2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

තණකොළ කපන්න ගිහින් ජීවිත දන්දුන් අධිවේගයේ සේවකයෝ

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

මෙම අනතුරට ලක්වූයේ දැලතුර කජුගස්ගොඩැල්ල අංක 50/1 නිවසේ විසූ කේ. ඇල්බට් පීරිස් (වයස අවුරුදු 60) මහතා සහ තුඩැල්ල සුදුවැල්ල ස්වර්ණහංස පාරේ අංක 444/සී16 නිවසේ විසූ එම්.කේ.ඩී. සිරිපාල මහේෂ් (අවුරුදු 41) මහතාය.

දියණියන් දෙදෙනකුගේ පියකු වූ ඇල්බට් කලක් තිස්සේ කුලී වැඩවලින් දවසේ වියදම සොයාගත් පියෙකි. තම බිරිඳ සමඟ තනිව ජීවත්වන ඇල්බට්ගේ දියණියන් දෙදෙනා මේ වනවිට විවාහ වී මව්පිය නිවස අසලම නිවෙස් දෙකක තම ජීවිත ගෙන යති. බොහෝම නිහඬ ජීවිතයක් ගත කළ ඇල්බට් තම බිරිඳටත් තම දියණියන් දෙදෙනාටත් පමණක් නොව පුංචි මුණුබුරු මිණිපිරියන්ටද ආදරණීය චරිතයක් වූයේය. එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ ඇල්බට් මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදා විය.

“මගේ මහත්තයා මුලින් කුලී වැඩ කළේ. සමහර දවස්වල වැඩ නෑ. ඉතින් ඒ දවස්වලට අපිට සල්ලි නෑ. ඒ නිසා මහත්තයා මේ රස්සාවට ගියා. තාම එයා ඒ වැඩට එකතුවෙලා මාස තුනයි. හැබැයි හැමදාමත් හරිම ආසාවෙන් මහත්තයා වැඩට ගියා. පහුගිය දවස්වල එක දිගට වැස්සනේ. ඉතින් මමම එයාට කිව්වා “අද වැඩට යන්න එපා” කියලා. හැබැයි එහෙම කොච්චර මං එපා කිව්වත් එයා ඇහුවේ නෑ. වැස්සෙම ගිහින් වැඩ කරනවා.”

ඇල්බට් කම්මැලි පුද්ගලයෙක් නොවීය. සතියේ දින හයේදීම ඔහු තම රාජකාරියට ගියේය. ඔහු රාජකාරිය දේවකාරිය කොට සැලකුවේය. ඔහු තම බිරිඳට පළමුව බොහෝ දිනවල උදෑසනින්ම අවදි වූවේය. බොහෝ විට ඇල්බට් උදෑසන තේ වෙනුවට ප්‍රියකළේ කෝපි බීමටය. ඒ විතරක් නොවේ ඔහු තම උදේ ආහාර වේල සඳහා මාජරින් ගෑ පාන් කෑමට ප්‍රිය කළේය.

“මහත්තයා හැමදාම උදේ හතට වැඩට යනවා. ගෙදරින් එයා පාපැදියේ යනවා. වාහනයකින් තමයි එයාලව වැඩට අරගෙන යන්නේ. ඒ ගිහින් හරියටම දවල් දොළහමාරට එයා කෑමට එනවා. මහත්තයා දවල් එකහමාරට ආයේ ගෙදරින් යනවා. එයා දවල්ට කන්න එන්නේ මගේ ලොකු දුවගේ ගෙදරටයි. රෑට තමයි මං අපි දෙන්නාට ගෙදර උයන්නේ. මහත්තයාට උණුවෙන් කන්න ඕනේ...”

ඇල්බට්ගේ බිරිඳ පැවසුවාය. 

එදින සෙනුසරාදා දිනකි. සුපුරුදි පරිදි ඇල්බට් උදෑසන වැඩට යන්නට ලකලෑස්ති වූවේය. නිවසින් එළියට බසින්නට සූදානම් වූ ඇල්බට් රුපියල් සියයේ නෝට්ටු දෙකක් තම බිරිඳ අත තැබීය.

“ආ... අද මාළු මොනවා හරි ගන්නවා... මම යනවා ඕයි...”

ඇල්බට් තම බිරිඳට කතා කරනු ලබන්නේ “ඕයි” යනුවෙනි. මෙය ඇයට නුහුරු දෙයක් නොවේය. නමුත් ඇල්බට් එදා ඇය දෙස බලා සිනාසුනු අපූරුව... ඇය අදද මතකයට නංවන්නේ හැඬූ කඳුළිනි. ඒ ඔහුගේ අවසන් සිනහව බව එ දා ඇය කිසිවිටකත් නොසිතුවාය.

“එදත් මහත්තයා දවල් ලොකු දුවගේ ගෙදරින් කාලා ආයේ වැඩට ගියා. දවල් වරුවේ මම ඉන්නේ පොඩි දුවගේ ගෙදරයි. එදත් මහත්තයා කෑම කාලා වැඩට යනකොට බයිසිකලේ නවත්තලා පොඩි දුවගේ දරුවන්ට අත වනාගෙන තමයි වැඩට ගියේ. ආයෙ දෙකට වැඩ පටන් අරගෙන දෙකයි හතළිස් පහ වගේ වෙද්දි තමයි වාහනයක හැපිලා මේ අනතුර වෙලා තියෙන්නේ. එතන තුන්දෙනෙක් වැඩ කරලා තියෙනවා. අපේ මහත්තයා පාරට ගල් විසිවෙනවට බෝඩ් එක අල්ලගෙන ඉඳලා තියෙනවා. එක්කෙනෙක් මැෂින් එකෙන් තණකොළ කපනවා. අනිත් කෙනා තමයි තණකොළ එකතු කරන්න ඉඳලා තියෙන්නේ. ඒ තුන්දෙනාගෙන් මැෂින් එකෙන් කපන කෙනා විතරයි බේරුණේ. එහෙම තමයි මේ අනතුරට මුහුණදීලා තියෙන්නේ...”

මෙම අනතුරෙන් මියයන ලද්දේ ඇල්බට් සහ මහේෂ්ය. කම්කරුවන් තිදෙනාගේ ආරක්ෂාව සඳහා යොදා තිබූ කෝන් දහයක් පමණ පෙරළා ගොස් මෙම අනතුර සිදුකොට තිබේ. පළමුවෙන්ම අනතුරට මුහුණ දී ඇත්තේ ඇල්බට්ය. රථය පාලනය කරගත නොහැකි වූ රියැදුරු මහේෂ්ගේ ගැටී අඩි කිහිපයක් ඔහුවද රැගෙන රථය ධාවනය කොට ඇත. ඇල්බට් හා මහේෂ් මෙම ප්‍රදේශයේම ජීවත් වූ ගම්වාසීහු වෙති. මේ නිසා අධිවේගී මාර්ගය අසල බොහෝ දෙනෙකු මොවුන්ව හොඳින් දැන සිටියෝය.

“අපට පණිවිඩය ඇවිත් කිව්වට මම විශ්වාස කළේම නෑ. මුලින් කට්ටිය කිව්වේ මහත්තයාගේ අතක් පොඩ්ඩක් තුවාලවෙලා ඉස්පිරිතාලේට අරන් ගියා කියලයි. ඒ වෙලාවෙම මේ දෙන්නවම අධිවේගී මාර්ගයෙන්ම ගෙනිහින් ජාතික මහා රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරලා. අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගියා. හැබැයි ඉස්පිරිතාලෙ ගෙනියද්දීත් මහත්තයාගේ පණ තිබිලා නෑ. ඒ වෙනකොටත් එයාගේ සේරම වෙන්න ඕනෙ දේවල් වෙලා ඉවරයි. ඔළුකට්ට එළියට ඇවිත් කොඳු ඇට පේළිය, කකුල් දෙකම කැඩිලා තිබුණා.

ඇල්බට්ගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේද හුස්ම ගැනීමට කාලයක්වත් ඔහුට ලැබී නොමැති අතර ක්ෂණයකින්ම ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඇල්බට් ගමේ කා අතරත් ආදරය දිනා සිටි ගැමියෙකි. ඔහුගෙන් කිසි කෙනෙකුට තරදරයක් නැත. අඩුම තරමේ ඔහු ගමේ කිසිම කෙනෙකු සමඟ විහිළු තහළුවලටවත් නොගිය අයෙකි. තමන්ගේ පාඩුවේ නිහඬ ජීවිතයක් ගෙන ගිය ඇල්බට් වැඩිපුර ඇලුම් කර ඇත්තේ හවසට තම නිවස ඉදිරිපිට අසුනේ වාඩි වී සිටීමටය.

“එයා කාටවත් වදයක් කරපු මනුස්සයෙක් නෙමේ. එයා එයාගේ පාඩුවේ ජීවත් වුණු කෙනෙක්. එයාට කිසිම අසනීපයක්වත් තිබ්බේ නෑ. අඩුම තරමේ පැනඩෝල් පෙත්තක්වත් බොන්න එයා ආස නෑ. මං ලෙඩෙක්. මගේ ලෙඩවලට දරුවෝ එක්ක එයා ගොඩක් මහන්සි වුණා. සැරෙන් සැරේට මාව ඉස්පිරිතාලේ නවත්තන්න වුණා. එයා ඒ හැමවෙලේම කිව්වේ “මම ඉන්නකන් බයවෙන්න එපා... මම කොහොම හරි බලාගන්නවා...” කියලයි. එයාගේ ගුණ කියන්න මට වචන නෑ. අනේ... මට එයා නෑ කියලා තාමත් දැනෙන්නේ නෑ....”

ඇල්බට්ගේ බිරිඳ පැවසුවාය. 

නොසිතූ මොහොතක සිදුවූ අවාසනාවන්ත රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඇල්බට්ගේ අවසන් කටයුතු පසුගියදා දිනෙක බෝපිටිය පොදු සුසාන භූමියේදී සිදුවිය.

මෙම රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූ දෙවැනි කම්කරුවා වූයේ සිරිපාල මහේෂ්ය. හතළිස් එක් හැවිරිදි මහේෂ් දරුවන් දෙදෙනකුගේ පියෙකි. නමුත් තම බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්ව සිටින මහේෂ් කලක පටන් ජීවත්වූයේ තම වයෝවෘද්ධ පියා හා මව සමඟ මහගෙදරය. සහෝදරියන් දෙදෙනෙකුට වැඩිමහල් සහෝදරයා වූ මහේෂ් කම්කරුවකු ලෙසින් කලක පටන් විවිධ රැකියා කළ අයෙකි. නමුත් වරින් වර ඔහු රැකියා නතර කර ඇත. මහේෂ්ගේ වැඩිමහල් සොහෙයුරියද සේවය කරනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී කොටසේය.

එදින උදෑසනද මහේෂ් සුපුරුදු පරිදි ලකලෑස්ති වී තම සහෝදරියට කතා කර තිබිණි. මහගෙදරට යාබද නිවෙසක ඔහුගේ වැඩිමහල් නැගණිය ජීවත් වූවාය.

“ලොක්කී... එන්න පරක්කු වෙනවා...” කියලා අයියා එදා උදෙත් මට කතා කළා. මායි එයයි තමයි පාරට ආවේ. අපේ ගේ ළඟ උත්සවයක් තිබුණා. ඉතින් එතනට පණිවුඩයක් කියන්න මම ඒ ගෙදරට ගියා. ඒ ගිහින් එනකනුත් අයියා මම එනකන් බලාගෙන හිටියා. එදා මම වැඩකළේ වෙන තැනකයි. එදා අයියාව ඒ වාහනයට හැප්පිලා මීටර් කීපයක් ඇදගෙන ගිහින් තිබුණා. එදා ගෙදරින් මට කෝල් අරන් තිබුණා. ඒත් මට දැනුණේ නෑ. පස්සේ බලද්දි තමයි විස්තරය කිව්වේ. මම එහෙමම පාරෙන් මෙහා පැත්තේ අපේ ලොරිය ළඟට පැනලා මේ ගැන ඇහුවා... ඒ වෙලාවේ තමයි මම දන්නේ අයියාට අනතුරක් වෙලා කියලා.”

මහේෂ්ගේ වැඩිමහල් නැගණිය දේශයට පැවසුවාය.

මේ පිළිබඳව ඇසින් දුටු ඇතැමුන් පවසන ලද්දේ මහේෂ් රිය අනතුරින් පසුව අමාරුවෙන් දෙවරක්ම හිස ඔසවා බැලූ බවය. නමුත් ජාතික රෝහලට ගෙන යන විටදීත් මහේෂ්ගේ අවසන් සුසුම මේ ලෝ තලයට මුසුවී හමාරය.

“මම හැම ඉරිදාම ගෙදර එනවා. අයියා හරි ආසයි අපි එනවට. අයියා නැතිවුණ දවසේත් දවල් දොළහට විතර කෑම වෙලේ මට කෝල් කළා. එදා මෙයාලා එක්ක වැඩකරන කෙනෙක්ගේ මඟුල් ගෙයක් තිබිලා. ඒ නිසා හැමෝටම තුනට ඕෆ් වෙන්න කියලයි තිබිලා තියෙන්නේ. ඉතින් මට අයියා කිව්වා පොඩ්ඩී අද අපිට පාටියක් තියෙනවා. මම ඇඳුම් අයන් කරලත් ආවේ. අද වේලාසන ගිහින් නාලා රැවුල කපලා ලස්සනට පාටියට යනවා කියලා...”

මහේෂ්ගේ බාල නැගණිය පැවසුවාය.

අවසානයේදී මහේෂ් අම්මාට, තාත්තාට සහෝදරියන් දෙදෙනාටත් කඳුළක්ම ඉතිරිකොට මෙලොවෙන් සමුගත්තේය. බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙන් සිරිපාල මහේෂ්ගේද අවසන් කටයුතු සුදුවැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරුණි.

මේ පිළිබඳව පමුණුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගෙන් අප කළ විමසුමේදී මෙසේ අදහස් දැක්වීය.

“මේ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණ සිදුකරනු ලබන්නේ අධිවේගී රථවාහන පොලිසිය මගිනුයි. මෙම අනතුර සිදුකළ රියැදුරාට රියැදුරු බලපත්‍රයක් නැහැ. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක වැඩකරන කෙනෙක්. මේ වෙනකොට මෙම රියැදුරු අත්අඩංගුවට ගෙන සිටිනවා. මීගමුව අධිකරණය ඉදිරිපත් කරන්න නියමිතයි.”

අවසානයේදී රියදුරෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජීවිත දෙකක් පමණක් නොව ඔවුන් හා වටා ගෙතුණු ජීවිත ගණනාවකටම කඳුළක් පමණක් ඉතිරි විය.

► දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප: සුමුදු හේවාපතිරණ