2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

කොඩිවිනේ කැපුවම කරපු එකා සුනේසුන්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 861

පියවි ඇසට නොපෙනෙන ලෝකයෙන් එහා ලේකාලි මෑණියන්ගේත් සොහොන් කාලි මෑණියන්ගේත් අණසක යටතේ බලවර ගැන්වෙන යකුන්ගේ භූතයන්ගේ ප්‍රේතයින්ගේ හා කුම්භාණ්ඩයින්ගේ ලෝකයේ සිට දේවගැති කීර්ති කුමාර බටගොඩගේ සමඟ ඉකුත් සතියේ අපි ඔබට ආමන්ත්‍රණය කළෙමු. බොහෝ මිනිසුන්ගේ හද මඬලේ මනුෂ්‍යත්වයේ සියපත් අභිබවමින් විකසිත වන්නේ ඊර්ෂ්‍යාවේ, ද්වේෂයේ, කුහකත්වයේ හා පළිගැනීමේ චේතනාවන්හි විසකුරු පොහොට්ටුය. එවන් මිනිසුන් යක්ෂයන්ගෙන් භූතයන්ගෙන් ප්‍රේතයන්ගෙන් කුම්භාණ්ඩයන්ගෙන් මිනිස් වර්ගයාගේ අයහපත පිණිස මෙහෙ කරන උන් සොයා යති.

යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයින්ව අපේ අය මිනිසාට වින කරන්න ප්‍රයෝජනයට ගන්නෙ මෙහෙමයි. කන්න බොන්න ඉන්න තැනක් නැතුව ඉන්න උන්ව අල්ලන්න විදිහක් තියෙනවා. තුන්මං හන්දියකට ගිහින්, ගොරක් ගහක් මුදුනකට ගිහින්, සොහොන් පොළකට ගිහින් බිත්තර බැදලා ගොටුවක් හදලා පස්තෙල් පහන් දැල්වූවාම උන්ට නිකම් තරු පහේ හෝටලයකට ගියා වගේ. සුවඳට වශී වී යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩ සංහතියම කඩාගෙන එනවා. එහෙම ආවාම උන්ගෙ දැහැන් කඩලා වශී කරලා තමන්ට වැඩේට අදාළ එකාව අල්ලගෙන, උඹට තියෙනවා වැඩක්. අර අල්ලපු ගෙදර උන්, අර අහවල් තැන ඉන්න අහවල්ලු දවසින් දවස දියුණු වෙනවා. උන් ඉන්නෙත් හරි සංතෝෂයෙන්. උන්ගේ ළමයිනුත් හොඳට ඉගෙන ගන්නවා. මම උඹ වෙනුවෙන් මේ ටික තියාගෙන ඉන්නවා... උන්ව නැති කරන්න ඕනෑ. උඹ උඹට කියන දේ හරියට කළාට පස්සේ මම උඹට කන්ට දෙනවා.. ලේ දෙනවා එහෙම කියලා දැහැන් කඩලා දිෂ්ටි කරලා අල්ලාගන්න යක්ෂයා හරි ප්‍රේතයා හරි භූතයා හරි කුම්භාණ්ඩයා හරි අදාළ තැනට යවනවා. 

මේවාට තමා කොඩිවින කියන්නෙ. ඉතින් ඌත් යනවා. කුසගින්න දැනෙද්දි උන් අණට කීකරු වෙනවා. කියූ දේ කොහොම හරි ඉටු කරන්න හදනවා. ඒත් අදාළ පුද්ගලයා සිටින නිවෙස පිහිටලා තියෙන්නෙ දේව පාදයක නම් ඒ අමනුෂ්‍ය බලවේගයට ගෙට ගොඩවෙන්න බෑ. ගෙදරට ආරක්ෂාවල් දාලා ගෙදරත් භූමියත් ආරක්ෂා කරලානම් අමනුෂ්‍ය බලවේගයට ඒ හතර මායිමට යන්න බෑ. ඒත් මේ අමනුෂ්‍යයන් බාරදුන්න වැඩේ අතඅරින්න කැමති නෑ. ඒ අර පෙරේත ගොටුවට තියෙන කෑදරකම හින්දා. හරි ගෙදරටයි භූමියටයිනේ ආරක්ෂාව... හිටපන් තොට දෙන්නම් වැඩේ අන්න ඒ න්‍යායෙන් තමා ඊට පසුව මේ අමනුෂ්‍යයා තමන් බාරගත්ත වැඩේ කරන්න දඟලන්නේ. ඊට පසුව මේ අමනුෂ්‍යයා පාරට වී බලාගෙන ඉන්නවා. ගෙදරදි භූමිය ආරක්ෂා කරලා තිබුණට පාර තොටේදී ඒ ආරක්ෂාවන් නෑනේ. ඒ ආරක්ෂාවන් මඟතොටට වලංගු නෑනේ. ඉතින් මේ අමනුෂ්‍ය බලවේගය පාරෙදි අදාළ පුද්ගලයාව ගොදුරු කරගන්න උත්සාහ කරනවා. 

හා තොට දෙන්නම් වැඩේ න්‍යායෙන් අමනුෂ්‍යයා කල්පනා කළත් කොතරම් බලගතු කොඩිවිනයක් වුවත් යම් ගුණාංග සහිත පුද්ගලයන් විෂයෙහි ඒ කවරක්වත් බලගැන්විය නොහැකි යැයි සිද්ධාන්තයක්ද පවතී. අපි ඒ ගැන කීර්ති කුමාර බටගොඩගේ දේවගැතිවරයාගෙන් විමසුවෙමු.

භව කුසල් බලවත් නම් පින්බල සහිත නම් හඳහන බලසම්පන්න නම් බුධ බලයෙන් බලගතු නම් බෝධිපූජා දේවපූජා නිතර සිදුකරන බුදුන් දෙවියන් පිරිසිදුවම විශ්වාසයෙන් අදහන වඳින පුදන, බලගතු යන්ත්‍ර පැළඳි පුද්ගලයෙක් නම් කවුරු කොඩිවින කළත් වදින්නෙ නෑ. බුධ බලයට යක්කු දමනය වෙනවා. පෙර කුසල් නැති, පව්කාර, නවග්‍රහයන් කේන්දරයේ දුර්වලව පිහිටි අයට තමා කොඩිවින වදින්නේ. පෙර කී පරිදි භව කුසල් ඇති, පින්වත් දෙවියන් බුදුන් විශ්වාසයෙන් අදහන බලගතු ජන්මලාභයක් සහිත යම් පුද්ගලයෙකුට යමෙක් කොඩිවිනයක් කළොත් ඒ පුද්ගලයාගේ ඉහත සඳහන් කළ බලගතු හේතු සාධක කරණකොටගෙන කොඩිවිනය එයාට වදින්නෙ නෑ. එයාට විපතක් කරන්න මොන යකාටවත් ප්‍රේතයාටවත්, භූතයාටවත් කුම්භාණ්ඩයාටවත් බෑ. ඒත් අපි හිතමු එයාගේ පවුලේ එයාගේ මවුපියන්ගේ සහෝදරයන්ගේ, දරුවන්ගේ, මේ කාගෙ හරි හඳහන දුර්වලයි. දෙවියන් බුදුන් විශ්වාස කරන්නෙ නෑ. පවෙහිම ගැලී ඉන්නවා. ඒ වගේම පෙර පව් තියෙනවා. දැන් පව් නොකළත් පෙර පව් තිබෙනවා හඳහන බලවත් නෑ කියලා. කොඩිවිනය කළේ එයාට නොවෙයි වුණත් ඒ දුර්වල පුද්ගලයාට අර කොඩිවිනය වදිනවා. ඒ කියන්නේ කෙනෙක් යම් කෙනෙකුට කොඩිවිනයක් කළොත් ඒ කොඩිවිනය යම්හෙයකින් ඒ පුද්ගලයාට නොවැදුණත් එයාගේ ලේ බැඳීම ඇති, ලේ බැම්මෙන් ගෑවිච්ච කාට හෝ එය වදින්න පුළුවන්. නරක නපුර විපත අයහපත ඒ කාට හෝ බලපාන්න පුළුවන්.

ඇසට නොපෙනෙන ජීව ශරීරයක් නැති භවයක සැරිසරන්නෙකුට අහවලාට මෙසේ කරපන් කියා බලවර දී මිනිසෙකු විෂයෙහි මේ තරම් විපත් කරදර අණවින පමුණුවාලන්නට හැකි ක්‍රමවේදයක් මෙන්ම ඒ වින-බන්ධන කොඩිවින කළ උන්ටම කළ වින-බන්ධන ආපසු පෙරළී ගොස් වැදියන් යන චේතනාවෙන් කළ කොඩිවිනයට ප්‍රතිඋත්තර බඳින ක්‍රමවේදයක් ද ඇත.

මහ සොහොන් කාලි අම්මාගේ යටතේ තමා යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ ඔක්කොම පාලනය වෙන්නෙ. ඒ එකෙක් හරි සොහොන් කාලි අම්මගේ අණට අකීකරු වුණොත් කොයිවෙලාවක හරි සොහොන් කාලි අම්මා යකාගෙ හරි මොන අමනුෂ්‍යයාගේ හරි බෙල්ල කපනවා. අත කපනවා. අමනුෂ්‍යයෝ බයයි සොහොන් කාලි අම්මට. යක්කු අතරත් රිරී යක්ෂයා මහ සොහොනා වගේ යක්ෂ නායකයෝ ඉන්නවා. බාරහාර දීලා සොහොන් කාලි අම්මාට කොඩිවිනයක් කපන්න බාරදුන්නම සොහොන් කාලි අම්මා යක්ෂ නායකයන්ගෙන් අහනවා කවුද මේ දරුවා පිටුපස ඉන්න එකා කියලා. මොන යක්ෂයාද? මොන භූතයාද? මොන ප්‍රේතයාද? මොන කුම්භාණ්ඩයාද? ඒ මොකා වුණත් එන්ට කියාපියව් මා ගාවට. සොහොන් කාලි අම්මා යක්ෂයාට අදාළ එකා ගෙනාපිය මා ළඟට කිව්වම අර යක්ෂ නායකයා ඒ කොඩිවිනය පිටුපස්සෙ ඉන්න එකාව එක්ක එනවා.

කියාපිය තෝ ඇයි ඒක කළේ?

මට කන්න නැති හින්දා බොන්න නැති හින්දා

ආ උඹට කන්න නෑනේ... අහවලා උඹට කන්න ගෙනත් තියෙනවා ගොටුවක්. මෙන්න කාපන්

මට ලේ නෑ...

මෙන්න උඹට ලේත් තියෙනවා... ඒ මනුස්සයා උඹට පින් දෙනවා මේ ආත්මයෙන් මිදෙන්න. දැන් උඹ, උඹ ලව්වා කොඩිවිනය කරපු එකා පිටින්ම යන්ට උඹ කරපු කොඩිවිනය කපපන්. කපලා වරෙන්. උඹමනෙ දන්නෙ කරපු එකා... කරපු තැන කරපු සැත් සැතිරිය සත්කඩටම පලා වරෙන්. එතකොට තොගෙ පූජාව තොට බාරයි.

යක්ෂයන්ට ප්‍රේතයන්ට භූතයන්ට කුම්භාණ්ඩයන්ට අණක් ගුණක් නෑ. උන් කන්ට ‍බොන්ට බැදපු කෑම ලේ දුන්නම ඕනෑ කොඩිවිනයක් කරනවා. ආයෙත් කන්න බොන්න දෙනවා. තොට ඔය පව්කාර ආත්මයෙන් මුදන්න පිනුත් දෙනවා කීවම ඌ ඒ කොඩිවිනය කරපු එකාපිටින්ම යවන්ට කපන්නත් දෙපාරක් නොසිතාම හා කියනවා. සමහර මිනිස්සු සල්ලි හම්බවෙනවනම් බල්ලො වුණත් මරයි කියනවා වගේ තමා මුනුත් බැදපු බිත්තරයක් ලේ ටිකක් දෙනවා කීවොත් කරන්ට කියන ඕනැම වැඩක් කරනවා.

සොහොන් කාලි අම්මාගෙන් බලවර අරගෙන ඉන්න යක්කු ලව්වා මේ විදිහට කොඩිවිනය කැප්පුවම ඒක කරපු කෙනාට එක් වරක් දෙවරක් තුන් වරක් නෙවෙයි අනන්ත වාරයක් තමන් කරපු දේ අනිටු ප්‍රතිඵලය විඳින්න වෙනවා වෙනවා වෙනවාමයි. ලෙඩ දුක්, විඳවීම්, අබ්බගාත වීම්, අවුරුදු ගණන් පණුවන් ගසමින් මැරි මැරී ජීවත් වෙමින් මනුස්සයෙකු හැටියට මේ භවයේදිත් සංසාරයේ භවයන්වලදීත් අනන්ත අප්‍රමාණව විඳවන්නේ ඒ විදිහට මිනිස්සුන්ට නීච බන්ධන කොඩිවින පැන්නිලි කරපු මිනිස්සු තමයි. කොඩිවින ආපහු කැපුවත් නැතත් බුදු දහමේ උගන්වන කර්මය අනුව උන්ට ඒ කළ පව් පළදෙනවා පළදෙනවා පළදෙනවාමයි. ඒ කර්මයෙන් බේරෙන්න කාටවත් බෑ. ඒ වගේ පව්කාරයන් ඒ අයගේ ජන්ම පත්‍රය බැලූ පමණින්ම හඳුනාගන්නත් පුළුවන්.

බුදුන් වහන්සේ වරක් දේශනා කළේ මේ ලෝකයේ සිටිනා යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් සියල්ලන්ම මොනයම් හෝ සුගතිගාමී ආත්ම භවයකට යවන්න බෝධිසත්වවරු හත්දෙනෙක් එකම දිනයක බුදු වී එකම දිනයක මේ ශාසනයේ බල පිහිටවා ඒ බුදුවරුන් සතු මහා පින් බලයෙන් මේ යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ සියල්ලන් සුගතිගාමී ආත්ම භවයන්ට යවන්නට හැදුවත් එය කළ නොහැකි බවයි. එයින් උන්වහන්සේ පැහැදිලි කළේ අසංඛ්‍ය සංඛ්‍යාවක් යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් මේ විශ්වය මුළුල්ලේ සැරිසරන බවයි. අසංඛ්‍ය සංඛ්‍යාවක් සංසාරයේ පව් කර පව්කාරයන් ලෙස අමනුෂ්‍යයින් බවට පත් වී ඇති බව නොවේද එයින් පැහැදිලි වන්නේ?

ගෙයි මුළු කොන්වල කෙස් විසිකෙරුවද, කැහි ගෙයි මුල්ලට කැහැලා තිබුණද, යක්ෂ ප්‍රේතයෝ ගෙයි වටලයි අද........ 
නිවෙස අපිරිසිදු නම්, කෙස් ගුලි, කැහි සොටු ගේ අවට හැමතැනටම විසිකර ඇත්නම් ඒ නිවස යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන්ට තරු හෝටලයකි. උන්ට කෑම බීම ඇති තැනට උන් නිතර එන්නට පටන් ගනී. දුර්ගන්ධය උන්ට විලවුන් සුවඳකි. අදත් ඇති අර ගෙදර කෙස් කැහි සොටු. යමල්ලා කන්ට රංචු ගැසී ප්‍රේත භූත කුම්භාණ්ඩයෝ ඒ නිවෙස වටලති. කෙස් ගහකට කෙළ බිඳක් හෙළා ඒ කෙස් ගස දහතුන් වතාවක් සුදු පිරුවටයකින් පිසදා දුන්නත් ප්‍රේතයෙකුට ඒ කෙස් ගස ලෙවකෑමෙන් දවසක් බඩ පිරේ. ප්‍රේත භූත යක්ෂ කුම්භාණ්ඩ ඇල්ම බැල්ම නොවැටෙන්නට ඔබේ නිවෙස, අවට තබාගත යුත්තේ කවර ආකාරයකින්දැයි ඔබට පහදන්නට උන්ට අවැසි විමන ගැන කළ පහදා දීම පමණක්ම ප්‍රමාණවත්යැයි සිතේ.

වරක් මහා බ්‍රහ්මයාණෝ බුදු හාමුදුරුවන් අබියසට පැමිණ මෙසේ කීහ. බුදුන් වහන්ස යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් මිනිසුන් ලෙස සිටිය දී පව් කළා. ඒ නිසා මෙවැනි ආත්මවල ඉපදුණා. උන්ට කන්ට බොන්ට ඉන්න තැනක් නෑ. මේ අයටත් අනුකම්පා කර ඉන්න තැනක් වෙලාවක් දෙනු මැනව. එබස් ශ්‍රවණය කළ බුදුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට රාත්‍රී 12ත් 02ත් අතර වෙලාව අවේලාව කියලා වෙන් කර ඒ දෙපැය අමනුෂ්‍යයන් වෙනුවෙන් වෙන් කළ සේක. ඒ අවේලාවේ ගිහින් කවුරුහරි කාලා විසිකළ දෙයක් තියෙනවනම් අහුලාගෙන කාපන්. තුන්මං හන්දියක ගොරක් ගහක් මුදුනේ, පාළු බිමක, සොහොන් පළක උඹලා ඉන්න ඕන. උඹලට හැමතැනම ලගින්න බෑ. යනුවෙන් නීති මාලාවක්ද පැනවූහ. 

අන්න ඒකයි මිනිස්සුන්ට යකෙක් ගැහුවොත්, අමනුෂ්‍යයෙක් වැහුණොත් ඒ ගහන්නේ වැහෙන්නේ එක්කෝ තුන්මං හන්දියකදී, ගොරක් ගහක් යටදී, සොහොන් පළකදී, පාළු බිමකදී. යක්ෂයන්ට, අමනුෂ්‍යයන්ට මොළයක් නෑ. අවේලාවේ මිනිහෙක් එතනින් ගියොත් උන් හිතන්නේ මෙච්චර බඩගින්නේ ඉඳලා අපි හොයාගත්ත කෑම ටික උදුරාගන්න තමා මූ එන්නෙ කියලා. උන්ට පුළුවන් මනුෂ්‍ය ගණයේ සහ රාක්ෂ ගණයේ අය බය කරන්න. ඒත් උන්ට දේව ගණයේ අයට මුකුත් කරන්න බැහැ. ඒ දේව ගණයේ අය බලසම්පන්න නිසා.

පින් සහ කුසල් වඩන්න. එය මෙලොවත් පරලොවත් සුගතිගාමී සැප පිණිසම හේතුවන බව බුදුන් වහන්සේ වදාළ සේක. ධර්මයෙහි හැසිරෙන්නා, පින් කුසල් වඩන්න, ධර්මය විසින්ම රකින බව බුද්ධ ඉගැන්වීමයි. යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩයන් පවා ඒ සුගතිගාමී ධර්ම බලධරයන් හමුවේ මෙල්ල වේ. පව් නොකරන්න - පින් කරන්න - කුසල් වඩන්න යන භව විමුක්තිදායී පණිවිඩය අප ඔබ වෙත තබන්නේ එහෙයිනි.

(ඇසට නොපෙනෙන ලෝකයේ තවත් ඉමක සිට ඊළඟ සතියේත් මුණගැසෙමු)
I සංජීවිකා සමරතුංග
සේයාරූ: චන්න කස්සප කෝරලේආරච්චි