2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

දිය ඇල්ල අද්දර සිත්තරා

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 360

ඩෙවෝන් දිය ඇල්ල අදත් එදා වගේමය. ඒ දිය කඳ හඬනවාද හිනැහෙනවාද හැඟීම් විරහිත හදවතින් ගලා යනවද කියා දන්නේත් ඒ දිය ඇල්ලම පමණි. රන්පාට අව් රැල්ලක චමත්කාරය, හමන සුළඟක සීතල, මිහිඳුමක මායාව ඒ දියඇල්ල දකින්නේ කෙලෙසකද මට දැනෙන්නේ නැත. ඒත් ඒ සුන්දරත්වය... ඒ ගුප්ත නිහඬත්වය කියන දාහක් වදන් ඇසෙන්නේත් දැනෙන්නේත් සවනතට නොව හදවතට පමණි. වන සිරසක තුරු සෙවණැලි අතරේ පිනිබින්දු මල්පෙති අග දැවටිච්ච අරුණැල්ලේ ඈ මහා දියකඳකින් මුහුණ වසාගෙන හඬනවාදෝයි සිතේ. නුවරඑළියේ යන අතරමඟදී අපි පුරුද්දට මෙන් ඩෙවෝන් දිය ඇල්ල පෙනෙන ඉසව්වේ නැවතුනෙමු. 

දිය ඇල්ල සේම නොවෙනස්ව චිත්‍ර අඳින සිත්තරාද එදත් එතනමය. දහතුන් අවුරුද්දක් තිස්සේ ඒ සිත්තරා ඩෙවෝන් දිය ඇල්ල පෙනෙන ඉසව්වට නෑවිත් සිටි දවසක් නැති තරම්ය. වැස්ස දුර දවසක ඒ සිත්තරා කැන්වස් සහ දියසායම් රැගෙන විත් ඈතින් පෙනෙන නීල කඳුවැටි සහ නිහඬ දිය ඇල්ල දෙස බලාගෙන චිත්‍ර ඇන්දේය. මේ ඇති යැයි හිතෙන තරමට සල්ලි අතට ආපසු ආයෙත් ගෙදර ගියේය. වැස්ස කියා ඒ සිත්තරා දවස් මඟ හැරියේද නැත. වැස්ස දා ඔහු ඇඳි සිතුවම්ද ගෙන එතැනට පැමිණියේය.

කන ඇසීම දුර්වල නිසා ඔහුට හයියෙන් කතා කරන්නට අපට සිදුවිය. ඒ වෙද්දීත් ඔහු අඳිමින් සිටි සිත්තම නොනවත්වාම අඳිමින් ඔහු අප සමඟ හෙමි හෙමින් කතා කළේය. ඒ අතර ඔහුගේ සේයාරුවක් ගන්නට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ කැමරා කාචයටද ඉඩ දුන්නේය.

උදේම වැඩ පටන් ගන්නේ පොඩි ඩ්‍රින්ක් එකක් දාලා වගේ නේද? දැනුණු දේ අපි මුලින්ම විමසුවෙමු.
සිත්තරා යන්තම් සිනාසුණේය.

හ්ම්....

දවසකට කීයක විතර බොනවද? හැමදාම බොන එක වර්ගයක් තියෙනවද?

හොඳම වර්ගයකින් හැමදාම කාලක් බොනවා...

එතකොට කන්නෙ තේකක් බොන්නෙ කොහෙන්ද? ගෙදරින් අරන් එනවද?

නෑ... අර පාර එහා පැත්තෙ තියෙන හෝටලයෙන් මට හැමදාම කන්න බොන්න දෙනවා... තේකක් බොන්න හිතෙන වෙලාවට තේකක් දෙනවා... කන්න දෙයක් දෙනවා... මගෙන් සල්ලි ගන්නෙ නෑ... අවුරුදු ගණනක් තිස්සෙ ඒ හෝටලේ මහත්තුරු නොමිලේම මගේ තිබහ බඩගින්න නිවනවා... සිත්තරාට ලැබෙන ඒ සැලකිලි සත්කාරත් අපූරුය. ඩෙවෝන් අසිරිය විඳින්නට එතන නවතින සංචාරකයන් රසවත් කේක් කෑල්ලක් කා තේ කෝප්පයක් බොන්නට නවතින ඒ අලංකාර පිරිසිදු බවකින් යුක්ත අවන්හල මහමඟ කලාකරුවෙකුට ඒ සා සැලකිල්ලක් දැක්වීමේ මනුස්සකම ඇත්තටම ප්‍රසංශනීයය.

ජීවිත කතාන්දරයේ 57 වැනි පරිච්ජේදය කියවමින් හිඳින මේ අපූරු සිත්තරා අදටත් තනිකඩයෙකි. හේ නමින් ජයන්තිපුර ඊ. විජේසිංහය.

ඇයි කවදාවත් ගැහැනියක් ජීවිතයට එකතු කරගන්න නොහිතුවේ... ආලය කළ ගැහැනිය අහිමි වුණාද? නැත්නම් සංසාර නවාතැන්පොළවල පයුරු පාසානම් හදාගන්නවට වඩා තනිකම සොඳුරුයි කියලා හිතුණාවත්ද? අපි උත්තර ඉල්ලුවේ  එවන් අරුතක් කැටිවූ පැනයකටය.

මගේ තරුණ කාලය ගෙවුණෙම විප්ලවයත් එක්ක. මගේ ජීවිතේ හොඳම කාලය හිරගෙවල්වල ගෙවී ගියා... ආදරය කරන්න ගැහැනියක් මුණගැසුණෙවත් ආදරය කරන්න වෙලාවක් මට මගේ ජීවිතයේ තිබුණේවත් නෑ.... හෘද සංවේදී අතීත යුගයක පළමු සුළංරැල්ලට හමා එනු පිණිස සිත්තරා මතකයේ පළමු කවුළු පියන්පත් හැර දැමුවේය. ඒ කවුළු දොරින් එබී මොහොතක් අතීත මාවත් දිගේ ඔහු කැටුව යන්නට පත්තරකාර සිත බලකර නොසිටියානම් පුදුමය එයයි. වගේ වගක් නැති ඩෙවෝන්  දිය අැල්ල සේ නිහඬව හිඳින්නට තරම් සසැලෙන හිතට ඉවසීමක්ද නැත.

ඇයි හිරගෙවල්වල හිටියේ?

විප්ලව කළානේ....

විප්ලවය කීවේ ජේ.වී.පීයද?

ඔව්....

අඳිමින් සිටි සිත්තම මත ඉවසිල්ලෙන් සායම් අතුරන අතරතුරේම සිත්තරා මතක මංමාවත් දිගේ හෙමිහෙමින් ඇවිද්දේය.
අපි ඒ කාලෙ කැලේ හැංගිලා හිටියා. කඳවුරු ගියා. මගේ ගම තලවකැලේ නිසා මම මෙහෙ ඉඳන්මයි විප්ලවේ කළේ. මට පැවරිලා තිබුණ රාජකාරිය තමා විප්ලවයේ පෝස්ටර් අඳින එක. ඒ කාලෙ රෑ 12ට පෝස්ටර් ගහනවානම් මුළු රටේම හැම දිස්ත්‍රිකයකම පෝස්ටර් ගහන්නේ රෑ 12ට. පෝස්ටර් මිටිය කර ගහගෙන අනිත් අතින් පාප්ප බාල්දියත් අරගෙන මම පෝස්ටර් අලවන්නත් ගියා. අපිට කෑමක් බීමක් ගැන ගාණක් නෑ. විප්ලවයේ උණුහුමෙන් අපේ තරුණ ඇඟවල්වල ලේ රත්වෙලා තිබුණේ. මම පන්ති පහටත් ගියා. අපිට දේශනා තියන්න අපේ නායකයා රෝහණ විජේවීරත් ආවා. එයාගේ දේශනා අහද්දී පුදුම හයියක් හිතට අාවා. ඒත් නිකම් ඉන්න වෙලාවට එයා වැඩිය කතා නෑ. නිශ්ශබ්දයි. උපතිස්ස ගමනායක, එච්.බී. හේරත්, ලයනල් බෝපගේ, සෝමවංශ අමරසිංහ මේ හැමෝම ඒ කාලෙ මට හම්බුණ විප්ලවේ නායකයෝ. රෝහණ විජේවීරගේ මරණය අහපු දවසේ මට ගොඩක් දුක හිතුණා.

එතකොට හිරේ හිටියේ කොයි කාලෙද?

1988 ඉඳන් 1993 වෙනකම් අවුරුදු හයක් මම හිරේ හිටියා... මම හිරගෙදර ඉද්දී චිත්‍ර ඇන්දා. ඇත්තටම මම චිත්‍රකාරයෙක් වුණේ හිරේ ඉද්දී.

හිරේ ඉඳන් ආවට පස්සෙත් ජේ.වී.පී. කළාද?

අපෝ නෑ... සම්පූර්ණයෙන්ම අත්හැරලා දැම්මා. හිරේ ඉද්දී වින්ද වද මතක් වෙද්දී විප්ලවෙත් එපාවුණා.

ඒ වුණාට තාම හිතින් ජේ.වී.පී.කාරයෙක් නොවෙන්න විදිහක් නම් නෑ නේද?

දැන් මම ජේ.වී.පී.කාරයෙක් නෙවෙයි. විජේවීරයි ගමනායකයි මැරුණට පස්සෙ ජේ.වී.පී.ය ඉවර වුණා. දැන් ජේ.වී.පී.යේ ඉන්න ලොක්කන්ගෙන් වැඩක් නෑ. දැන් පය සල්ලිවලට විකිණිලා ඉවරයි. ඔක්කොම බොරුව කරන්නේ. දැන් ඉන්න කාටවත් මම කැමති නෑ. පරණ නායකයෝ වගේ නෑ.... ඒ සිතුවම් අඳින සිත්තරාගේ දේශපාලන චින්තනයයි.

මම උසස් පෙළට එනකම් ඉගෙනගත්තා. ඉස්කෝලේ ගියේ තලවකැලේ සිංහල මහා විද්‍යාලයට. අද මම ඉන්නේ මගේ අක්කත් එක්ක. එයාගේ මනුස්සයා අකාලෙ මියැදුණා. එයාගේ දරුවන්ගේ දරුවන්ටත් මම උදවු කරනවා. මම කවදාවත් රජයේ රස්සාවක් කළේ නෑ. ඒත් චිත්‍ර අඳින්න ඉස්සර මම කළේ මංගල පෝරු හදන එක. ඒත් දවසක් දා මම මගේ ලී කැටයම් උපකරණ පොත් ඔක්කොම ගෙනිහින් අර ඈත දිය ඇල්ලටම වීසි කළා... එදායින් පස්සෙ මම කවදාවත් මංගල පෝරු හැදුවේ නෑ....

එච්චර කලකිරීමක් දැනුණේ ඇයි?

නුවරඑළියේ හෝටලයක මම සති දෙකක් තිස්සේ මංගල පෝරුවක් හැදුවා... මගේ ගෝලයෙකුත් එක්ක. වැඩේ ඉවරවුණාට පස්සෙ ඒ මිනිස්සු මට කවරයක දාලා සල්ලි වගයක් දුන්නා. බලද්දී රුපියල් හත්සීය පනහක්. මම ඒ ගාණ ගෝලයට දීලා එදාම මංගල පෝරු හදන්න මම පාවිච්චි කරන හැමදේම අර ඈත දිය ඇල්ලට වීසි කළා. මේ වගේ කපටි මිනිස්සු වෙනුවෙන් මම ඇයි මහන්සි වෙන්නෙ කියලා හිතුණා...

තාම උදේ... මේ වෙද්දී චිත්‍ර කීයක් විකුණුවද?

මම එද්දී ඇන්ද චිත්‍ර 6ක් ගෙනාවා. ඒ හයම විකුණලා ඉවරයි. එකක් දාහ ගාණෙ විකුණුවා. මම උදේ 9 වෙද්දී මෙතෙන්ට එනවා... දවසකට අවම මම පන්දාහක් හොයාගන්නවා. වැඩිම චිත්‍රයක් විකුණන්නේ රුපියල් පන්දාහට. ඒ හුඟක් ලොකු චිත්‍ර. අන්තිමට ඉතුරු වෙන චිත්‍රය මම රුපියල් පන්සීයටත් දෙන වෙලාවල් තියෙනවා. උදේ චිත්‍ර 6 විකුණලා දැන් මම මේ අඳින්නේ අද අඳින දෙවැනි චිත්‍රය. මට යන්න හිතුණම මම යනවා. මගේ චිත්‍ර වැඩිපුරම ගන්නේ විදේශිකයෝ. එක්වරක් විදේශිකයෙක් මගේ චිත්‍රයක් අරගෙන ගියා. එයා දෙවැනි පාර ලංකාවට එද්දී අර ඉස්සරලා අරන් ආව චිත්‍රයත් අරගෙන ආවා. ඇවිත් කීවා මේක මම මගේ බාත්රූම් එකේ ගහගෙන ඉන්නවා. මම අද තව චිත්‍රයක් අරන් යනවා කියලා. ඒ වගේ එක එක ප්‍රතිචාර ලැබෙනවා.

අපි පත් ඉරු පුරා අක්ෂර ගෙත්තම් කරද්දී ඔහු කැන්වසය මත වර්ණ පදාස ඉහිරවා ජීවිතය සිත්තම් කරයි. අවසාන අර්ථයෙන් මේ සියලු ප්‍රයන්ත වූ කලී ජීවිතය ජීවත් කරවනු උදෙසාම දරන වෑයම්ය. අපි වෙනස් වෙනස් මං මාවත්වල එකම ගමනක් යමින් හිඳිමු. අප සියල්ලන්ටම ජීවිතය මුණගැසෙන්නේ ඒ යන අතරමඟදීම මිස ගමනේ කෙළවරකදී නොවේ. ඩෙවෝන් දිය ඇල්ලට වඩා ජීවිතය මොන තරම්නම් ආශ්චර්යක්ද?

I සංජීවිකා සමරතුංග
සේයාරූ - චන්න කස්සප කොරලේආරච්චි

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05