2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

මැරුණු නළුවාගේ අන්තිම පැය

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1930

තරුණ පරපුරේ නවක නළුවකු වූ දසුන් නිශාන්ද සිල්වා පසුගිය සතියේ රටේ ප්‍රධාන මාතෘකාව විය. ඉතා කෙටිකලකින් රටක් රංගනයෙන් වසඟ කළ මෙම නළුවා ඊටත් වඩා කෙටිකලකින් සිය ජීවිත සැරිය නිමකර ගත්තේ සංවේදී සිත් ඇති බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක්කරමිනි. තම බෝඩිම් කාමරයේ විදුලි පංකාවක ගෙල වැළලාගත් මෙම තරුණයා සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජය තුළ පැතිරුණත් මේ මරණය සම්බන්ධයෙන් ඇත්තම කතාව දන්නේත් දසුන්ම පමණි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ දසුන් ඉගෙනීමට උපන් හපන්කමක් දැක්වූ‍ෙවකි. කුඩා කල සිටම තම පියාගෙන් ඈත්ව හැදුණු පවුලක වැඩිමලා වූයේ දසුන්ය. තවත් සහෝදරයකුද සිටියේය. තරුණ ගැටව් දෙදෙනාගේ ජීවිතයේ වගකීම අත්නොහැර බාරගත් දසුන්ගේ අම්මා කිසිඳු අඩුපාඩුවකින් තොරව තම දරුවන් හදාවඩා ගැනීමට වෙහෙස විය. ඒ සඳහා ඇය පිරිමියකු ලෙස ජීවිතය හා අරගල කළ වාර අනන්තය. ඇය පවසන පරිදී තම පුතුන් රජවරු සදිසි මිනිසුන් කිරීම සඳහා ඇය අයිස් ක්‍රීම්ද වික්කාය.

කෙසේ වෙතත් කරඳඩු උස් මහත්වූ දසුන් පාසල් කාලයේ පටන් හොඳ පෙනුමකින් යුක්ත වූ නිසා ඔහුගේ කැමැත්තෙන්ම නිරූපණ ශිල්පියකුවීමට ඔහු හීන දැක්කේය. ඒ සඳහා විවිධ පුද්ගලයන් හමුවෙමින් කොළඹ ගෙන්දගම් පොළවේ එහා මෙහා ගියවාර අනන්ත විය. අවසානයේ සියලු බලාපොරොත්තු මල්පළ ගන්වමින් දසුන්ට 2009 වර්ෂයේදී කලා ලොවට පාර කැපුණි. ආරම්භයේදී එහෙන් මෙහෙන් කෑල්ලකට දෙකකට ඔළුව දාගැනීමට දසුන්ට හැකි වූ අතර කාලයත් සමඟ ඔහුගේ වාසනාවට ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක වෙළඳ දැන්වීම් සඳහා පෙනීසිටීමට අවස්ථාව උදාවිය. මේ හරහා නිතර දෙවේලේ රූපවාහිනියේ පෙනීසිටි දසුන් ලාංකික ප්‍රේක්ෂකයාට නුහුරු නුපුරුදු චරිතයක් වූයේ නැත.

කාලය ගෙවීයාමත් සමඟ දසුන් තම ගම වන නිට්ටඹුව අතහැරියේය. ඒ වෙන කිසිවක් නිසා නොව දසුන්ට ලැබුණු රඟපෑමේ අවස්ථාවන් සමඟ නිතර කොළඹ සිට නිට්ටඹුවට යන්න එන්න අපහසු නිසාය. මේ නිසා දසුන් පන්නිපිටිය ප්‍රදේශයේ එක්තරා බෝඩිමක් සිය වාසස්ථානය කරගත්තේය. එම බෝඩිමේ දසුන් පමණක් නොව නවක නළුවන් තිදෙනෙකුද සිටියේය.

දසුන් කලාවට පය තබන විටත් ඔහුගේ ජීවිතය වෙලාගත් ආදර කතාවක් ගමේ තිබුණේය. ඒ පාසල් කාලයේ පටන් තිබූ ප්‍රේමයකි. ඇය සැබවින්ම දසුන්ට ආදරය කළ නිසා ඔහු ද නොදෙවැනිව ඇයට ආදරය කළේය. මේ නිසාම ඒ ප්‍රේමය වසර 13ක් දක්වා ඇදී ගියේ දෙදෙනාටම නොදැනීමය.

මේ ආදර කතාවේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමින් දෙදෙනා මීට වසර දෙකහමාරකට පෙර විවාහ වූහ. කිසිඳු සද්දයක් බද්දයක් නොමැතිව අත්සන් කිරීමෙන් පමණක් සිදුකළ මෙම විවාහය කලාලොවේ අලුත් පරපුරේ ඇතැම් නළු නිළියන් සේම දසුන්ද රටට සැ‍ෙඟව්වේය. එය නවක නළු නිළියන්ගේ අලුත්ම ත්‍රෙන්ඩ් එකක් බඳු වූහ.

කෙසේ වෙතත් විවාහය සිදුකළත් දසුන් ඇයව කැන්දාගෙන ගියේ නැත. එයට සැබෑම හේතුව වූයේ දසුන්ගේ නිවෙස ඒ වන විටත් සම්පූර්ණයෙන් ඉදිකර නොතිබීම නිසාය. මේ නිසා දසුන්ගේ බිරිය ඇගේ නිවෙසේ තබා දසුන් කොළඹ බෝඩිමේ ජීවත් වුණේය. එහෙත් දසුන්ගේ බිරිය මුදල් යොදවමින් දසුන්ගේ නිවස ටිකෙන් ටික ගොඩනැගීය. ඒ දසුන් ඒ වන විටත් රටම හඳුනන නළු චරිතයක් වූ නිසා ඔහුට යහපතක් තකාය. එහෙත් දසුන්ට ඒ පිළිබඳ බරක් පතලක් දැනුණේ නැත. ඔහු නාට්‍යවල ප්‍රේමවන්තයා මෙන් සැබෑ ජීවිතේද ඉතා සැහැල්ලුවෙන් ගත කළේය. කෙසේදයත් දසුන්ට කවර වැඩ රාජකාරියක් තිබුණත් කිසිඳු යාළුවෙක් හමුනොවී සිටීමට දසුන් අමතක කළේ නැත. නිතරම දසුන් යාළුවන් සමඟ ගෙවීමටත් මත්පැන් සාද පැවැත්වීමටත් ප්‍රිය කළේය.

මේ අතරතුර දසුන්ගේ විවාහක ජීවිතයට තවත් අසම්මත කිරිල්ලියක් ඇතුළු වෙමින් සිටියාය. ඇය නිළියක් වූ ශලනි තාරකාය. ඒ වනවිටත් රටම දැන සිටි නිළියක වූ ශලනි තාරකා සමඟ දසුන්ට නිතර රඟපෑමට අවස්ථාව උදාවී තිබුණේය. එක් නාට්‍යක අඹු සැමියන් ලෙසද ඔවුහු රඟපෑහ. මේ සියලු දෙවල් මැද ගොඩනැගුණු ආදර කතාව කලා ක්ෂේත්‍රයේ ලැව් ගින්නක් සේ පැතිරී ගියේය. එහෙත් මේ ගැන වරෙක පුවත්පත් සාකච්ඡාවකදී ශලනිගෙන් විමසූ විට ඇය පවසන්නේ දෙදෙනා එක් නාට්‍යක අඹුසැමියන් ලෙස රඟපෑ නිසා මේ කටකතා සැදී ඇති බවය. කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ ටික දෙනෙක් මුලින් දැන සිටි ඒ රහස ක්‍රම ක්‍රමයෙන් ප්‍රසිද්ධ රහසක් බවට පත්විය.

අවසානයේ දසුන් තම බිරිඳ වෙනුවට ශලනි තෝරාගැනීම දක්වා වැඩේ දික්ගැස්සී තිබුණේය. දිනක් ඊට සාක්කි වෙමින් දසුන් තම මවට දුරකථන ඇමතුමක් දී කතාවක් කීවේය. ඒ තමන් ශලනි තාරකා සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බවත් ඇයව විවාහ වීමට අවශ්‍ය බවත් මේ නිසා තම විවාහක බිරියගෙන් වෙන්වන බවත්ය. එහෙත් මව ඒ අවස්ථාවේ දසුන්ගේ පැත්ත ගත්තේ නැත. ඇය දසුන්ට බැණ වදිමින්ද වරෙක ආදරයෙන් අවවාද දෙමින්ද එවැනි දෙයක් සිදුකිරීමට තමන් ඉඩ නොදෙන බවත් එවැනි දේවල් නොගැළපෙන බවත් දසුන්ට දැන්වීය. එමෙන්ම දසුන් වෙනුවෙන් මහත් කැපකිරීමක් කළ බිරිය අත්නොහරින ලෙසද ඉල්ලා සිටියේය. දසුන්ගේ ඊළඟ ඇමතුම තම බිරියට විය. 

ඔහු ඇයට පවසා සිටියේ තමන්ට දික්කසාදය අවශ්‍ය බවත් ඊට පසුව ශලනි විවාහ කරගන්නා බවත්ය. එය ඇසීමෙන් මහත් කම්පනයට පත්වූ ඇය දසුන්ට දික්කසාදය ලබා නොදෙන බව පැවසුවාය. එහෙත් දසුන් එක දිගට සිය යෝජනාව ඉදිරිපත් කළේය. එහෙත් මවත් ඇයත් ඊට එකඟ වූයේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව දසුන් මිරිඟුවකට මුලාවී ඇති බව ඔවුන් සිතූ නිසාය. අවසානයේ දසුන් නිතර ගෙදර යාමද අතහැර දැමුවේය.

මේ අතර දසුන්ගේ බිරිය දී ඇති සාක්ෂිවලින් අනාවරණය වූ පරිදි ශලනි තාරකා ඇයට දුරකථනයෙන් කතාකොට දසුන් හා තමා ආදරය කරන බවත් දැන් දසුන් සිටින්නේ තමා සමඟ නිසා ඇයට දික්කසාද වන ලෙසත් දන්වා ඇත. එසේ කියන්නේ දසුන්ගේ විවාහක බිරියය. එහෙත් ශලනි වෙනුවෙන් පෙනීසිටින ඇතැම් වෙබ් මාධ්‍ය දන්වා තිබුණේ දසුන් විවාහයකු බව ශලනි කලක් යනතුරු නොදැන සිටි බවත් එය දැනගත් පසුව ප්‍රශ්නය විසඳාගෙන තමන් වෙතට පැමිණෙන ලෙස දසුන්ට කියමින් ඈ ඔහුගෙන් ඉවත් වුණ බවත්ය. ශලනි සහ නමක් සඳහන් නොකරන ශලනිගේ ක්ෂේත්‍රයේම සමීපතමයෙක් ප්‍රකාශ කරන පරිදි වෙබ් අඩවි එවන් කතාවක් පවසමින් එය සනාථ කිරීමට ශලනිගේ FB සටහන් කිහිපයක්ද හුවා දක්වා තිබුණත් ප්‍රායෝගික හා සවිඤානික බුද්ධියකින් දසුන්ගේත් බිරියගේත් ශලනිගේත් ජීවිතය අවබෝධයෙන් පිරික්සන්නකුට යථාර්ථය අවබෝධ කරගැනීම උගහට නොවනු ඇත. තීන්දු තීරණ දෙන්නට අප ඉක්මන් නොවුණත් ඒ කාගෙ කාගේත් හෘද සාක්ෂිය කළේ කුමක්ද වූයේ කුමක්දැයි දන්නා බව අපි විශ්වාස කරමු.
කෙසේ වෙතත් ශලනිගේ ආදරයෙන් අන්ධ වී සිටි දසුන් ඇයව නැතිවම බැරි කෙනෙක් වූයේය. එහෙත් ආදරය පහු පහු වනවිට කොහු කොහුවන බව සනාථ කරමින් ශලනි දසුන් ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තාය. ඒ ඔහු විවාහකයකු වන නිසාය. එක් පැත්‍තකින් ශලනි නිවැරදිය. තරුණ කෙල්ලෙක් විවාහකයකු තෝරාගන්නේ නැත. අනෙක් පැත්තෙන් ශලනි වැරදිය. ඒ විවාහකයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම හා පවුලක් අවුල් කිරීමේ පවට කරගැසීම නිසාය. තවත් පැත්තකින් දසුන්ද වැරදිය. ඒ ඔහු විවාහකයකු බව දැන දැනත් මෙවැනි ප්‍රේමයක් ගොඩනගා ගැනීමය. තමන් වෙනුවෙන් කැපවීම් කළ තම බිරියට ද්‍රෝහිකම් කිරීමය. එහෙත් මේ සියලු සම්මතයන් ගෙන් එපිට කෝණයක සිට බලන විට මිනිස් සිතේ ප්‍රකෘතියද එය වගම කෙනෙකුට තර්ක කළ හැක.

කෙසේ වෙතත් දිගින් දිගටම සිදුවන ප්‍රශ්න නිසා දසුන් සිටියේ ඉතා සිත්තැවුලෙන්ය. දැඩි මානසික පීඩනයකින්ය. නෙලා ගත් ඵලයේ රස විඳි දසුන්ට ඒ වනවිට ඇවැසිව තිබුණේ තහනම් ඵලයේ රස සිතේ හැටියට විඳගන්නට අවැසි නිදහස් පසුබිමකි. ඒ ඉඩහසර මඟ හැරී ගිය වාතාවරණයකදී ඔහු දැඩි ආවේගයටත් පීඩනයටත් පත්ව සිටින්නට ඇත. ඇතැම් මිතුරන් ඔහුගෙන් විමසා සිටියත් දසුන් වචනයක් කීවේ නැත. ඔහු ප්‍රශ්න සඟවමින් නිතර සිනාසී ජීවත් වීමට උත්සහ කළේය. ශලනි විවාහයට කැමතිත් නැත. බිරිඳ දික්කසාදය ලබාදෙන්නේද නැත. විවාහක බිරියගේ පැත්තෙන් ඇයට වරදක් කීමටද නුපුළුවන. දසුන් දෙලොවක තනි වුණේය. අවසානයේ මේ සියලු ප්‍රශ්නවලට දසුන් කෙටිම සහ අනුවණම පිළිතුර සොයාගත්තේය.

දිනය 25 වැනිදාය. එදින දසුන්ට නාට්‍ය කිහිපයක ෂූටින් තිබුණේය. නළු නිළි භාෂාවෙන් කියතොත් බිසී ෂෙඩූල් එකක් තිබුණේය. ඔහුගේ බෝඩිමේ සිටි සගයන්ද එකා දෙන්නා පිටවුණේ ඔවුන්ගේ වැඩකටයුතු සඳහාය. එහෙත් දසුන් බෝඩිමට වී සිටියේය. එක් මිතුරකු අද වැඩවලට යන්නේ නැතිදැයි දසුන්ගෙන් විමසූ විට දසුන් පවසා සිටියේ ඇඟට ටිකක් හරි නැති නිසා අද ගෙදරට වී සිටින බවය. ඒ අනුව පිරිස පිටවූ අතර දසුන් නිවසේ තනිවුණේය.

බෝඩිමෙන් පිටව ගිය සඟයකු දහවල් නැවත බෝඩිමට ආවේය. ඒ සියලු වැඩකටයුතු නිමවාය. එසේ පැමිණි ඔහු දොරෙන් නිවසට ඇතුළු වූවා පමණි. ඇස් උඩ ගියේ ඒ අවස්ථාවේ දකින්නට වූ දේ නිසාය. ඒ රටක් ආදරය කළ කවදා හෝ කලාලොවේ බැබළෙන අනාගතයකට උරුමකම් කීමට සිටි දසුන්ගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැකීමෙනි. එය දුටු ඔහුට කිසි දෙයක් සිතා ගැනීමට නොහැකි විය. (දසුන්ගේ සිරුර මුලින්ම දුටුවේ මේ නළුවා නොව දසුන්ගේ ජීවිතයට සමීපව සිටි වෙනත් කෙනෙකු බව ඇතැම් ප්‍රචාර ඔස්සේ කියවුණත් එය සත්‍යයක් දැයි අපි නොදන්නෙමු)

ඔහු වහාම සිය මිතුරන්ට කතා කොට සිද්ධිය සැලකර සිටියේය. එපමණක් නොව පිළියන්දල පොලීසියටද දැන්වීය.
මද වේලාවක් ගියපසු දසුන්ගේ සියදිවි නසාගැනීම රටපුරා ප්‍රචාරය වන්නට විය. මේ අතර දසුන්ගේ මවටත් බිරිඳටත් දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ දසුන්ට කරදයක් වී ඇතිබවය. ඒ නිසා හැකි ඉක්මණින් කොළඹ එන ලෙස දන්වා තිබුණේය. ඒ වන විට මෙවැනි මරණයක් ගැන ඔවුන් දැන සිටියේ නැත.

කෙසේ වෙතත් බිරිඳට ඇතිවූ සැකය නිසාම ඇය දසුන්ගේ ප්‍රේමවන්තිය වූ ශලනිට දුරකථන ඇමතුමක් ගෙන දසුන්ට කරදරයක් දැයි විමසීය. ශලනි ඊට පිළිතුරු දෙමින් පවසා සිට ඇත්තේ දසුන් ගෙලවැලාගෙන මියගොස් ඇති බවට තමන්ටද පණිවිඩයක් ලැබුණු බවය. දසුන්ගේ බිරිඳ මොහොතකට හදවතින්ම හඬා වැටුණාය. සියලු දෙනාම දසුන්ව සොයා බෝඩිමට ආහ. නළු නිළියන් පමණක් නොව යහළුවන් ප්‍රේක්ෂකයන්ද බෝඩිම ඉදිරියේ සිටගත්තේ දසුන්ගේ ළෙන්ගතුකම නිසාය.

පරීක්ෂණ සඳහා පැමිණි පිළියන්දල පොලීසිය බෝඩිම පරීක්ෂා කළේය. එවිට දසුන්ගේ අත් අකුරින් අත්සන් සහිතව ලියන ලද ලිපියක් හමුවුණේය. එහි සටහන්ව තිබුණේ මෙම මරණය තමන්ගේ කැමැත්ත මත සිදුකරන දෙයක් බවත් එයට කිසිවකු වගකිව යුතු නැති බවත්ය. එපමණක් නොව තවත් සුවිශේෂී සාක්ෂියක් හමුවුණේය. ඒ දසුන්ගේ ජංගම දුරකථනයය. එය එක්තරා තැනක හේත්තු කොට එහි කැමරාව දසුන් සියදිවි නසාගත් පැත්තට අල්ලා තිබුණේය. පසුව එය පරීක්ෂා කිරීමේදී දසුන් සියදිවි නසාගන්නා ආකාරය අකුරක් නෑර සටහන් වී තිබුණේය.

එනම් පළමුව දසුන් විදුලි පංකාවට ලණුව දමා සකස් කරන අතර ඉන් පසුව මේසයක් උඩට නගින්නට යයි. එහෙත් මේසය පෙරළාගෙන වැටෙන නිසා එම අවස්ථාවේ ජීවිතය රැකෙන්නේය. නැවත දෙවනුව කඹයේ එල්ලීමට ගොස් කඹය ගැලවී බිමට ඇද වැටෙයි. තෙවනුව උත්සාහ කරන අවස්ථාවේ කිසිවකු දොරට ගසන අතර ඔහු එය බැලීමට යන ආකාරයක් පෙන්වයි. පසුව හතරවන අවස්ථාවේ ඔහු ගෙල සිරකරගන්නා අතර ඔහු මරණයත් ජීවිතයත් අතර තනිවෙන අන්තිම මොහොතෙ දුරකථනයට එන ඇමතුමක් නිසා වීඩියෝව නැවතී යයි.

මේ සියලු දර්ශන නිසා එම මරණය සැකයෙන් තොරව සියදිවි හානිකර ගැනීමක් බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදිත් පශ්චාත් මරණ පරීකෂණයේදීත් තහවුරු විය. එසේම ඊට පසුදින මවත් බිරිඳත් මරණය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ඉහත සඳහන් කළ සියලු සබඳතා හෙළි කළේය. නම් ගම් සහිතව හෙළිකළේය. එතෙක් තැන් තැන්වල කසු කුසු ගෑ කතාව එළියට ආවේය. ඒ ශලනිගේ ප්‍රේම කතාවය.

කෙසේ වෙතත් ඒ වන විට නිශ්ශබ්දව සිටි ශලනි සිය ෆේස් බුක් පිටුව ඔස්සේ දසුන්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කතා කියන කියන අයට පිළිතුරක් දී තිබුණේය. එනම් අද උපදෙස් දෙන, හඬන අය එදා දසුන්ගේ ප්‍රශ්නය අහන්න හිටියා නම් දසුන් අදටත් ජීවත්වන බවය.

කෙසේ වෙතත් රංගන ක්ෂේත්‍රයට දක්ෂ රංගන ශිල්පියකුටත් වඩා මවකට පුතකු අහිමි වීම ගැන අපට ඇත්තේ කනගාටුවකි. දසුන්ගේ මවගේ නෙතින් දෝර ගැලුණු හැම කඳුළු බිංදුවක් වෙනුවෙන්ම දසුන්ටත් මේ පවට වගකිව යුතු සියල්ලන්ටත් මේ අනන්ත සංසාරය පුරාවට වග වෙන්නට සිදුවනු ඇත. අටලෝදහම තුළ ජීවිතය අවබෝධ කරගත්තේනම් හුදෙක් ජීවිතයේ ගැටලු අභියෝග ප්‍රශ්න වෙන්වීම් හුදෙකලාවීම් අහිමිවීම් සියල්ල සාධාරණ බව තේරුම් ගත හැකිය. බයගුල්ලෙකු ලෙස ජීවිතයෙන් පලා යන්නේ පරාජිතයකු මිස වීරයකු නොවන බවද, මෙවන් වැරදි ආදර්ශ සංවේදී ආවේගාත්මක සිත් ඇති සමාජයේ කවරකු හෝ පූර්වාදර්ශයට ගත නොගත යුතු බවද අපි අවසන් වශයෙන් අවධාරණය කරමු.

“මචන් දසුන් ගෑනු දෙන්නෙක් ගැන හිතලා උඹ ජීවිතේ නැතිකර ගන්න මොහොතේ ගෙදර ඉන්න එකම ගැහැනිය වෙච්ච අම්මා ගැන හිතලා උඹට ජීවත් වෙන්න තිබ්බා. එහෙනම් උඹ තවත් ලස්සනයි”.

ඒ දසුන් වෙනුවෙන් ෆේස්බුක් පිටුවක තිබූ සටහනකි.

♦ රෙහාන් රාසික්