2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

යුක්තිය ඉටුවුණා ඒත් විද්‍යා නැහැ

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

 

  • ස්විස්කුමාර්ට පහර දෙද්දි නියෝජ්‍ය ඇමැතිනිය ආවා
  • නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුත් මාට්ටු

මෑත ඉතිහාසයේ උතුරත් දකුණත් කැළඹූ සිද්ධියක් තිබුණේ නම් ඒ විද්‍යා ඝාතන සිද්ධියයි. විද්‍යා උතුරේ දමිළ පාසල් දැරියක් වුවත් කිසිදු ජාති බේදයකින් තොරව ඇයට වූ ඛේදවාචකය කවුරුත් අනුමත කළේ නැත. සියලු දෙනාම බලා සිටියේ ඇයට සිදුවූ අහස පොළව නුහුලන අපරාධයට සාධාරණය ඉටුවෙන තෙක්ය. ඒ අනුව ඇගේ ජීවිතයට පසුගියදා සාධාරණ ඉටුවුණේය. ඒ ඇයගේ ජීවිතයට අසාධාරණයක් වූ සියලු දෙනාට අධිකරණයේ දඬුවම් පමුණුවමිනි.

යාපනයේ පුංකුඩුතිව්හි නවවැනි පටුමගේ පදිංචි ශිවයෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරන ලද්දේ මීට වසර දෙකකට පෙරය. ඒ 2015 මැයි 13 වෙනිදාය. සැබවින්ම මෙය පෙර සැලසුම් කළ ඝාතනයක් බවට සාක්ෂි මගින් තහවුරු වී ඇත.

එනම් විද්‍යා ඉලක්ක කරගෙන සිට ඇත්තේ මෙම නඩුවේ නවවෙනි සාක්ෂිකරු වු මහා ලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස්කුමාර්ය. සුවිස් කුමාර් කාලයක් ස්විස්ටර්ලන්තයේ ජීවත්වූ අයෙකි. ඔහු එහි සිටින මාෆියා කල්ලියක් සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම ඝාතනය සිදුකර ඇතැයි සාක්ෂිවලදී හෙළිවිය. කෙසේ වෙතත් ස්විස් කුමාර්ට ඇය ඝාතනය කිරීමටත් වඩා අවශ්‍ය වුයේ දැරිය සමූහ ලෙස දූෂණයකර එම අවස්ථාව වීඩියෝ කර ගැනීම පමණි. ඒ අනුව ස්විස් කුමාර් සියලු මෙහෙයුම් සකස් කළේය. ඒ කණ්ඩායමක් ලෙස එක්ව විද්‍යාව පැහැරගෙන දූෂණය කර විඩියෝගත කිරීමය. ඒ අනුව විද්‍යා පැහැරගෙන යන්නේ එම කණ්ඩායම විසිනි. එසේ පැහැරගත් කණ්ඩායම ඇයව රැගෙන ගොස් අපයෝජනය කරන අතර එලෙස අපයෝජනය කරන විට දෙදෙනෙකු විසින් මාරුවෙන් මාරුවට රූගත කර ඇත. එසේ රූගත කර ඇත්තේ පස්වැනි සහ හයවෙනි සැකකරැවන් දෙදෙනා විසින් බව නඩුවේදී තහවුරු විය.

අවසානයේ ඔවුන් විසින් විද්‍යාව ඝාතනය කොට පලායන්නේ සියලු දෙනාගේම ඇස්වහමිනි. පසුව විද්‍යාගේ සිරුර හමුවන විට මුළු උතුරුම කැළඹී තිබුණේය. ඒ එල්.ටී.ටී.ඊ තාඩන පීඩනවලින් පසුව අසන්නට ලැබුණු දරුණුතම සිද්ධිය වීම නිසාය. මේ නිසා එයට දේශපාලනමය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අවධානය වැඩියෙන් යොමු විය. කෙසේ වෙතත් මේ අතර අන්තවාදී පිරිස් මේ ඝාතනයේ චෝදනාව වෙනත් අතකට පෙරළීමටද උත්සාහ ගත්තේය. එහෙත් කයිට්ස් පොලීසිය එම සැකය වැඩිදුර යන්නට ඉඩ දුන්නේ නැත.

ඔවුන් ප්‍රථමයෙන්ම සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගත් අය ලබාදුන් ප්‍රකාශ අනුව මෙම සිද්ධිය සම්පුර්ණයෙන් මෙහෙයවා ඇත්තේ ස්විස් කුමාර් බව කීවේය. එසේම මෙම සිද්ධිය වීඩියෝගත කළ බවත් කීවේය.
තත්ත්වය එන්න එන්නටම බරපතළ වෙමින් උතුරේ ජනතාව පොලීසියට විරුද්ධව පෙළගැසෙන්නට වුයේ ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම ගැන දොස් නගමිනි. කෙසේ වෙතත් වැඩි දවසක් ගියේ නැත. මෙම අපරාධය ගැන සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර කෙරිණි. ඒ උතුරේ ජනතාව මේ ඝාතනයට සාධාරණය ඉල්ලා සටන් කළ නිසාය. ඒ අනුව රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේය. එසේ පරීක්ෂණ ආරම්භ කරන විට දිනක් ප්‍රදේශවාසීහු මෙතෙක් පොලීසියට අල්ලා ගැනීමට නොහැකි වු ස්විස් කුමාර් අල්ලාගත්හ. එසේ අල්ලාගත් ස්වීස් කුමාර් ගසක ගැටගසා ප්‍රදේශවාසීන් මදිනොකියන්නට පහර දුන්හ.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් පහර දෙන විට එම ස්ථානයට කොහේදෝ සිට වර්තමාන ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය පැමිණියාය. කෙසේ වෙතත් ඔහුව ලිහා පසුව පොලීසියට බාරදෙන ලෙස මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා ඇත. කෙසේ වෙතත් ස්විස් කුමාර් මීට පෙර සඳහන් කර සිටියේ අමාත්‍යවරිය පැමිණි තමන් ශෂිගේ මල්ලි නේදැයි විමසා පැය දෙකක් ඔහු සමඟ එම ස්ථානයේ සිටි බවය. එහෙත් එය අසත්‍යයක් බව රහස් පොලීසිය නඩු විභාගයේදී පැවසීය.
අවසානයේ ස්විස් කුමාර් අත්අඩංගුවට ගෙන කයිට්ස් පොලීසියට බාර කරන්නට විය. එහෙත් ස්විස්කුමාර් වැඩි දවසක් පොලීසියේ හිටියේ නැත. එකවරක් සාක්ෂි නොමැති බව දන්වා ස්විස් එළියට ආවේය. මෙය හිතා ගැනීමට නොහැකි විය. අල්ලාගත් අනෙක් සාක්ෂිකරුවන් ස්වීස් කුමාර් මහ මොළකරු බවට පුන පුනා කියද්දිත් ඔහුව පොලීසියෙන් අත්හැරියේය. එසේ අත්හල කුමාර් රටින් පැනයාමට පිඹුරු පත් සකසමින් සිටියේය. කෙසේ වෙතත් රහස් පොලීසියේ පරීක්ෂණ මත මෙහි මහමොළකරු ස්විස්කුමාර් බව හඳුනාගත්තේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රහස් පොලීසිය ස්විස් කුමාර් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් ස්විස්කුමාර් අවසානයේ රහස් පොලීසිය හමුවේ කතාව කියා පෑවේය. ඒ තමන්ගේ වැරදි බාර ගනිමිනි.

අතර නඩුවේ හයවැනි විත්‍තිකරුගේ නිවසේ තිබී විද්‍යගේ උපැස් යුවලද සොයා ගැනීමට හැකිවිය. සිද්ධිය සම්බන්ධයෙන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමත් සමඟ සැකකරුවන්ට එරෙහිව නඩු විභාගය ආරම්භ විය. ඒ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් ලෙසය. එම නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව  අධිචෝදනා 41ක් එල්ල කරමින් නඩු පැවරීය. කෙසේ වෙතත් එම නඩුව විභාගය ආරම්භ වෙත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් යුත් වෙන අධිකරණයක් පිහිටුවන්නට විය. මෙය කොළඹින් පිට පිහිටවු පළමු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විය. එහි සභාපතිත්වය හිමිවුයේ වවුනියා මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේම්න්ද්‍රන් මහතාය. අනෙකුත් සාමාජිකයන් වුයේ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංගචේලියන්ය. ඔවුන් ඉදිරියේ නඩුව විභාග විය. ඒ 2015 ජූනි 06 වැනිදා සිටය. එහෙත් ජූනි 27 වැනිදා සිට නඩුව එකදිගට ඇසීමට තීරණය කළේය. ඒ අනුව නඩුවාර 12 කදී සාක්ෂිකරුවෝ 35 සාක්ෂි ලබාදුන්හ.

එසේ සාක්ෂි ලබාදීමේදී තිදෙනකුට රජයේ සාක්ෂිකරුවන් ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත අවස්ථාව හිමිවිය. ඒ 11 වැනි විත්තිකරු උදයසූරියන් සුරේෂ්කරන්, නඩරාජා පුවනේස්වරන් හා රිමාන්ඩ් බාරයේ සිටි ඉංජිනේරුවරයකු වන මාපිල්ලේ යන අයය.

එසේම නඩුවේ සාක්ෂි විමසීමේදී ස්විස් කුමාර් නැමැත්තා චේතනාන්විතව මුදාහැරීම මත එවකට උතුරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් අත් අඩංගුවට පත් විය. සැබවින්ම ස්විස් කුමාර්ට පැනයාමට උදව් කර තිබුණේ ජයසිංහ මහතා වන නිසාය. එසේම මෙම සිද්ධිය විජයකලා මහේස්වරන් නියෝජ්‍ය අමාත්‍යවරියගෙන්ද ප්‍රශ්න කළේය. ඒ ස්විස් කුමාර් මුදාහැරීමට ඇය උපදෙස් දුන්නා යන චෝදනා එල්ල වූ නිසාය. එහෙත් ඇගේ සම්බන්ධයක් මෙතෙක් හෙළිවී නැත.
කෙසේ වෙතත් අවසානයේ හෙළිවූයේ මෙම ඝාතනය සංවිධානාත්මකව සිදුකර ඇති බවය. ඒ ස්විස් කුමාර්ගේ උවමනාව බව පැවසේ. කෙසේ වෙතත් මෙයින් බේරීම සඳහා ස්විස් කුමාර් සිය ස්විට්සර්ලන්තයේ අපරාධ කල්ලිය හරහා රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට රුපියල් කෝටි දෙකක් දෙන්නට පොරොන්දු වුණේය. ඒ තමන්ව රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කරන ලෙස කියාය. එහෙත් එය තඹයකට මායිම් නොකෙරිණි.

අවසානයේ නඩුව එක දිගට විභාග වන විට ස්විස්කුමාර්ට එල්ලවූ චෝදන බරපතළ විය. අවසානයේ නඩු තීන්දුව පසුගිය සතියේ 27 වැනිදා ප්‍රකාශයට පත් කළේය. නඩු වාර්තාව පිටු 730ක් විය. සභාපති විනිසුරුවරයා සැකකරුවන් හත් දෙනෙකු විසින් මරණ දණ්ඩනය දියහැකි වරදක් කර ඇති නිසා ඔවුන් හත් දෙනාට මරණ දඬුවම නියම කළේය. ඒ බුබාලසිංහම් ජෙයකුමාර්, බුබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, ජෙයදරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස්කුමාර්ට මරණ දඬුවම නියම කළේය.

එසේම පළමු විත්තිකරු වූ බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර් සහ හත්වැනි විත්තිකරු වූ පලනි රෑබසිංහම් යන අය නිදොස් කොට නිදහස් කළේය.

මරණ දඬුවමට අමතරව සැකකරුවන් හත්දෙනාට වසර තිහක සිර දඬුවමක්ද නියම කළහ. එසේම ස්විස් කුමාර් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් 70000 ක දඩයක්ද එය නොගෙවන්නේ නම් මාස හතක සිර දඬුවමක්ද නියම කළේය. අනෙක් වැරදිකරුවන්ට රුපියල් 40000 ක දඩයක් නියම කළේය. එසේම එම මුදල නොගෙවන්නේ නම් මාස හතක සිර දඬුවමක්ද නියම කළේය.

එසේම විද්‍යාගේ මව වන සරස්වතී මහත්මියට එක් අයකු රුපියල් ලක්ෂ දහය බැගින් ලක්ෂ 70ක් වන්දි වශයෙන් ගෙවන ලෙසද නියෝග කරන්නට විය.

ඉන් අනතුරුව වැරදිකරුවන්ට සිය හේතු කීමට අවස්ථාව ලබාදුනි. ස්විස් කුමාර් ඇතුළු හත්දෙනාම පවසා සිටියේ රහස් පොලීසිය විසින් පටලවා ඔවුන් වැරදිකරුවන් කළ බවය. ඒ නිසා දෙවියන් සාධාරණය කරයි යනුවෙන්ද ඔවුහු කීහ.

එම අදහස් දැක්වීමෙන් පසුව අධිකරණයේ විදුලි බල්බ, විදුලි පංකා නිවා දැමුවේය. ඉන් අනතුරුව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ  ජනාධිපතිවරයා විසින් දැනුම් දෙන දිනක විත්තිකරුවන් හත් දෙනා ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා මරා දැමිය යුතු බවය. එසේ කියා විනිසුරු මඩුල්ල පිටව ගියේය.

පසුව සැකකරුවන් සියලු දෙනාම බන්ධනාගාර බස් රථයේ දමාගෙන දුම්බරට රැගෙන ආහ.

ඒ අනුව වසර දෙකක් පුරා ඇදි ඇදී ආ විද්‍යාගේ ඛේදවාචකයට අධිකරණයෙන් සාධාරණය ඉෂ්ට විය. පොලිසියේ ලොක්කන් අපරාධය වසද්දී තවත් පිරිසක් මේ ආකාරයෙන් ජීවිතයට සාධාරණය ඉෂ්ට කළේය. ඒ රහස් පොලීසියේ අයය. ඒ නිසා ඔවුන්ද විනිසුරුවරු ඇගයුවේය. කෙසේ වෙතත් අවසානයේ විද්‍යාගේ මව රටටම ඇහෙන්න දෙයක් කීවේය. ඒ උතුරේත් දකුණේත් දරුවන් වෙනුවෙන්ය.

“මගේ දුවට අත් වෙච්ච ඉරණම කිසිම දරුවකුට අත් නොවේවා. මා වින්ඳ දුක කිසිම අම්මා කෙනෙකුට විඳින්නට නොලැබේවා කියා මා පතනවා”

ගයාන් ගාල්ලගේ