කොළඹ නගරය තුළ රාත්‍රී සමාජ ශාලා බොහෝය. කැරොකේ ශාලාද ඒ හා සමානය. මේ නිසා රාත්‍රියේ කොළඹ සැරිසරන්නෝද අති විශාලය. අවුරුදු 17 එකාගේ සිට හැට පැන්න උන් පවා මේ රාත්‍රියේ වීදිවල රජ කරති. සුරා මතින් නටති. සමාජ ශාලා තුළ විනෝද වෙති. සරලව කිව්වොත් කති, බොති, නටති විනෝද වෙති. අප මේ ලියන්නට යන්නේ සමාජ ශාලාවල කන බොන විනෝද වන අය ගැන නොවේ. එසේම ඔවුන් ගෙවන ජීවිතය ගැනවත් නොවේ. මේ කියන්නට යන්නේ එම සමාජශලා අසල සිට එළියෙන් සිදුකෙරෙන ජාවාරමක් ගැනය. අදටත් පොලීසියට කොටු කර ගැනීමට නොහැකි වූ මෙම ජාවාරම ගැන අප රටට හෙළිකරන්නේ කාගෙත් ඇස් කන් ඇරෙන්නටය.
පසුගිය දවසක ලියුම්කරු වෙත අපූරු තොරතුරක් ආවේ මිතුරකු හරහාය. මෙම මිතුරා සංචාරක මඟ පෙන්වන්නකු වන අතර ඔහු නිතර ඉහත කී සමාජ ශාලාවල කරක් ගසන පුද්ගලයෙක් විය. ඔහු ලබාදුන් තොරතුර වුණේ සමාජ ශාලා ඉදිරිපිට සිදුවන අමුතු පහේ ගනුදෙනුවක් ගැනය.
විදේශිකයන්ද, දේශීය ධනපති පන්තියේ අයද රාත්‍රී සමාජ ශාලා සහ කැරොකේ ශාලා වලින් තෝරාගන්නේ කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා දිවෙන මාර්ගයේ ඇති සමාජ ශාලාය. එයට හේතු කාරණා කිහිපයක් ඇත. විශේෂයෙන් ඒ සමාජ ශාලාවල මිල ගණන් අඩුය. එසේම සාමාජිකත්වය නොමැති අයකුට වුවද ඇතුළු වීමටත් ඇති ඉඩකඩ වැඩිය. මේ නිසා රාත්‍රී අටේ සිට පසුදින පහන් වනතුරු ඔය හැම අයියලාම, නංගිලාම කල්ගෙවන්නේ ඉහත කී තැන් වලය.
කෙසේ වෙතත් ඒ ඇතුළට යන බොහෝ දෙනෙක් ඉන්නේ මත් ලෝකයේය. බොහෝ දෙනෙක් මත්පැණින් පදම් වී සිටියත් තවත් සමහරෙක් පදම් වී සිටින්නේ විවිධ මත් ද්‍රව්‍ය වලිනි. එසේ පදම්ව පැමිණෙන ගොඩක් දෙනෙක් එළිවෙනතුරු වෛවර්ණ පහන් එළි යට නටති.
මා මිත්‍රයා සඳහන් කළ ආකාරයට එම තැන්වලට පැමිණෙන වැඩි දෙනකු අත මුදල් මහා පරිමාණයෙන් නැත. සොච්චම් මුදලක් සොයාගෙන එතැනට පැමිණෙන්නෝද සිටිති. රුපියල් 20000ක් වියදම් කොට විනෝද විය නොහැකි මෙම පිරිස් සමාජ ශාලාව ඇතුළට පැමිණ කාටත් හොරා සංවිධානය වන්නේ කණ්ඩායමක් ලෙසය. එම කණ්ඩායමට උපරිම සාමාජිකයන් 6කි. ඊට එහා වද්ද ගන්නේ නැත. එසේ සංවිධානය වන ඔවුන්ගේ ඊළඟ අරමුණ වන්නේ අඩු මුදලකින් මත්වී විනෝද වීමටය. ඒ සඳහා ඔවුහු අලුත්ම උපාය මාර්ගයක් යොදාගනිති. ඒ මත්වීම සඳහා මත් පෙත්තක් මිලදී ගැනීමය. එම මත්පෙති ඇතැම් සමාජ ශාලවල මිලදී ගැනීමට ඇත. නීතියෙන් තහනම් වුවත් නීතියට වැලි ගසා සිදුකරන මත්පෙති ජාවාරම නිසා සමාජ ශාලා හිමිකරුවෝද අපමණ මුදල් සොයාගනිති. කෙසේ වෙතත් එළියේ විකිණෙන මුදලට වඩා දෙගුණයක මුදලින් මෙහි මත්පෙති විකිණෙන නිසා බොහෝ දෙනා සමාජ ශාලාව ඇතුළෙන් මත් පෙති මිලදී ගැනීමට අදි මදි කරති. එසේ අදිමදි කරන උන් පසුව කණ්ඩායමක් ලෙස සූදානම් වන්නේ වෙනත් ක්‍රමයකට අදාළ මත් පෙති මිලදී ගැනීම සඳහාය.
පුදුමය නම් මේ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ අදාළ මත්පෙති ජාවාරම් කරුවන් විසින්ම වීමය. විනෝද වීමට මෙන් පැමිණ සිටින ඔවුහු එක් එක් තරුණයන් ගාවට ගොස් “මචන් බඩු ගත්තාදැයි” විමසති. එසේ විමසන්නේ අදාළ තරුණයාව බොහෝ වේලාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එවිට තරුණයා අදාළ පෙති මිලදී ගත්තේ නැතැයි කියතොත් ජාවරම්කරු සිය දැල එළන්නේ කිසිවකුට නොදැනෙන්නටය.
“මචන් මමත් ගත්තේ නෑ. මේක ඇතුළේ ගණන්. අපි ඕනනම් මෙහෙම කරමු. අපි තව තුන් දෙනෙකුත් එකතුවෙලා සල්ලි එකතු කරලා එළියෙන් ගේමු” යැයි යෝජානා කරයි. එවිට ඇතුළේ රුපියල් 8000ක් වන පෙත්ත එළියෙන් රුපියල් 4000ට ලබාගැනීමට හැකි බව අදාළ ජාවාරම්කරු කියයි. ඒ අනුව එය ගෙන්වීමේ වගකීම ජාවාරම්කරු විසින් බාරගන්නා අතර ජාවාරම්කරු ඇමතුමක් මගින් එළියේ සිටින මිතුරන්ට පවසන්නේ පෙත්ත හැකි ඉක්මනින් රැගෙන එන ලෙසය. ඒ වනවිට හයිබ්‍රීඩ් රථ දෙක තුනකින් පැමිණ බම්බලපිටියේ මෙරින් ඩ්‍රයිව් මාර්ගයේ වී සිටින මෙම කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයෝ එම පණිවිඩයත් සමඟ අදාළ සමාජ ශාලාවට පැමිණ පෙත්ත ලබාදෙති. එම පෙත්තදී මුදල් ලබාගන්නා ඔවුහු පිටව ගොස් නැවත මෙරින් ඩ්‍රයිව් මාර්ගයේ වාහනය නතර කර තබා ගනිති. ඒ තවත් ඇණවුමක් ලැබෙන තෙක්ය. Ecstasy නැමැති මත් පෙත්ත සීඝ්රයෙන් මෙහිදී විකිණෙන බව සඳහන් වේ.
මෙම ජාවාරමේ තවත් කොටසක් වන්නේ ත්‍රීරෝද රථයේ බිස්නස් එකය. එය සමාජ ශාලා අරමුණු කරගෙන සිදුනොවන අතර එහෙත් එය පුරුදු ගනුදෙනුකරුවන්ට පමණක් සිදුවන ජාවාරමකි. එනම් මත්පෙත්ත අවශ්‍ය පුද්ගලයා අදාළ ත්‍රීරෝද රථයට ඇමතුමක් දී තමන් ඉන්නා ස්ථානයට කැඳවයි. ඊටපසු එම ත්‍රීරෝද රථයෙන්ම කුලී ගමනක් යන ආකාරයෙන් ගමන් ගන්නා අතර එසේ යන අතරතුරේදී පෙත්තත් වතුරත් ලබාදීමට ජාවරම්කරුවෝ ක්‍රියාකරති. මේ ත්‍රීරෝද රථවලත්, මෝටර් රථවලත් එන බොහොමයක් අය පිළිවෙළකට ඇඳ පැළඳ සිටින අය නිසා ඔවුන් ගැන කිසිදු සැකයක් ඇති නොවේ. ඇතැම් අයට ඉංග්‍රීසියෙන් පවා වචන හැසිරවීමේ හැකියාව ඇත. බොහෝ වෙලාවට ඔවුන් පැමිණෙන හයිබ්‍රිඩ් රථ කළු පැහැයෙන් යුක්ත බවද දන්නෝ දනිති.
කෙසේ වෙතත් වයස අවුරුදු 15 සිට 25 අතර වයස් කාණ්ඩයේ අය මේ සඳහා ඇබ්බැහි වී සිටින අතර ඔවුන් රාත්‍රී 7.30 වනවිට මෙරින්ඩ්රයිව්හි එහා මෙහා යන හැටි දැක ගැනීමට හැකියාව ඇත. පුදුමය නම් එළිපිට සිදුකරන මෙම ජාවරම තවමත් පොලීසිය නොදැකීමය. වගකිව යුතු පොලිස් ස්ථානයන් පටුපස සිදුවන මේ ජාවාරම් සම්බන්ධයෙන් එම ප්‍රදේශය මහජනතාව දැන සිටියත් තවමත් පොලීසිය නොදැන සිටීම අරුමයකි. කෙසේ වෙතත් මා මිත්‍රයා සඳහන් කළ ආකාරයට එම ස්ථානයේ එළිපිට සිදුකරන ජාවාරමට තරුණයන්ටත් වඩා තරුණියන් ඇබ්බැහි වී සිටින බව සඳහන් වේ. තරුණියන් එම පෙත්ත පානය කොට ඇතැම් අවස්ථාවල අව සිහියෙන් ගැටුම් ඇති කර ගනිමින් එම සමාජ ශාලාවල යකානටන බවද සඳහන් වේ.
කෙසේ වෙතත් සවස 7.00 ආරම්භ වන මේ සෙල්ලම රෑ 12.00 තෙක් සිදුවෙමින් පවතී. එහෙත් එම කාලය තුළ පොලිස් ජංගම සේවා ක්‍රියාත්මක වුවත් අද වනතෙක් අල්ලගත්ත එකෙක් නැත. ඇතැම් අවස්ථාවල එය දැක දැක පොලීසිය අහක බලාගෙන සිටින්නේ ඔවුන්ද මේ පෙති ජාවාරම්කරුවන්ට බියේ දැයි සැකයක් ඇත. කෙසේ වෙතත් අප සිදුකළ නිරීක්ෂණය අනුව ඕනෑම බාලාංශ දරුවකුට පවා මේ ජාවාරම දෑසෙන් දැක ගත හැක. එපමණක් නොව ඉවෙන් පවා වටහා ගත හැක. එහෙත් බල්ලෙකුට මෙන් ඉව තිබිය යුතු පොලීසියට මැක්කෙකු තරම් වන දැනීමක් නැතිකොට කවර කතාදැයි කිව යුතුය. ඒ නිසා රටේ තරුණ පරපුර ක්‍රමයෙන් ගිලගන්නා මත් පෙති ජාවාරම නතර නොවුණහොත් සිදුවන්නේ අපට විවිධ ආබාධ සහිත තරුණ ප්‍රජාවක් අනාගතයේ ඉතිරි වීම පමණි.
I ගයාන් ගාල්ලගේ