් ජාතියක්. හැලී ඩේවිඩ්සන් කියලා. ඒ එක බයිසිකලයක් එද්දි පළාතම දෙදරනවා. දවසක් සර් අයිවර් ඉද්දි ශිෂ්‍යයෙක් එයාගේ බයිසිකලයෙන් විශ්වවිද්‍යාලයට ආවා. ලොරි දහයක සද්දෙං සර් අයිවර් අද මේ සමහර ළමයි පාවිච්චි කරන මෝටර් සයිකල් හිට්ලර්ගේ යුද්දෙ සද්දෙටත් වඩා භයානකයි. මීට පස්සේ කවදාවත් මට මේ විශ්වවිද්‍යාලය ඇතුළෙ ඒ ශබ්දය ඇහෙන්න තියන්න බෑ කියලා දැන්වීමක් දැම්මා. කීවා කීවාම තමයි. ඊට පසු කවදාවත් විශ්වවිද්‍යාලයේදී ඒ බයික් එකේ සද්දෙ ඇහුණෙ නෑ.
රැවුලට ටොක්කක් - සර් අයිවර්ටත් හිනා
ඒ කාලෙ අපිත් එක්ක හිටියා සිරිවර්ධන කියලා කෙනෙක්. එයා පසුව සිවිල් සේවයේ ඉතා තද නීතිගරුක දක්ෂ රාජ්‍ය නිලධාරියෙක් වුණා. මිනිහා විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න කාලේ රැවුල වැව්වා. දවසක් සර් අයිවර් යද්දි දැක්කා රැවුල වවාගෙන ඉන්න මේ ශිෂ්‍යයා. ආරක්ෂකයෙකුට කීවා අර රැවුල වවාගෙන ඉන්න ළමයා එක්ක එන්න කියලා. මම කැමති නෑ විද්‍යාර්ථීන් රැවුල වවනවට. මොකද රැවුල වවන්නේ කියලා ඉංග්‍රීසියෙන් ඇහුවා. අර මිනිහා කීවා සර් මම රැවුල වවන්නෙ නෑ වැවෙනවා කියලා. අච්චර තදබල සර් අයිවර්ටත් ඒ උත්තරෙන් හිනා ගියා.
පත්තර පොඩ්ඩයි - ටී.වී. නෑ
ඒ කාලේ ටී.වී. නෑ. සිංහල ඉංග්‍රීසි පුවත්පත් තිබුණා. අපි ඒ කාලේ විශ්වවිද්‍යාලයට ඇන්.ඇම්. බණ්ඩාරනායක වගේ අයව ගෙන්නුවා දේශන පවත්වන්න. ඒ දේශනවලදි එයාලගේ පෞද්ගලික දේශපාලන මත අපි දැනගත්තා. අද වගේ ජනමාධ්‍ය රැල්ලක් එදා තිබුණෙ නෑ. Times ආයතනය ලංකාදීප පටන් ගන්නකම් ලේක්හවුස් එකේ විතරයි සිංහල පත්තරයක් තිබුණේ.
කාෙඩිය උඩයද්දී පුදුම සතුටක්
1948 නිදහස් උත්සවය මට මතකයි. ඒත් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියලා අපට ඇතුළට යන්න දුන්නෙ නෑ. අපි වටේටවෙලා බලාගෙන හිටියා. මම දැක්කා ඉංග්‍රීසි කොඩිය පහත දාලා සිංහල කොඩිය නංවනවා. ඒ වෙලාවේ පුදුම ආවේගයක් හිතට ආවා. මගේ රට දිනුම් කියලා. ඒ වෙලාවේ මට හිතුණා කවදා හරි මට මේ ගැන ලියන්න ලැබෙයිද දන් නෑ කියලා.
කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රයත් කියෙව්වා
මට කවදාවත් වමේ දේශපාලනය කරන්න හිතුණෙ නෑ. කිසිම පාක්ෂික දේශපාලනයකට මම නෑ. හැබැයි විශ්වවිද්‍යාල කාලේ දේශපාලනඥයන්ගේ කතා අහගෙන හිටියා. දේශපාලන පත පොත කියෙව්වා. කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රයත් කියෙව්වා. බටහිර පෙරදිග දේශපාලන ධර්ම, මාක්ස්වාදය, ධනවාදය ඔක්කොම හැදෑරුවා. ඒත් කිසිම දේශපාලන මතවාදයක ගැත්තෙක් වුණේ නෑ.
කාගෙත් හුරතලා හින්නි මල්ලි
මට වැඩිමල් අයියණ්ඩිලා, අක්කණ්ඩිලා රෑනක් හිටියා. මට තරම් ආදරේ ලැබුණ දරුවෙක් මේ ලෝකෙම නැතුව ඇති කියලා මට හිතෙනවා. අක්කලා අයියණ්ඩිලා මට කතා කළේ හින්නි මල්ලි කියලා. මගෙ නියපොතු කැපුවෙත් අක්කණ්ඩිලා. සිංහල ඉස්කෝලෙ යද්දි ඔළුවෙ තෙල් ගෑවෙත් අක්කණ්ඩිලා. මගේ අක්කණ්ඩිලා මට කීවා මට අවුරුදු හතරෙදි විතර ළමයෙක් අඬනවා දුටුවොත් මම කියනවලු අන්න ඒ ළමයට එළඟිතෙල් වුවමනා වෙලයි අඬන්නෙ කියලා.
මැල්ලුම් හා දවල් තරු
අපේ අම්මා මට පුංචි කාලේ දවසක් කීවා පුංචි මහත්තයා පලා හුඟක් කන්න ඕනෑ කියලා. මම ඇහැව්වා ඇයි අම්මා කියලා. පලා කෑවම දවල්ට තාරකා පේනවා කීවා. මට ඉතින් හරි ජොලි. මම තුන් වේලටම පලාවක් හරි ගස්සගෙන කෑවා. ඇත්තටම මම අවුරුදු 11දී විතර දවල් ආකාසේ දිලිසෙන තරු දැක්කා.
ගිය ආත්මෙ සුද්දෙක්ලු
මගේ අය්යණ්ඩිලා, අක්කණ්ඩිලා අද කවුරුත් නෑ. මට ඒ ගැන හිතන්නවත් බෑ. ඒ ආදරේ කොච්චරද කියනවා නම් කවදාවත් මට කර්කශ වචනයක්වත් කියලා නෑ. කියපු එකම දේ තමා හින්නි මල්ලි, පුංචි මහත්තයා පොත් කියවනවා වැඩියි කියලා. මම පුංචි කාලේ සෙල්ලම් කළේ පොත් එක්ක. අයියණ්ඩිලාගේ පොත්වල ලොකු රූප බල බලා මම තනියම සෙල්ලම් කළා. අවුරුදු තුන වෙද්දි ඒ රූපත් එක්ක තියෙන ඉංග්‍රීසි අකුරැ මට කියවාගන්න පුළුවන් වුණා. අක්කණ්ඩිලා ඒ කාලේ කීවා හින්නි මල්ලි නම් ගිය ආත්මේ සුද්දෙක් වෙන්න ඇති කියලා.
අහක දාන පත්තර කෑල්ලටත් පිස්සු වැටුණා
මම අවුරුදු 13 වෙද්දි චාල්ස් ඩිකන්ස්ගේ පොත් කියෙව්වා. අහුවෙන අහුවෙන පොත මම කියවනවා. එංගලන්තය අමෙරිකාව අහක දාන පත්තර නැව් පිටින් ලංකාවට එනවා. ඒවා සිල්ලර කඩකාරයෝ බඩු ඔතන්න ගන්නවා. මම අපේ ගෙදරට බඩු ඔතාගෙන එන පත්තර කෑල්ලත් කියවනවා. මගේ යාළුවන්ටත් මා ගැන තිබූ ලොකුම ප්‍රශ්නය තමා මගේ ඉවරයක් නැති පොත් කියවිල්ල.
අවුරුදු දාහතරේ පත්තරකාරයා
අවුරුදු 14දී ඉස් ඉස්සරෝම සිළුමිණට ලිපියක් ලීවා. ඒ කමලා සමාජයට ලිව්ව දෙමාපියන්ට සැලකීම කියන ලිපිය.
68දී මැරෙනවාමයි කීවා
අපි හිටපු ගමේ ගෙදර අවුරුදු 200කට වඩා පරණයි. ඒක සිංහල රජ කාලෙ ඉඳන් පැවතෙන ගෙදරක්. මාස තුනකට විතර සැරයක් ජ්‍යොතිෂවේදියෙක් ගෙදරට ඇවිත් ඔක්කොගේම කේන්දර බලනවා. උදේට කාලා උදේ වරුව අපේ කේන්දර බලලා දවල්ට තවත් ගමේ ඉහළ තැනකට යනවා. මගේ වේල පත්කඩ බලලා හැමදාම කීවා පුංචි මහත්තයා සේනාපතියෙක් වෙනවා කියලා. මම උපන්නේ දෙසැම්බර් 09 වැනි ඉරිදාවක පසළොස්වක පෝදාක හැන්දෑවක. අවුරුදු 95කට පස්සෙ මගේ 96 උපන්දිනේ යෙදුනේ හරියටම ඉරිදා පසළොස්වකදාක. මගේ ලග්නය මේෂ. එයා කීවා මගේ කේන්දරේ දෙවැන්නේ චන්ද්‍රයා උසස් බලයෙන් ඉන්නවා කියලා. සාමාන්‍ය මිනිසුන්ට බලපාන අපල බොහෝමයක් මට බලපාන්නෙ නෑ කීවා. හැබැයි පුදුමෙ කියන්නෙ මම ජීවිත කාලෙම අවිවාහකව ඉන්නවා කියලා නම් කවුරුත් කියලා නෑ. හැබැයි දවසක් කවුදෝ මගේ කේන්දරේ බලලා කීවා අවුරුදු 68යි ජීවත් වෙන්නේ ඒ මරණය වළක්වන්නත් බෑ 68 දී මැරෙනවා මැරෙනවාමයි කියලා.
සිගරට් බීව තරමක්! තිස්පහෙන් උඹ ඉවරයි කීවා
විශ්වවිද්‍යාලයේදී යාළුවොත් එක්ක සිගරට් බොන්න පුරුදු වුණා. ඒ කාලේ සිගරට් ටින් තිබ්බෙ. ටින් එක කොයි වෙලේත් මගේ අතේ. ටක් ෂොප් එකට ගිය ගමන් සිගරට් එක දල්වා ගන්නවා. අවුරුදු 25දි මට නවතින්නෙ නැති කැස්සක් ආවා. කැස්ස ආවම ඩොක්ටර් බලලා කීවා මෙහෙම සිගරට් බීවොතින් උඹට 35 පන්නන්න වෙන්නෙ නෑ කියලා. එදාම එවෙලේම නැවැත්තුවා. හිතුවොත් දෙයක් කරන්න මට පුදුම හයියක් තිබුණා.
කර්තෘ පිටිපස්සෙන් ඇවිත් මාව ඉල්ලුවා
1948 විභාගය ලියලා ප්‍රතිඵල එනකම් මම ගියා ගාල්ලට. මලලසේකර මහත්තයයි අධිකාරම් මහත්තයි මට කීවා මෙතන ඉඳන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ කටයුතු කරන්න බෑ. කොළඹ එන්න වෙනවා. අපි හොඳ රස්සාවකුත් දෙනවා. කාර් එකකුත් දෙනවා. නොමිලේ ඉන්ධනත් දෙනවා. සති අන්තයේ ඔයාගේ කොල්ලො කෙල්ලො එක්ක ඕනෑතරම් වන්දනා ගමන් විනෝද ගමන් යන්න ඇහැකි වහාම එන්න කියලා.
මමත් එක පයින් කැමතිවෙලා ආවා. මට හම්බවුණේ ඉන්ෂුවරන්ස් කොම්පැණියක ලේකම් තනතුර. අර ඔක්කොම කියන දේවලුත් දුන්නා. ඔහොම ඉද්දි ඩී.ආර්. විජයවර්ධන මහත්තයා ලේක්හවුස් අයිතිකාරතුමා ටිකක් අසනීප වුණා. එයාගේ බෑනා එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා තමා ඒ නිසා පාලන කටයුතු කළේ. එයා පණිවිඩයක් එව්වා එයාගේ පෞද්ගලික ලේකම් අත මට හම්බවෙන්න කියලා. ඒත් රස්සාවක් තිබුණ නිසා මම ඒ පණිවිඩේ ගණන් ගත්තෙ නෑ. දෙවැනි සැරෙත් පණිවිඩයක් එව්වා. මම නැවතිලා හිටපු ගෙදරට අල්ලපුගෙදර හිටියේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා. දවසක් මට මාර්ටින් වික්‍රමසිංහ මට මේ එවා තිබූ පණිවිඩේ ගැන කීවා. ආරියදාස මහත්තයා පුංචි කාලෙ ඉඳන් මාධ්‍යයට කැමතියිනේ. ගිහිල්ලා බලන්නකෝ කියලා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කීවාම මම ලේක්හවුසියට ගියා. ඒ 1949 මාර්තු මාසේ. බෞද්ධ කටයුතු කරන්න වෙලාවක් දෙන්නම්. හොඳ පඩියකුත් දෙන්නම්. කාර් එකක් නම් දෙන්න වෙන්නෙ නෑ කීවා. මම ඒත් හා කීවා. එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයම මාව එක්ක ගියා කර්තෘ මණ්ඩලවලට. කැමති පත්තරයක් තෝරාගන්න කීවා. අපේ පිටිපස්සේ ආවා ඒ කාලේ දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංක. එයා දුවගෙන ඇවිත් කීවා සර් ඔය ආරියදාස මහත්තයා අපිට දෙන්නකෝ කියලා. මම එහෙමයි දිනමිණට ගියේ. ඒ 1949 මාර්තු 03. ඊට දවස් 21කට පසු එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා තාත්තා කෙනෙක් වුණා. ඒ පුතා මගේ වෘත්තීය ජීවිතයට වඩා දවස් 21යි බාල කියලා මම අදත් කියනවා.
පටන්ගත්තේ ජනකගෙන්
මම ඉස්සරෝම මාධ්‍ය ජීවිතේ පටන් ගත්තේ තීරු ලිපි රචකයෙක් විදිහට. ඒ තීරු ලිපිය ලීවේ ජනක කියන නමින්. ඒ කාලේ මම හිතුවා මට කවදාහරි පුතෙක් හිටියොත් ජනක කියලා නම තියනවා. දුවක් හිටියොත් ජානකී කියලා නම තියනවා කියලා. ඒත් මම තාත්තෙක් වුණේ නෑනේ. ඒ නිසා මගේ අක්කණ්ඩිගේ පුතාගේ පුතාට මම ජනක කියලා නම තිබ්බා.
හෙළහවුල මහා විකෘතියක්
මගේ ගම උණවටුනෙ තමා මුණිදාස කුමාරතුංග මහත්තයාගේ හෙළහවුලේ ප්‍රධානම එක්රැස්වෙන තැන තිබුණෙ. අරිසෙන් අහුබුදු තමා එයාගේ මහා ශිෂ්‍යයා. අයියෝ පුදුමාකාර විදිහට තරුණ තරුණියෝ හෙළ හවුලට ගියා. මම හෙළහවුලට සම්පූර්ණ විරුද්ධ වුණා. මම අවුරුදු 14දි කීවා කෘත්‍රිම විදිහට භාෂාව වෙනස් කරන මිනිසුන්ට මම කැමති නෑ කියලා. එයාලා මිනිසුන්ගේ නම් වෙනස් කළා. අයියෝ එහෙමත් විකෘතියක්. ඇ කාරයත් හරි පිස්සුවක්.
අක්කණ්ඩිගේ එළිඟිතෙල් රොටී
මගේ ලොකු අක්කණ්ඩි අපිට ඒ කාලේ එළඟිතෙල් රොටී හදලා දෙනවා. අවුරුදු 14-15 යාළුවෝ කට්ටියක් අපි හමුවුණාම මුවදෙව්දාවත වගේ පැරැණි පතපොත ගැන හෙළහවුල ගැන භාෂාව ගැන තමා කතාව. මේ ළමයි පොඩි ළමයි වුණාට ලොකු දේවල් ගැන තමා කතාව කියලා අක්කණ්ඩි අපට කන්න එළඟිතෙල් රොටී පුච්චනවා.
බෝතලය හැංඟුවේ කුණුකූඩේ. එයාට ඩ්‍රින්ක් - අපිට කෝපි
අපේ ගල්කිස්සේ හොස්ටල් එක තිබුණෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා හිටපු පාරට එහා පාරේ. අපි හැන්දෑවට කට්ටිය එහෙ ගිහින් එතුමා එක්ක කතා කර කර ඉන්නවා. ගෙදර ගියාම අපට බිස්කට් එහෙම දීලා කෝපි බොන්න දෙනවා. අපිට කෝපි දීලා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා එයාගේ භාරියාව එහෙම එනවද බලලා ඩ්‍රින්ක් එකක් දානවා. බෝතලේ හංඟලා තියෙන්නේ කුණු කූඩේ භාරියාව දකියි කියලා. අපිට කෝපි දීලා එයා අඩිය ගහනවා. මොන මොනවා හරි බයිට් එකටත් කනවා. මම එයාව පළමු වතාවට දැක්කේ හොස්ටල් එකේ බැල්කනියෙදි. තොප්පියකුත් දාලා කමිසයක් කලිසමක් ඇඳලා බස්තමකුත් අතේ තියාගෙන හිටියා. ඒ බස්තම හැම තැනකදිම එයාගේ අතේ තිබුණා.
කැමතිම දේශපාලන චරිතය
මම කැමතිම දේශපාලන චරිතය රණසිංහ ප්‍රේමදාස. එයාට පුදුම දැනුම් පිපාසයක් තිබුණේ. අගමැතිවෙලා ඉද්දිත් එයාට හොඳට ඉංග්‍රීසි බෑ. ඒත් ජනාධිපති වුණාම එයාගේ උත්සාහයෙන් හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මාර උත්සාහවන්තයෙක්. වෙලාවට වැඩ කළා. දූරදර්ශීයි. හොඳ සැලසුම් තියෙනවා. හොඳ මතකයක් තිබුණා. ඉගෙන ගන්න හිතුණොත් ඒ දේ කොහොම හරි ඉගෙන ගන්නවා. මට හමුවූ ස්වයං අධ්‍යාපනයට දක්ෂම මිනිහා එයා. මම ඒ ගතිගුණවලට හරි ආසයි. බය නෑ කාටවත්. ඒත් එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමා පාර වරද්දා ගත්තා. එතුමා ගත් සමහර දේශපාලන තීරණවලට මම එකඟ නෑ. එයාට මුලින් තිබුණ ලස්සන පවිත්‍ර හදවත වෙනස්වුණේ එයාට සතුරො වැඩිවෙද්දී.
පරාක්‍රමබාහු රජු කෙන්යාවෙත්
එක්සත් ජාතීන්ගෙන් ලද අධි ශිෂ්‍යත්වයක් අනුව මම කෙන්යාවේ නයිරෝබි නුවරට ගියා. ඊට පෙර මට පරිසර ක්ෂේත්‍රයක ලොකු තනතුරක් හම්බවෙද්දි රාජ්‍ය නිලධාරි විරුද්ධ වුණා. විරුද්ධ වෙද්දි රණසිංහ ප්‍රේමදාස මහත්තයා කීවා ඔයාලා ආරියදාස මහත්තයා අවුරුදු 10ක් තිස්සේ ලියපු පරිසර ලිපි කියවලා තියෙනවද? මම කියෙව්වා. කියවපු නිසා තමා මේ තනතුර දුන්නෙ කියලා. කවුරු කීවත් එයා එයාගේ තීරණය වෙනස් කළේ නෑ. මට කෙන්යාවට අධි ශිෂ්‍යත්වයක් ලැබුණෙත් ඔය තනතුර නිසා. මම කෙන්යාවේ නයිරෝබි නුවරට ගියාම ප්‍රධාන කාර්යාලයකට ගියා. ඒ කාර්යාලයේ ගහලා තිබුණා මහා පරාක්‍රමබාහු රජුගේ රූපය. ඒ රෑපය යටින් පරාක්‍රමබාහු රජු එක වතුර බිංදුවක්වත් ප්‍රයෝජනයට නොගෙන අපතේ යවන්න එපා කියලා කීව ප්‍රකාශය ඒ අනුව එවැනි ප්‍රකාශයක් කළ ලෝකයේ එකම නායකයා ඔහු කියලා ඉංග්‍රීසියෙන් ගහලත් තිබුණා. මාව කෙන්යාවේදී අක්කර 600ක විතර වැටකොටු නැති සත්ත්ව භූමියටත් එක්ක ගියා.
මිනිස්සු හිතුවේ කෙරුමා මම කියලා
සඳ ගමන ගැන ලියන්න මම හුඟාක් මහන්සි වුණා. එතකොට අපේ භාෂාවේ ඒ වචන නෑ. මම ඒ වචනත් හැදුවා. ඒ 1969 ජූලි. 1970 දශකයේ ස්කයි ලැබ් කඩා වැටුණාම මිනිස්සු හිතුවා ලෝකය ඉවරයි කියලා. ඉන්දියාවේ මිනිස්සු යාග හෝම කළා. ලෝකය ගිනි ගනියි කියලා බයට. මම ආතර් සී ක්ලාක්ගෙන් ඡායාරූප ඉල්ලගෙන දේශනාවක් කළා. දස දහස් ගණන් ආවා ඒක අහන්න. මම ඒ කඩාවැටීම් ගැන විද්‍යාත්මකව විස්තර කරලා කීවා. මට ආණ්ඩුවෙන් කීවා නාසා ආයතනය හා සම්බන්ධ වී මේ කඩාවැටුණ යානය ගැන වාර්තා කිරීම් කරන්න කියලා. මේක රවුමට කැරකි කැරකි ඕස්ට්‍රේලියාව පැත්තෙ ඉඳන් ලංකාව පැත්තට ආවා. මම ඒ ගැන කීවා. ලංකාවේ මිනිසුන්ට කීවා විතරයි ඒ යානායේ කෑලි ගිනිගෙන ඉන්දියන් සාගරයට වැටුණා. මම කීවා අපිට කිසිම හානියක් නෑ. ඔන්න ඒක ඉන්දියන් සාගරයට වැටුණා කියලා. මිනිස්සු කීවා ඒ අයගේ දැනුම අනුව මම නොහිටින්න ඒක ලංකාවට වැටෙනවා කියලා. මිනිස්සු හිතුවේ ඒක ලංකාවට වැටුණ එක නැවැත්තුවේ මම කියලා.
එක කෙල්ලක් බැන්දොත් අනිත් ලස්සන කෙල්ලො නැතිවෙනවා නේද හිතුණා
මට ඕනතරම් ප්‍රේම සබඳතා තිබුණා. මම කවදාවත් ප්‍රේමයෙන් පරාජිත වී නෑ. ඒත් ස්ථාවර වෙන්න විවාහවෙන්න ඕන කියලා අදහසක් කවදාවත් මගේ ඔළුවට ආවේ නෑ. මම ආදරේ කරපු ළමයින්ගේ අම්මලා මට කීවා විවාහ වෙන්න කියලා. ඒත් මට ඒ කියන දේවල් මතක නැතුව ගියා. ආයේ වෙලාවකට කසාද බැඳලා ජිවිතේට පවුලක් එකතු කරගන්නත් ආසාව හිතුණා. ඒත් එක්කම හිතුණා හැම සති අන්තෙම රෑ දවල් නැතුව ලස්සන කෙල්ලො කොල්ලො එක්ක අපි ඇවිදිනවා. ඉන්නවා. ඒත් එක කෙල්ලක් බැඳලා අයින් වුණොත් මොකද්ද ඒකෙ තේරුම අපරාදයක් නේද කියලා හිතුණා.
අනිත් එක පවුලේ බාලයා නිසාම අක්කණ්ඩිලාට අයියණ්ඩිලාට හින්නි මල්ලි වෙච්චි මට, අම්මට තාත්තාට පුංචි මහත්තයා වෙච්ච මට පුදුම ආදරයක් ලැබුණානේ. පුංචි කාලේ එහෙම ආදරය ලබන සමහර අයට බුද්ධිය වැඩුණාට තමන් මානසිකව ශාරීරිකව වැඩෙනවා කියලා හැඟීමක් එන්නේ නැතිලු. මනෝවිද්‍යාත්මකව ඒක යම් මානසික තත්ත්වයක්. ඒකට කියන්නේ දීර්ඝකාලීන ළමා සමය කියලා. යුතුකම් වගකීම් ගැන එච්චර දැනීමක් නෑ. ඔය දීර්ඝකාලීන ළමා සමය කියන මානසික තත්ත්වයෙන් මම පෙළීමත් මට විවාහය මඟහැරෙන්න හේතුවුණා.
►සංජීවිකා සමරතුංග