මෑත කාලයේ සිදු නොවූ අන්දමට අද වනවිට රටේ ස්වභාවික විපත් බහුල වී තිබේ. මෙම තත්ත්වය ජනතාව විසින්ම ඇතිකරන ලද්දක් බවටද ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ පරිසරයට කරන හානිය නිසාම ස්වභාව ධර්මය විකෘති වී ඇතැයිද පරිසරවේදිහු පෙන්වා දෙති. අතීතයේ මෙන් වර්ෂයේ සෘතු කාලසීමා නිසි මාසවලට සීමා නොවන අතර වර්ෂා සහ නියඟ පවතින වකවානු හිතුවක්කාර ලෙස විපර්යාසවලට භාජනය වී ඇති බවක් දක්නට ඇත. මේ නිසා විශේෂයෙන්ම කෘෂිකර්මයට බාධා පැමිණ තිබෙන අතර පිටපිටම වගාහානි සිදුවීම නිසා ගොවියෝ කබලෙන් ලිපට වැටී සිටිති. අද වන විට ගොඩමඩ කිසිදු වගාවක් නියමිත කාලයට සැලසුම් කර ආරම්භ කළ නොහැකිව ඇත. කවදා වර්ෂාව පවතිද, ඉඩෝරය කොතරම් කාලයක් තිබේද යන්න නිච්චියටම පැවසීමට හැකි කෙනකු නොමැති බව පෙනේ.
රටේ ප්‍රධාන නිෂ්පාදන මාර්ගය වන කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානිය අපේ ජාතික ආර්ථිකයටද අහිතකර ලෙස බලපායි. යැපුම් ආර්ථිකය මත ගොඩනැගී ඇති අපේ රට දීර්ඝ කාලයක සිට පසුබා ඇති අතර මේ වනවිට තත්ත්වය උග්‍රබවට පත්ව ඇත.
2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව වසරේ කෘෂිකාර්මික පරිහානිය දක්වා ඇත්තේ මෙසේය.
2016 වසරේදී කෘෂිකාර්මික කටයුතුවල එකතු කළ අගය 2015 වසරේදී අත්කරගත් සියයට 4.8ක වර්ධනයට සාපේක්ෂව සියයට 4.2කින් පහළ වැටුණි. විශේෂයෙන්ම වසරේ දෙවැනි කාර්තුවේදී පැවැති ගංවතුර සහිත කාලගුණික තත්ත්වය මෙන්ම වරින්වර පැවැති වියළි කාලගුණික තත්ත්වයන් වැනි වසර පුරාම බලපැවැත්වූ අයහපත් කාලගුණික වාතාවරණය කෘෂිකාර්මික කටයුතු අඩාලවීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. මේ අනුව වී, තේ, රබර් සහ පළතුරු වගාවන්හි එකතු කළ අගය පහත වැටීම කෘෂිකාර්මික කටයුතුවල වර්ධනය පහත වැටීම සඳහා ප්‍රධාන ලෙස හේතු වූ අතරම ධාන්‍ය වගාව, එළවළු වගාව, පලතුරු භෝගවගාව මෙන්ම පැළ බෝකිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ආධාරක කාර්යයන්හි එකතු කළ අගයද වසර තුළ පහත වැටුණි. (51 පිට)
එසේම වී නිෂ්පාදනය ගැන මහ බැංකු වාර්තාවේ දක්වා ඇති පරිදි 2015ට වඩා 2016 වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 4.4 දක්වා සියයට 8.3කින් පහත වැටී ඇත. අස්වැන්න නෙලා ගන්නා බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,010,989ක් දක්වා සියයට 7.1කින් ද 2015දී හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4428ක් වූ වී අස්වැන්න 2016 වසරේදී කිලෝ ග්‍රෑම් 4372 දක්වාද පහත ගොස් තිබේ.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වසර පුරා පැවැති අයහපත් කාලගුණික බලපෑම්ය. ලබන වසරේදි මෙම තත්ත්වයේ වෙනසක් ඇති නොවුණහොත් බලාපොරොත්තුවන ආර්ථික ඉලක්කවලට ළඟාවීමට අසීරු වනවා ඇත.
ස්වභාවික විපත්වලට වන්දිගෙවීමට සිදුවීමට අමතරව විපරිත කාලගුණය නිසා කෘෂිකර්මයට හානි සිදුවීම විශේෂයෙන් තේ, රබර් වගාවල අස්වැන්න ලබාගැනීම අඩපණවීම මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයටද අහිතකර ලෙස බලපෑවේය. යන්ත්‍රසූත්‍රවලට හානි සිදුවීම එම ගොඩනැගිලි හානිවීම, නිෂ්පාදනයට දායකත්වය දක්වන ශ්‍රමිකයන්ගේ ශ්‍රමයෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකිවීම මෙලෙස කර්මාන්ත ක්ෂේත්‍රය අඩපණවීමට හේතුවිය. ඒ ඒ ප්‍රදේශවල පිහිටි විවිධ නිෂ්පාදන ආයතනවල මුළු ධාරිතාව ලබාගත නොහැකි වූ අතර එදිනෙදා වැඩකර දෛනික ආදායමක් ලබාගන්නා ශ්‍රමිකයන්ගේ හැසිරීමට හානිකරවීම නිසා ඔහුන්ගේ ජීවනෝපායවලට බාධක ගෙනදුනි. මෙය පෞද්ගලික ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයටද සමස්ත වශයෙන් හානිදායක වෙයි.
ස්වභාවික විපත් නිසා රටකට සිදුවන හානිය කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය.
1. ජනතාවගේ ජීවන තත්ත්වයට සිදුවන හානි
2. රටේ කෘෂිකර්මාන්තයට හා කර්මාන්තවලට සිදුවන හානි
3. ගොඩනැගිලි, යටිතල පහසුකම්, ජල විදුලි පද්ධතිවලට හානි සිදුවීම
4. නිෂ්පාදන කාර්යවලට බාධාවීම
5. අකර්මණ්‍ය වූ ජනජීවිත ගොඩනැගීමට වැය කිරීමට සිදුවීම
6. විනාශ වූ රාජ්‍ය සහ පෞද්ගලික දේපල යළි ස්ථාපිත කිරීම
7. හානි සිදුවූ පුද්ගලයන් තාවකාලිකව හෝ නඩත්තු කිරීමට සිදුවීම
8. ඔවුන්ට හානි පූර්ණ හා වන්දි ගෙවීම
මේ ආකාරයෙන් ස්වභාවිකව සිදුවන ආපදා නිසා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. මෙය අනපේක්ෂිත වැයකි. රජයේ ආපදා කළමනාකරණ අංශවලට වාර්ෂික අයවැයෙන් වෙන්කරන මුදලට වඩා විශාල මුදලක් මෙලෙස බලාපොරොත්තු නොවූ අවශ්‍යතාවලට වැයකිරීමට සිදුවීම ජාතික ආර්ථිකයට විශාල හානියකි. අගමැතිවරයාම ප්‍රකාශ කරන පරිදි වෙනත් අංශවලට වෙන්කළ ප්‍රාග්ධන වියදම් කපා හැර මෙම හානි ප්‍රතිපූර්ණ කිරීම සඳහා යොදා ගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ.
වැඩි අතීතයට නොගියද පසුගියදා සිදුවූ ගංවතුර සහ නායයෑම් වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රැපියල් බිලියන 60ක් වෙන් කිරීමට සිදුවූ බව අගමැතිවරයා අනාවරණය කර තිබේ. ආපදාවට පත්වූ අයට වන්දි චෙක්පත් ලබාදීම, ඉඩම් ලබාදීම, නිවාස ගොඩනැගීම සහ අලුත්වැඩියා කිරීම, පාසල් දරුවන් සඳහා පොත්පත් හා උපකරණ කට්ටල ලබාදීම, සහනදායි පොලියට ණය නිකුත් කිරීම ආදියට මෙම මුදල වැය කෙරේ.
මේ සඳහා ප්‍රාග්ධන වියදම් කපා හැරීමෙන් 2017 ප්‍රතිපාදනවලින් රුපියල් බිලියන 60ක් ලබාගත් අතර ඉතිරි මුදල් වෙනත් මාර්ගවලින් ලබාගැනීමට සිදුව තිබේ. නිවාස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 60-70 අතර මුදලක් වැය වන අතර ජලය විදුලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා බිලියන 30-35ක මුදලක්ද, පුනරැත්ථාපන කටයුතු ආදිය සඳහා බිලියන 40ක්ද, වැයවේ. මෙතෙක් රජය ගණන් බලා ඇති පරිදි පසුගියදා සිදුවූ ගංවතුර හා නායයෑම් වලින් සිදුවූ හානිය රැපියල් බිලියන 109කි.
තවත් පැත්තකින් කියවෙන්නේ රටපුරා දිස්ත්‍රික්ක 14ක විපතට පත් පවුල් ලක්ෂ 8ක් සඳහා ආහාර ලබාදීමට පමණක් කෝටි 310ක් පමණ වැය කිරීමට සිදුව ඇති බවයි.
ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවලදී පවසන්නේ විපතට පත්වූ අයට සහන සැලසීමට අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන ඇති බවත් සියල්ල නිසි සේ ඉටු කිරීමට රජයට හැකි බවය. එසේම විවිධ අවස්ථාවලදී සහනදීම කඩිනම් කරන ලෙද ජනාධිපතිවරයා නොයෙක් අංශවලට උපදෙස් දී ඇත. එසේ වුවද විවිධ හේතු නිසා ඒවා නිසියාකාරව ඉටු නොවන බවත් දක්නට තිබේ. හානියට පත් ගොවියන්ට මසකට රුපියල් 10,000 බැගින් සිවු මසක් තුළ රුපියල් 40000 ගෙවීමට ජනාධිපතිවරයා නියම කළද එය ඉටු වි නොමැති බව මාධ්‍ය මගින් ප්‍රකාශ විය. තවම මුදල් ලැබී ඇත්තේ කුඹුරු රක්ෂණය කර ඇති ගොවින්ට පමණක් වන අතර එයද මසකට රුපියල් 8500ක් පමණක් බව වාර්තා වේ. ඉතිරි මාස තුන සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමට යන බවද එයද සිවු දෙනකුට වඩා සාමාජිකයන් සිටින පවුල්වලට පමණක් බවද දැනගන්නට ඇත. ගැමියන් පැමිණිලි කරන්නේ තමන්ගත් ණයවල පොලියද පොහොර සහනාධාරවලින් අඩුකර ඇති බවය.
ජනතාවට පානීය ජලය පිළිබඳ ගැටලුවක්ද පැන නැගී ඇති අතර දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 117ක දෙලක්ෂ පනස්දහසක ජනතාවට ජලය සැපයීමට යුද හමුදාව යොදාගෙන තිබේ.
මේ වනවිට අපේ රටේ එක්කොටසකට ගංවතුර ඇතිවන විට තවත් කොටසකට දැඩි නියඟයක් බලපාන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුවට සිදුව ඇත්තේ ජල විපතින් පීඩාවට පත් ජනතාවට සහන දෙනවිට අනිත් ප්‍රදේශවල නියඟයෙන් බැටකන මිනිසුන්ටද සහන සැලසීමටය. මේ වනවිට මොනරාගල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, යාපනය, මූලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 18ක ලක්ෂ 18ක් වූ ජනතාව දැඩිලෙස නියඟයෙන් පීඩා විඳින බව වාර්තා වේ.
වගාවට ජලය නොලැබීමෙන් හෙක්ටයාර ලක්ෂ 3ක ගොවිතැන අතහැර දැමීමට සිදුව තිබේ. එම ප්‍රදේශවල පිටපිටම යල සහ මහ කන්න යළි විනාශ වී තිබේ. ඔවුන් වගාකළ අතුරැ බෝගද විනාශයට පත්වී ඇත. 2016 සැප්තැම්බර් සිට 2017 මාර්තු මාස් කන්නය දක්වා කුඹුරැ හෙක්ටයාර දස දහස් සංඛ්‍යාවක් විනාශ වී තිබේ. සහල් අස්වැන්නෙන් සියයට 63ක් පහළ ගිය අතර එයට හේතුව නියඟය නිසා අඩුබිම් ප්‍රමාණයක් අස්වැද්දීමට සිදුවීමය. වගාකර ඇත්තේ බිම්වලින් සියයට 37ක් පමණි. එය පසුගිය වසර 40 තුළ ලැබුණු අඩුම අස්වැද්දීම බව ලෝක ආහාර වැඩපිළිවෙළ කියයි. රටේ මිලියන 1ක පමණ ගොවි ජනතාව අමාරැවේ වැටී සිටිති. මෙම තත්ත්වය මත ලබන වසර වනවිට රටේ සහල් විඟය තවත් ඉහළ යනු ඇතැයි කෘෂි විශේෂඥයෝ කියති. දැනටමත් සහල් කිලෝව රැපියල් 100 ඉක්මවා ගොස් ඇති අතර ලබන වසර මැද වනවිට සහල් කිලෝවක් රැපියල් 125 දක්වා ඉහළ නගිනු ඇතැයි කියති. සහල් ආනයනය වැඩිකර ජනතාව කුසගින්නෙන් මුදවා ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත.
ස්වභාවික ආපදාවලට මුහුණදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ආණ්ඩුවට දුෂ්කරවී ඇත. වාර්ෂිකව ආපදා කළමනාකරණ අමාත්‍යංශයට වෙන් කරන ප්‍රතිපාදන මෙන් තුන් ගුණයක මුදලක් මේ සඳහා වැය වී ඇති බව කියයි. වෙනත් සංවර්ධන වැඩවල ප්‍රතිපාදන මේ වෙනුවෙන් මාරුකිරීමට සිදුවීම රටේ ආර්ථිකයට අහිතකරය.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ ස්වභාවික ආපදා අවම කිරීමට නම් ඒ පිළිබඳ මහජනතාව දැනුවත් වි සිටිම අතිශයින් වැදගත් බවය. පසුගිය දිනවල සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් වර්ධනය වීමට ප්‍රධානම හේතුව ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අනතුරැ ඇඟවීම් පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම බව ඔහු කියයි. ඒ නිසා සිදුවන විනාශ සඳහා විශාල මුදලක් වැය කිරීමට ආණ්ඩුවට සිදුව ඇත.
මිනිසුන් කරන පරිසර විනාශයන් මේ ආපදාවලට බලපානවා. එසේම ඔවුන් කිසිම උපදේශයකට නතුවන්නේ නැහැ. ගංවතුර එන තැන්වල ගෙවල් තනනවා, කඳුවල, කඳුබැවුම්වල පදිංචි වෙනවා. එම ස්ථාන නාය යෑම්වලට හේතු තිබෙන බව පැවසුවත් එය සලකන්නේ නැහැ. එසේම අපි ඇතැම් ස්ථානවල ඉන්න එපා එයින් ජීවිත හා දේපල හානි සිදුවෙනවා යැයි පැවසුවත් ඒ ස්ථානවලින් ඉවත්වන්නේ නැහැ. ඒ නිසා සිදුවන්නේ විශාල විනාශයක්. මෙලෙස අනවසරව තනන ගොඩනැගිලි පළාත් පාලන ආයතන හරහා ස්ථිර කරගන්නවා. වරිපනම් අංක ගන්නවා. ජල සහ විදුලිය ලබාගන්නවා. ඉතින් මේවා තහනම් කරලා නීතිදාන්න අපට බලයක් නැහැ. අපට පුළුවන් ඉල්ලා සිටීමට පමණයි. එයට ප්‍රතිචාර නොලැබේනම් කළ යුත්තේ කුමක්ද?
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කරන්නේ තම ආයතනය නිරතුරුව මහජනතාව දැනුවත් කරන වැඩ සටහන් පවත්වන බවයි. ගංවතුර, නායයෑම් ආදියවලදී කළ යුත්තේ කුමක්ද? කල් ඇතිව එවැනි ලක්ෂණ හඳුනාගෙන ඉවත්වීමේ වැදගත්කම ගැන එම වැඩසටහන් වලදි දැනුත් කෙරේ. සමහරුන් ඒවා ගැන නොසලකා කටයුතු කිරීම අවාසනාවකි.
යසවර්ධන රුද්රිගු