
මුළු ලෝකයම හිට්ලර්ගේ අණසකට යටත්වන්නට ඔන්න මෙන්න කියා තිබියදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන් කිසිවෙක් නොපැතූවිරූ ජයග්‍රහණයක් කරා මෙහෙයවූයේ ඔහුය. මේ හැලහැප්පිලි සහිත කාලයේ කටු ඔටුන්නක් බඳු වූ බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දරමින් රාජ්‍යතාන්ත්‍රික උප්පරවැට්ටි සහ කට්ට සූර සංග්‍රාමික උපක්‍රම යොදමින් දෙවැනි ලෝක යුද්ධය මිත්‍ර ජාතීන්ගේ ජයග්‍රහණයක් බවට හරවා ගත්තේ ඔහුය. ඔහු බ්‍රිතාන්‍යයේ දෙවරක්ම අගමැති ධුරය දරා නොබෙල් ත්‍යාගයටද හිමිකම් කියූ ලොව වැඩියෙන්ම උපුටා දක්වන රුවන්වැකි ගණනාවකටද හිමිකම් කියන්නෙකි.
සුළු ගොතයක් සහිතව කෙරෙන ඔහුගේ බරසාර කතාව ලෝකයේම සිත් වශී කරන්නට තරම් සමත්විය. ඔහු මේ සියල්ල අතර වඩාත්ම ප්‍රසිද්ධව සිටියේ කියුබානු නායක කස්ත්‍රෝ මෙන්ම නොකඩවා සුරුට්ටු උරන්නෙකු ලෙසටය. සුරුට්ටුව නිසාම කැපී පෙනෙන හාදයෙක් වූ චර්චිල් කට ගැසූ සුරුට්ටු කොටයක් පසුගියදා ඉහළම ලන්සුවකට අලෙවි වුණේ චර්චිල් හා සුරුට්ටුව අතර ලබැඳියාව ලෝකයටම නැවතත් කියාපාන්නට මෙනි.
දෙවැනි ලෝක යුද්ධය සමයේ චර්චිල් ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර නිතර ගමන් ගියේය. වසර 1947 මැයි මස 11 වැනිදාද ඔහු එසේ ප්‍රංශය බලා ගියේය. ඔහු සහ බිරිය ක්ලෙමෙන්ටේන් ගමන්ගත් යානය පැදවූයේ විලියම් ඇලන් ටර්නර් නැමැත්තාය. ප්‍රංශයේ බුර්ෂේ ගුවන් තොටුපළ සිට නෝර්ත් හෝල්ම් බලා එන්නට සූදානම්ව සිටි චර්චිල් උන්නේ සුපුරුදු පරිදි සුරුට්ටුව උරමිනි. ප්‍රංශයේ හිටපු හමුදා නිලධාරීන් රැසක් ඔහු වටකර සර කතාබහක යෙදී උන්නෝය. අන්තිමේ ගුවන් යානයට ගොඩවෙන්නට ආ චර්චිල් සුරුට්ටු කොටසේ අළු ගසා දමා එය යානය තුළ වූ අළු බඳුනකට එබුවේය. ගුවන් ගමනේ මතක සිහිවටනයක් ලෙස නියමු විලියම් ඇලන් ටර්නර් මේ සුරුට්ටු කොටස දුටුවේය. ඔහු එදා තමන් භාරයට ගත් චර්චිල්ගේ සුරුට්ටු කොටය මතක සටහනක් සහිත පින්තූරයක්ද සමඟින් සුරක්ෂිතව තබා තිබුණි. පසුගිය බදාදා ඩොලර් 12,000ක (ලංකාවේ මුදලින් රුපියල් 1837080 කට) වාර්තාගත මුදලකට වෙන්දේසි වූයේ ඔය කියන වසර 70ක් පැරැණි සුරුට්ටු කොටසයි.

පැන්සලයකින් ගුවන් නිලධරයා යොදන ලද මතක සටහන සහිත ඡායාරූපය සමඟ චර්චිල්ගේ සුරුට්ටු කොටය ඩොලර් 12,000කට අලෙවි වූයේ බොස්ටන් නගරයේ පිහිටි වෙන්දේසි පලකදීය. එය මිලදී ගෙන තිබුණේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච්වල දිවිගෙවන වටිනා පෞරාණික භාණ්ඩ එකතු කරන්නෙකු විසිනි. සුරුට්ටු කොටය සමඟ තිබූ පැරුණි ඡායාරූපයද ඔහු සතුවිය. ආරක්ෂාව සඳහා මේ තැනැත්තාගේ නම ප්‍රසිද්ධියට පත්කර නැත.
සුරුට්ටු කොටස සමඟ වූ ඡායාරූපයේ ගුවන් නිලධාරි විලියම් ඇලන් ටර්නර් සටහනක් දමා තිබේ. “ඡායාරූපය මම ගත්තේ York MW 101 යානයේ දොර ළඟදී, ප්‍රංශයේ ලේ බුර්ෂ් ගුවන්තොටුපලේදී, අපි නැවත නෝර්ත් හෝල්ට් වෙත පියාසර කරන්නට කලින්, 1947 මැයි 11දායි.” විලියම්ගේ ඉහත කී සටහන හේතුවෙන් සුරුට්ටු කොටයට පෞරාණික අගයක් එක්ව තිබේ.
මේ කියන ඓතිහාසික ප්‍රංශ ගමනේදී චර්චිල් අගමැතිවරයා පෞරාණික ලෙස් ඉන්වැලිඩේස් වෙත රාජකීය ගමනක් ගිය අතර එහිදී ප්‍රංශ හමුදාවේ පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානද හිමිකර ගත්තේය.

චර්චිල් උරමින් සිටි සුරුට්ටුව එකල ඔහු වෙනුවෙන්ම ඔහුගේ නමින්ම නිපදවූවකි. වින්සන්ට් චර්චිල් යන නම සුරුට්ටුවේ ඇති නිෂ්පාදකයාගේ රතු කහපැහැතිය. ලා කොරෝනා ලේබලයේ සඳහන්ව තිබේ. මේ හවානා සුරුට්ටු පසුව ලෝකය පුරා මිල අධික සුඛෝපභෝගී ආලවට්ටමක් බවට පත්ව තිබුණි. එයට හේතුවද මේවායේ චර්චිල්ගේ නම සඳහන්ව තිබීමය.
2015 වසරේදීද චර්චිල්ගේ සුරුට්ටුවකට ඉහළ ලංසුවක් ලැබිණි. එවර අලෙවි වූයේ චර්චිල් විසින් කොණ හපා දැමූ සුරුට්ටු කොටසකි. බ්‍රිතාන්‍යය වෙන්දේසි මැදුරකදී එයට ලැබුණු ඉහළම ලංසුව ඩොලර් 2,000කි. මෙවර ඉහළ අගයක් ගත් සුරුට්ටුව සුළු කොටසක් පිච්චී ගිය එකකි. මේ සුරුට්ටුවක සාමාන්‍ය දිග අඟල් 4කි. ප්‍රංශ හමුදා නිලධාරීන් සමග රස කතාවක සිටි චර්චිල් සුරැට්ටුව කතාව දික්ව තිබියදී සිය ගමන පිටත්ව යාමට යෝර්ක් MW 101 යානයට ගොඩවැදුණේ භාගයක්වත් නොපිලිස්සුණ සුරුට්ටුව අළු බඳුනකට අතහරිමිනි. ගුවන් නිලධාරි විලියම්ස් හට මේ ඓතිහාසික සිහිවටනය ලැබෙන්නේ එලෙසිනි.
I සුගත් පී. කුලතුංගආරච්චි