කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් ප්‍රමුඛ වනසතුන්ට ඉකුත් සතියේ සිකුරාදා (13) සවස නුහුරු බියකරු අත්දැකීමකට මුහුණපෑමට සිදුවිය. එනම් හෙළිකොප්ටර් යානයක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හරහා ඉතාමත් පහළින් පියාසර කිරීමට පටන් ගැනීමයි. එම අවස්ථාවේ වනසතුන් හිස් ලූ ලූ අත දිවයන්නට වූයේ ඉමහත් භීතියට පත්වීම නිසාවෙනි.
සිද්ධිය වනවිට වේලාව පස්වරු 4.00ට ආසන්න වෙමින් පැවති බවත් හෙළිකොප්ටර් යානය ඉතාමත් පහළින් පියාසර කරවීම නිසා එවේලේ කවුඩුල්ල ජලාශයට ජලය බීම සඳහා පැමිණෙමින් සිටි වන අලි 300ක පමණ විශාල රංචුවක් කලබලයට පත්ව එහා මෙහා දිව යන්නට වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවැසූහ.
ඉතාමත්ම සන්සුන්ව තණ බුදිමින් වැව් පිටියේ රැඳී සිටි සද්දන්තයින් සහ වැවට බසිමින් සිටි අලි අංචු එසේ කලබලයට පත්ව නැවත කැලය දෙසට දිව යන අතරතුර වන අලි නැරඹීමට සංචාරකයින් කැටුව පැමිණ සිටි සෆාරි ජීප් රථවලට පහරදීමටද ඇතැම් අලි උත්සාහ දරා තිබේ. මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් දෙපිරිසම ඉමහත් භීතියටත් කලබලයටත් පත්වූ බවද සෆාරි ජීප් රථ රියැදුරෝ අප සමඟ කියා සිටියහ.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන බාරකරු ඩබ්ලිව්.ජී.කේ. හේරත් මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම වූ දිනයේ සවස දෙස් විදෙස් සංචාරකයින් 460 දෙනකු වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි බවයි. ඔවුන් අතුරින් වැඩි දෙනකු විදේශ සංචාරකයින් බවද ඔහු සඳහන් කළේය. මීට පෙරද මෙවැනි හෙළිකොප්ටර් යානයක් කිහිප වතාවක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ පහළින් පියාසර කර ඇතැයිද මෙදින සිදුවීම සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට සහ පොලිසියට පැමිණිලි කළ බවද ඒ මහතා කීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදුකරන බව පොළොන්නරැව කලාපය බාර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. වික්‍රමසිංහ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.
කලබලයට පත්වූ අලියෙකු තමන් ගිය ජීප් රථයටද පහරදීම සඳහා එලවාගෙන පැමිණි බව සංජය මධුසංක මහතා කීය.
“මේ සිද්ධිය වෙනකොට මම හිටියේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ කවුඩුළු වැවට ආසන්නයේ. වෙලාව 3.30ට විතර ඇති. රුසියන් ජාතික කාන්තාවන් දෙදෙනෙකුත් සමඟ මම අලින්ගේ පින්තූර ගැනීමටයි ගියේ. ඒ අවස්ථාවේ අලි 250ක 300ක විතර රංචුවක් එතැන හිටියා. මම පින්තූර ගනිමින් ඉන්නකොට කැලේ පැත්තෙන් විශාල සද්දයක් ඇහුණා. මට සද්දය මොකද්ද කියලා එකපාරටම හඳුනාගන්න බැරිවුණා. පස්සෙ මම දැක්ක හෙළිකොප්ටරයක් ඉතාම පහතින් එනවා. ඒ සමඟම අලියෙක් කුලප්පුවෙලා මගේ ජීප් එකට පහරදෙන්න ආවා. මම වහාම ජීප් රථය වේගයෙන් පදවාගෙන ගියා. අලියා ටික දුරක් පන්නාගෙන ඇවිත් නතර වුණා.
සංචාරකයින් රැගෙන ගොස් සිටි තවත් ජීප් රථවලටත් මේ විදියට අලි පහර දෙන්න පන්නාගෙන ආවා.
වනසතුන් පීඩාවට පත් කරමින් නීති විරෝධී ලෙස වනඋයන හරහා පියාසර කර ඇත්තේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් බවට හඳුනාගෙන ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මනුකුලසූරිය මහතා පවසයි. ත්‍රිකුණාමලය චීන වරාය සිට කොළඹ රත්මලාන තෙක් පියාසර කරමින් තිබියදී එහි නියමුවා ගුවන් ගමන් නීති උල්ලංඝනය කරමින් වනෝද්‍යානය හරහා හෙලිකොප්ටර් යානය පියාසර කරවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඒ මහතා කීය.
“අප මුලින්ම සොයා බැලුවා මෙය ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානයක්ද පෞද්ගලික සමාගමකට අයත් එකක්ද කියන එක. එය බලපත්‍ර තිබෙන නීතිගත සමාගමකට අයත් එකක්. අප එම හෙළිකොප්ටර් යානයේ නියමුවාට වාචිකව දැනුම්දීලා ගෙන්වූවා. ඔහුගෙන් වාචිකව ප්‍රශ්න කළා. නමුත් ඔහු මේ සම්බන්ධයෙන් දුන්න පිළිතුරු සැහීමකට පත්වෙන්න බෑ. එම නිසා අපි ලිඛිතව දැනුම් දුන්නා මේ සම්බන්ධව ලිඛිතව නිදහසට කරුණු දක්වන්න කියලා. ඔහු වාචිකව පිළිතුරු දුන් අවස්ථාවේ සඳහන් කළේ අයහපත් කාලගුණයක් පැවැති නිසා එසේ කළා කියලා. කෙසේ නමුත් අපි මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ගුවන් ගමන් නීති රීතිවලට අනුව මේ හෙළිකොප්ටර් යානය පොළොව මට්ටමේ සිට අඩි 1500කට වඩා ඉහළින් යන්න ඕන. දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය වැනි ස්ථානවලට ඉහළින් ගමන් කරන්න බෑ. ඒ වගේම ජනාකීර්ණ ප්‍රදේශ සතුන් ගැවසෙන ස්ථාන සත්වෝද්‍යාන, වනෝද්‍යාන වැනි ස්ථාන හරහාත් විශේෂ අවසරයක් නොමැතිව පියාසර කරන්න බෑ. කෙසේ නමුත් අප මේ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වනවා.”
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් රොහාන් මනුකුලසූරිය මහතාගේ අදහස් දැක්වීමට අනුව එම පෞද්ගලික ගුවන් සේවා සමාගමේ හෙළිකොප්ටර් යානය පැදවූ ගුවන් නියමුවා තමන්ට කිසිසේත්ම නීතියෙන් පැවැති නැති බලයක් මත මෙම පියාසර කරවීම සිදුකර තිබෙන බව පැහැදිලියි. එහෙත් එම කාරණය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින හෙයින් ඒ පිළිබඳව යමක් අපට නිශ්චිතව සඳහන් කළ නොහැක. වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට තිබෙන බව දැනගන්නට ඇත.
මේ අතර මෙම ගුවන් නියමුවා ඉකුත් බ්‍රහස්පතින්දා (19) පෙරවරුවේ තම නීතිඥයකු මාර්ගයෙන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහරින ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා නියෝග කළේය.
කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියකු ලෙස සේවය කරන රත්මලාන, අත්තිඩිය, ජය මාවත, අංක 01/සී/07 ලිපිනයේ පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ චාල්ස් රොහාන් ජයසුන්දර යන අය මෙසේ ඇප මත නිදහස් කරනු ලැබීය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය යනු අපේ රටේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන උයන් අතරින් ඉතාමත්ම සුවිශේෂී පරිසර පද්ධතියකි. හෙක්ටයාර් 6200ක වනබිමකට උරුමකම් කියන මෙහි නැගෙනහිර මායිමේ පිහිටා ඇත්තේ කවුඩුල්ල ජලාශයයි. අලි ඇතුන් මෙන්ම මුව ගෝන ආදී සිව්පාවුන් බහුලව දැකිය හැකි එහි කොටි වලසුන් ආදී දුර්ලභ සතුන්ද සිටිති. විවිධ පක්ෂි වර්ගද සුලබය. වසරේ වැඩි කාලයක් වියළි කාලගුණයක් පවතින හෙයින් අලි ඇතුන් විශාල රංචු වශයෙන් ගැවසෙන අතර දෙස් විදෙස් සංචාරකයින්ට එම සතුන් ඉතා පහසුවෙන් නැරඹීමේ අවස්ථාවද තිබේ.
මෙවන් සුවිශේෂී වනඋයනක වෙසෙන සත්ව ප්‍රජාව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අනවශ්‍ය පීඩාවකට හිරිහැරයකට පත්වන්නේ නම් එය කිසිසේත්ම සරල කාරණයක් ලෙස බැහැර කළ නොහැකි බරපතළ තත්ත්වයකි. එම නිසා මේ පිළිබඳව වගකිවයුතු අවධානය යොමුවීම මෙන්ම මෙවැනි නොහික්මුණු අසම්මත ක්‍රියා අප සතු ජාතික සම්පත් ලෙස සැලකෙන සුන්දර වන උයන් තුළ නැවත සිදු නොවීමටද කටයුතු කළ යුතුය යන්න පෙන්වා දෙනු කැමැත්තෙමු.
කතාව හා සේයාරූ
කරුණාරත්න ගමගේ