2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

දේශීය ලූනු වගාව මරු කටේ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

දේශීය ලොකු ලූනු ගොවියෝ කලක් පටන් ගැටලු රැසකට මුහුණ පා සිටිති. මෙවර ලොකු ලූනු වගාකළ භූමි ප්‍රමාණය බෙහෙවින් අඩුය. සාමාන්‍යයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර් 5500ක් පමණ ලූනු වගා කරනු ලැබේ. එහෙත් මෙවර ලූනු වගා කළේ හෙක්ටයාර 1000ක පමණි. දඹුල්ල ඇතුළු සෙසු ප්‍රදේශවලත් වගාකළ ප්‍රමාණය භූමි ප්‍රමාණය විශාල වශයෙන් අඩු විය. මීට හේතුවූයේ කලක පටන් දේශීය ලූනු ගොවියන් මුහුණපාන ගැටලුය. වගාවෙන් ඉවත්වීමට පාරිසරික හේතුන් මෙන්ම ලූනු විකුණා ගැනීමට තිබෙන අපහසුතා බලපා තිබිණි.

මෙවර වගාකළ ගොවියන්ගේ ලූනු වගාවත් අවාසනාවන්ත ලෙස විනාශ විය. මෙවර වගාවෙන් 75ක් පමණ විනාශ වූයේ හදිසියේම ඇදහැළුණු වර්ෂාව නිසාය. සාමාන්‍යයෙන් සෑම වසරකම ලූනු වගාව වර්ෂාවට වුවද මෙතරම් විනාශයක් සිදු නොවේ. මෙවර වගාකළ ගොවීන්ගෙන් ලූනු බිකක් හෝ නොගැලවූ අය සිටියහ. ඇතැමුන් වගාව මුළුමනින්ම අතහැර දැමූහ. ගොවීන් පිරිසකට වර්ෂාවට හසුවූ අස්වැන්න විකිණීමට සිදුවූයේ වැහි ලූනු යැයි නම්කර රුපියල් විස්ස තිහ වැනි අඩු මිලකටය. මෙවැනි අඩු මිලකට විකිණීම නිසා අල ගැලවීමට හා ප්‍රවාහනයට අතින් පාඩුවන බැවින් බොහෝ ගොවීහු අස්වනු නෙළීමත් අතහැර දැමූහ.

සාමාන්‍යයෙන් ගොවීන් වගාව ආරම්භ කරනුයේ බැංකු ණය, පොලියට ණය දෙන්නන්ගෙන් ලබාගන්නා ණය හෝ කණකර උකස්කර ලබාගත් ණය වලිනි. ඇතැම් ගොවි මහතුන් ලක්ෂ හය හත ණය ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි. ඔවුන් එම ණය පියවන්නේ ලූනු විකිණීමෙන් ලබාගන්නා ආදායමෙනි. නමුත් මෙවර ලූනු විකුණාගත නොහැකි වූ බැවින් ගොවීහු ණය ගෙවාගත නොහැකිව අසරණ වී සිටිති. ලූනු ගොවියෙක් වස බී මරණයට පත්වූ සිදුවීමක් දඹුල්ලෙන් වාර්තා වූයේ මේ හේතුවෙනි.

ලූනු වගාව සඳහා බීජවලට පමණක් රුපියල් 15000-18000 විතර ගොවීහු වැය කරති. ඊට අමතරව බිම සකස් කිරීමේ සිට සාත්තු කිරීමේදී ද අතිවිශාල පිරිවැයක් හා මහන්සියක් ඔවුන්ට දරන්නට සිදුවෙයි. ඒ සියල්ල දරාගනිමින් අස්වනු නෙළා විකුණා මුදල් කිරීම ගොවියාගේ බලාපොරොත්තුවයි. නමුත් මෙවර වර්ෂාව නිසා ලූනු විශාල ප්‍රමාණයක් වැහි ලූනු යටතේ අඩු ගණන්වලට විකිණීමට සිදුවිය. පිටරටින් අඩු මිලට ගෙන්වන ලද ආනයනික ලූනු මිල නිසාද දේශීය ගොවියෝ පාඩු ලැබූහ. එයට පිළියමක් ලෙස රජය සියයට සියයක බද්දක් පැනෙව්වේය. ඒ ගොවියා ආරක්ෂා කිරීමටය. නමුත් ඒ බදු ගැසීම අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වැනි තීන්දුවක් විය.

සියයට සියයේ බද්ද පනවන විටත් ගොවියා ළඟ ලූනු නොතිබුණි. ඒ වනවිට ඒවා වැහි ලූනු වශයෙන් විකුණා අවසන්ය. ඉතිරි වූ අලද වැස්සට හසුවීම නිසා විනාශ වී ගොස්ය. නව බදු පැනවූ දින වනවිටත් සති තුන හතරකට පෙර ගෙන්වන ලූනු විශාල ප්‍රමාණයක් දඹුල්ලේ ලූනු ගබඩාවල තිබුණු බවත් වාර්තා වෙයි. ඒවා පකිස්තානය, චීනය, කසකස්ථානය, ඉන්දියාව වැනි රටවල්වලින් ගෙන්වන ලද ඒවා විය. නව බද්දෙන් ලූනු මිල වැඩිවීමේ වාසිය ලබාගත්තේ ලූනු ආනයනය කර ගබඩා කරගත් ව්‍යාපාරිකයන්ය. නව බද්දෙන් පසු ලූනු කිලෝව රුපියල් 200 දක්වා ඉහළ ගියේය. බද්දේ වාසිය විකිණීමට ලූනු නැති නිසා ගොවියාට නොලැබුණි. ලූනු මිල විකෘතිය නිර්මාණය වූයේද මේ අතරය. මෙයින් විශාල අසාධාරණයක් සිදුවූයේ පාරිභෝගිකයාටය.

දිගම්පතන ලොකු ලූනු බීජ ගම්මානයේ බීජ නිෂ්පාදනය කරන්නෝද විශාල ගැටලුවකට මුහුණ පා සිටිති. ලංකාවේ තිබෙන එකම බීජ ගම්මානය දිගම්පතන වන අතර එය රජයේ අනුග්‍රහයෙන් අදාළ උපදෙස් ලබා දෙමින්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ නඩත්තු වෙයි. ගම්මානයේ නිෂ්පාදනය කරන ලූනු බීජ මිලදී ගන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙනි. ලූනු බීජ හැදීමේදී ගොවියා ඒ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දරයි. ගොවියා සිය අස්වැන්නෙන් හොඳම ලූනු අල තෝරා ඒවා නුවරඑළියේ සීතාඑළියට ප්‍රවාහනය කර සීත කාමරවල තැන්පත් කරයි. තැන්පත් කිරීම් වෙනුවෙන් වෙනම කුලියක් ගෙවීමට සිදු වේ. ලූනු සීතාගාර තුළ තැන්පත් ලූනු සති කිහිපයකින් පැළවෙයි. පැළ වූ පසු නැවත දඹුල්ලට ප්‍රවාහනය කර පැළ වූ කෑල්ල කපනු ලැබේ. කැපූ ස්ථානයෙන් මොටෙයියන් ගණනාවක් මතුවෙයි. ඒවා හිටවා එහි හැදෙන මල්වලින් ලූනු ඇට ලබා ගනියි. ඒ ඇට නැවත සීතාඑළියේ හෝ කටුනායක සීතාගාරවල තැන්පත් නොකළේ නම් බීජ පැළවන්නේ ද නැත.

ගොවියන්ගේ ඉල්ලීම වන්නේ මෙවර සිදුවූ විනාශය නිසා ණය සහනාධාර ලබාදෙන ලෙසත් සිදු වූ හානියට සාධාරණ වන්දියක් තමන්ට ලබාදෙන ලෙසත්ය. ණය සහනාධාර වශයෙන් ණය ප්‍රමාණයෙන් කොටසක් කපාහරින ලෙසත් ණය පියවීමට සහන කාලයක් ලබාදෙන ලෙසත් ගොවීන් ඉල්ලන බව සමස්ත ලංකා ගොවිජන සමිති සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය. බීජ ගොවීන්ගේ ගැටලුවත් වහාම විසඳීමට රජය මැදිහත් විය යුතු යැයිද හෙතෙම අවධාරණය කළේය.

දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලූනු මිලේ සිදුවූ හදිසි වෙනස්වීම සම්බන්ධයෙන් දඹුල්ල ලූනු වෙළෙන්දෙක් වන ජයනන්ද මහතාගෙන් අපි කරුණු විමසුවෙමි. 

“අපේ ලූනු හිඟයි. අපනයන ලූනුත් දැන් මිල වැඩියි. මේ සියල්ල බලපෑවා. මේ සැරේ අපෙ අස්වැන්න තියාගන්න පුළුවන් වුණේ නෑ. වැස්සට අහුවුණා. ඒ නිසා ගොවීන් ඉක්මණින් බඩු වෙළෙඳපොළට එව්වා. බකමූණ ඇලහැර වගේ සමහර පැතිවලට ඒ වැස්ස ගියේ නෑ. ඒ මිනිස්සු ළඟ විතරයි බඩු තිබුණේ. ඒ අයට වැඩි මිලක් ලැබුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිල වැඩි වුණාම වාසිය යන්නේ ගොවි මහතුන්ට. අපි ගන්නේ අපේ කොමිෂන් එක විතරයි. අපි රුපියල් සීයට වික්කත් ගන්නෙ රුපියල් පහයි, එකසිය හතළිහට වික්කත් ගන්නේ රුපියල් පහයි. එකසිය තිස් පහක්ම ගොවියන්ට දෙනවා. අපි කිසිම සූරාකෑමක් කරන්නෙ නෑ. ගිය සතියේ අපි 110-120ට වික්කා. අද 165ට වික්කා. එකසිය පනහට උඩින් විකුණද්දි අපි හතයි පනහක් ගන්නවා. මේකෙන් ගොවියට 158ක්ම ලැබිලා තියෙනවා. කළින් සමහර දවස්වල කිලෝ විසි තිස් දාහ අපිට බඩු ආවා. දැන් එන්නෙ කිලෝ දෙතුන් දාහක් විතරයි. දේශීය ලූනු තව සති දෙකක්වත් තියේවි කියලා මම හිතන්නේ නෑ.”

ලූනු ගොවියාට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා නියම කළ සියයට සියයේ බදු වාසිය ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ට ලැබෙද්දී අසාධාරණය සිදුවූයේ පාරිභෝගිකයන්ටය. කෙසේ වෙතත් පසුගියදා පැනවූ සියයට සියය බද්ද ඉවත් කළ බව නිවේදනයක් නිකුත් විය. එහෙත් ඉහළ ගිය ලූනු මිල දැන්ම පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. මෙවර ඉන්දියාවේ ලූනු වගාවත් අසාර්ථක වීම නිසා ඉන්දියානු ලූනු මිලද ඉහළ ගොස් ඇත. එනිසා ආනයනික ලූනුවලට ඉහළ මිලක් ගෙවීමට සිදුවන නිසා මෙරට වෙළඳ පොලේ ලූනු ද ඉහළ මිලක් යටතේ විකිණෙනු ඇත.

I සකීෆ් සාම් තන්වීරි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05