“මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඒ කාලේ අපට ප්‍රාග් ඓතිහාසික සෙල් චිත්‍ර ගැනත් උගන්වනවා. කථිකාචාර්ය සරත් සුරසේන කදුරුපොකුණ, ගනේගම, කෝමාරිකා ගල්ගේ වගේ තැන්වල තිබෙන මේ චිත්‍ර ගැන අපට කියා දුන්නා. මට ඒ ඔස්සේ මේ චිත්‍ර ගැන වැඩිපුර සෙවීමට ආසාවක් ඇතිවුණා. පසුව මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතාගේ උපදෙස් යටතේ මම දර්ශනපති උපාධිය සඳහා සෙල් චිත්‍ර ගැන අධ්‍යයනය කළා”
අපට එලෙස පැවසුවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කථිකාචාර්ය සත්සර ඉලංගසිංහය. ඔහුට ශ්‍රී ලංකාවේ සෙල් චිත්‍ර සොයායාමේ ගවේෂණයේ දී මෙතෙක් වාර්තාගත නොවූ චිත්‍ර ලෙන් 30 ක් සොයා ගැනීමට ද අවස්ථාව හිමි විය. බොහෝ දෙනකුගේ දසුනින් බැහැර වනගත දුෂ්කර ප්‍රදේශවල සැඟවී පවතින මේ ලෙන් චිත්‍ර සොයායාම සිත් තුළ තුතුහලය දනවන අපූරු චාරිකාවකි. ඔහු පසුගියදා තම ගවේෂණයේ ප්‍රතිඵල එක්තැන් කර ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර නමින් පර් ෙය්ෂණ කෘතියක් ද (ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන) පළ කළේය. එය ශ්‍රී ලංකාවේ දිවිගෙවූ ආදිවාසී මානවයන්ගේ සෙල් චිත්‍ර තිබෙන ස්ථාන සියල්ලම අනාවරණය වන පරිදි සම්පාදනය කළ පළමු කෘතිය ද වේ.
“අලුතින් චිත්‍ර සහිත ස්ථාන සොයාගැනීමේ දී අපට දුරබැහැර වනගත ප්‍රදේශවල පුද්ගලයන් සමඟ කතාබහ කිරීමෙන් ලැබෙන තොරතුරු වැදගත් වෙනවා. පොල්ලෙබැද්දේ ආදිවාසී වැදිනායක තලාබණ්ඩාරලාගේ ගෝඹා, උපනායක තලාබණ්ඩාරාලගේ ගාමිණී, කුමන අභය භූමියේ ජී. ගුණසිංහ වගේ අය අලුත් ලෙන් තියෙන තැන් ගැන මඟ සලකුණු ලබාදුන්නා. පානම දී හමුවූ ගිරාපොකුණු හෙළ ලෙන ඒ ගමෙත් දෙදෙනෙක් පමණක් දන්නා චිත්‍ර සහිත ස්ථානයක්” ඔහු අපට තම අත්දැකීම් විස්තර කළේය.
ශ්‍රී ලංකාවෙන් ප්‍රාග් ඓතිහාසික මානව හා සත්ව අවශේෂ හමුවුවද බලංගොඩ මානවයා දිවිගෙවූ ලෙන්වල චිත්‍ර පැවති බවට සාධක හමුනොවේ. නමුත් කුරුල්ලන්ගල, නැව්ගල, වරකාපොළ දොරවක, අලව්ව හක්බෙලිකන්ද, බුදුගල, ඌරාකන්ද ආදී ස්ථානවල පාෂාණ සීරැම් සටහන්, හැඩතල හා සංකේත ලංකාවේ දිවිගෙවූ ආදිම මානවයන්ගේ චිත්‍ර සටහන් බව සත්සර ඉලංගසිංහ පවසයි. මෙම ආදිවාසී ගුහා චිත්‍ර පිළිබඳව ජෝන් ස්ටිල් (1910), ෆෙඩ්රික් ලුවිස් (1914), ජී.එෆ්.ආර්. බ්‍රවුනිං (1919), ආර්.එල්. ස්පිට්ල් (1924), සෙලිග්මාන් හුවල (1911), කේ. සිංග්යොගේ (1993), එච්.සී.පී. බෙල් ආදී විදේශිකයන් වාර්තා කර තිබේ. ඊට අමතරව පී.ඊ.පී. දැරණියගල, එල්ලාවල මේධානන්ද හිමි, රාජ් සෝමදේව, එස්. පරණවිතාන, ලලා ආදිත්‍ය, ඩබ්ලිව්.එම්. විජේපාල, රෝලන්ඩ් සිල්වා, සෙනරත් වික්‍රමසිංහ ඇතුළු දේශීය ගවේෂකයන් ද චිත්‍ර පිහිටි ස්ථාන වාර්තා කර ඇත. මෙම සියලුම ගවේෂකයන් බොහෝ දුෂ්කරතා මැද සොයාගත් චිත්‍ර පිහිටි ස්ථාන සංඛ්‍යාව 62 කි. ඒවා අතරින් වැඩිම ගුහා සංඛ්‍යාවක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති අතර, අනුරාධපුරය, නුවරඑළිය, පොළොන්නරුව, කුරුණෑගල, වව්නියාව, කෑගල්ල, රත්නපුරය, මොණරාගල දිස්ත්‍රික්කවල සෙසු ස්ථාන පිහිටා ඇත.
“සමස්තයක් ලෙස සැලකූ විට ආදිවාසී චිත්‍ර නිර්මාණය කර ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටි කෝණයකින්. පවුල තුළ පුුරුෂයාගේ ක්‍රියාකාරකම් තමයි පර්වත මතුපිටක ඇඳ තිබෙන්නේ. මේ චිත්‍රවල පුරැෂයන්ගේ ලිංගය පැහැදිලිව දක්වා තිබෙනවා. පුරුෂයන් සතුන් මත අභිමානයෙන් සිටින අන්දම සමහර චිත්‍රවල දැක්වෙනවා” සත්සර පැවසුවේය.
ඓතිහාසික බෞද්ධ බිතුසිතුවම්වල දක්නට ලැබෙන විවිධ වර්ණ හා රේඛාවලින් ඔපවත් කළ රිද්මයානුකූල සිතුවම් වෙනුවට සෙල් චිත්‍රවල අපට දැකගත හැක්කේ ආදිවාසීන්ගේ අදහස් රළු ලෙස පවසන සීමිත වර්ණ භාවිත කළ චිත්‍ර වේ. මකුළු මැටි, හුණු, අළු, ශාක යුෂ, මැටි ආදිය යොදාගෙන සුදු, අළු, දුඹුරු, රතු, කළු, කොළ, රෝස ආදී වර්ණ තනාගැනීමට ආදිවාසී මානවයා පෙළඹී ඇත. තම ගවේෂණය ගැන තවදුරටත් අදහස් පළ කළ සත්සර,
මගේ අධ්‍යයනය අනුව මෙතෙක් ලේඛනගත නොවූ සෙල් චිත්‍ර සහිත ස්ථාන 30 ක් අලුතින් සොයාගැනීමට ලැබුණා. ඒ සඳහා අවුරුදු 7 ක් ගතවුණා. මහ කැලෑවල්වල ඇවිදිමින් දුෂ්කරතා විඳින්නටත් වුණා. මා සොයාගත් සෙල් චිත්‍ර සහිත ස්ථානවලින් සමහරක් සමහරවිට වෙනත් නමකින් ලේඛනගත වී තිබෙන්නත් පුළුවන්. ගිරාපොකුණු හෙළ මේ අතරින් විශේෂයි. එහි රෝස පාටට හුරු ආලේපයකින් කළ චිත්‍ර දක්නට ලැබෙනවා.
සෙල් චිත්‍ර ගවේෂණයේ දී බාධා රැසක් පැන නගිනවා. විශේෂයෙන් මුල්කාලීන ගවේෂකයන් සඳහන් කළ නම් දැන් භාවිත වන්නේ නැහැ. ඒ වගේම දිස්ත්‍රික් සීමා වෙනස් වෙලා. සමහර ගම්වල වැසියන් ගවේෂකයන්ට කැමති නෑ. ඔවුන්ගෙන් ලෙන් ගැන විස්තර ලබාගැනීම ලේසි නෑ. ගැමියන් සමඟ හිතවත් වෙලා කරුණු ලබාගත යුතුයි. අම්පාරේ ගනේගම ගල්ගේ හොයන්න ගිහින් ලොකු දුෂ්කරතාවලට මුහුණපෑවා. නාමල් ඔය ජලාශය මැදින් ඔරුවක ගිහින් තමයි දැන් එයට ළඟාවෙන්නේ. වඩිනාගල කන්දේ එක් බෑවුමක තමයි, මේ ලෙන පිහිටා ඇත්තේ.
සත්සර ඉලංගසිංහගේ ගවේෂණයේ දී අලුතින් සොයාගත් සෙල් චිත්‍ර සහිත ස්ථාන 3 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද (තාපසගල, හඳගල, නාමල්පුර) පොළොන්නරුවෙන් එකක් ද (නුවරගල), කෑගල්ලෙන් එකක් ද (රම්බිඩිගල), රත්නපුරයෙන් එකක් ද (සංඛපාල ලෙන), මඩකලපුවෙන් තුනක් (මාරපානම්, පුළුකුණාව, තොප්පිගල) හා මොණරාගලින් තුනක් (වැල්එල්ලුගොඩ කන්ද, ඩ්‍රැකියුලා ගල්ගේ, යකින්න ගල්ගේ) ද හමුවී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවූ ස්ථාන සංඛ්‍යාව 17 කි. පන්නල්ගම, දුම්බැඳි ලෙන උතුරු පව්ව, සක්ලෙන උතුරු පව්ව, කණකෙකිණියන්ගේ ලෙන, මාවරගල වක්ගල්ගේ සහ බෝරුක ලෙන, නෑල්ල, නන්දාගල, මුත්තාකඩලෙන, ගිරාපොකුණුහෙල ලෙන් 2, බෝවත්ත ලෙන් 5 ආදී වශයෙන් ඒවා පැතිර තිබේ.
අප රටේ ස්වභාවික ගුහා, ගල් පියස්සක් සහිත ලෙන්, පර්වත හා ගල්තලා, ලෙන් විහාරවල සමහර ස්ථානවල මේ සෙල් චිත්‍ර හමුවේ.
ප්‍රංශයේ ලැස්කෝ, ඇල්ටමීරා ආදී ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර ලෝක ප්‍රසිද්ධය. නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සෙල් චිත්‍ර අප රටේ හමුනොවේ. එසේ වුවත් එයට පසු කාලයට අයත් කළ හැකි ප්‍රාග් ආදිවාසී යුගයට අයත් (මානවයා තරමක් ශිෂ්ටාචාරගත වූ) කළ හැකි කුරුටු චිත්‍ර ලංකාවෙන් හමුවේ. ඒවා හමුවනුයේ පාෂාණ පෘෂ්ඨය සූරා කළ චිත්‍ර සටහන් වශයෙනි. කෑගල්ලේ දොරවක, අලව්වේ හක්බෙලිකන්ද, දිඹුලාගල, මඩවල, පන්නල්ගම, මොලගොඩ එවැනි චිත්‍ර හමුවන ස්ථානයි. වැදි ජනතාව පුරාණයේ තමන් විසූ ගුහාවල සටහන් කළ චිත්‍ර ද (බිල්ලෑව, ගොනාගොල්ල, මණ්ඩාගල, උස්සාගල) බොහෝ ස්ථානවලින් හමුවේ. මෑත අතීතයේ වැදි ජනතාව සටහන් කළ සෙල් චිත්‍ර හමුවන ස්ථාන වශයෙන් බුදුන්ගේ හෙල, කණකෙකිණියන් හෙල, පිහිල්ලගොඩ ගල්ගේ හැඳින්වීමට පුළුවන.
ආදි මානවයාගේ සිතුම් පැතුම් නියෝජනය කරන මේ සෙල් චිත්‍ර නැරඹීම මනසින් අතීතයට ගමන් කළ හැකි අපූරු අත්දැකීමකි. මේ නිසා කුතුහලයෙන් යුත් ගවේෂක ෙයා් මේවා නරඹා සටහන් කළහ. මහාචාර්ය සේනක බණ්ඩාරනායක, ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, ඩී.බී. නන්දදේව, මහාචාර්ය රාජ් සෝමදේව ආදී විද්වතුන් මෙම චිත්‍ර විමර්ශනය කළහ.
පුරාණ වනගත මානවයන්ගේ පවුල පිළිබඳ සංකේත, ප්‍රේමය හා ලිංගිකත්වය, සොබාදහම පිළිබඳ ආකල්ප, විශ්වාස, සතුන් හා බැඳි සබඳතාවය, ඇදහිලි ආදිය වර්තමාන අපට ඒවා ඔස්සේ කියවිය හැකිය. නමුත් මේ චිත්‍ර විවිධ හේතු නිසා විනාශ වීමේ අවදානමක් ද පැනනැගී තිබේ. ඒ ගැන සඳහන් කරන සත්සර මෙසේ තම අත්දැකීම් පැවසුවේය.
මලයඩිකන්දේ චිත්‍ර වගයක් තිබිලා එල්ලාවල හාමුදුරුවෝ සටහන් කර තිබෙනවා. මම ගිහින් බලන විට එම ලෙනේ බුද්ධ ප්‍රතිමාවක් පිහිටුවා සිතුවම් අලුතින් ඇඳ තිබුණා. පන්සලේ හාමුදුරුවන්ගෙන් පැරුණි චිත්‍ර ගැන මම ඇහැව්වා. එවිට කිව්වේ කුරුටු කෑලි වගයක් තිබුණා, මම ඒවා උඩින් තීන්ත ගාලා ලස්සනට චිත්‍ර ඇන්දෙවුවා කියලයි. හුඟක් දෙනකුට මේ චිත්‍ර ගැන අවබෝධයක් නෑ.
ස්වභාවික හේතු නිසා මෙන්ම ලෙන් විහාර ඉදිකිරීමේදී ද මේ චිත්‍ර හානියට පත්වේ. නරඹන්නන් සෙල් චිත්‍ර මත යළිත් කුරැටු ගෑමට යාම නිසාද ඒවා හානියට පත්ව ඇත. මේ නිසා මේ චිත්‍ර පිහිටි ස්ථාන නිශ්චිතව හඳුනාගෙන ඒවා පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කර ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.
කුසුම්සිරි විජයවර්ධන