2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මදූෂ්ට බලය දුන්නේ කවුද?

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 532

♦ හිරගෙදරදී පොරක් වුණා

♦ කොටුවුණ ගෝලයාගෙන් තොරතුරු රැසක්

♦ කොටි සංවිධානයෙන් ආයුධ ලැබුණා

♦ ඇමැති කෙ‍නෙක්ගෙ ඡන්දෙටත් වැඩකළා

♦ කොටි සංවිධානයෙන් ආයුධ ලැබුණා

මෙරට ඇතැම් මාධ්‍යයට එකම චරිතය සහ ලොකුම චරිතය වී ඇත්තේ පාතාලයේ මහා කෙරුමෙකු යැයි කියන මාකඳුරේ මදූෂ්ය. එය කෙතරම්ද කියතොත් ඇතැම් මාධ්‍ය අතිශෝක්තියට ගොස් මදූෂ්ව පාතාලයේ “ගෝඩ් ෆාදර්” ලෙස හැඳින්වීමට තරම් කාරුණික වී ඇත. එක් පැත්තකින් එය හාස්‍ය ගෙන දෙන කාරණයක් මෙන්ම තවත් අතකින් එය ඛේදවාචකයකි. කෙසේ වෙතත් අතිශෝක්තියෙන් මදූෂ්ගේ වැඩ කිඩ ලියන මාධ්‍යට අවශ්‍යම කාරණා කිහිපයක් මඟහැර යාම ගැන ඇත්තේ කනගාටුවකි.

මදූෂ් තව තවත් අපරාධකරුවකු ලෙස පුම්බනවා විනා ඔහුව තවමත් පොලීසිය අල්ලන්නේ නැත්තේ ඇයිද යන්න එම මාධ්‍යවලට ප්‍රශ්නයක් වී නැත. එහෙත් රටේ ජනතාවටත් එසේම පොලීසිය නිලධාරින්ටත් ප්‍රශ්නයක් වී ඇති මදූෂ් ගැන අපි එකින් එක මෙලෙස දිගහරින්නෙමු.

මදූෂ් ගැන ශ්‍රී ලංකා පොලීසිය ප්‍රථම වරට දැන ගන්නේ 2005 වසරේදීය. ඒ කොල්ලකෑම් කිහිපයකට අත්‍යවශ්‍යව සිටි කල්ලියක එක් සාමාජිකයකු ලෙසය. එම කොල්ල කල්ලියම බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර එහි සිටි බාලයා වුයේ මදූෂ්ය. ඒ වන විටත් පොරක් නොවූ මදූෂ් ගැන එතරම් පොලීසියද තැකුවේ නැත. එම සිද්ධියෙන් ඇතුළට යන මදූෂ් වසර 10ක් පමණ ඉන්නේ බන්ධනාගරය තුළය.

ඇතුළට එන විට පොරක් නොවූ මදූෂ් බන්ධනාගාරය තුළදී පොරක් වන්නට උත්සාහ ගන්නේ බන්ධනාගාරයෙන් මෙපිට ගේම් කිහිපයක් දෙමිනි. මේ සඳහා මදූෂ් කණ්ඩායමක් සකස් කරගන්නා අතර එහි ප්‍රධානියා මදූෂ් වූ අතර එළියේ සිට මෙහෙයවුයේ තවත් අපරාධකරුවෙකු වූ ලලිත් පිංතු විසිනි. රට වටේ කොන්ත්‍රාත්තුවට මිනී මරමින් සෙල්ලම් කරන්නට ගත් පිරිස තවත් ව්‍යාපාර දෙකකට අත ගැසුවේ බන්ධනාගාරය තුළ හටගත් අලුත් මිත්‍රකම් නිසාය.

ඉන් එක් ව්‍යාපාරයක් වුයේ කප්පම් ගැනීමය අනෙක් ව්‍යාපාරය වුයේ හෙරොයින් විකිණීමය. දකුණට හෙරොයින් ගෙන ඒමේ ප්‍රධාන පුද්ගලයකු වූයේ මදූෂ්ය. කෙසේ වෙතත් අවසානයේ මදූෂ් ලලිත් පිංතුලා හරහා මාතර, ගාල්ල ආදී ප්‍රදේශවල කප්පම් ලබාගැනීම සිදුකළේ එළිපිටය. බන්ධනාගාරයේ සිට දුරකතන ඇමතුම් ලබාදෙමින් විවිධ පුද්ගලයන්ට මරණ වරෙන්තු යැවූ මදූෂ් ඉන් ගැලවීමට මිල ගණන් නියම කළේය. එම මුදල ලබා නොදුන් බොහෝ දෙනකුට මදූෂ් සිය ගෝල බාලයන් ලවා මරණ වරෙන්තුව ලබාදුන්නේය. මේ නිසා දකුණේ බොහෝ දෙනකු සිටියේ මර බයේය.
මේ අතරතුර 2011 වසරේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනකු බස්නාහිර උතුරු අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. එම දෙදෙනාම මදූෂ්ගේ ගෝලයන් වු අතර අවසානයේ දකුණේ සිදුකරන අපරාධ රැසක තොරතුරු ඔවුහු හෙළි කළහ. දිගින් දිගට මෙම අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු නිසා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයද මේ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබුණි. මේ නිසාම 2012 වසරේදී දිනක් මදූෂ්ගේ ළඟම ගෝලයා වූ ලලිත් පිංතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කොටුවිය. දකුණේ අපරාධ රැසකට අත්‍යවශයව සිටි පිංතු මේ සියලු සිද්ධීන් පිටුපස සිටින පුද්ගලයා ගැන හෙළි කළේය. බන්ධනාගාරය තුළට වී සැඟව වීරකම් කළ මදූෂ්ගේ නම එළියට එන්නේ මේ හරහාය. අවසානයේ බන්ධනාගාරයේ සිටි මදූෂ්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටතට අධිකරණ නියෝගයක් හරහා ලබාගන්නේ දවස් පන්සිය ගණනකට රඳවා ගැනීමේ නියෝග මතය. 

එතැන් සිට මදූෂ්ගෙන් දවස පුරා ප්‍රශ්න කරන්නට විය. මදූෂ්ගේ ප්‍රකාශ මත ආයුධ රැසක් අත්අඩංගුවට ගත් අතර ඒවා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කළ ඒවා විය. මේ නිසා මදූෂ් සහ එල්.ටී.ටී.ඊ.ය අතර සබඳතාවයක් ඇතැයි පොලීසිය සැකකළේය.

දිනක් පොලීසිය හමුවේ තවත් තොරතුරක් වැමැරුවේය. ඒ මාතර මාකඳුර ප්‍රදේශයේ එක්තරා නිවසක ආයුධ කිහිපයක් වළදමා ඇති බව කියාය. එය ඇසූ පමණනින් කළබල වු පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමඟ මාකඳුර බලා පිටත් විය. 

පොලීසිය එලෙස පිටවනවාත් සමඟ මදූෂ් තමන් වෙනුවෙන් ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියා ගොනාට ඇන්දවුයේ සල්ලි කොළ පෙන්නාය. තමන්ට රුපියල් ලක්ෂයක් දිය හැකි බවත් මද වෙලාවකට දුරකථනයක් ලබාදෙන ලෙසත් මදූෂ් පොලිස් නිලධාරියාගෙන් ඉල්ලීය. සල්ලි වලට රැවටුණු පොලිස් නිලධාරියා අවසානයේ රුපියල් ලක්ෂයකට දුරකතනය විනාඩියකට ලබාදුන්නේය. දුරකතනය  අතට ගත් මදූෂ් කෙලින්ම සිය ගෝලයකු අමතා කීවේ පොලිස් කණ්ඩායමක් මාකඳුරට එන බවත් ඔවුන්ට වෙඩි තබන ලෙසත්ය.

අවසානයේ පොලිස් නිලධාරීන් මාකඳුරට යන විට එම සැකසහිත නිවස අසල ඔත්තු බැලූ අයකු කොටුකර ගැනීමට හැකිවිය. ඔහු විසින් සියලු කාරණා හෙළිකළ අතර අවසානයේ පොලිස් නිලධාරින්‍ට ජීවිතය බේරා ගැනීමට හැකි වුයේ අනූනවයෙනි. ඒ මදූෂ් විසින් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට ගත් පළමු උත්සහය විය.

එතැන් සිට අවුරුද්දක් පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සිටි මදූෂ් 2013 වසරේදී නැවත බන්ධනාගාරය වෙත යැව්වේය. බන්ධනාගාරයට ගියත් මදූෂ් ජඩකම් නතර කළේ නැත. තව තවත් බන්ධනාගරයේ සිට අපරාධ සිදුකරන්නට විය.

2015 ජනවාරි  8 වැනිදා යහපාලන රජය පත්විය. එම රජය පත්ව වැඩි දවසක් යන්නට වුයේ නැත. මදූෂ් ඇප ලබා එළියට ආවේය. මෙලෙස මදූෂ් එළියට ආවේ කෙසේද යන්න තවමත් ගැටලුවක් වී ඇත. එළියට පැමිණි මදූෂ් කෙළින්ම ගියේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයකුගේ නිවසටය. එම නිවසට වී දංකුඩ වළඳමින් ජීවිතය රැකගත් මදූෂ් දෙවැනි පිම්ම ගසන්නේ තවත් දකුණේම තවත් ඇමැතිවරයකු වෙතය. මෙලෙස මදූෂ් පිම්ම ගහන්නේ හරියට මහ මැතිවරණ කටේදීය. ඒ වන විටත් දින සීය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධූරයක් දැරූ එම අමාත්‍යවරයාගේ නිවසට රිංගා ගන්නේ සැබවින්ම මදූෂ්ට ආරක්ෂාව සහිත එකම ස්ථානය වූ නිසාය.

ඡන්ද ප්‍රචාරණ වැඩවලට එළිපිට වැඩකරන මදූෂ් එම අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළේය. ඇතැම් විට මේ කතාව කියන විට දේශපාලන ගැත්තන්, ඇමැතිතුමා දන්නේ නැතුව ඇති, යැයි කියනු ඇත. එහෙත් එලෙස කීවාට වැඩක් නැත. එනම් මදූෂ් ගැන හොඳටම දැනගත යුත්තේ අමාත්‍යවරයාම නිසාය.

මේ අතර මහමැතිවරණයෙන් එම අමාත්‍යවරයා ජයග්‍රහණය කරන අතර මදූෂ් සිය අරමුණ මේ අතර ඉෂ්ට කරගනු ලබයි. ඒ මදූෂ් ඩුබායි බලා පිටත්වීමය. අමාත්‍යවරයා දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව මදූෂ් ඩුබායි රාජ්‍යයට පැන ගත්තේ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් යොදාගෙනය. මදූෂ් එලෙස පැනගත් පසු ඔහුගේ තනියට කාන්තාවක්ද ඩුබායි රාජ්‍යයට ගියාය. ඇය වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී මියගිය කළු තුෂාරගේ බිරිඳය.

ඩුබායි රාජ්‍යට පැනගත් මදූෂ් නැවත තම සුපුරුදු ක්‍රියාව ආරම්භ කරන්නට විය. එහි අරමුණ වුයේ පාතාලයේ ලොක්කා තමන් යැයි කියාපෑම සඳහාය. මේ නිසාම මදූෂ් පළමු බිල්ල ලෙස සමයං ගන්නට තීරණය කළේය. ඒ අංගොඩ ලොක්කා සහ ලඩියාගේ සහය ඇතිවය. ඒ අනුව පොලිස් ඇඳුමින් සැරසී සිට බන්ධනාගාර බස්‍ රථය නවත්වා සමූල ඝාතනයක් සිදුකළේය.

ඝාතනය සිදුකර ලොක්කාත්, ලඩියාත් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනගත්තෝය. ඉතිහාසයේ එක්කළ මෙම සිද්ධියත් සමඟ මදූෂ්ගේ නම එළියට ආවේය. සැලැස්ම ආයුධ සහ කොල්ලන් ලබා දී ඇත්තේ මදූෂ් බව සිද්ධියට අල්ලාගත් අය කීහ. ඒත් පොලීසිය සද්දයක් නැත.

මේ අතර ලඩියාත් ලොක්කාත් ඉන්දියාවේදී කොටුවුණ බවට තොරතුරු ඇතැයි මෙරට ජනමාධ්‍ය වාර්තා කළේය. එහෙත් එම දෙදෙනා ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට හෝ රජයට උවමනාවක් පෙනුණේ නැත. ඉන්දියාවෙන් අල්ලාගෙන ඇති බවට තොරතුරු දුන් ඇතැම් පොලිස් නිලධාරින් පසුව කීවේ තවම එහෙන් ස්ථිර කරලා නෑ වගේ කතාය. කාගේ අවශ්‍යතාවයකට එහෙම වෙනවාද යන්න දන්නේ නැත.

මේ අතර මදූෂ් තවත් ඇරියස් එකක් අල්ලන්නට කල්පනා කළේය. ඒ කළුතුෂාරගේ බිරිඳගේ උවමනාවටය. කළු තුෂාර බන්ධනාගාරයේදි ඝාතනය කළ සිද්ධියට මත්ද්‍රව්‍ය කාර්යංශයේ රංගජීව සම්බන්ධ බවට කතා පැතිරුණේය. මේ නිසා රංගජීව ඝාතනයට මදූෂ් දෙවන මෙහෙයුම සිදුකළේය. ඒ රංගජීවගේම ඔත්තුකරුවකු හරහාය. ඒ ඔත්තුකරු මෙරට පාතාලයේ සිටි මීගමුවේ ෆේරෝස්ගේ මස්සිනාය. ඔහු නමින් නවාස්ය. නවාස්ව අල්ලා ගත් මදූෂ් හෙරොයින් ඔත්තුවක් ලබාදෙන මුවාවෙන් පොලිසිය පිළියන්දලට ගෙන්වා වෙඩි තැබුවේය. මෙයින් පොලිස් සැරයන්වරයෙක් සහ කුඩා දැරියක් මිය ගියහ. එසේම රංගජීවට බරපතළ තුවාල සිදුවිය.

අවසානයේ මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් නවාස්ව අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් නවාස් සතියක් පොලීසියේ හිටියේ නැත. එළියට ආවේය. එළියට ආ නවාස් මන්නාරමින් බෝට්ටුවේ නැග ඉන්දියාවට පැනගත්තේය. තනියම නොව රංගජීව ඇතුළු පිරිසට වෙඩි තැබූ අසිත කුමාරවද රැගෙනය. අවසානයේ පොලීසිය සද්ද නොකර සිටියේය. එහෙත් මාධ්‍ය හෙළිකරන විට පොලීසිය කිවේ ඒ ගැන සොයාබලන බවය.

ඊට පසු රටම රවට්ටන වැඩක් සිදුවිය. ඒ මේ ඉන්නේ මදූෂ් යැයි කියමින් රැවුල වවාගත් ඡායාරූපයක් මාධ්‍යට ලබාදීමය. එහි සිටින්නේ මදූෂ් වුවත් මදූෂ් වර්තමානයේ සිටින්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් රූපයකින්ය. ඒ බව දැන දැනත් පොලීසිය කොහේවත් නැති රූපයක් ලබාදුන් අතර මාධ්‍යද එය පළ කළේය. එහෙත් අපට මදූෂ්ගේ ඇත්ත රූපය ලැබී ඇත. අප එය පළකරන්නේ ඔහු දුටුවහොත් ලංකා පොලීසියට කියන්නට නොව මදූෂ් හඳුනාගන්නට පමණි.

කෙසේ වෙතත් මේ අතර පෑලියගොඩ කොට්ඨාසය මගින් මදූෂ්ගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් සැණින් පොලීසියේ ඉහළින් නියෝගයක් ආවේය. එහෙත් එයට එම පොලිස් කණ්ඩායම එකඟ වුණේ නැත. මේ නිසා ඉහළින් කතා කළ පුද්ගලයා අදාළ නිලධාරින්ට පරිස්සම් වන ලෙස කීවේය. අවසානයේ කියු පරිදිම වැඩ කළ නිලධාරීන්ට උතුරුට මාරුවීම් ලැබුණි. පුදුමය නම් ඉහළින් ආ නියෝගය වැනි තීරණයක් මදූෂ් සිය සගයන් සමඟ පවා කියා තිබීමය.

මේ සියලු අපාරාධ මදූෂ්ගේ උවමනාව මත සිදුවූ බවට පොලීසිය දැන සිටියත් ඔවුන් නිශ්ෂබ්දව සිටීම පුදුමයට කාරණයක් වී ඇත.

මේ වනවිට මදූෂ් ඇල්ලීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ යුතු වුවත් තවම පොලීසිය එලෙස නිවේදන කිරීමට කිසිම සූදානමක් නැත.

මේ අතර පොලීසිය තවත් පුවතක් මෙරට මාධ්‍යට ඇදබෑවේය. ඒ මදූෂ් ශ්‍රී ලංකා පොලීසියට බයේ ඩුබායි සිට වෙනත් රටකට පැනගොස් ඇති බවය. එය අමූලික බොරුවකි. මදූෂ් මේ වනවිට තවමත් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. මෙරටින් ඩුබායිවලට ගිය ඇතැම් අයට මදූෂ් හමුවූ අවස්ථාද සහ ඔහු සමඟ කාබී පැමිණි අවස්ථාද තිබේ. මේ බව පොලීසියද දන්නේය එහෙත් නිහඬය.

රට පැන්න වෙලේ සුදා, සිද්ධික්, දෙවුන්දර තමිල්, සේල් වසන්ත වැන්නවුන් අල්ලන්නට ශ්‍රී ලංකා පොලීසියට රතු නිවේදන හරහා පුළුවන් වූවා නම් මදූෂ් අල්ලන්නට තවමත් බැරි ඇයිද යන්න බලවත් සැකයක් ඇත. එසේ නොකරන්නේත් මදූෂ් පාරම් බාන්නෙත් බලවත් හස්තයක් නිසා දැයි සැකයක් ඇත. කෙසේ වෙතත් පොලීසිය මාධ්‍යත් භාවිත කරමින් සිදුකරණ මේ රඟපෑමේ අවසානය කුමක්ද කියා රටට ගැටලුවක් ඇත.


♦ රෙහාන් රාසික්

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05