2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

වෘකයන්ගේ උයනේ ඉදිවූ මහ පල්ලිය

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 490

නත්තල් අසිරිය ටිකින් ටික කොළඹට දැනෙන්නට පටන්ගෙන තිබේ. නමුත් කොළඹ පිහිටි දැනට ලංකාවේ දක්නට ලැබෙන පැරණිම පල්ලිය වන වුල්ෆන්ඩාල් පල්ලියට නම් නත්තල වගේ වගක් නැත. මේ ඉපැරණි අභිමානවත් ගොඩනැගිල්ල සුපුරුදු පාළු බව රැකගනිමින් විරාජමාන වනු පෙනේ.

කොළඹ පිහිටි වැදගත්ම පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙම පල්ලිය පිහිටා තිබෙන්නේ ආදුරුප්පු වීදිය හෙවත් වුල්ෆන්ඩාල් වීදියේය. පිටකොටුව ප්‍රදේශයේ සිට මෙන්ම ආමර්වීදිය පැත්තෙනුත් එයට ළඟා විය හැකිය.

1980 පමණ වනවිට දිරාපත්ව අබලන්ව තිබුණු මෙම දේවස්ථානය එකල සංරක්ෂණය කරන ලදී. ග්‍රීක ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සිව්පසට විහිදුණු කුරුසයක හැඩයට තනා ඇති මෙහි ඉතිහාසය වර්ෂ 1749 දක්වා ඈතට දිවයයි. එම වර්ෂයේ මුල්ගල් තැබූ බව සඳහන් එය තැනීමට ඕලන්ද රෙපරමාදු සභාවට VOC හෙවත් පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ අනුග්‍රහය ලැබී තිබේ. 1751 මාර්තු 6දා එහි පළමු කැපකිරීම් පූජාව පවත්වා ඇති බව පැරැණි ලේඛනවල සඳහන්ය.

පසුගිය දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතුවලට සහභාගී විය. නෙදර්ලන්ත (ඕලන්ද) රජයේ ආධාරයෙන් සිදුකළ එම සංරක්ෂණ කටයුතුවලට අවශ්‍ය විශේෂඥ දැනුම සහ අධීක්ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැපයිණි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ නිලධාරීහු සහභාගි වූහ.

එම සංරක්ෂණයේදී මූලික අවධානය යොමුකර තිබුණේ දේවස්ථානයේ කවුළුවල රසායනික සංරක්ෂණයටයි. ආරුක්කු හැඩයෙක් යුත් අඩි 17ක් පමණ උස අඩි 4.4ක් පළල විශාල ජනේල පහක් දේවස්ථාන ගර්භයට ආලෝකය ලබාදේ. ලන්දේසි යුගයේ තාක්ෂණය අපට පවසන එම ජනේල සඳහා යොදාගන්නා වීදුරු සහ ඊයම් යුරෝපයෙන් ආනයනය කර තිබේ. එවකට මෙම ජනේල නිර්මාණය කර ඇත්තේ රතු, කහ, කොළ හා සුදු වර්ණ වීදුරුවලිනි. විවිධ අලංකාර හැඩතලවලට කපා ඇති වීදුරු එකිනෙක සම්බන්ධ කර ඇත්තේ ඊයම් පටි ආධාරයෙනි.

ජනේල උළුවස්ස බුරුම තේක්කවලින් නිර්මාණය කර තිබුණි. ජනේල පියන් ඇතුළතට සකසා තිබෙන අතර පිටත බිත්තියේ ආරක්ෂාවට දැල් ආවරණයක් සවිකර තිබේ. ජනේල පියන් රැඳවීමට තනා තිබූ හුළං කොකුද සංරක්ෂණයේදී නැවත තහවුරු කර ඇත. ජනේලවල පහළ පියන් විවෘත කිරීමට පුළුවන. ඒවා යකඩ රාමුවකින් සම්බන්ධ කර තිබේ.

ආදුරුප්පු වීදියේ කන්ද මත පිහිටි පල්ලිය අප සිත් සියවස් දෙකහමාරක් අතීතයට රැගෙන යන ඓතිහාසික සිහිවටනයකි. පල්ලිය හඳුන්වන (වුල්ෆන්ඩෝල්) යන වචනයේ අරුත වෘකයන්ගේ තැන්න යන අරුත රැගත් පෘතුගීසි වචනයක් වූ (ඇගුවාඩි ලුප්) යන වචනයේ ලන්දේසි පරිවර්තනයකි. එකල මේ අවට මඩවගුරුවලින් යුක්ත වූ අතර ඒවායේ නරි බහුලව ගැවසුණහ. මේ නිසා ලන්දේසි (නරි බහුල තැනිතලාව) වෘකයන්ගේ තැන්න බවට පත්කළහ. මෙහි මුලින්ම තිබුණේ පෘතුගීසි පල්ලියකි. ලන්දේසි සමයේදී ආගම වෙනස් කළ හා රෙපරමාදු ආගම වැළඳගත් ලාංකිකයන්ගේ ප්‍රයෝජනයට මෙම පල්ලිය යොදා ගැනුණි. පසුව නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ නිල දේවස්ථානය විය. මෙහි දහසක පමණ පිරිසකට ආසන පහසුකම් සහිතය.

ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ කළුගල් පදනමක් මතය. බිත්ති අඩි 5ක් පමණ ඝනකමය. කබොක් ගල්වලින් බිත්ති බැඳ ඇත්තේ හිරිගල් සහ හුණු පාෂාණවලිනි. ආරුක්කු සහිත ස්ථාන පිළිස්සූ ගඩොල්වලින් තනා තිබේ. එහි මුදුන් පියස්ස බදාම හා ගඩොල් යොදාගෙන අර්ධ ගෝලාකාර හැඩයෙන් නිර්මාණය කර ඇත.

19 වැනි සියවසේ මැද භාගයේදී වුල්ෆන්ඩාල් පල්ලියේ විවිධ දර්ශන සිත්තම් කළ ජේ.එල්.කේ. වෑන්ඩෝට් එය මෙලෙස වර්ණනා කරයි.

“මේ දේවස්ථානයේ මුල් ශිඛරය වූයේ ප්‍රසාද ශීර්ෂයක් හෙවත් කියුපෝලාවකි. එය අටපට්ටම් හැඩය ගත් කියුපෝලාවක් වශයෙන්ද හැඳින්විය හැකිය. මෙය මිනිරන්වලින් සකස් වූවකි. එය මත ඔටුනු පලන් ලෝහමය සිංහයෙක් විරාජමාන විය. ඔහුගේ එක් අතක කඩුවක්ද ඕලන්ද ධජයේ දැක්වෙන පරිදි ලන්දේසි ජනරජයේ ප්‍රාන්ත හත නියෝජනය කරන ඊතල හතක්ද විය. (ආර්.එල්. බ්‍රෝහියර් - කොළොම්පුර පුරාවෘත්තය)

මුලින්ම පල්ලියේ පියස්ස ගෙඩිගේ ස්වභාවයට ගඩොල්වලින්ම ඉදිකර තිබුණද 1856 දී අකුණක් වැදීම නිසා ඒ පියස්සට හානි පැමිනුණි. ඊට පසු ගල්ලෑලි සහ උළු සහිත දැවමය වහළක් ඉදිකෙරිණි. වර්ෂ 1900 වනවිට එම පියස්සද අබලන් වූ අතර වැද්දූ රැළි සහිත යකඩ පියස්සක් යොදන ලදී.

දේවස්ථානයට ඇතුළු වන ඔබට මනසින් ඕලන්ද යුගයට ගමන් කළ හැකිය. පිටත බිත්ති දිරායමින් පැවතුණද ඇතුළත දැව භාණ්ඩ හා උපකරණ සුරක්ෂිතව දැකගත හැක. ඊසාන දිග පිහිටි මෙහි ධර්මාසනයට අත්වැටක් සහිත අලංකාර තරප්පුවකින් ළඟාවිය යුතුය. ධර්මාසනය පහළින් ඇත්තේ භෞතීස්ම කරන ස්ථානය හා ධර්ම ග්‍රන්ථ තැන්පත් කරන ලෙක්ටර්න් නම් විශාල මේසයකි. මෙම ලන්දේසි දේවස්ථානය පිළිබඳව ආර්.එල්. බ්‍රෝහියර් නම් ලන්දේසි සම්භවයකින් යුත් ලේඛකයා මෙසේ සඳහන් කරයි.

“දේවස්ථානය දෙවියන්ට කැපකළ දිනයේ සිටම ලංකාවේ ඕලන්ද යුගයේ සමාප්තිය තෙක් වුල්ෆන්ඩෝල් පල්ලිය කොළඹ ප්‍රධාන ආගමික ස්ථානය විය. මේ පිළිබඳව ප්‍රධාන සාක්ෂ්‍ය නම් ආණ්ඩුකාරයාටද සමාගමේ උසස් නිලධාරීන්ටද මෙහි වෙන්කරන ලද ආසනය. විල්ලුද පෝරුව සහිතව විශිෂ්ට අන්දමින් අලංකෘත කරන ලද ආණ්ඩුකාරයාගේ ආසනය උත්සවාලංකාරයෙන් ඔහු මේ දේවස්ථානයට අවතීර්ණ වූ කාලයේ මෙන් අදද නව්‍යතාවයෙන් යුක්තය.” (කොළොම්පුර පුරාවෘත්තය, 37 පිටුව)

ජනාකීර්ණ කොළඹ නගරයේ අලකලංචිය මඳකට නොදැනෙන තැනක් වන මේ පල්ලිය ඕලන්ද ආගමික කෞතුකාගාරයක් ලෙස හැඳින්වීමටත් පුළුවන. 17-18 සියවස්වලට අයත් මේස, බංකු, පුටු ආදී දැව භාණ්ඩ රාශියක් මෙහි දැකගත හැකිය. දේවස්ථාන භූමියේ පොළොවට අල්ලා ඇත්තේ සියුම් අක්ෂරවලින් සැරසිලි කළ ශෛලමය සොහොන් ගල් රාශියකි. මේ සොහොන් ගල් විශේෂ අනුරුවක් ඇති ලාංකික ශිල්පීන් අතින් නිමවන්නට ඇති බව බ්‍රෝහියර් සඳහන් කරයි. පල්ලිය පිටත පිහිටි තාප්පයේද පැරණි සොහොන් ගල් රාශියක් සවිකර තිබේ. ඒ සමහරක් 1682 වැනි ඈත යුගයකට අයත්ය. කොටුවේ ජනාධිපති මන්දිරය අසල පෘතුගීසි සොහොන් බිමේ තිබූ සොහොන් ගල් විශාලය. මෙම දේවස්ථාන භූමියට රැගෙන විත් ඇත්තේ 1800 ගණන්වලදීය.

වසර 300ක ඉතිහාසයට නිහඬ සාක්ෂි සපයන ලන්දේසි, බර්ගර්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සොහොන් කොත් රැසක් මෙහි දැකගත හැකිය. අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ ජොහාන් ජෙරල්ඩ් වැන් ඇංගල්බීක් (1799 දී මියගිය) ඇතුළු ලන්දේසි ආණ්ඩුකාරවරු පස් දෙනෙක් මෙහි සැතපෙති.

මේ පල්ලියේදී ලියාපදිංචි කෙරුණු 1620-1936 දක්වා විවාහ සහ බෞතීස්ම කිරීම්වල නිල වාර්තා අදටත් මෙහි ලේඛනාගාරයේ සුරක්ෂිතව පවතී. ඒ අතර 1637 මුද්‍රිත ලන්දේසි බයිබලයක්ද වේ. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි රෙපරමාදු සභාවට අයත් මේ දේවස්ථානය සඳුදා නිවාඩුය. ඉරිදා දේව මෙහෙයක් පැවැත්වේ. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.30 - ප.ව. 4.00 දක්වා නැරඹීමට ඕනෑම කෙනකුට පුළුවන. දේශීය සංචාරකයන් ඒ තරම් නොපැමිණියත් අදටත් විදේශිකයෝ නම් මේ ඉපැරණි උරුමය දැකබලා ගැනීමට බහුලව පැමිණෙති.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : සමන්ත විල්තෙර සහ අන්තර්ජාලයෙනි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05