2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

මොබයිල් ෆොන් බිලට උඩින් වැටෙන කුලුනු බද්ද

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

ශ‍්‍රී ලංකාව තොරතුරු හුවමාරු තාක්ෂණය වේගවත් දියුණුවකට පත්ව ඇති රටකි. සන්නිවේදන තාක්ෂණයේ පස්වැනි පරම්පරාව හඳුන්වා දුන් දකුණු ආසියාවේ පළමු රට බවට පත්ව ඇත. මෙරට දුරකථන හා විදුලිය සංදේශ ක්ෂේත‍්‍රය වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයකට විහිදී යයි. 1858 දී පමණ ගාල්ල සහ කොළඹ අතර පළමු ටෙලිග‍්‍රාෆ් පණිවුඩය හුවමාරු වූ බව සඳහන්ය. තොරතුරු හුවමාරුව ජන සමාජය විශාල පරිවර්තනයකට ලක්කර ඇත. ජන ජීවිතය පහසු කරන සන්නිවේදනය වෙනුවෙන් ජනතාව ගෙවන මිල ඉහළ එකකි.

ආහාර, ඇඳුම් සහ නිවහන ජීවත්වීමේ මූලික අවශ්‍යතා සේ සැලකේ. දුරකථනය පැත්තකින් තබා ජීවත්වීමට යෝජනා කළහොත් බහුතරයක් කිසිසේත් එකඟ නොවනු ඇත. ජනතාව සතු එම වුවමනාව ආණ්ඩු තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ. දුරථකනයට පනවන බදු පාලකයන්ට අලුත් ආදායම් මාර්ගයක් වී ඇත. බදු වැඩි කිරීම නරක බවට විශාල මතවාදයක් ජාත්‍යන්තරයේ පවතී. සාධාරණ, දරාගත හැකි බදු පැනවීම නුසුදුසු නැති නමුත් ප‍්‍රතිශතය ඉක්මවා බදු පැනවීම සන්නිවේදනයට පමණක් නොව රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට ද බාධාවක් බව මානව ශ‍්‍රාස්ත‍්‍රඥයන්ගේ අදහසයි. 

ජනතාව අතර පැතිරුණ දුරකථනය රජයේ ආදායම සඳහා උපයෝගී කරගත හැකි හොඳ ක්ෂේත‍්‍රයක් බව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු වටහාගෙන තිබේ. පසුගිය රජය ටෙලිකොම් ක්ෂේත‍්‍රයේ පැවැති බදු දෙගුණයකින් නංවන ලද අතර සුපිරි ආදායම් ලබන සමාගම් වශයෙන් සලකා ප‍්‍රධාන සන්නිවේදන ආයතනද ඇතුළත් වන පරිදි ලාභය මත සියයට විසි පහක බද්දක් පැනවීය. 2017 අය වැය ජනතාව මිල දී ගන්නා සිම්පතට රුපියල් දෙසීයක ගාස්තුවක් යෝජනා කළ අතර පසුව මහජන විරෝධය හෙයින් ආපසු හරවා ගන්නට සිදුවිය. 2018 අයවැය වාණිජ වශයෙන් වන එස්.එම්.එස්. වලට සහ සන්නිවේදන කුලුනු වලට අලුත් බදු හඳුන්වා දුන්නේය. සමාගම් වලින් අය කරන බව ප‍්‍රකාශ වන නමුත් ඒවා ගෙවන්නේ පොදු ජනතාවය.

දුරකථන සේවා බදු ගැන අවධානය යොමු කරන විට 2014 දී ස්ථිර සේවාවලින් පැවැති සියයට 12 ක හා ජංගම සේවා වලින් පැවැති සියයට 17ක බදු ප‍්‍රතිශත අද වනවිට අති විශාල වශයෙන් ඉහළ නංවා තිබේ. ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයන්ගේ ප‍්‍රමාණය ජනගහනයටද වඩා වැඩිය. විදුලි සංදේශ නියාමන කොමිසමට අනුව 2017 ජූනි මාසය වනවිට එය ලක්ෂ 281 ක ප‍්‍රමාණයකි. සෑම දුරකථනයකින්ම කතා කාලය අනුව සියයට 49.67 ක බද්දක් ආණ්ඩුව අය කරයි. දත්ත පාවිච්චි කිරීමේ දී අය කරන බද්ද සියයට 19.74 කි. දත්ත වෙනුවෙන් ගෙවන සෑම රුපියලකින්ම පහෙන් එකක් හා කතා කාලය වෙනුවෙන් ගෙවන සෑම රුපියලකින්ම හරි අඩක් ආණ්ඩුව බදු වශයෙන් අය කරගන්නා බව සඳහන් කළ යුතුය. භාවිත කරන සෑම තත්ත්පරයක් පාසා ආණ්ඩුව පොහොසත් කරන සන්නිවේදනයකින් පොදු ජනතාවට පලක් තිබේද? 

ක්ෂේත‍්‍රයේ බදු ස්වභාවය අනුව විදුලිය සංදේශ බද්ද සියයට 25.51 කි. ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන් සියයට 2.60 ක් අය කෙරේ. වෙනත් බදු සියයට 2.04 ක් වන අතර වැට් බද්ද සියයට 19.52 කි. ඩයලොග් සමාගම 2016 වසරේ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 86.7 ක් උපයන විට එයින් රුපියල් බිලියන 31.7ක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවා ඇති බව සමාගමේ මූල්‍ය වාර්තාව පෙන්වයි. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2016 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 6,497ක ලාභයකින් රුපියල් මිලියන 1,707 ක් රජයට බදු ගෙවා තිබේ. මූල්‍ය වාර්තාවේ තොරතුරු සලකන විට ඩයලොග් ආයතනය ගෙවා ඇති බදු පමණක් 2018 අයවැය අනුව සලකන විට උපයාගැනීමට අපේක්ෂා කරන ආදායම් බදු ආදායම මෙන් දහයෙන් එකකි. මෙරට විශාල ආදායම් උපයන බදු අංකයක් ඇති ජන කොටස ආදායම් බදු ගෙවති. බදු ගෙවන්නෝ රටට වාසනාවකි. රජයට ආදායම් සම්පාදනය කරන්නේ එම පිරිසය. නමුත් බදු අංකයක් නැති මෙරට මිලියන සංඛ්‍යාත පිරිසක් තමන් නොදැන එදිනෙදා කරන කතාබහ හෙයින් රජයට ආදායමක් සම්පාදනය කරන බව පෙනේ.

2012 දී ස්ථාවර දුරකථන භාවිතය සියයට 16.3 කින් සහ 2016 දී සියයට 11.3 කින් පහත වැටී තිබේ. 2012 දී ජංගම දුරකථන භාවිතය සියයට 96.4 කින් හා 2016 දී සියයට 126 කින් වර්ධනය වී ඇත. මෙම භාවිතය මත පවා බ්‍රෝඩ් බෑන්ඩ් භාවිතය සියයට 21 නොඉක්මවා තිබේ. එයින් අඟවන්නේ මෙරට වැසියන් තමන් ගේ දුරකථනය කතා බහට විනා දත්ත වලට භාවිත නොකරන බවය. ස්මාට් ජංගම දුරකථනයකින් කතාබහට වඩා විශාල පරාසයක සේවාවක් සලසාගත හැකි බව අවබෝධ කර ගත යුතුය. ගෙවන බිල අනුව දුරකථනයෙන් ඉටුකර ගත හැකි සේවය හා එයින් ලබාගත හැකි වරප‍්‍රසාද ගැන තැකීමක් නැති බව පෙනේ.

නොබෝදා අනාවරණය වූ වාර්තාවක් අනුව කෙන්යාව තොරතුරු තාක්ෂණ යුගයේ පෙරළිකරුවෙක් වී සිටී. තොරතුරුවලට අනුව අවුරුදු හතකට පමණ කලින් එරට ජංගම දුරකථන භාවිතා කළ පිරිස 15,000 ක් පමණකි. කෙටි කාලයක් තුළ එය මිලියන 17 ක් දක්වා වැඩි වී ඇත. එයින් හතරෙන් එකක් පමණ ජංගම දුරකථනයෙන් ස්වකීය මිලදී ගැනීම් කරයි. අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ගනුදෙනු සිදුකෙරෙන්නේ ජංගම දුරකථනය හරහා බව එරටින් ලැබෙන තොරතුරු වාර්තා දක්වයි. තොරතුරු කතාකිරීම, කෙටි පණිවිඩ යැවීම, වෙබ් පරිහරණය, ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ අඩවි සමඟ සම්බන්ධවීම පමණක් නොව තම බැංකු ගිණුම් ඔස්සේ මුදල් ගනුදෙනු කරන බව ද වාර්තා වෙයි. වී චැට් නමැති සමාජ මාධ්‍ය ඇප් එක චීනය පුරා පැතිරී තිබේ. යාචකයකුට කීයක් හරි ගෙවන්නේ ද ඔහු අත ඇති ජංගම දුරකථනයේ වී චැට් එකට මුදල් මාරු කිරීමෙන් බව අනාවරණය වෙයි. බැංකු කටයුතු පමණක් නොව එදිනදා භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් ද පෙන්වා දී තිබේ. 
කෙන්යාව, චීනය වැනි රටවල ජනතාවගේ ජීවිත පහසු කරන්නට ජංගම දුරකථනය පිටිවහලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජනතාව රීලෝඩ් කරන රුපියල් පනහෙන් ආණ්ඩුව තමන්ගේ ආදායම් මාර්ගය හදාගෙන තිබේ. එය ආර්ථික පර්ෙය්ෂකයන්ගේ අවධානයට ලක් විය යුතුය. 

2018 වසර සඳහා අය වැය යෝජනා අනුව කුලුනුවලට බදු පනවා තිබේ. මෙම බද්ද පහසු එකක් නොවේ. එක කුලුනකින් එක මාසයකට රුපියල් ලක්ෂ දෙකකි. අලුත් බද්ද අනුව දුර බැහැර පළාත්වල ග‍්‍රාහක ජනතාව වෙනුවෙන් අලුතින්  දුරකථන කුලුනු ඉදිකරනු කෙසේ වෙතත් දැන් පවතින කුලුනු ද ගලවා ඉවත්කරන්නට සමාගම් තීරණය කළහොත් පුදුමයක් විය යුතු නැත. නව යෝජනාව අනුව වසරකට රුපියල් මිලියන 15,000 ක් එයින් එකතු කරගත හැකි වෙතැයි ගණන් බලා තිබේ. 2016 අය වැය මගින් ශ‍්‍රී ලංකාවේ ටෙලිකොම් කුලුනු වලින් වාර්ෂික බද්දක් පැනවීය. දුරකථන කුලුනු සහ එස්.එම්.එස් බදු ගෙවන්නේ කවුද? පාරිභෝගිකයාට එහි බර පනවන්නේ නැති බව ආණ්ඩුව දක්වයි. නමුත් මෙම බද්ද අන්තිමේ දී ගෙවන්නේ ග‍්‍රාහකයන්ය. සියලු සමාගම් තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් වක‍්‍රව එය අය කරගනු නිසැකය.

ශ‍්‍රී ලංකාවේ දුරකථන වෙළඳපොළ මිලියන විසි එකක සම්පූර්ණ ජනගහනයට මඳක් වැඩි නමුත් එම වෙළඳ පොළ බෙදාගැනීමට සමාගම් පහක් තරග කරමින් සිටී. මෙම තරගය හෙයින් කලාපයේ වෙනත් රටවලට වඩා අඩු ගාස්තු ක‍්‍රමයක් පවතින බව පෙනේ. නමුත් මෙම තරගය හෙයින් සමාගම් වල ලාභ අඩුවී ඇත. සන්නිවේදන තාක්ෂණික මෙවලම් වෙනුවෙන් ආයෝජනය කරන මුදල සමඟ සසඳන විට ලැබෙන ආදායම ප‍්‍රමාණවත් නැත. අධික බදු පැනවීම දුරකථන සමාගම් අධෛර්යය කරන ප‍්‍රයත්නයක් බව ද සඳහන් කිරීම වැදගත්ය.

දුරකථන බදු හෙයින් මෑත කාලය තුළ මෙරට විදේශ දුරකථන ඇමතුම් ගැනීම සියයට 12.4 කින් හා දේශීය ඇමැතුම්  ගැනීම සියයට 8.5 කින් පහත වැටී තිබේ. ඇති හැකි පිරිස නෙට්ෆ්ලික්ස්, ස්කයිප්, වට්ස් ඇප් හා ගූගල් වැනි පහසුකම් මගින් දත්ත භාවිතා කර කතා කරති. මෙරට අඩු ආදායමක් ලබන ජනතාව අතරින් ලක්ෂ විස්සක් පමණ සිටින්නේ විදේශගතවය. එම පවුල් සිය විදේශගත සාමාජිකයා සමඟ කතා කරන්නේ දුරකථන සන්නිවේදනයෙන්ය. එම පිරිස රටට උපයා එවන ධනය විනිමය උපයා දෙන ප‍්‍රධාන ආදායම් මාර්ගය බව ද අමතක කළ යුතු නැත. සමාජයේ අඩු ආදායම් ලබන පිරිස බදුවලට ගොදුරු වී තිබේ.

එදිනෙදා තමන්ගේ අතට ලැබෙන මුදලින් රීලෝඩ් එකකින් මුදල් දා කතාබහ කරන සාමාන්‍ය ජනතාවගෙන් පමණක් නොව පසුව මුදල් ගෙවන සම්බන්ධතාවලින් ද විශාල බද්දක් අය කරන ආණ්ඩුව එය මගින් කරන්නේ තම බදු එකතු කරගැනීම පමණක් නොවේ. බුද්ධිමත් සමාජයක් ගොඩනගන ප‍්‍රයත්නයට ද බාධා පැමිණවීමකි. එක පැත්තකින් නොමිලේ වයිෆයි හා පාසල් දරුවන්ට පරිගණක හා ටැබ් දෙන බවට පොරොන්දු වන ආණ්ඩුව කතා සන්නිවේදනය වෙනුවෙන් වැය කරන රුපියලකින් ශත පනහක් ද සහ දත්ත භාවිතා කරන විට වැය කරන සෑම රැපියලකින්ම ශත විස්සක්ද ජනතාවගෙන් අය කරගැනීම කොපමණ ගැලපේ ද යන්න සොයා බැලීම සුදුසුය.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05