2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

සාල වනයක් වූ සැලව පන්සලේ අවුල

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 725

මහනුවර යුගයට අයත් විහාර අස්න හෙවත් නම් පොතේ සඳහන් වන්නේ උඩරට රාජධානි සමයේ වන්දනා ගමන් යාමට ප්‍රකට පූජනීය ස්ථාන නාමාවලියකි. නියම්ගම්පාය වල්වාසගොඩ, සැලව අරම ආදී වශයෙන් එහි සඳහන් ස්ථාන අතර වන සැලව රජමහා විහාරය පිහිටියේ අරණායක සිට කි.මී.හතක් පමණ දුරින් සැලව කඳුවැටිය පාමුල රමණීය පෙදෙසකය. පුරාණ බෙදීම් අනුව මෙම පුබිම අයත් වන්නේ පරණකරු කොරළේ නැගෙනහිර තුන් පළාත පත්තුවටය.

කෙත් යායකට නුදුරින් ගල්කුළු බහුල වටපිටාවක විහාරය පිහිටි අතර ඒ වෙතට වාහනයක් ගමන් කළ නොහැකිය. ඵෙතිහාසික වශයෙන් ඉමහත් වැදගත් කමක් හිමිකර ගන්නා සැලව රජමහා විහාරයේ ලෙන තුළ උඩරට සම්ප්‍රදායට අයත් අලංකාර බිතු සිතුවම් හා මුර්ති දැකගත හැකි නිසා එයට පුංචි දඹුල්ල යැයිද සමහරු පවසති. විහාරස්ථානයේ ලෙන් බිත්තියේ කොට ඇති සෙල්ලිපිය ශ්‍රී ලංකා රාජාවලියේ අවසාන ‍සල්ලිපිය සේ සැලකේ. 17 වැනි සියවසේ සිංහල භාෂාවෙන් රචිත එයට අනුව විහාරය කරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අනුශාසනා කළ රාජගුරු මොරතොට ධම්මකන්ධ නාහිමියන් විසිනි. විහාරය කරවා ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ දිය. ශ්‍රී වික්‍රම රජුද විහාරය උදෙසා ගම්බිම් පුජා කළ බව සෙල්ලිපියේ සඳහන්ය. එයට අනුව ක්‍රි.ව.1799 දී ආරම්භ කළ විහාර කර්මාන්තය 1806 දී අවසාන කර තිබේ.

මහනුවර මල්වත්ත මැද පන්සලට අයත් මෙම විහාරස්ථානය පසුගියදා ඉබි යතුරු දමා බැතිමතුන්ට තහනම් කලාපයක් බවට පත් කිරීමට සිදුවීම කනගාටුදායකය. එදා රජ දරුවන් ගම්බිම් පුදා වැඩිදියුණු කළ විහාරය ඉබි යතුරු දැමීම නිසා දායක පවුල් 400 කට ආසන්න පිරිසකට මල් පහන් පුජා කිරිමට දනක් දෙන්නට තැනක් නැතිව ගියේය.

මෙයට හේතුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් පත්කළ ගිහි භාරකරු සහ විහාරවාසි වලස්වැවේ සද්ධානන්ද හිමියන් අතර හටගත් ආරාවුලකි. ඒනිසා විහාරස්ථානය පාළු ස්ථානයක් බවට පත්ව තිබේ. මෙම විහාරස්ථානයේ පිරිහීමට මුල පුරා ඇත්තේ එහි විහාරාධිපතිත්වය දැරූ නාහිමියන්ගේ අපවත් වීමය. ඊට පසු විහාරය භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ තාවකාලික ලැගුම් හලක් බවට පත්විය. ඒ අතර නිදන්හොරු විහාරයේ තැන්පත් කර තිබු පුරා වස්තු රැසක් සොරකම් කර තිබේ.

මීට වසරකට පමණ පෙර වලස්වැවේ සද්ධානන්ද හිමි මෙහි පැමිණියේ තාවකාලිකව නවාතැන් ගැනීමටය. ඒ හිමියෝ 2016 ඇසළ මාසයේ සිට විහාරයේ ආගමික කටයුතු කරගෙන පැමිණියහ. ඒ අතර භාරකරු බී.බී ජයසුන්දර අරණායක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අයුතු ලෙස ඇතුළු වීම. සාපරාධී පරිහරණය සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම ඇතුළු චෝදනා මත පොලිසිය ඒ හිමියන් මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදි උන්වහන්සේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරි අතර නඩු විභාගය දෙසැම්බර් 5දා තෙක් කල්තැබීය. ඇප මත මුදා හැරීමෙන් පසු උන්වහන්සේ පන්සල වෙත පැමිණි අවස්ථාවේ විහාරය දොරගුළු දමා වසා තිබිණි. ඒ හිමියන් හිමියන් මේ වනවිට ලෙන් විහාරය ඉදිරිපිට හිස්ව තිබු ගොඩනැගිල්ලක නැවති සිටිති. උන්වහන්සේ අප වෙත අදහස් දැක්වුයේ මේ අයුරිනි.

“මල්වතු මහා විහාරයේ නායක හාමුදුරුවෝ සහ අනුනායක හාමුදුරුවෝ මම ගලගෙදර විහාරස්ථානයක වැඩසිටි අවස්ථාවේ ලිපියක් එවා තිබුණා. 2016 ඇසළ මාසේ විහාරයේ වස් වැසීමට කවුරුත් නැති නිසා එහෙට ගොස් වස් වැසීමට පුලුවන්ද කියලා අහලා. ගිහි භාරකරුගේම වාහනයෙන්ම සැලව පන්සලට ආවා. ඒ අවශ්ථාවේ උපාසක උපාසිකා ඇත්තෝ විශාල පිරිසක් සිල්ගනිමින් සිටියා. ඊට පසු භාරකාර මහතාම කිව්වා මේ විහාරය රැක දෙන්න කියලා. ඊට පසු මේ දක්වාම විහාරයේ ආගමික සමාජික කටයුතු කරමින් රැදී සිටියා. ඒ අතර තමයි විහාරයේ ආදායම් ලබාගැනීම සම්බන්ධව මා සමඟ අමනාප වුණේ.”

මෙහි නීනිමය සුලමුල සොයා ගැනීමට අප ඊළඟට ඇමතුවේ අරණායක පොලිස් ස්ථානධිපති සූජීව ගුණතිලක මහතාටය.“දැනට විහාරයේ වැඩසිටින හිමියන් ඇත්තටම හාමුදුරු නමක් නොවේ. කලකට පෙර උපැවිදි කළ කෙනෙක්. ඒ ගැන සාක්ෂි තිබෙනවා.මේ හාමුදුරුවෝ පැමිණියේ කලින් හිටපු නායක හාමුදුරුවන් අසනීපව සිටි කාලයේ උවටැන් කරගෙන මාස තුනක් ඉන්න බව කියමින්. පසුව ගිහින් නැහැ. මල්වතු නායක හාමුදුරුවෝ හාමුරුවරු දෙදෙනාටම ඉවත් වන ලෙස දැන්වුවා. කලින් හිටි නායක හිමියන් ඉවත් වී ගියත් දැනට සිටින හාමුදුරුවෝ ඉවත් වී නැහැ. මල්වතු විහාරයෙන් ඇවිත් ආවාසයට ඉබි යතුරු දැම්මා. හාමුදුරුවෝ ඉබි යතුරු කඩලා ඇතුළු වු බව පැවසෙනවා.”

දැන් මේ අර්බුදය නිසා සැලව ගම දෙකට බෙදී තිබේ. ගමේ පිරිසක් දැනට රැඳී සිටින හිමියන්ට පක්ෂපාතීය. හාමුදුරුවන් ඉවත් කරන ලෙස ඉල්ලා පිරිසක් අත්සන් කළ පෙත්සමක්ද එවා තිබු අතර පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේය. ඒ, සිද්ධිය පිළිබදව උසස් පොලිස් නිලධාරින්ද දැනුම්වත් කරමිනි. දැන් අර්බුදය අධිකරණය හමුවට ගොසිනි.

රජ කාලයේ සිට පැවත එන ඉඩම් අක්කර 675 ක් විහාරය සතුය. මේවායින් ආදායමක් ද ලැබේ. විහාරයට හාමුදුරු කෙනෙකු නැති අර්බුදයට පිළියමක් ලෙස මල්වතු විහාරයෙන් භික්ෂුන් වහන්සේ තුන් නමක් පසුගිය 22 දා එවා තිබිණි.එදින ගිහි භාරකාර මහතාද පැමිණි අතර ගම්වැසියන් ඔහුට අසතුට ප්‍රකාශ කළ බව පැවසේ මේනිසා පැමිණි භික්ෂුන්  වහන්සේලාටද ආපසු යාමට සිදුවුණි.

සැලව සෙල් ලිපියේ සඳහන් වන්නේ ස්වල්ප මාත්‍රා දෙයකුදු වංචාවෙන් වත් බලහත්කාරයෙන් වත් පැහැර ගනිමින් ගත් කෙනෙක් මහා ප්‍රේතව උපදින බවය.මේ විහාරයේ අවුල විහාරය සතු ඉඩම්වල ආදායම් බෙදා ගැනීමට ගොස් හටගත්තක් දැයි යන සැකය අපට උපදී. එසේනම් එය බොදුනුවන් වන සැමටම ලජ්ජාවට කරුණක් නොවේද? මේ නිසා සැලව අවුල විසඳීමට මල්වතු මහා විහාරය මෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවද මැදිහත් විය යුතුය.

පසුබිම් පුවත් සහ සේයාරූ
අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න
♦ කුසුම්සිරි