2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

කැපිලි පැන්නිලි හූනියමට කාලි අම්මාගෙන් බෙහෙත්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1172
 
කොඩිවින, නීච බන්ධන ආදිය කරන්නේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින්ගේ උදව්වෙන්. එතකොට කැපිලි පැන්නිලි කරන්නේ කොහොමද? මොනවද මේ කවන්නේ? මොනවද මේ පන්නන්නේ... අපි දේවගැතිවරයාගෙන් විමසීමු.
 
සකල මනුෂ්‍ය වර්ගයාගේම භෞතික යැපීම සිදුවන්නේ ආහාරයෙන් හා පානයෙන්. ආහාර ජීර්ණයට තමන්ගේ ශරීරයේ අවයව පිහිටා තිබෙනවා. යක්ෂ, ප්‍රේත, භූතයන් කියලා අප හඳුන්වන මේ ඇත්තොත් මනුෂ්‍යයන්. හැබැයි ඒ මනුෂ්‍යයන්ට කන්න දෙන්න බොන්න දෙන්න ඉන්න දෙන්න කවුරුත් නෑ. ඒ නිසා මේ ඇත්තන්ට සිදුවෙනවා තමන්ගේ ජීවිතයට අවශ්‍යවන ආහාර සොයාගෙන යන්න. කන්න නැති බොන්න නැති ඉන්න තැනක් නැති මිනිස්සුන්ට කන්න බොන්න දීලා තනි කරලා ගන්න දේවල් තමා කැවිලි කියන්නේ. කැවිලි විදිහට දෙන්නේ. එතකොට පැන්නිලි කියන්නෙ යක්ෂ, ප්‍රේත, භූතයින්ගේ නාමයෙන් ගන්න, ඔවුන්ගේ ශක්තීන්ගෙන් ජීවම් කර ගන්න බලයක්. මේවා මිනිස්සුන්ට පෑගවීමෙන් පැන්නීමෙන් බැන්දීමෙන් අර යක්ෂයාගේ බලයන් අර මනුෂ්‍ය ශරීරවලට බන්දනවා. ඇතුළු කරනවා. 
 
කැවිලි විදිහට දෙන්නෙ.... නීච කුල බන්ධන කරන්න අවශ්‍ය වෙන දේවල් මොනවද දේවගැතිතුමනි?
 
ඒ අවශ්‍යවෙන දේවල් ඇසුවොත් ඔබ පුදුම වේවි. සිඟන්නන් හත්දෙනෙක් කාලා ඉතුරුවෙන දේවල්, වඳුරන් කෑ දේවල්, අඩු කුලේ අය කෑ දේවල්, සුනඛයින් කෑ දේවල්, නයි පොලොංගු සර්පයින් කෑ දේවල්. මේ කෑ දේවලින් පංගුවක් ගෙන කාල රාක්ෂයාගේ ගොටුවට තියලා මහසෝනට, රීරි යකාට ආරාධනා කරලා මේ දොළ තටුව පේ කරලා තුන්මං හන්දිවල, ගොරක් ගස් මුදුන්වල, අමු සොහොන්වල ඉඳන් අවර ජාමෙදී ජප කරලා මේවාට දිෂ්ටි බලවේග අරගෙන අර වින හූනියම් කරන්න ඕන කෙනාගේ නමට රූප අඹලා මිනී අළු, සොහොන් කොත් මත ගිනි ඇටකටු රූපවලට අඹලා මේවා බන්ධනය කරගෙන ගෙවල්වලට ගිහින් දෙනවා. කැවෙන්න කෑමවලට දෙනවා. යක්ෂ, ප්‍රේත, භූතයන් පැත්තකට දාන්න. සුනඛයින්, වඳුරන්, සර්පයින් ආදින් කෑ කෑම කෙතරම් විෂ සහිතද? ඒවා ශරීරගත වුවොත් වෙන විනාශය කෙතරම් ශෝචනීය ද කියලා හිතන්න. හතුරෙකුටවත් මේ වගේ විනාශනම් කරන්න හීනෙකින්වත් හිතන්න එපා. 
 
දේවගැතිතුමනි කැවිල්ලකින් කෙනෙකුට වෙන විනාශය ඔබට වචනයෙන් පහදන්න පුළුවන්ද?
 
මේ කැවිලි ශරීරගත වුණාම පුද්ගලයා ටිකෙන් ටික ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. ඔහුගේ ස්නායු සෛල යක්ෂයාගේ ආහාරවලින් විස කැවිලා ප්‍රාණ කූඩුව විනාශයට ලක්වෙනවා. මුලින්ම ඔහු ආහාරයට ගන්න කෑම බීම ඔහුට අප්‍රසන්න වෙනවා. කෑම රුචිය නැති වෙනවා. ගන්න ආහාරවලින් පවා ලැබෙන ගුණාත්මකභාවය ශරීරයට නොලැබී ගොසින් ජීරණය ක්‍රියාවලිය පවා අක්‍රමවත් වී පුද්ගලයා සම්පූර්ණයෙන්ම ශරීර ශක්තියෙන් තොර රෝගියෙක් බවට පත්වෙනවා. 
 
 
එතකොට දේවගැතිතුමනි කෙනෙකුට කැවිල්ලක්, නීච, වශී බන්ධනයක් කරලා තියෙනවනම් කොහොමද ඒක අඳුරගන්නෙ? 
 
බැලූ බැල්මට කියන්න බෑ දෙයක් කවලද කියලා. එය ප්‍රත්‍යක්ෂ කරගන්න මම මගේ බලය යොදා ගන්නවා. කෙනෙකුගේ කේන්දරයෙන් මේ සියල්ල හෙළිකර ගත හැකියි. යක්ෂ යක්ෂාදී ප්‍රේත ප්‍රේතාදී භූත භූතාදී හූනියම් බන්ධන පැන්නුම් කැවුම් අනේක ව්‍යධීන්ගෙන් අසරණ මිනිසුන්ව බේරාගෙන, කැවිලි පැන්නිලි බන්ධන සුනේ සුන්කරලා සුඛ විහරණය උදා කරන්න විෂ අන්ධකාර දූරීන් භූත කරවා සර්වාංගය පිහිට දී ගුණ දී සෙත් දී රකින්න මම කාලි අම්මාට ලේ දී තටු දී උදවු ලබා ගන්නවා. 
මේ වගේ නීච බන්ධන, කොඩිවින කැවිලි පැන්නිලි නිසා අසරණ වී සරණක් සොයා රට වටේ ගිය මිනිසුන් මට අනන්තවත් හමුවෙනවා. ඔවුන් අතරමංවෙලා. සමහර අය ඒ අසරණයින්ව රවටා සල්ලි කඩාගන්නවා. මිනිසුන්ගේ ජීවිතවලට අත්වෙන ඉරණම් හරිම ශෝචනීයයි. පාපකාරීයි. එවැනි අසරණයන් තව තවත් මුලා කරන්න රවටන්න එපා... ඔවුන්ට පිහිටක් වෙන්න. එයයි මනුෂ්‍යත්වය... මා හැමවිටම ඉල්ලන්නේ ඒකයි...
 
දේවගැතිතුමනි නූලක් පන්නලා කෙනෙක්ගේ ජීවිතය දෙදෙරවන්න තරම් බලපෑමක් කරන්න ඇත්තටම පුළුවන්ද?
 
ඉර පැන්නුම්, උලුවහුවල ඇණ ගැසීම්, කිරි ගස්වල ඇණ ගැසීම් දුර්ජනයින් මේ සියල්ල කරන්නේ මනුෂ්‍යා විපතේ හෙලන්න. එසේ විපතේ හෙළා ඔහු සංසාරයට පව් එක්කර ගනිමින් සංසාරයේ දුක් විඳිනවා. ඒ දුකේ ඒ පාපයේ ඒ කර්ම විපාකයේ දිග පළල කියන්න බැරි තරම්. 
 
සොහොනින් ගෙනවිත් අළු ගෙට ඉස්සද
කිරි ගහ මුල ඇණ ගහලා තිබුණද
ගොරක් ගහේ ගැට ගහලා තිබුණද
විනි ගිනි උගුලන් දෙවියනි වැඩලා
 
සොහොනින් ගෙනත් මිනී අළු වත්තට ඉස්සද, තුන්මං හන්දියේ ගෙට ගොඩවෙන උලුවස්සේ ගෙට පෑගෙන පාදමේ පැන්නුම්, ඉර පැන්නුම් දැම්මද, උළුවස්සේ උඩ, ගෙදර වත්තේ කිරි ගහේ ඇණ ගහලා රූප අඹලා සොහොන්වල වැලලුවද මෙයින් නිවැසියන්ට ලොකු ආතතියක් විනාශයක් පරිහානියක් සිදුවෙනවා.
 
අනවින, කොඩිවින, හූනියම් බන්ධන ගිනි රාක්ෂ මාරයන් පරද්දවන්න ඉන්න එකම අම්මාගේ පිහිට මම ඉල්ලන්නේ ඒ මිනිස්සුන්ව ගොඩ දාන්න. කළ එකාට, කරවපු එකාට ආපහු කැරකිලා ගිහින් වදින්න.
 
අටවර දුනු හී චක්‍ර දරන්නේ
රන්දුනු ඊතල දෑතෙ දිලෙන්නේ
සිංහාසන සිට වැඩහිඳ  ලන්නේ
භද්‍රකාලි දෙව් පුදට වඩින්නේ
 
දෑත් කපා ඉණවට සරසනවා
කළුසළු අතරින් වත ලෙල දෙනවා
සොහොන් කාලි දෙව් පුදට වඩිනවා
 
විෂ්ණු දෙවියන් දිව්‍යාසනාරූඩව සම්බුදු පියාණන් වඳින පුදන ඇත්තන් ඇතුළු බුදු පියාණන්ගේ බුද්ධ පාදයෙන් ස්පර්ශ ලද මේ හෙළයත් ශාසනයත් ආරක්ෂා කරන්නේය. 
 
කතරගම දෙවි හාමුදුරුවන් මනුෂ්‍ය සංහතියට සිරිසැප වාසනා උදා කරන්නේය. 
 
පත්තිනි දේව මෑණියෝ දුවා දරු පැටවුන් ඇතුළු කරදර බාධකවලට ගොදුරු වූවන්ට සෙත සලසන්නීය.
 
එලෙසම කාලි මෑණියන් දුර්ජන පාපතරයන් නිසා දුකට පීඩාවට අණවින බන්ධන කොඩිවිනවලට ලක්වූ අසරණ නරයන්ට පිහිටක් වන්නීය. යහපතට යහපතිනුත් අයහපතට අයහපතිනුත් පිළිවදන් සලසන්නීය.
 
දේවගැතිතුමනි කේන්දරේ බලවත්නම්, ධර්මයේ හැසිරේනම්, දෙවියන් බුදුන් පුදන්නේනම්, පූජාවන් සිදුකරන්නේනම් බලවත් යන්ත්‍ර පලඳින්නේනම්, පෙර කුසල් පින් සහිතනම් කොඩිවින බන්ධන එකී ගුණාංග සහිත පුද්ගලයන් විෂයෙහි වලංගු නොවන බව ඔබ මීට පෙර සඳහන් කළා. කැවිලි පැන්නිලි ආදිය විෂයෙහිත් ඔබ කී එකී සත්‍ය වලංගුද?
 
කෙනෙකුගේ නරක වෙලාවක් නැත්නම් ග්‍රහ පිහිටීම කේන්දරය බලගතුතනම්, කර්ම චක්‍රය බලවත්නම් එයා උතුම් සම්මා සම්බුදු කිරණින් ආරක්ෂිතයෙක්නම්, ඔබ ඉහත කී සියල්ලෙන් පූර්ණනම් කොයි යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩයාටවත් ඔහුගේ අහලකටවත් එන්න බෑ. මේ ලෝකයේ සත්ත්වයාට උතුම්ම ආරක්ෂාව තියෙන්නේ ලොව්තුරු සම්මා සම්බුදු බුදු පියාණන් ළඟ. ඒ සම්මා සම්බුදු කිරණින් ඔබ නිරන්තර ආරක්ෂිත කෙනෙක් වෙන්න. ඔබේ නිවෙසේ ඔබේ ව්‍යාපාරයේ ඔබ ඉන්න තැන උදේ සවස සම්මා සම්බුදු පියාණන්ට රන් බුදු පහන දල්වන්න. ඒ සම්බුදු කිරණින් ඔබ ආරක්ෂිත වනු ඇත. සියලු දෝෂ බිඳී අළු වනු ඇත. ධර්මයේ හැසිරෙන්න. ප්‍රතිපත්තිගරුක වන්න. බුදු ගුණ ජීවිතයේ තේමාව කරගන්න. බුදු වදන් ජීවිතයේ හේතු පාඨ කරගන්න. දෙවියන් එවැනි පින්වත් මනුෂ්‍යයන් නිති රකිනු ඇත. ඇහැට පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකය බලවත් වන වග මනස අධ්‍යාත්මිකව දියුණු කරන්නෙකුට මිස හුදු භෞතිකවාදියෙකුට වටහා ගැනීම අසීරුය.
 
(ඇසට නොපෙනෙන ලෝකයේ තවත් කඩඉමක සිට එන ඉරිදත් මුණගැසෙමු.)
 
සංජීවිකා සමරතුංග
සේයාරුව - චන්න කස්සප කෝරලේආරච්චි
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05