2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

විනාඩි තුනෙන් අල්ලන යකා තුන් මාසයක් බෝතලේ

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 546

ඈ කුස දරු පැටියෙකි. ඇය දරු පැටියා කුස දරා උන් සමයේදීම ඇගේ සැමියා, දරුවාගේ තාත්තා ගෙල වැල ලා ගෙන මියැදුණේය. ඒ මියැදුණේ බිරිය කෙරේ වෛරී සිතිනි. වෛරී සිතින් මියැදුණ ඒ තාත්තා යක්ෂ ආත්මයක උප්පත්තිය ලද්දේය. යකෙක් ලෙස උන් තාත්තා යළිත් නවාතැන් සොයා ආවේ තමන් මනුෂ්‍යෙයක් ලෙස ජීවත් වූ නිවෙසටමය. ඒ දැවෙන ඇවිලෙන වෛරී සිතින් බිරියගේ කුසහොත් දරු කළලය දරු පැටියෙකු ලෙස විකසිත වූ ඉනික්බිති ලේ පිපාසිත යක්ෂ ලෝකය වෙත රැගෙන යාමේ චේතනාවෙනි. තම දරුවාගේ මනුෂ්‍ය ශරීර කූඩුවට වී යකා නටමින් බිරිය හා වෛරය වසර ගණනාවත් තිස්සේ ඇයට දස වද දෙමින් පිරිමසා ගැනීමේ චේතනාවෙනි.

ඒ පිරිමි දරුවාට දැන් වයස අවුරුදු දහතුනකි. දැන් යකා, පෙර තාත්තා ඒ කොලු පැටියාගේ සිරුර තමාට ඇවැසි පරිදි රජ දහනක් බවට පත් කරගත්තේය. ඒ අම්මා දරුවාත් රැගෙන දොස්තරවරුන් හමුවට ගියාය. තොවිල් පෙවිල් ආදි කළ යුතු සියල්ලක් කළාය. වසර ගණනක් ඒ දුක එහෙමය. වූ ඵලක් නැත. වූ සෙතක් නැත. අවසානයේ ඇය ගාල්ල උණවටුන මැටරඹ දේවාලයේ කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිවරයා අබිමුවේ සැනසීමක් ලද්දාය. ඒ අම්මාගේ කතාව ඇගේ මුවින්ම අසමු.

අපි දේවගැතිතුමා ළඟට ආවම පුතාගෙ මූණ දිහා බලලා කීවා මෙයාට හතරදෙනෙක් බලගතු විදිහට දරුණු විදිහට වැහිලා ඉන්නෙ කියලා. එහෙම කියලා පොල්ගෙඩියකුයි, පොල්තෙලුයි, අබ තෙලුයි, දෙහි ගෙඩි හතරකුයි මට දීලා කීවා මෙයාව ගෙදරට ගන්න කලින් ගේ හතරකොණ දෙහි ගෙඩි වළලන්න. මෙයා ඉන්න තැන උදේට අබ තෙල් පහනයි, හවසට පොල් තෙල් පහනයි පත්තු කරන්න කියලා. එහෙම කියලා දේවගැතිතුමා කීවා මෙයා හුඟාක් දරුණු විදිහට ඇවිත් ඉන්නෙ. සමහරවිට ඔයාලට ආපහු ගෙදර යන්න බැරිවෙයි. අරගෙන යන්න බැරිවුණොත් ඔයාලා ආයෙත් දේවාලයට එන්න කියලා.

අපි ආවේ අවිස්සාවේල්ල පැත්තෙ ඉඳන්. දැන් අවුරුදු ගාණක් තිස්සෙ මේ දරුවා නිසා මම මැරි මැරි ඉපදෙනවා. මේ ප්‍රශ්නෙ නිසා මම රස්සාවට යන්නෙ අමාරුවෙන්. හිතේ දෙගිඩියාවෙන්. දරුවව හරියට ඉස්කෝලෙ යවාගන්න විදිහකුත් නෑ. ඉතින් එදා ආපහු යද්දි අධිවේගී මාර්ගයේදී පුතාට ආයෙත් යකා වැහුණා. අපිට කොහොමටවත් කීදෙනෙක් හිටියත් ඒ වෙලාවට මෙයාව කන්ට්‍රෝල් කරගන්න බෑ. පුදුම හයියක් අරන් දඟලන්නෙ. ඩ්‍රයිවර්ගෙත් බෙල්ල මිරිකන්න ගියා. බැරිම තැන වාහනය නතර කළාම එතන්ට පොලීසිය හිටන් ආවා. අපි ආයෙත් දේවාලයට අාවා. දේවගැතිතුමා කීවා ළමයා ගෙදර අරන් ගියොත් මේ ළමයගේ ජීවිතේ අනතුරේ. මම යකා අයින් කරනකම් මේ දවස් කීපය මම පන්සලේ නතර කරවන්නම් කියලා. දේවගැතිතුමා මෙවැනි රෝගීන් සුවපත් කරන්නේ සිකුරාදට. සිකුරාදා වෙනකම් දවස් කීපයක් අපි ඒ පන්සලේ නැවතී හිටියා. 

මගේ දරුවා ගෙදර ඉද්දි යකා වැහුණම රෑ 12.00ට ගෙදරින් ගිහින් කුකුලෙක් හොයාගෙන උගේ කරමලෙන් අල්ලලා බෙල්ල කඩලා කුකුලගෙන් ලේ බොනවා. මගේ ඇඟෙත් ලේ බොනවා. මගේ අත් හූරලා තුවාල කරලා කට තියලා මගේ ලේ බොනවා. මරණ බයේ පුදුම වේදනා කන්දරාවක් විඳ විඳ මම ජීවත් වුණේ. හැංගිලා ඉඳන් ආයුධවලින් ගෙදර අයට ගහනවා. භාජනවලට මුත්‍රා කරලා ඒ මුත්‍රාවලින් මගේ ඇඟට ගහනවා. ඒ දේවගැතිතුමා මගේ දරුවව සම්පූර්ණයෙන්ම සනීප කළා... දෙයියනේ දැන් තමා මම මරණ බයක් නැතුව සනීපෙන් ඉන්නෙ... ඇය පැවසුවාය.

කෙනෙක් වෛරයකින් මියයනවා. මැරෙද්දි කියනවා කවදාහරි මම උඹෙන් පලිගන්නවා කියලා. මෙහෙම මැරෙන අය යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් ලෙස ඉපදී ඥාතීන්ට ඇත්තටම වද දෙනවද? මේ අය මනුෂ්‍ය ශරීරවලට එනවනම් මේ අය ඒ ඒමෙන් නිදහස් කරන්න කොච්චර කාලයක් ගතවෙනවද?

විනාඩි තුනක්...

විනාඩි තුනක්...?

අපි දේවගැතිතුමා දුන් උත්තරයම ප්‍රතිරාව නැංවීමු.

යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින් කොඩිවිනයේදී අල්ලනවා වගේ අපේ දැහැනේ දිෂ්ටියක් තියෙනවා ඇඟේ ඉන්න එකා අල්ල ගන්න. ඇඟේ ඉන්න එකා දිෂ්ටි කරලා දිෂ්ටි කරලා බලහීන කරලා බිත්තරයකට හරි නූලකට හරි අර ගන්නවා. අරගෙන හිරකරනවා. මොකද අපි දන්නවා ඒකා අපිට කන්ට්‍රොල් නෑ කියලා. උන් දඟලන්නේ අපේ හිරේ කඩාගෙන නිදහස් වෙන්න. මම ඒ විදිහට බිත්තරයකට හරි නූලකට හරි අරගෙන හිරකරන එකාව මාස තුනක් හිර අඩස්සියේ තියා ගන්නවා...

හිර අඩස්සියේ කීවේ?

අපි ඒකව බෝතලේ දාලා හිර කරනවා. මොකද අපි ඒ භූතයා හරි යක්ෂයා හරි ප්‍රේතයා හරි බෝතලේ හිර කරලා මුහුදට ගිහින් දැම්මොත් එයාගේ යක්ෂ, ප්‍රේත, භූත ඥාතීන් එනවා එයාව බේරාගන්න. තව යක්ෂ, ප්‍රේත, භූත ආත්මයක ඉන්න එයාගෙ ඥාතියෙක් හිටියොත් ඒ අය ඇවිත් අරයව බේරාගන්නවා. ඒ නිසා මම බෝතලේට හිර කරගන්න එකාව මාස තුනක් මගේ ළඟ තියාගෙන ඉඳලා බලසම්පන්න පුන්‍යභූමිවලට උන්ව අරන් යනවා. අරන් ගිහින් ඒ පුන්‍යභූමියේ ගහක උන් හිරකළ බෝතලය ගැට ගහනවා. නැත්නම් අර විදිහට උන්ගෙ එකෙක් ඇවිත් උන් බේරා ගත්තොත් ඌ ආයෙත් කරන්නෙ විපත්. පුන්‍යභූමි වගේ පින් ඇති තැනකට යක්ෂයන්ට, ප්‍රේතයන්ට එන්න බෑ. දුර්වල අයට එන්න බෑ. ඒ වගේ තැනක ගිහින් ගැට ගැහුවම යක්ෂ ප්‍රේත භූතයෝ තමන්ගේ එකා බේරාගන්න කිට්ටුවට එන්නෙ නෑ.

යක්ෂයෙක්, ප්‍රේතයෙක්, භූතයෙක් වුණත් ඒ විදිහට හිරකරන එක පවක් නෙවෙයිද දේවගැතිතුමනි. එය කවදා හෝ ඔවුන්ට ඒ පව්කාර භවයෙන් මිදී සුගතිගාමී භවයකට යන්න ඇති මඟ අහුරා දැමීමක් නෙවෙයිද?

නැහැ. අපි කරන්නෙ හොඳ වැඩක්. යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩයෝ හිරකාරයෝ විදිහට හරි ඉන්නේ පුන්‍ය භූමියක. ඒ ඉන්නෙ හොඳ අය ළඟ. ඌට ඇහෙන්නෙ ධර්මය, පූජාවන්, පිං අනුමෝදනා. තමන්ගේ මියගිය ඥාතීන්ට යක්ෂ, ප්‍රේත, භූතයින්ට පිං දෙන හඬ උන් කෙරේ මෛත්‍රිය වඩනා හඬ. උන් ලව්වා කොඩිවින, පැන්නිලි, නීච බන්ධන, ගුරුකම් කරවන පව්කාරයන් ඒ පුන්‍යභූමිවල නෑ. ඒ පුන්‍යවන්තයෝ ඇසුරේ කලක් ඉද්දි මේ යක්ෂ භූතාදීන් හිතනවා මාත් හොඳ කරන්න ඕන කියලා. අපි කරන්නේ පවක් නෙවෙයි පිනක්.

කොඩිවින බන්ධන කපන්නට බලවර දෙන්නේ සොහොන් කාලි අම්මාය. කැපූ ගෙලි මාලයක් සේ ගෙල වට සරසාගෙන, දෑත් කපා ඉණවට සරසාගෙන, භූතයකු පයින් පාගා කඩුවකින් දිෂ්ටි බලවර කර උණු උණු ලේ වැගිරෙන හිසක් අතින් ගෙන ඒ හිසෙන් වැගිරෙන ලේ බඳුනකට ගෙන පානය කරන්නී මින් පෙරත් කී ලෙසට සොහොන් කාලි අම්මාය. ඒ කැපූ ගෙල, ඒ කැපූ අත් යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩයින්ගේය. එය ඇයට මහා බ්‍රහ්මයා පැවරූ වගකීමකි. යහපත්ව ජීවත්වන මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නට යන එන යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින් දමනය කරගන්නට යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩයන් අතරින්ම මහා බ්‍රහ්මයා තෝරා ගත් යක්ෂණිය සොහොන් කාලි අම්මාය. මේ අම්මාට පැවරී ඇත්තේ තමන් ලද යක්ෂ ආත්මයේ සිටම යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් දමනය කරගෙන මතු බුදුවන බුද්ධෝත්තමයකු සෙවණේ මේ විශ්වයට කළ මහඟු සේවය, කර්තව්‍යය පෙන්නුම් කර පාපයන් නිසා ලද යක්ෂ ආත්මයෙන් මිදීමය. ප්‍රේත, භූත, කුම්භාණ්ඩයින්ගෙන් පින් ඇති නරයින්ට එන විපත් ගිනි නිවන්නට ඒ ගිනි මාලාවලින් එන දෝස දුරු කරන්නට, අකලට ගෙට පැන මාරයා ගෙනියන්නට එන ජීවිත බේරන්නට සිටින එකම අම්මා සොහොන් කාලි අම්මාය. වරක් කී ලෙසට ඒ අම්මා හොඳට හොඳයි නරකට නරකයි න්‍යායෙන් පේවූ අම්මාය. කාගේ හෝ ජීවිත විනාශ කරන්නට යන පව්කාරයන්ට එක්වරට සත්වරක්, සත්වරට අනන්තවරක් ඇගෙන් දඬුවම් හිමිය. කාලි අම්මා ජීවමාන මේ විශ්වයේ පව්කාරයන්ට කිසිඳු ගැලවීමක් නැති වග එහි අවසාන අරුතයි.

ඇය ශානිකාය. ඇයද කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිවරයාගේ පිහිට සොයා ආ තැනැත්තියකි. අපි ඇගේ කතාවද ඇසුවෙමු.

අපි දේවගැතිතුමා හමුවෙන්න ආවේ ගාල්ලෙ ඉඳන්. මම දේවගැතිතුමා හමුවුණේ අපේ සහෝදරයකුගේ මාර්ගයෙන්. දේවගැතිතුමා ළඟට එද්දි අපි කන්න බොන්නවත් නොහැකි තරමට අසරණවෙලා හරිම දුක්ඛිත ජීවිතයක් ගත කරමින් හිටියේ. මම අවුරුදු දාහතරක් තිස්සේ පුදුම දුකක් වින්දා. මගේ ශරීරයට යක්ෂ බන්ධනයක් කරලා. රෑට මට දැනෙනවා කවුරුහරි මා ළඟට ඇවිත් මාව බය කරනවා. මගේ මහත්තයට දරුවන්ට මම හුඟක් වද දුන්නා. මහත්තයා, දරුවෝ මට වෙලාවකට අඳුරන්න බෑ. මට ජීවත් වෙන්න ආසාවක් නැති වුණා. මැරෙන්න ඕනෑ කියන චේතනාව මගේ හිතට ආවා. මගේ මේ අසනීප තත්ත්වය සුව කරගන්න මම හුඟක් වෛද්‍යවරු ළඟට ගියා. ඒත් කාටවත් මගේ ලෙඩේ අඳුරගන්න බැරි වුණා. දේවගැතිතුමා මගේ හඳහන බලලා කීවා පුතේ උඹට ලොකු කරදරයක් තියෙනවා. දේව වරමකුත් තියෙනවා. ඒ ඔක්කොටම ඉස්සර උඹව බේරාගන්න ඕන කියලා. රෑට යන යන තැන්වලදී මට කළු පාට ලොකු මිනිහෙක් එනවා පේනවා. මම හිටිය තත්ත්වය තේරුම් අරන් දේවගැතිතුමා පුද පූජා කරලා උඹට බන්ධනය කරපු යකා උඹේ ඇගෙන් අයින් කළා කීවා. මම මගේ දරුවෝ, මහත්තයා අඳුරාගත්තේ ඊට පස්සෙ. කන්න බොන්න තරම්වත් ආර්ථිකයක් නැතුව හිටිය අපේ ප්‍රශ්න සියල්ල ඉන්පසු ටිකෙන් ටික විසඳුණා... ඒ ශානිකා කී ඇගේ කතාවයි.

අපි යළිත් දේවගැතිතුමා දෙසට හැරුණෙමු.

මගේ තාත්තා මගේ ආච්චි ඇතුළුකොට සිව්වර අට සේනාවක් මා සමඟ ඉන්නවා. ඒ සේනාව මට ඇහැට පේන්නේ නෑ. ඒත් මගේ තාත්තා අපට බලවර අරන් මගේ ඇඟට ආවම මගේ මනෝකාය ඉවත් වී මගේ ජීව ප්‍රාණය ඇතුළට අර බලය ඇතුළු වී මේ සියලු දේ ඔවුන් දකිනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ මා නෙවෙයි දෙවියන්ගේ බලවර ගත් ඔවුන්. ඕනෑම දෙයකට නීති‍යක් තියෙනවා. ඒ නීතියට අනුව තමයි ඒවාට අදාළ ක්‍රියාකාරකම් සිදුවන්නේ...

අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට අනවින කරලා, බන්ධන කරලා, හූනියම් කරලා අතපය කඩලා, යානවාහන හප්පලා ව්‍යාපාර බංකොලොත් කරලා විනාශ කරලා දැම්ම එවුන්ගෙන් සොහොන් කාලි අම්මා ලව්වා මම අහනවා කොඩිවින බන්ධනේ මේ ගෙදර වළදාලා තියෙන්න කොහෙද කියලා. සොහොන් කාලි අම්මට ඔය කොයි යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයත් බයයි. ඊට පසුව එය ගොඩ අරගෙන ඒ කාල යක්ෂාදී භූත ප්‍රේත කුම්භාණ්ඩ බන්ධනය ඉර පල්ලේ, සොහොන් මුල්ලේ, තුන් මං හන්දියේ, ගොරක් ගහ මුදුනේ තියලා කපලා කරපු එකා පිටින්ම හරවලා යවනවා. 
මෙතෙක් කල් විනාශවෙලා දුගී දුප්පත්වෙලා හිටි මිනිස්සු පොහොසත් කරලා සතුටු කරලා ව්‍යාපාර දියුණු වෙද්දී ඒ මිනිස්සුන්ගෙන් මම කරන්නෙ එකම එක අහිංසක ඉල්ලීමක් විතරයි.

ඒ ඉල්ලීම කුමක්ද දේවගැතිතුමනි?

පිංකමක් කරමු කියලා මම ඒ අයගෙන් ඉල්ලනවා. ගිලන් වූ අයට, උපාසක, උපාසිකාවන්ට, බුද්ධ ශාසනය සුරකින සංඝ පුත්‍රයාණන් වහන්සේලාට, අන්ධ වැඩිහිටි ඇත්තන්ට දානයක් දීලා පිංකමක් කරලා ඒ පින්කඳ මෙන්න මේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන්ට අනුමෝදන් කරවා සංසාර භවේ කවදා හෝ මතු භවයක විශ්වයෙහි බුදුවන බුද්ධ පුත්‍රයෙකු ළඟදී යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ ආත්මවලින් මිදෙන්නට ඒ ඇත්තන්ට පිං එකතු කරලා දෙනවා.

මම කවදාවත් සොහොන් කාලි අම්මට, ලේ කාලි අම්මට දෙන්න සතෙක් මරලා ලේ ගන්නෙ නෑ. යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ බන්ධනවලින් මිනිස්සු ගලවාගන්න මම මගේ අත කඩුවෙන් කපලා ගත්තු ලේ තැවරුනු පොල් ගෙඩිය තමා කාලි අම්මට පූජා කරන්නෙ. ඊට පෙර කාලි අම්මට ලේ බේසමක් පූජා කරන්නේ කාලි අම්මා ලෙයින් නහවන්නේ මගේ අතේ ලේවලින්. පුහුල කැපුවම බන්ධනයට අහුවෙලා හිටිය යකා හරි මොකා හරි යනවා. උන්ව කන්ට්‍රෝල් කරගෙන අපි උගේ බල කඩනවා. දිෂ්ටිය එද්දි මට සිහිය නෑ. ඒ නිසා වෙන දේවල් මම දන්නෙ නෑ. ඒක කාටවත් කීවට තේරෙන්නෙත් නෑ.

ඔබම කී පරිදි කොඩිවිනයක්, බන්ධනයක් කපද්දි එය කරපු කෙනාට අත්වන ඉරණම අනුව ඒ පුද්ගලයා කවුරු වුණත් සුනේසුන්? ඒකෙ වෙනසක් වෙන්නෙ නැද්ද දේවගැතිතුමනි?

හතුරාට හැතිරියට මේ කොඩිවිනයට අණදුන් බලදුන් උදව්දුන් උපකාර කළ සියල්ලන්ටම නිත්‍ය දඬුවම් බල ඔප්පු කරදී, මෙවන් තවත් ගිනි ජාලාවන් අවුලුවන්න ඉඩ දෙන්න එපා අම්මේ... මම සොහොන් කාලි අම්මගෙන් අයදින්නෙ එහෙම.
කොඩිවිනය බන්ධනය කපනකොට ආපහු ගියොත්, වැරදියට කැපුවොත් ලෙඩත් කපෝතියි, ඇඳුරත් කපෝතියි. කරපු උන් හොඳට ඉඳීවි. කපපු උන් මළවුන් අතරට යාවි. ඒ නිසා වැඩේ හරියටම දැනගෙන වැඩේට බහින්න ඕන. ලෝකයේ පවතින නීතියට අනුවත් සොබාදහමේ නීතියට අනුවත් වරදට දඬුවම අනිවාර්යයි. ලෝකයේ නීතියෙන් ධනය බලය පාවිච්චි කරලා රිංගලා ගියත් සොබාදහමේ නීතියෙන් එහෙම රිංගලා යන්න බෑ. කර්මයෙන්, පාපයෙන් කාටවත් ගැලවෙන්න බෑ. ලෝක නීතිය වරදකට දඬුවම නොදී හිටියත් සොබාදහමේ නීතිය වැරැද්දක් කළානම් මොන බලවතාට හෝ ජගතාට වුණත් දඬුවම් දෙනවා දෙනවා දෙනවාමයි. වැරදි කළොත් දඬුවම් විඳිය යුතුයි යුතුයි යුතුමයි. ඒ තමා කාලි අම්මාගේ නීතිය. ඒ නීතිය කාටත් එකයි. ධනයට, බලයට ඒ නීතිය යට කරන්න බෑ. එක්කෙනෙකුට එකපාරක් වරද්දන්න පුළුවන්. ඒත් මේ අම්මා දෙපාරක් වරද්දන්න ඉඩ දෙන්නෙ නෑ. කොඩිවිනේ බන්ධනේ කැපූ දාට කරපු එකා සුනේ සුන්. 

යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩයින්ව ජීවිතයට ළංකරගන්න එපා. ඔබට කෙතරම් අයුක්තියක්, අසාධාරණයක් වුණත් තවත් කෙනෙක් විනාශ කරන්න එපා. කොහොමහරි කවදාහරි හරි කෙනාට අහුවුණාම ඒ අයට දඬුවම් විඳින්න වෙනවා වෙනවා වෙනවාමයි. මේ ශාසනය සම්බුද්ධ ශාසනය. බුදුන් වහන්සේගේ ධර්මය බොරු කරන්න කාටවත් බෑ. අවසානයේ සියල්ලන්ගේ ජීවිතවලට වලංගුවන්නේ ඒ ධර්මයයි. 

කරන කලට පව් මිහිරිය මී          සේ 
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි     සේ 
හැඳින එපව් දුරලන           උපදේසේ
නුදුන මැනවි තුන්දොර       අවකාසේ

(ලෝවැඩ සඟරාව)

(ඇසට නොපෙනෙන ලෝකයේ තවත් කඩඉමක සිට එන ඉරිදත් හමුවෙමු)

♦ සංජීවිකා සමරතුංග
සේයාරූ I චන්න කස්සප කෝරළේආරච්චි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05