දකුණේ පාතාලය වූ කලී මෙරට ක්‍රියාත්මක දරුණුතම පාතාලයයි. අණක් ගුණක් නැති දකුණේ පාතාලයට කිසිඳු දවසක කිසිඳු මොහොතක මිනිස් ජීවිතයක වටිනාකමක් නැත. මේ නිසාම දකුණේ පාතාලය නිසා ජීවිතය අහිමිවූවෝ 500කට ආසන්න බව කියති. එපමණක් නොව මිනියකටවත් ඉන්න නොදෙන දකුණේ පාතාලයන් මළමිනීවලට පවා වෙඩි තැබූ අතීතයක් ඇත. ඒ තරම් වගේ වගක් නැති දකුණේ පාතාලයන් හැම මොහොතකම මිනිස් ජීවිතවලට ඉව ඇල්ලුවෝ වෙති. දකුණේ පාතාලයේ මීට දශක දෙකකට පෙර ප්‍රබලයා වූයේ එස්.ටී.එෆ්. නඳුන්ය. නඳුන් සෑමවිටම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම සඳහා නොකළ දෙයක් නැත. ඔහුගේ කල්ලිය බුරැතු ගණන් මනුෂ්‍ය ඝාතන සිදුකළේය. කප්පම්ද ඒ හා සමානය. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිටි නඳුන් කාලයත් සමඟ මේ අපරාධ අත හැරීමට තීරණය කළේය. ඒ අනුව ඔහු සියලු ඝාතන, කප්පම් අතහැර දමා විදෙස් ගත වුණේය. එලෙස විදෙස් ගතවීමෙන් පසුව නඳුන්ගේ කල්ලිය නන්නත්තාර වූ අතර ඉන්පසුව ඒ සඳහා නායකත්වයට පැමිණියේ නඳුන්ගේ ගෝලයකු වූ කොස්ගොඩ සුජීය.
කොස්ගොඩ සුජී එම කල්ලිය අතට ගැනීමට නඳුන්ට එහා ගිය බලයක් පෙන්වීමට උත්සාහ කළේය. මේ නිසා අහිංසක දරු පවුල් පවා ඝාතනය කිරීමට සුජීගේ කල්ලිය ක්‍රියාත්මක විය. සැබවින්ම නඳුන්ගේ එවැනි ක්‍රියා නොතිබූ අතර ඒ නිසාම කල්ලිය තව තවත් ප්‍රබල කිරීමේ අරමුණින් සුජිත් ගාල්ල පුරාම භීෂණයක් පැතිරුවේය. මේ නිසාම සුජීගේ කල්ලියට එරෙහිව විරුද්ධ වැඩක් සිදුකිරීමට කවුරුත් පෙළඹුණේ නැත.
එහෙත් හික්කඩුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් කල්ලියක් ඉස්මතු වෙන්නට විය. ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු මෙන්ඩිස්ගේ කල්ලියය. මේ නිසාම සුජීලාට හික්කඩුවට පැමිණීමට හැකියාවක් තිබුණේ නැත. එහෙත් මේ සිද්ධි වන අතරතුර දිනක් මනෝජ් මෙන්ඩිස් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඒ සුජීගේ කල්ලියේ ප්‍රබලයකු වූ පොඩි ලැසී විසිනි.
පොඩි ලැසී එම සිද්ධියත් සමඟ බන්ධනාගාර ගත වූ අතර ලැසීට ගාල්ල ප්‍රදේශය තුළ තැනක් හැදීගෙන එන්නට විය. මේ අතර ඒ වනවිටත් සුජීගේ කණ්ඩායමක් බන්ධනාගාරයේ සිටියේය. ඒ කරන්දෙණිය දොස්තර මහතා ඝාතනයේ පිරිසය.
මේ අතර පොඩි ලැසී නිදහස් වී ආවේය. එසේ පැමිණි ලැසී ගාල්ල අධිකරණයෙන් එළියට පැමිණ ගෙදර ගියේ බෝට්ටුවක නැගීය. ඒ ජීවිත ආරක්ෂාව සඳහාය. මේ බෝට්ටු ගමන නිසා කෝපයට පත් මෙන්ඩිස්ගේ කල්ලිය විසින් අදාළ බෝට්ටුවේ හිමිකරු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
කෙසේ වෙතත් එම සිද්ධියත් සමඟ සැඟවෙන ලැසී නැවත කරළියට එන්නේ කොන්ත්‍රාත් ඝාතනයක් සඳහාය. ඒ සුජීගේ ප්‍රතිවිරැද්ධ කල්ලියක් වන අහුංගල්ලේ සංජීවට ගේමක් දීමටය. ඒ සඳහා පොඩි ලැසීත්, සුමුදු නැමැත්තාත් පැමිණෙන අතර කිසිදු ඉවක් බවක් නැතිව සංජීවගේ නිවසට වෙඩි තබනු ලබයි. එම වෙඩි තැබීමෙන් සංජීවගේ මිතුරකුගේ බිරිඳක් මිය ගියේය. එසේම මීට මාස කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගැබිණි මාතාවකට වෙඩි තැබූ ජෝසප් නැමැත්තාගේ දියණියගේ අතට වෙඩි වැදී තුවාල සිදුවිය.
එම සිද්ධියෙන් පසුව නැවතත් ලැසී සැඟවෙයි. එහෙත් වැඩි දවසක් සිටින්නේ නැත. කරන්දෙණිය දොස්තර ඝාතනයේ සැකකරුවකු වූ සුද්දාගේ පවුල් ආරවුලක් හේතුවෙන් කොස්ගොඩ සුජීගේ උවමනාව මත තවත් කොන්ත්‍රාත් ඝාතනයක් ලැසී විසින් බාරගනු ලබයි. ඒ අනුව මාදම්පේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු, ඔහුගේ බිරිය සහ තුන්හැවිරිදි දරුවා ඝාතනය කරනු ලැබූහ. එම ඝාතනය ඉඩම් ආරවුලක් මත සිදුවූ අතර එයට කොස්ගොඩ රණාත්, රාජු නැමැත්තාත් සම්බන්ධ විය.
මේ ඝාතනය සිදුකොට වැඩි දවසක් ගියේ නැත. පොඩි ලැසී තවත් ඝාතනයක් සිදුකළේය. ඒ ව්‍යාපාරිකයකු වූ පළතුරු ප්‍රියන්ත ඝාතනය කිරීමය. එම ඝාතනයද කොන්ත්‍රාත් පදනම මත සිදුවිය. මේ සියලු දේවල් සිදුවන විට ලැසීගෙන් පළිගැනීම සඳහා තවත් පිරිසක් පිඹුරුපත් සකසමින් සිටියහ. ඒ මනෝජ් මෙන්ඩිස්ගේ කණ්ඩායමය. එම කණ්ඩායමේ ප්‍රියන්ත නැමැති අයකු සිටිනා බවට ලැසීට දැනගන්නට හැකි විය. ඒ අනුව ලැසී එම වැඩේට අත ගැසුවේය. දිනක් තම පාසල් දියණිය සමඟ නිවසට යමින් සිටියදී දික්කුඹුර ප්‍රදේශයේදී පොඩි ලැසී ප්‍රියන්තට වෙඩි තැබුවේය. එම වෙඩි තැබීමෙන් පසුව ලැසීට සැඟවෙන්න හැකිවූයේ නැත. ඔහු අම්බලන්ගොඩ පොලීසියට කොටුවිය.
මෙලෙස සියලුදෙනා පොලීසියට කොටුවීමත් සමඟ සුජීට එරෙහිව තවත් කණ්ඩායමක් හිස ඔසවමින් සිටියේය. ඒ කොස්ගොඩ තාරකය. තාරක යනු කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකි. ඔහු දකුණේ පමණක් නොව ගම්පහ ප්‍රදේශයේද කොල්ලකෑම් සිදුකළේය. තාරක කණ්ඩායමක් සමඟ චණ්ඩිකම් පෑම නිසා සුජී සිටියේ දැඩි වෛරයකිනි. ඒ වනවිටත් සුජී ඩුබායි රාජ්‍යයට පැන සිටි අතර සුජී තම ගෝලයන් අමතා කීවේ කෙසේ හෝ එය නවතා දමන ලෙසටය.
ඒ අනුව සුජීගේ කල්ලියේ ප්‍රබලයන් දෙදෙනකු වන රාණා සහ රාජු කොන්ත්‍රාත්තුව බාරගනු ලබයි. ඒ අනුව දිනක් උත්සවයකට පැමිණෙන ලෙසට තාරකගේ සමීපතමයකු වූ කොස්ගොඩ ලොකූට දැනුම් දුන්නේය. ලොකුත් තවත් දෙදෙනකුත් එහි යන අතර රණාත් රාජුත් පැමිණ කොස්ගොඩ ලොකූවත්, දිල්ෂාන් කියන අයත් ඝාතනය කරනු ලබයි. මෙහිදී එක් අයකුට තුවාල සිදුවේ.
මේ ඝාතනයෙන් පසුව තාරක පවා අන්ද මන්ද විය. එහෙත් තාරක එතැන් පටන් ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා මෙහෙයුමක් දියත් කරනු ලබයි. ඒ සුජීගේ අයගෙන් ජීවිතයට ජීවිතයක් ගැනීම සඳහාය. ඒ අනුව තාරක පසුගිය සතියේ සිය මෙහෙයුම ආරම්භ කරන්නට විය. තාරක ඇතුළු කිහිප දෙනෙක් කොස්ගොඩ සුජීගේ ඥාති මාමා කෙනෙකු වූ මහින්ද රාජාගේ නිවසට ගියහ. මොහු සුජිත්ගේ වැඩවලට උදව් කළ නිසා තාරක පළමු ප්‍රහාරය මහින්ද රාජාට එල්ල කිරීමට සැලසුම් කළේය.
ඒ අනුව ඔහු මහින්ද රාජා ඇතුළු පිරිස රාත්‍රී නින්දට යනතෙක් සිටියේය. අලුයම 3.45ට පමණ තාරක ඇතුළු පිරිස රාජාගේ නිවසට පැමිණ මිදුලේ සැරිසරන්නට විය. එක දිගට බල්ලන් බුරන නිසා කැළඹීමට පත් රාජාගේ බිරිය නිවසේ දොරටුව විවෘත කළාය. ක්ෂණයකින් ඇතුළු වූ තාරක ඇතුළු පිරිස සාලයේ නිදා සිටි රාජාට වෙඩි තැබූහ. ඊට පසුව කාමරයට ඇතුළු වී වැඩිමහල් දරැවාත්, දෙවැනි දරුවාත් සිටින කාමරයට ගොස් වෙඩි තැබුවේය. එහිදී වැඩිමහල් දරුවා මියගිය අතර දෙවැනි දරුවා ජීවිතය අනූනවයෙන් බේරාගත්තේය. ඊට පසු අනෙක් කාමරයට ගිය පිරිස එහි වූ අවුරුදු 13ක දරුවාටද වෙඩි තැබුවේය. එසේ වෙඩි තැබීමෙන් නැවත එළියට යමින් සිටි පිරිස සාලයේ මැරී වැටී සිටි රාජාගේ ඔලුවට නැවත වෙඩි තැබූහ. පිරිස මේ ඝාතනයට එන ගමන් සුජීගේ තවත් ගෝලයකු වූ කපිලරත්නට ද වෙඩි තබා මරාදමා තිබිණි.
දහසක් බුදුවරු බුදු වන උදෑසන අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිව්පුද්ගල ඝාතනයක් එලෙස සිදුවිය. ඒ පාතාලයේ ගිනිකෙළි නිසාය. දරුවන් නොහඳුනන ඒ තිරිසනුන් අමු අමුවේ පාසල් යන දරුවන් දෙදෙනකුද එලෙස ඝාතනය කර තිබිණි.
කෙසේ වෙතත් මෙම ඝාතනය එක් පැත්තකින් පාතාලය අනුව රිටන් එකකි. තවත් පැත්තකින් පාතාලයට අනුව ඝාතන රුල්ලක ආරම්භයකි. මේ නිසා ඉදිරියේදී එකවැලට මිනිස් ඝාතන සිදුවීමේ පළමු වෙඩිමුරය මෙය විය හැක.
අපට වාර්තා වන අන්දමට මේ වනවිට අම්බලන්ගොඩ, කොස්ගොඩ, මීටියාගොඩ ආදී ප්‍රදේශවල සමහරුන් ඉඩකඩම් අත්හැර පවුල් වෙනත් ප්‍රදේශවල පදිංචියට පවා යාමට ආරම්භ කර ඇත. එයට හේතුව නම් එක් අතකින් ඇති ජීවිත අවදානමය. අනෙක් පැත්තෙන් ජීවත්වීම සඳහා සුදුසු පරිසරයක් එහි නොමැතිවීමය. මේ නිසා බොහෝ දෙනා එම ප්‍රදේශ අත්හැර වෙනත් ප්‍රදේශ සඳහා මාරුවන්නට පටන්ගෙන ඇත.
කෙසේ වෙතත් අපට වාර්තා වන අන්දමට මීටියාගොඩ ප්‍රදේශයේ පමණක් එක් අයකු හෝ ඝාතනය නොවූ හෝ තුවාල සිදුනොවූ අයකු නැත. මොන දෙයකින් හෝ ප්‍රහාරයක් පාතාලයෙන් එල්ල වී ඇත. ඇතැම් පවුල්වල පියවරු නැත. සහෝදරයෝ නැත. මව්වරු නැත. ඒ මේ පාතාලයන්ගේ වැඩ නිසාය.
පාතාල නායකයන් රට තුළ රජකරන විට මෙරට සිටින දුගී දුප්පත් තරුණයන් දහසක් හීන දකිමින් පාතාලයන්ගේ අතකොලු බවට පත්ව සිටිති. රුපියල් ලක්ෂයේ සිට විසිපන්දහස තෙක් ජීවිතයකට ඉරණම තීරණය වන පාතාලය තුළ එකම අරමුණ වී ඇත්තේ එකා පරයමින් පාතාලයේ කිරුළ දැරීම පමණි. එහෙත් අද වනතෙක් කිරුළු දැරුවෝ නොමැත. ගෝඩ් ෆාදර් යැයි කියාගත් නාවල නිහාල්ලාටද වෙච්ච දෙයක් නැත. ඒ නිසා අවිගත් හැමදෙනාට ඇත්තේ එකම අවසානයකි.
පවුල් අතර ඇතිවන ආරවුල් පවා යකඩ බටයකින් විසඳන්නට යන දකුණේ පාතාලය නිසා අද වනවිට බොහෝ දෙනෙක් සිටින්නේ මර බයෙනි. ඒ නිසා මේ අපරාධ රැල්ලෙහි අවසානයක් දැකිය යුතුය. ඒ අවසානය සිදුකළ යුත්තේ ආණ්ඩු මැදිහත්වීම තුළින් පමණි. එහෙත් කරුමය නම් ආණ්ඩු ඇතැම් විට මැදිහත් වී ඇත්තේ පාතාලයන් රැකගැනීම සඳහා වීමය. ඇතැම් උන් විදෙස් රටට වී කකුල් උඩ දමාගෙන මිනීමරණ තෙක් වගකිව යුතු අංශ කකුල් දෙක අතර අත්දෙක ඔබා බලා සිටිති. ඒ නිසා අපරාධවල මර්දනයකට වඩා අපට දැකගත හැක්කේ වර්ධනයක් පමණි. ඒ වර්ධනයෙහි අවසානය තවත් පවුල් හත අටකට ජීවිත අහිමි වීම පමණි.
♦ රෙහාන් රාසික්