ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 7.9කි. අත්‍යවශ්‍ය දේ මිලදී ගන්නට යන පාරිභෝගිකයන්ට උද්ධමනය වැඩි වී ඇති බව පර්යේෂණ කර පෙන්වන්නට අවශ්‍ය නැත. මාසයකට දෙකකට කලින් මිල දී ගත් මිලට බඩු මුට්ටු ගන්නට බැරි බව ඔප්පු වී හමාරය. නියඟය, ගංවතුර, අස්වැන්න අඩුවීම හෝ වෙළඳ මාෆියාව වශයෙන් උත්තර හදන්නට බලධාරීන්ට හැකියාව තිබේ. නමුත් අතේ ඇති මුදල ගෙන වෙළඳ පොළට යන ජනතාව දොස් කියන්නේ ආණ්ඩුවටය. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසියම් පාලනයක පවත්වාගන්නට අසමත් වන හේතුව කුමක්ද?
මාළු අල්ලන්නේ මහ මුහුදෙනි. නමුත් මාළු මිල අහන ජනතාව මේවා පිටරටින් ඩොලර් මිල ගෙවා ආනයනය කරන ඒවාදැයි අහන්නේ කම්පාවෙන්ය. හාල් සියයයි. පොල් සියයයි කියා මිල අනාවණය කළේ නොබෝදා වන අතර බිත්තර හා මස් මිල වැඩි කළ යුතු බව සත්ව පාලනයෙහි නිරත පිරිස කියන්නට පටන්ගෙන තිබේ. බේකරි නිෂ්පාදන, බත් පැකැට් එක පමණක් නොව තේ කෝප්පයද මිල වැඩි වී ඇති අවස්ථාවක මෙරට පාරිභෝගිකයන්ගේ ජීවන වියදම ගැන කතා කිරීම විසඳුමක් ලැබෙන දෙයක් නොවේ.
විවෘත ආර්ථික ක‍්‍රමය පවතින රටක මිල තීරණය කළ යුතු වන්නේ වෙළඳපොළ බව සඳහන් කළ යුතුය. නිෂ්පාදන වැඩිවන සහ ඒවා අලෙවි කරන වෙළඳුන් අතර තරගයක් ඇති වන විට වාසි ලැබෙන්නේ පාරිභෝගිකයාටය. විවෘත ආර්ථික ක‍්‍රමයට වසර හතළිහක් සම්පූර්ණ වී ඇති නමුත් මෙරට ආණ්ඩු නිෂ්පාදකයා ආරක්ෂා කරන්නේ නැත. පාරිභෝගිකයා ගැන අවධානය යොමු කරන්නේ ද නැත.
ඉහළ නගින බඩු මිල අඩු කරන්නට ආණ්ඩුව පියවර ගත යුතු බවට තර්කයක් තිබේ. වැඩිවන බඩුමිලට සමාන්තරව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කළ යුතු බවට බල කිරීමක් ද ඇත. බඩු මිල අඩු කරන්නට අතරමැද සහන සම්පාදනය පමණක් නොව වැඩිවන ජීවන වියදමට උත්තරයක් වශයෙන් වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කරන නියෝග නිකුත් කිරීම ද අලුත් වටයකින් බඩු මිල වැඩිකරන තීරණයකි. එයට හේතුව සහන වෙනුවෙන් රජයේ මුදල් වලින් වියදමක් කළහොත් එය සොයා ගැනීමට බදු පනවන්නට සිදුවන අතර රජයේ සේවක වැටුප් වැඩි කළහොත් එයට අවශ්‍ය පිරිවැය වෙනුවෙන්ද බදු පනවන්නට සිදුවන හෙයින් යැයි සඳහන් කළ යුතුය. නිෂ්පාදනය, භාණ්ඩ ප‍්‍රවාහනය හා වෙළෙඳාම යන අංශ කාර්යක්ෂම හා ඵලදායී කිරීමෙන් විනා ජීවන වියදම පාලනය කරන්නට වෙනත් මාර්ගයක් නැත.
පොල් මිල වැඩි වී තිබේ. පොල් ඉඩම් හිමියකු කියන්නේ තොග ගැනුම්කරුවන් පොල් ගන්නේ පරණ මිලටම බවය. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩය ලැබෙන අතරතුර වියහියදම් එකතු වෙන්නේ පොල්ගෙඩියක මිලටය. එය අමතක කළ යුතු නැති පැත්තකි. පොල් කඩන ගාස්තුව වැඩි කර ඇත. කුරුණෑගල වත්තක සිට කොළඹ තොග වෙළෙඳපොළටත් එතැන් සිට සිල්ලර වෙළෙන්දා වෙතටත් පොල් ප‍්‍රවාහනය කරන වියදම වැඩිවී තිබේ. ශ‍්‍රමය හිඟ අතර වැඩ කරන පිරිස වෙනුවෙන් ගෙවන මිල ඉහළ ගොස් ඇත. වෙළෙඳාම් කරනවාට වඩා එම මුදල් බැංකුවක තැන්පත්කර පොලිය ඉපැයීම වාසිදායකය. බැංකු පොලිය වැඩි වී ඇත. තමන් සතුව මුදල් නැති වෙළෙඳුන් කරන්නේ ණය ගැනීමය. වැඩි පොලියට ණය ගන්නා වෙළෙඳුන්ට එම පොලිය ද තමන් විකුණන පොල් ගෙඩියට එකතු කරන්නට සිදුවී තිබේ.
ආණ්ඩුවේ බදු අනෙක් පැත්තයි. සෘජු බදු වැඩි කර වක‍්‍ර බදු අඩු කරන යෝජනා ගැන කතා කරන නමුත් සෑම වෙළෙන්දකුම තමන්ගේ පිරිවැටුමෙන් විශාල කොටසක් ප‍්‍රාදේශීය සභා බදු, වරිපනම් හෝ ආදායම් බදු වශයෙන් ගෙවන බව නොරහසකි. ඒවා අන්තිමට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ බිලටය. හාල්, මාළු, එළවළු, පළතුරු ඇතුළු සෑම අත්‍යවශ්‍ය දෙයකටම බලපාන්නේ මෙම ස්වභාවයයි. නිෂ්පාදනය පහසු කරන, වෙළෙඳාමෙන් අයකරන බදු අඩු නොකර ජීවන වියදම පමණක් පාලනය කළ නොහැකිය.
2016 වසරේ දී රාජ්‍ය ආදායමෙන් සියයට 56.8 ක් උපයා දෙන්නේ ආනයන බදු බව පෙන්වයි. රටට ගෙන්වන සෑම දෙයකින්ම අති විශාල බදු ප‍්‍රමාණයක් අය කෙරේ. දෙවැනුව වැඩිම ආදායමක් අත්පත් කර දී ඇත්තේ වැට් බද්දෙන්ය. එය සම්පූර්ණ ආදායමෙන් සියයට 13.3 කි. මෙම බදු අය කරන්නේ ආනයනික මහා සමාගම් වලින් යැයි තර්කයක් තිබේ. නමුත් අවසානයේ දී ජනතාව පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා වලට මෙම බදු එකතු වෙයි. රටවැසි මිලියන විසි එකක ජනගහනයක් තමන්ගේ ආදායමෙන් සැහෙන කොටසක් ආපසු ගෙවන්නේ ආණ්ඩුවටය.
ආණ්ඩුව අත්‍යවශ්‍ය දේ වලින් අය කරන මෙම බදු සුළු එකක් යැයි කල්පනා කරනු ඇත. නමුත් ආනයනය කරන සීනි, අර්තාපල් හා ලොකු ලූනු කිලෝවකින් රුපියල් තිහක් බදු අය කෙරේ. දේශීය ලූනු ගොවියා ආරක්ෂා කරන බව සඳහන් කරන රජය නොබෝදා ආනයනික ලොකු ලූනු වල බද්ද සියයට සියයකින් වැඩි කළේය. කිරිපිටි කිලෝවකින් රුපියල් තිස් පහක් බදු පනවයි. පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් හැට පහක සහ ඩීසල් අලෙවියෙන් රුපියල් හතළිස් හතරක් බදු ආදායමක් ලබන බව සඳහන් කළ යුතුය. ඒ අනුව මෙරට ඉන්ධන අලෙවියෙන් පමණක් විශාල ආදායමක් ලැබේ. පෙට‍්‍රල් වලින් රුපියල් බිලියන 7.8 ක් සහ ඞීසල් අලෙවියෙන් රුපියල් බිලියන 6.4ක බදු ආදායමක් 2016 වසරේ දී හිමි කරගෙන ඇත. මේවා රහිතව රජයේ වියදම් කළමනාකරණය කර ගත නොහැකි බව වගකිව යුතු අය කියති. නමුත් ආණ්ඩුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළයාමට තුඩුදෙන හේතු පාලනය කළ යුතුය. එයින් තොරව බඩු මිල අඩු කරන්නට හැකියාවක් නැත.
විවෘත ආර්ථිකයෙන් බඩු මිල අඩු කරන්නේ කෙසේද? ලෝකයේ ඕනෑම තැනකින් අඩුම මිලට බඩු භාණ්ඩ ගෙනැවිත් පාරිභෝගිකයාට විකුණන්නට අවස්ථාව දිය යුතුය. ස්වදේශික නිෂ්පාදකයන් හෝ වෙළෙන්දන් වෙනුවට පාරිභෝගික ජනතාවට අඩු මිලට සැපයීම ගැන සැලකීම අවශ්‍යය. නොබෝදා අඩු මිලට මෙරට ජනතාව ලොකුලූනු පරිභෝජනය කරමින් සිටි අතර පාරිභෝගිකයන්ට වඩා ගොවි නිෂ්පාදකයා වැදගත් යැයි ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව සියයට සියයක් බදු වැඩි කළේය. පාරිභෝගිකයා වැදගත් යැයි සිතන ඇමරිකාව, බ්‍රිතාන්‍ය හෝ වෙනත් රටක මෙවැනි තීරණ නැත. බාධක මගහැර අඩුම මිලට පාරිභෝගිකයාට බඩු මිල දී ගන්නට ප‍්‍රතිපත්ති සම්පාදනය කර තිබේ. මෑතක දී ඉන්දියාවද එම තීරණයෙහි පිහිටියේය. එය කරන ලද්දේ සීමාවකට යටත්වය. එනම් ලෝකයේ ඕනෑම රටකින් අඩු මිලට බඩු ගෙනැවිත් විකුණන අවසරය සහිතව වෝල්මාර්ට් සුපිරි වෙළෙඳාමට ඉඩ දුන් ඉන්දියාව සියයට තිහක අලෙවි ද්‍රව්‍ය ඉන්දියාවෙන් මිල දී ගත යුතු බව නියම කළේය.
වෝල්මාර්ට් හෝ කැරිෆෝ වැනි වෙළෙඳ සංකීර්ණ ඇති නගරයක පාරිභෝගිකයන්ට අඩුම මිලට බඩු මිල දී ගත හැකිය. නගරයක සම්ප‍්‍රදායික වෙළෙඳුන්ට සිය වෙළෙඳාම නතර කර පසු බසින්නට සිදුවන තරමට එය සාහසික මුහුණුවරක් ගනී. එයින් දේශීය වෙළඳ ප‍්‍රජාව පිරිහෙන අතර ඔවුන්ට ව්‍යාපාර අත් හැර වෙනත් ව්‍යවසාය වෙත නැඹුරු වන්නට සිදු වූ බව මෙම මහා පරිමාණ සිල්ලර වෙළඳ සැල් ස්ථාපිත වූ නගර පෙන්වන පාඩමයි. නමුත් එවැනි ආයෝජන සමඟ විශාල තරගයක් ඇති වෙයි. පවතින්නට නම් ජනතාව ගැන හිතන්නට සිදුවෙයි. පාරිභෝගිකයන්ට වාසිය විනා වෙනත් යමක් නැති බව තීරණය කරන ආණ්ඩුවකට මෙම තීරණ ගැනීම පහසුය.
ඉන්දියාවේ වෝල්මාර්ට් වෙළෙඳ සල් විසි එකක් පිහිටා තිබේ. මෙම වසරේ දී එය හැත්තෑ එකක් දක්වා වර්ධනය කරනු ඇත. එරට පර්යේෂකයන් ගණන් බලා ඇති අන්දමට 2016 වසරේ දී මිල අඩු බඩු විකිණීමෙන් ඉන්දියානු පාරිභෝගිකයන්ට ලැබී ඇති වාසිය ඇමරිකානු ඩොලර් බිලියන 263 කි. වෝල්මාර්ට් වලින් බඩු ගත් එක ඉන්දියානුවකුගේ වාර්ෂික වාසිය ඇමරිකානු ඩොලර් 2,319 ක් බව දැක්වෙයි. ශ‍්‍රී ලංකාව කරන්නේ එහි අනෙක් පැත්තයි. ජනතාවට සහන බව කියන නමුත් සෑම පැත්තකින්ම බදු අය කෙරේ. ඒවා ගෙවා වෙළෙඳාම් කරන අය අඩු මිලට නොවිකුණන්නේ මාෆියාවක් නිසා යැයි චෝදනා කරති. රට තුළ බදු, බැංකු පොලිය හා දේපොල වටිනාකම පාලනයකින් තොරය වැඩි වී ඇති පසුබිමක මෙම සියල්ල තුලනය කිරීම පහසු නැත.
බඩු මිල වැඩි වෙන්නේ ඇයි යන ප‍්‍රශ්නය ආණ්ඩුව තමන්ගෙන් විමසීම වැදගත්ය. නිෂ්පාදනය වැඩි කරනු පමණක් නොව අඩුම මිලට හොඳම භාණ්ඩ නිපදවන්නට පසුබිමක් සකස් කළ යුතුය. ගබඩා, ප‍්‍රවාහන පිරිවැය අඩු කරන අතර පහසු ප‍්‍රාග්ධන පහසුකම් හා අතරමැදි මෙහෙයුම් අඩු කරන ව්‍යුහයක් හදන්නට අවශ්‍යය. වෝල්මාර්ට් ගෙන්වීම අපහසු නම් රාජ්‍ය ව්‍යාපාර එනම් සතොස හෝ සමූපකාරය එම සංකල්පය අනුව දියුණු කරන්නට වග බලා ගැනීම අවශ්‍යය. බදු අඩු කර ව්‍යාපාර අතර පවත්වන එම තරගයෙන් විනා බඩු මිල අඩු කරන්නට වෙනත් උපාය මාර්ග නැත.
ගාමිණී සරත් ගොඩකන්ද