2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

පිටිදූවේ සිරිධම්ම හිමිට අන්තිම සමාව

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 481

පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ පිළිබඳ තවත් අපූරු පුවතක් මාධ්‍ය ඔස්සේ පසුගියදා වාර්තා විය. සිරිධම්ම හිමියන් තෙවැනි වරටත් මල්වතු පාර්ශවයේ, සියම් මහා නිකායේ මහා නායක හිමි බැහැදැක ගිවිසුම් පත්‍රයක් අත්සන් කොට ගිවිසුමකට එකඟත්වයක් පළකිරීම එම පුවතය. පසුගිය ඉරිදා (15) සවස් වරුවේ මහනුවරට වැඩම කළ පිටිදූවේ සිරිධම්ම හිමියෝ තවත් භික්ෂූන්වහන්සේලා සිව් නමක් සමඟ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරැන් හමුවෙහි තමන් අතින් යම් වරදක් සිදුවීද ඒ සඳහා සමාව අයැද සිටිනා බව පැවසූහ.

රට පුරා බොදුනුවන් අතර මෙන්ම අබෞද්ධ ජන පිරිස්ද අසීරුවට පත් කරමින් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරවමින් පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් වරින් වර සිදුකළ ප්‍රකාශ සහ උන්වහන්සේ සිදුකළ ක්‍රියාවන් විවිධ මාධ්‍ය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද ප්‍රචාරය වීමත් තුළ උන්වහන්සේගේ කටයුතු කතාබහ දැඩි විවේචනයට ලක් විය. ඇතැම් නායක හිමිවරුද සිරිධම්ම හිමියන්ගේ ක්‍රියාකලාපයත් සම්බුද්ධ ශාසනයට අගතියක් මෙන්ම හානියක් සිදුවන තත්ත්වයක් ඇතිවන බවට මහා නායක හිමිවරුන් පවා දැනුම්වත් කිරීමට පියවර ගත්හ.

දිනෙන් දින ලැබෙන පැමිණිලි සම්බන්ධවද අවධානයෙන් සිටි මහා නායක හිමිවරු සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් කිසියම් තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට ද සකච්ඡා කරමින් සිටියහ.

එවන් අවස්ථාවක හදිසියේම පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහා නායක හිමියන් බැහැදැකීම සඳහා මල්වතු මහා නාහිමි නිල අාරාමයට වැඩම කළහ.

සම්බුද්ධ ශාසනය තුළ කිසියම් අර්බුදකාරී තත්ත්වයක් බොදුනුවන්ගේ සිත් තුළ ඇති කිරීම නිසාත් ඇතැම් අවස්ථාවල මහා විහාර විවේචනයට ලක්කිරීමත් භික්ෂූන් වහන්සේ නමකගෙන් සිදුනොවිය යුතු ඇතැම් කාරණා සිදුකෙරෙන බවටත් පිටිදූවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව එල්ල වූ විවේචන සහ වගකිව යුතු නිලයක් හොබවන හිමිවරුන් සිත් තුළ පවා පිටිදූවේ සිරිධම්ම හිමියන් පිළිබඳව එතරම් පැහැදීමක් නොතිබූ බව නිතර නිතර මහා විහාර වෙත යනෙන මාධ්‍යවේදීන්ට ද අවබෝධ වී තිබිණි.

මෙවැනි පසුබිමක් තුළ සිරිධම්ම හිමියන් මල්වතු මහා විහාරයට වැඩමකර මල්වතු මහා නාහිමි බැහැදකින අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල යන හිමිවරුද මල්වතු පාර්ශවයේ කාරක මහා සංඝ සභාවේ හිමිවරුද එම සුවිශේෂී හමුවට එක්වූහ. තමන් හමුවීමට වැඩම කළ සිරිධම්ම හිමියන්ට මල්වතු මහා නායක හිමියෝ ඉතා කාරුණිකව අවවාද අනුශාසනා ලබාදීමට කටයුතු කළහ.

එය ගුරුවරයකු තම සිසුවකු යහමඟට ගැනීම සඳහා හොඳ - නරක වටහාදෙන ආකාරයෙන් සිදුකිරීමට තරම් මල්වතු මහා නායක හිමියෝ නිහතමානි වූහ. ධර්මධර වූහ. මල්වතු මහා නායක හිමියෝ සිරිධම්ම හිමියන්ට දැඩි ලෙස අවවාද කරමින් මෙසේ පැවසූහ.

“ඔබවහන්සේ මීට ප්‍රථමවත් වැරදි කීපයක් සිදුකර තිබෙනවා. අප ඒ ගැනත් අවධානය යොමුකර තිබෙනවා.” නමුත් මේ අවස්ථාවේදී ඔබවහන්සේට මේ සමාව දෙන අන්තිම අවස්ථාව බව හිතට ගත යුතුයි. එම නිසා මෙලෙස සමාව දීමෙන් පසුව ඔබවහන්සේ කටයුතු කරගෙන යෑමේදී කොළඹ පළාතේ ප්‍රධාන නායක ස්වාමීන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගත යුතුයි. විශේෂයෙන්ම දිවියාගහ යසස්සී හාමුදුරුවෝ, වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ සහ කැලණියේ නායක හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන කටයුතු කළ යුතුයි.
ඉදිරියටත් ආගමික සහ ශාසනික කටයුතු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරගෙන යාම සඳහා ඔබවහන්සේට අප ආශිර්වාද කරනවා.”

අවවාද අනුශාසනා කිරීමෙන් අනතුරුව මින් ඉදිරියට යම් යම් වැරදි සිදුනොවන වගට සඳහන් ගිවිසුමකට අත්සන් කිරීමටද පිටිදූවේ සිරිධම්ම හිමියන්ට සිදුවිය. එහිදී සිරිධම්ම හිමියෝ මහ නා හිමියන් ඇතුළු අනුනායක හිමිවරුන් සමඟ එකඟතාවයකට පැමිණ මහා නාහිමි ඉදිරිපිටදීම ගිවිසුමට අත්සන් කොට තමන්වහන්සේ අතින් සිදුවූ සියලු වැරදිවලට සමාව ඇයද සිටියහ.

මෙම අවස්ථාවට සහභාගිවූ මල්වතු පාර්ශවයේ අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පිටිදූවේ සිරිධම්ම හිමියන් අමතමින් දැන් ඉතින් ඔබවහන්සේත් අපේ මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මල්වතු කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ ඔබවහන්සේගේ අදහස් දක්වා ප්‍රකාශයක් කරන්නැයි ඉල්ලීමක්ද කළහ.

එවිට එයට අවනත වූ පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා නායක හිමි හමුවෙහි මෙසේ තම අදහස් දැක්වූහ.
“යම් යම් අවස්ථාවන්හීදී මම කරන ලද ප්‍රකාශයන් වැරදි අන්දමට මාධ්‍ය මගින් කොටස් පමණක් ප්‍රචාරය කිරීම සිදුකර තිබෙනවා. නමුත් මම කිසිම අවස්ථාවක මල්වතු මහා නායක හිමියන් ඇතුළු මහා නායක හිමිවරුන්ටත් මල්වතු මහා විහාරයීය සංඝ සභාවටත් අපහාසයක් කරන අන්ද මේ කිසිවක් කර නැහැ. මම අතින් වරදක් වූවා නම් සමාව ගන්න මම ඕනෑම අවස්ථාවක සූදානම්. එය මට ලජ්ජාවක් නොවෙයි. විශේෂයෙන් ශ්‍රී දළදා වහන්සේටවත් හානිවන ආකාරයට කිසිම ප්‍රකාශයක් මම කළේ නැහැ. නමුත් මම විවේචනය කළේ සෑම තැනකම හන්දියක් හන්දියක් ගානේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන එකට එරෙහිවයි.

ශ්‍රී දළදා සමිඳුන් වහන්සේට හානිවන කිසිම ප්‍රකාශයක් මම කරලා නැහැ. ඉදිරියටත් මම ආගමික ශාස්ත්‍රික වශයෙන් කරන්න තිබෙන සේවාවන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ ද පිටිදූවේ සිරිධම්ම හිමියන් අත්සන් කරන ලද පොරොන්දු ගිවිසුමට අත්සන් තැබූහ. එකී පොරොන්දු ගිවිසුම් පත්‍රයේ පිටපතක් මල්වතු මහා නායක හිමියන් වෙතින් සිරිධම්ම හිමියන්ට ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ කාරක සංඝසභාවේ සභික භික්ෂූන් වහන්සේලා කීප නමක් ද සහභාගී වූහ.

♦ කතාව හා සේයාරූ I ජේ.ඒ.එල්. ජයසිංහ