2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

අැමැතිගේ නියෝගය කුණු බක්කියට දැමූ ලේකම්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 452

ශ්‍රී ලංකාව ජනරජයක් වීමට පෙර රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යංශය පැවතියේ අගමැතිවරයා යටතේය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා තිබූ ප්‍රතිපාදනයක් අනුව සිදුවූවකි. එසේම එදා රාජ්‍ය සේවාවේ උසස් තනතුරු දැරූ නිලධාරින් අයත් වූයේ ලංකා සිවිල් සේවාවටයි. සිවිල් සේවාවට වාර්ෂිකව බඳවා ගනු ලැබුවේද ඉතාමත් ස්වල්ප පිරිසකි.

නීල් කුවින්ටස් ඩයස් හෙවත් එන්.කියු. ඩයස් මහතා එකල ලංකා සිවිල් සේවාවේ උසස් තනතුරු රැසක් හෙබවූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි. ඍජු තීරණ ගත් කෙනෙකි. එකල දේශපාලනඥයන්ට රාජ්‍ය සේවයට බලපෑම් එල්ල කිරීමට සිවිල් සේවාවේ නිලධාරින් කිසිදු අවස්ථාවක ඉඩ දුන්නේ නැත. එන්.කියු. ඩයස් මහතාද එවැන්නෙකි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරය දැරූ 1961 වසරේදී රජයේ ප්‍රබල දේශපාලන බලවතා වූයේ ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ඇමැතිතුමාය. ඔහු නියෝජනය කළේ දොම්පේ ආසනයයි. අද මෙන්ම එදාත් දේශපාලනඥයන් රාජ්‍ය සේවයට අත පෙවීමට හා බලපෑම් කිරීම උත්සාහ කළේය. ෆීලික්ස් ඩයස්ද එවැන්නෙකි. වරක් ඔහු යුද හමුදාවේ විදේශ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට ඇඟිලි ගසන්නට ගොස් පාඩම් ඉගෙනගත් සිද්ධියක් වාර්තා විය. එකල ඉතා කුඩා යුද හමුදාවක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සුදුසුකම් ලත් දක්ෂ නිලධාරීන් තෝරා එංගලන්තයේ සැන්ඩර්හර්ස්ට් යුද අභ්‍යාස විද්‍යාලයට යවනු ලැබූවේ විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහාය. සැන්ඩර්හර්ස්ට් පුහුණු පාඨමාලාව හදාරා මෙරටට පැමිණෙන නිලධාරීන්ට යුද හමුදාවේ දීප්තිමත් අනාගතයක් උරුම විය. මේ නිසා වසර ගණනකට වරක් ලැබෙන සැන්ඩර්හර්ස්ට් ශිෂ්‍යත්ව කිහිපය දිනාගන්නට ලොකු තරගයක් පැවතුණි. මෙම උසස් ශිෂ්‍යත්වය සඳහා සුදුස්සන් තෝරා ගැනීම සිදුවූයේ රටේ රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ ඉහළම සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් මගිනි.

1961 වසරේ මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ධූරය දැරුවේ එවක රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු ලේකම් පදවිය දැරූ යට කී එන්.කියු. ඩයස් මහතාය. දොම්පේ ආසනයේ ප්‍රබල ආණ්ඩු පක්ෂ හිතවතකුගේ පුත්‍රයකුද මෙම ශිෂ්‍යත්වය අපේක්ෂාවෙන් සම්මුඛ පරික්ෂණයට පැමිණීමට නියමිත විය. ඔහුගේ පියා ෆිලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයාගේ කිට්ටු හිතවතකු වූ බැවින් තාත්තා ඇමැතිවරයා හමු වී ඉල්ලා සිටියේ කෙසේ හෝ සිය පුත්‍රයා සමත්කොට ශිෂ්‍යත්වයක් ඔහුටත් හිමිකර දෙන ලෙසටයි. 

අසීමිත දේශපාලන බලපරාක්‍රමයක් ඇතුව අගමැතිනියට පමණක් දෙවැනිව සිටි ෆීලික්ස් ඩයස් ඇමැතිවරයා සිතුවේ තම දේශපාලන හිතවතාට කෙසේ හෝ මේ උදව්ව කළ යුතු බවයි. ෆීලික්ස් සිතා සිටියේද මේ ආණ්ඩුවේ තමන්ට කළ නොහැකි කජ්ජක් නැත කියාය. ඒ අනුව ඔහු ක්‍රියාත්මක විය. එදා සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ ප්‍රධානියාව සිටි එන්.කියු. ඩයස් ලේකම්වරයා ඇමතූ ෆීලික්ස් තමන්ගේ හිතවතාගේ පුත්‍රයා තෝරාගත යුතු බව දැනුම් දුන්නේය. ඩයස් මහතා සමඟ සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ කටයුතු කළ සෙසු ප්‍රධානීන් වූයේ යුද හමුදාපති එම්.ඩබ්.එෆ්. විජේකෝන්, නාවික හමුදාපති රාජන් කදිරගාමර්, ගුවන් හමුදාපති බාකර් යන මහත්වරුන්ය. 

නියමිත වේලාවට දොම්පේ ෆීලික්ස් කී තරුණයා මෙම පරීක්ෂණ මණ්ඩලය හමුවේ පෙනී සිටියේය. ඔහු තමන් කවුදැයි හඳුන්වාදී පරීක්ෂණ මණ්ඩලය සමඟ සාකච්ඡාවට එක් වු විට පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා වූ රාජ්‍ය ආරක්ෂක ලේකම් එන්.කියු. ඩයස් තමන්ගේ ලිපි ගොනුවෙන් ගැසට් පත්‍රයක් ගෙන එය ලකුණු කරමින් අර තරුණායාට කතා කළේය. 

රටේ නීතියේ හැටියට ඔබ මෙම සම්මුඛ පරීක්ෂණයෙන් දැනටමත් අසමත් වෙලා ඉවරයි. මෙවැනි සම්මුඛ පරීක්ෂණයකදි පරීක්ෂණ මණ්ඩලයට බලපෑම් කිරීම තමන් නුසුදුස්සෙක් වීමට ප්‍රධාන හේතුවයි. ඔබ ඇමැතිතුමා හරහා අපට බලපෑම් කරලා තියෙනවා. එහෙම කළොත් වෙන්නෙ මොකද කියලා මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා යැයි කී ලේකම්වරයා තරුණයාට ආයුබෝවන් කියා යන්න කීවේ ඔහු පරීක්ෂණයෙන් නුසුදුස්සෙකු බවට පත් කරමිනි. සිද්ධිය එතනින් හමාර වූයේ නැත. කටයුතු නිමවා එන්.කියු. ඩයස් මහතා සිය නිවෙසට ගොස් ටික වේලාවකින් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. දුරකථනට පිළිතුරු දුන් එන්.කියූ. ඩයස්ට අගමැතිනිය කීවේ කුවින්ටස් මොකද මේ ෆීලික්ස් ඔයාට බණින්නේ. එයා එවාපු ළමයා එයාගේ හොඳම හිතවතෙක්ගෙලු. මෙහෙම ගියොත් එයාට දොම්පෙ ඡන්දෙ කරන්න බැරිලු. ඇත්තටම මොකද වුණේ මැතිනිය විමසුවාය.

එවිට ලේකම්වරයා කීවේ පවතින නීතියේ හැටියට මේ වගේ පරීක්ෂණයකදී නෙවෙයි කිසිම සම්මුඛ පරීක්ෂණයකදී පරීක්ෂණ මණ්ඩලයට බලපෑම් කිරීම ඒ තැනැත්තා නුසුදුස්සෙකු වෙන්න හේතුවක්. ඒක ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ තරුණයා ෆිලික්ස් ඇමැතිතුමා ලව්වා අපට බලපෑම් කරලා එයා නුසුදුස්සෙක් බවට පත්වුණා. මම එයාට ගැසට් එකත් පෙන්නුවා. ඇමැතිතුමා තියා කවුරු කීවත් නීතියට පිටින් අපිට වැඩ කරන්න බෑ ඒ නිසා අපිට එයාව ෆේල් කරනවා ඇරෙනන් වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ.. 

මේ කතාවට සවන්දුන් අගමැතිනිය එන්.කියූ. ඩයස් ලේකම්වරයාට දුන්නේ ඔහු අපේක්ෂා නොකළ පිළිතුරකි. 

කුවින්ටස් ෆීලික්ස් නීතිය හොඳට දන්නවා. ඒත් එයා නීතිය අනුගමනය කරන්නෙ නෑ. ඔයා කරපු වැඩේ එයාට හොඳ පාඩමක් එසේ කියූ මැතිනිය මහ හඬින් සිනාසී දුරකතනය තැබුවේය. මේ සිද්ධිය නිසා දින කිහිපයක් එන්.කියූ. ඩයස් සමඟ උරණව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයා සතියකට පමණ පසු නැවතත් එන්.කියූ. ඩයස් සමඟ සුහද විය. 

ඇමැතිවරයකු කුමක් කීවත් ඔවුන්ගේ නියෝගය නිත්‍යනුකූල නොවේනම් ඉටු නොකිරීමට එදා සිවිල් සේවාවේ සිටි කෘතහස්ත නිලධාරින් සැදී පැහැදී සිටියෝය. ඔවුන් විෂයබාර ඇමැතිවරයාගෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගෙන් හෝ ලැබන කිසිදු නිත්‍යනුකූල නොවන නියෝගයක් පිළිපැද්දේ නැත. එනිසාම ලංකා සිවිල් සේවය දේශපාලනඥයන්ට පාලනය කළ නොහැකි සංස්ථාවක් ලෙස හංවඩු ගැසූ ෆීලික්ස්ලා පසුකාලයේ සිවිල් සේවය අහෝසි කර දැමීය.

රංජිත් ආනන්ද ජයසිංහ