දශක තුනක් පුරා රට ගිනිබත් කළ වියරු ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය 2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවෙන් නිම කෙරිණි. දකුණේ අය පමණක් නොව උතුරේ අය ද මේ සතුට පළ කළේ රතිඤ්ඤා දමා කිරිබත් කමින්ය. එකම සැණකෙළියක් වූ එදින බොහෝ දෙනා සිතුවේ දැන්වත් මේ කරුමයේ නිමාවක් ඇතැයි කියාය. එහෙත් උණ්ඩය අත්හල ත්‍රස්තවාදියෝ ජාත්‍යන්තරය හරහා රට විවිධ දැල්වල පටලවන්නට එදා සිට උත්සාහ ගත්හ. ප්‍රථමයෙන්ම යුද ජයග්‍රහණයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් යුද්ධයට අණ දුන් එවකට හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියලු රණවිරැවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙනාවේය.
එහිදී ප්‍රථම ආරම්භය ගත්තේ වැනල් 4 නාලිකාවය. චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ ඉසිප්‍රියාගේ කතාවත් සමඟ සමස්ත ජාත්‍යන්තරයම මෙරට යුද හමුදාවට එරෙහිව අවි අමෝරා ගත්තේය.
එහෙත් එවකට ශ්‍රී ලංකා රජය එය අසත්‍ය පුවතක් බව පුන පුනා කීවේය. ඇතැම් අවස්ථාවල චැනල් 4 නාලිකාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පස්සෙන් පන්න පන්නා ප්‍රශ්න කළේය. එහෙත් එවකට රජය විවිධ උපක්‍රම හරහා එවැනි යුද අපරාධයක් මෙරට නොවූ බව ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය. එහෙත් ජාත්‍යන්තරය එන්න එන්නම රටට බර පැටවූ අතර අවසානයේ ජී.එස්.පී බදු සහනය රටට අහිමි කළේය.
එයින් නොනැවතුණු ජාත්‍යන්තරය ඒ වන විටත් යුද්ධයේ අණ දෙන නිලධාරීන් ලෙස කටයුතු කළ විවිධ රටවල තානාපති සේවයේ සිටි යුද හමුදා නායකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරමින් සිටියේය. මේ නිසා එවකට රජය දැඩි පීඩනයකට ලක් වූ අතර ජාත්‍යන්තර යුද අධිකරණය, විදුලි පුටුව වැනි කාරණා දේශපාලන කරළිය තුළ නිතර එක්වුණු වචන බවට පත් විය.
එපමණක් නොව එතැන් පටන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ විවිධ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරන්නට විය.
අවසානයේ ජාත්‍යන්තරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්නට ද උදවු දුන්නේය. යහපාලන ආණ්ඩුව වේදිකාවට පැමිණියේ මේ සියලු චෝදනාවලින් රට මුදාගනිමින් රටට ඇති සියලුම මානව හිමිකම් චෝදනා ඉවත් කරන බව දන්වමිනි. ඒ අනුව මානව හිමිකම් කවුන්සලය විසින් ගෙන ආ යෝජනාව කල්දමා ගැනීමට මේ රජයට හැකි විය. එසේ කල්දමා ගැනීම රටේ ජයග්‍රහණයක් ලෙස ආණ්ඩුව විසින්ම අර්ථගන්වන විට විපක්ෂයෙන් චෝදනා එල්ල කළේ මෙය ආණ්ඩුවේ මෙන්ම එක්සත් ජාතීන් විසින් මෙරටට දැමූ තවත් ගුණ්ඩුවක් බවය.
කෙසේ වෙතත් මේ ගැටලු මත හැලහැප්පෙමින් යන විට පසුගියදා අලුත් කතාවක් එළියට ආවේය. ඒ හිටපු යුද හමුදාවතිවරයකු ගැනය. මොහු වර්තමාන ආණ්ඩුව විසින් බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස යැවූ ජනරාල් ජගත් ජයසූරිය මහතාය.
ජගත් ජයසූරිය මහතා සිය සේවා කාලය අවසන් කොට පසුගිය ඉරිදා බ්‍රසීලයෙන් පිටත් වුණේ ලංකාවට පැමිණීමටය. ඒ අනුව ඔහු පසුගිය අඟහරුවාදා උදෑසන මෙරටට පැමිණියේ දීර්ඝ සංචාරයකින් අනතුරුවය. එහෙත් ලංකාවට පැමිණ වැඩි වේලාවක් ගත වීමට හැකි වූයේ නැත. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානියකු ජයසූරිය මහතා අමතා පණිවිඩයක් කීය.
එම පණිවිඩයට අනුව සඳහන් වූණේ එරට මාධ්‍යවල ප්‍රචාරය වූ පුවතක් ගැනය. ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් එම පුවත් මැවී තිබුණු අතර එහි සඳහන් වී තිබුණේ ඔහු යුද අපරාධකරුවකු ලෙසය. එම පුවත්පත්වල සඳහන් කර තිබුණේ ජනරාල් ජගත් ජයසූරිය මහතා යුද්ධය අවසන් සමයේ දී වන්නි ආඥාපති ලෙස කටයුතු කළ බවත් එහිදී මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ සිදු වූ බවත් ඒ සඳහා අණ දුන්නකු ලෙස ජයසූරිය මහතා වගකිවයුතු බවත්ය. එසේ නඩු පවරා ඇත්තේ බ්‍රසීලයේ සහ කොලොම්බියාව යන රටවල් දෙක මගින්ය. එම රටවල් දෙක ජයසූරිය මහතා විසින් තානාපති ලෙස පාලනය කළ රටවල් දෙකක් විය.
කෙසේ වෙතත් ඊට අමතරව වෙබ් මාධ්‍ය තුළ ප්‍රචාරය කර තිබුණේ මෙම නඩු නිසා ජනරාල්වරයා බ්‍රසීලයෙන් පැනගොස් ඇති බවය. කෙසේ වෙතත් එල්ල කරන ලද චෝදනා සුළුපටු ඒවා වූයේ නැත. සිවිල් වැසියන් ඝාතනය, කාන්තාවන්ට අතවර කිරීම, ළමා අපචාර වැනි වැරදි රාශියක් එහි සඳහන් කර තිබුණි.
එහෙත් එලෙස චෝදනා කළත් ජයසූරිය මහතා මේ ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. මේ නිසාම ඔහු එම තානාපති කාර්යාලවලට දැනුම් දුන්නේ එවැනි නඩු දැමීමක් සිදුකර ඇත්දැයි සොයා බලන ලෙසය. එහෙත් එවැනි නඩු දැමීමක්වත් පැමිණිල්ලක්වත් එරට තිබුණේ නැත.
කෙසේ වෙතත් මෙම පැමිණිල්ල ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණත්වය යන සංවිධානයෙන් යොමු කළ බව පසුව එම සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කීය. එහි විධායක අධ්‍යක්ෂිකා යිස්මින් සුකා මහත්මිය සඳහන් කර තිබුණේ 2007 සහ 2009 කාලයේ වන්නි ආඥාපති ලෙස ජනරාල් ජගත් ජයසූරිය මහතා කටයුතු කරන සමයේ දී ඔහුගේ කඳවුරකින් පැන ආ 14 දෙනෙක් එහි සිදු වූ දේ ගැන සාක්ෂි ලබාදෙන බවය. ඔවුන් දන්වා ඇති පරිදි එම කඳවුරුවලදී ප්‍රචණ්ඩත්වයට සහ ලිංගික හිරිහැරයට ලක් වූ බවය. ඒ නිසා ලතින් අප්‍රිකානු රටවල් 6 ක් මානව හිමිකම් කණ්ඩායම් හා එක්ව මෙම නඩුව ගොනු කළ බවද ඇය දන්වා ඇත. ඒ නිසා ජයසූරිය මහතා නොමැති වුවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඇය දන්වා තිබිණි. එය එක්තරා ආකාරයක නිවේදනයකටත් වඩා තර්ජනයක් විය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය මෙරට මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ රටම කැළඹී ගියේ නැවතත් යුද අපරාධ චෝදනා රටට එල්ල වීම නිසාය. මෙය විපක්ෂය කියූ දෙය එක් අතකින් සනාථ කිරීමක් වැනි විය. මේ නිසා ජනතාව බලා සිටියේ රජයේ ස්ථාවරය මේ සම්බන්ධයෙන් කුමක්දැයි දැනගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් මේ මොහොත වෙනතෙක්ම කරුමය නම් තවමත් විදේශ කටයුතු අමාත්‍යංශය නිහඬතාවය රැක ඇත. මේ සම්බන්ධයෙන් එය වැරදි හෝ හරි කීමටවත් කිසිදු අයකු සිටියේ නැත. එහෙත් රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න සඳහන් කළේ කවුරුන් හෝ අයකු ස්ත්‍රී දූෂණ, අපචාර සිදුකර ඇත්නම් ඒවාට එරෙහිව රජය කටයුතු කරන බවය. එහෙත් යුද්ධයේ දී සාමාන්‍යයෙන් සිදුවන මරණ යුද අපරාධ ලෙස හඳුන්වනවා නම් ඒවාට එරෙහි වන බවද ඔහු කීය. කෙසේ වෙතත් එය රජයේ ස්ථාවරය විය හැක. එහෙත් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තවමත් රජය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටීම ජයසූරිය මහතාටත්, ජනතාවටත් ප්‍රශ්නයක් වී ඇත.
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ජෝර්ජ් බුෂ් ලෝකය අමතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය හොඳින් හෝ නරකින් නිම කරන බවය. එසේම ලන්ඩන්වලට ප්‍රහාරය එල්ල වූ විට බ්‍රිතාන්‍ය අගමැතිවරිය තෙරේසා මේ ප්‍රකාශ කළේ මානව හිමිකම් නොතකා ත්‍රස්තවාදය මර්දනය කරන බවය.
ප්‍රංශ ප්‍රහාරයේ දී ප්‍රංශ රජය සිටියේ ද එකී ස්ථාවරයේමය. ත්‍රස්තවාදීන්ගේ එක් ප්‍රහාරයක් දෙකක් හමුවේ ඔවුහු එතරම් ප්‍රබල කම්පනයකට පත්වුණේ නම් තිස් වසරක් මුළුල්ලේ ශ්‍රී ලාංකික අප විඳි පීඩනය, භීතිය කොතෙක්දැයි ජාත්‍යන්තරයට අමුතුවෙන් පහදා දිය යුතු නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ලේ පිපාසිත ම්ලේච්ඡ ත්‍රස්තවාදය උදෙසා ශ්‍රී ලංකාවේ තිස් වසරක ඉතිහාසය තුළ නිදන්ව ඇති සාක්ෂි අප්‍රමාණය. ශ්‍රී ලංකා හමුදාව අවසන් මානුෂීය මෙහෙයුම දියත් කළේ එකී ත්‍රස්තවාදයට එරෙහිව මිස සාමාන්‍ය නිරායුද දෙමළ ජනතාවට එරෙහිව නොවේ. ශ්‍රී ලංකා හමුදාව කිසිම විටෙක දමිළ ජනතාව යුද්ධයේ තුරුම්පුවක් හෝ පාරාවළල්ලක් බවට පත් කර ගත්තේ නැත. ආර්. ප්‍රේමදාස හා රජීව් ගාන්ධි යන රාජ්‍ය නායකයන් දෙදෙනෙක් ඇතුළුව සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණනක් පීඩාවට පත් කළ, මරා දැමූ එල්.ටී.ටී.ඊ සංවිධානය තමන්ට ඊළමේ අත්පොත කියාදුන් අප්පාපිල්ලේ අමිර්තලිංගම් ද මරා දැමුවේය. නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි දමිළ නායකයන් ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් ද ඝාතනය කර දැමුවේය. සතුරු පාර්ශ්වයේ සාමාන්‍ය ජනතාව මුදාහරිමින් සතුරාට එරෙහිව කළ යුද්ධයක් පිළිබඳව ලෝක ඉතිහාසයේ සටහන්ව ඇත්තේ කොතැනකදැයි අපි ප්‍රශ්න කර සිටිමු. එවන් මානුෂවාදී පදනමක පිහිටා යුද්ධ කළානම් ඒ යුද්ධ කළේ ලාංකික හමුදාව බවට අවසන් මානුෂිය මෙහෙයුම ප්‍රබලම හා එකම නිදසුන ද විය හැක.
ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය වැනි ලෝක බලවතුන්ට ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී ඔවුන්ම පවසා ඇති ආකාරයට මානව හිමිකම් වලංගු නැත. මානව හිමිකම් සංකල්ප නිර්මාණය කළ ඔවුන්ම ඒ සංකල්පවලට තමන්ට රිදුණු තැනදී ප්‍රතිචාර දක්වන්නේ එලෙසිනි. මානව හිමිකම් වලංගු වන්නේ ශ්‍රී ලංකාව වැනි පුංචි රටවල්වලට පමණක්මදැයි අප ජාත්‍යන්තරයෙන් විමසා සිටිය යුතු අතරම ත්‍රස්තවාදය මර්දනයේ දී අපට එක් නීතියකුත් ඔවුන්ට එක් නීතියකුත් බලාත්මක වන්නේ කෙසේද යන්නද විමසිය යුතුය.
කෙසේ වෙතත් ජගත් ජයසූරිය මහතා මේ වන විට ලංකාවට පැමිණ ඇත. එහෙත් මේ ලිපිය ලියන මොහොත වන විටත් ඔහුව කැඳවා හෝ කිසිදු අයකු මේ ගැන විමසා හෝ නැත. එහෙත් මේ වන විට ජාත්‍යන්තරයම ඔහුට විරුද්ධව අවි අමෝරාගෙන ඇත. එසේ තිබියදී ඔහු හුදෙකලා නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටීම රජය සතු යුතුකමක් නොවේදැයි අපි විමසා සිටිමු. එසේ නොවුණහොත් ඉදිරියේ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු නිලධාරීන්ට ද මේ ඉරණම අත්වනු ඇත.
♦ ගයාන් ගාල්ලගේ
නොබියව චෝදනාවලට මුහුණ දෙනවා
ජනරාල් ජගත් ජයසූරිය - හිටපු යුද හමුදාපති
මට නම් කාරණාව දැනගත්තෙත් ලංකාවට ආපුවම. මට දාලා තියෙන්නේ සියල්ල යුද අපරාධ චෝදනා ඒත් මේවා අපේ රට ඇතුළේ වෙච්ච දේවල් නෙමෙයි. මම කළා කියලා දාලා තියෙන්නේ. ඒ වෙනකොට රටේ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා. ඒතුමට මේ චෝදනා නෑ. ඇත්තටම මේ අය බය වුණා මාව තවදුරටත් බ්‍රසීලයේ තානාපති වශයෙන් තියයි කියලා. ඒකයි මම රටෙන් ගිය දවසෙම මේ වැඩේ කළේ. එහෙම කරන්න ගියා නම් එයාලට තිබ්බා මම හිටිය කාලේ කරන්න.
ඒත් සද්දයක් නෑ. මම වැඩ ඉවර වෙලා ලංකාවට එකකොට සැලසුම් කරලා ගැහුවා. මට රටවල් ගණනක නඩු දානවා කියලා කියන්නේ. දාන්න කියන්න. මම බය නෑ. මොකද මම නැතුව නඩු අහන්න බෑ. මට ඒකාලේ ඉඳන් ප්‍රශ්න. එකපාරක් ඔය ප්‍රශ්නයම ආපු වේලාවේ මම හිටිය යුද හමුදාපතිට යැව්වා මේ ගැන ප්‍රකාශයක් දෙන්න කියලා. එහෙත් ඔහු දුන්නේ නෑ. මට යුද්ධයෙන් පස්සේ අමෙරිකාවට යන්න දුන්නේ නෑ. වීසා ඉල්ලපුවම මොනවා හරි දෙයක් කියලා වීසා පස්සට දානවා. ඒ නිසා ඔය අය මගේ පස්සෙන් පැන්නුවේ මුල ඉඳලා
යුද අපරාධ චෝදනාවලට එරෙහිවීම රජයේ වගකීමක්
මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක
වන්නි ආඥාපති හැටියට ජනලාර් ජගත් ජයසූරිය මහත්තයා ඉටු කළේ ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවය නෙවෙයි. ඔහුගේ වගකීම තිබ්බේ රටේ නායකයා ආරක්ෂා කිරීම. ඒක ඔහු ඉටු කළා. ඔහුට නැගෙන යුද අපරාධ චෝදනාවලට එරෙහිව පෙනීසිටීම රජයේ යුතුකමක් හා වගකීමක්. යුද හමුදාව කියන්නේ ජාතිකවත් ජාත්‍යන්තරවත් පිළිගත් ආයතනයක්. ඔවුන්ගේ වගකීම රට ආරක්ෂා කිරීම. ඒ නිසා තමයි අද සාමය උදාවෙලා තියෙන්නේ.
ඔය චෝදනා අමූලික බොරු
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න
යුද්ධය අවසන් කළාට මේ බලපෑම් තවමත් නතර වෙලා නෑ. ඔය කියන චෝදනා සත්‍ය වශයෙන්ම අසත්‍ය චෝදනා. ශ්‍රී ලංකා යුද හමුදාව ඔය කියන දේවල් කරලා නෑ. මේ ඔක්කොම අසත්‍ය චෝදනා. ඒ බව ඉදිරියේදි අපි ඔප්පු කරනවා.