2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

පෙරළියකට පාර කපන ග්‍රහ මාරුව

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1184

අගෝස්තු මස 18 වැනි දින යෙදෙන ග්‍රහ මාරුව හේතුවෙන් බොහෝ දෙනා බොහෝ මත පළ කරති. ග්‍රහ වළල්ලේ වඩාත්ම අසුබ පල ලබාදෙන රාහු ග්‍රහයා අගෝස්තු මාසයේ දී කටක රාශියට පිවිසෙයි. එමෙන්ම කේතු ග්‍රහයා ද මකර රාශියට පිවිසෙයි. මේ කාලයේ දී රටේ පවතින බොහෝ දේශපාලන හැලහැප්පීම් හේතුවෙන් ජනතාව සිටිනුයේ දැඩි අවධානයකිනි. රටේ එක් පැත්තකින් ජනතාව දැඩි නියං සමයකට මුහුණ දෙයි. දිනෙන් දින ඉහළ යන බඩු මිලත් සමඟ ජනතාව දැඩි ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණපා සිටිති. දේශපාලන තනතුරැ වෙනස් වේ. මෙවැනි තත්ත්වයක් රට තුළ ඇතිවන්නට ග්‍රහ මාරුවීමත් හේතුවීද? ඉදිරියේ දී ග්‍රහ මාරැවීමෙන් රටට කුමක් සිදුවේද..? මේ පිළිබඳව රටේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් කිහිපදෙනකුගේ මතය විමසුවෙමු.

ආණ්ඩුවත් ජනතාවත් පරිස්සම් විය යුතු කාලයක්

- ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන

ග්‍රහ වළල්ලේ සිටින වඩාත් අසුබ පල ගෙන දෙන ඡායා ග්‍රහයකු වන රාහු ග්‍රහයා පසුගිය අගෝස්තු මස 18 වැනි සිකුරාදා පෙ.ව. 5.44ට කටක රාශියට පිවිසුණි. එමෙන්ම ඒ සමඟම සුපුරුදු පරිදි කේතු ග්‍රහයාත් ඒ මොහොතේම මකර රාශියට ප්‍රවිශ්ට විය. සාමාන්‍යයෙන් රාහු කේතු ග්‍රහයන් දෙදෙනාම එකම වෙලාවට තමයි ඒ මාරුව සිදුවන්නේ. රාශි හිටියොත් කටක රාශියේ රාහු ඉන්න රාශියෙන් 7 වැනි රාශියට තමයි කේතු ප්‍රවිශ්ට වන්නේ.

ග්‍රහයන් දෙදෙනාම මෙම ස්ථානයට ගොස් සතුරු ආවේගයට පත් වේ. ග්‍රහයකුගේ සුබ ඵල විශේෂයෙන් ලබන්නට නම් මෙම ග්‍රහයා සුබ තත්ත්වයෙන් සිටිය යුතුයි. එමෙන්ම ග්‍රහයන්ට සුබ ස්ථානද ඇත. මෙම රාහුට විශේෂයෙන් සුබ ස්ථානය වන්නේ තුන - හය සහ එකොළොස්වැන්නයි.

රාහු කටක රාශියට ගොස් සතුරු වන අතර කේතු මකර රාශියට ගොස් සතුරැ වේ. මේ ග්‍රහ ගමන් දෙකෙන්ම ශ්‍රී ලංකාවේ කුම්භ ලග්නයේ හයවැන්නට ගොස් රාහු ග්‍රහයා සතුරැ වේ. එමෙන්ම ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ දොළොස්වැන්නට ගොස් කේතු ග්‍රහයා සතුරු වේ.

ශ්‍රී ලංකා ජනරජ සිංහ ලග්න කේන්දරය රාහු දොළොස්වැන්නටත්, කේතු හයවැන්නටත් ගොස් සතුරැ වේ. මේ අනුව මෙම ග්‍රහ ගමනින් සුබ තත්ත්වයක් පෙන්නුම් නොකරයි. මේ මොහොත වන විට අනිකුත් ග්‍රහයන් අතරින් අපල ගෙන දෙන ප්‍රධාන ග්‍රහයා වන සෙනසුරු ග්‍රහයාත් වෘශ්චික රාශියේ ගමන් කරනුයේද සතුරුවය. ශ්‍රී ලාංකික ජනතාවට එතරම් සුබදායක ග්‍රහ යෙදුමක් ද නොවේ. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දේශගුණය පැත්තෙන් ශ්‍රී ලංකාවට කරදර බාධා ගෙන දේ. රජයට විරුද්ධව ගෙනෙන විවිධාකාර චෝදනාවල ප්‍රමාණයද වැඩි වේ. ඒ අනුව උද්ඝෝෂණ වැනි තත්ත්වයන් රට පුරා බහුලව දැකගත හැකි වේ. ඉදිරියේ දී එවැනි තත්ත්වයන් බහුල වේ.

එමෙන්ම රාහු කේතු යන ග්‍රහයන් දෙදෙනා මාස 18 ක් සුපුරැදු පරිදි මෙම රාශිවල ගමන් කරයි. ඒ අනුව 2019 මාර්තු මස 07 වැනි දින පෙරවරැ 10.47ට මේ රාශි දෙකෙන් මෙම ග්‍රහයන් දෙදෙනා ඉවත් වේ.

කාන්තාවන් සහ කුඩා දරුවන් පවා මේ කාලයේ දී ඉතා සැලකිලිමත් විය යුතුය. වාහන අනතුරු බහුල වේ. බලාපොරොත්තු නොවුණ ආකාරයේ ගංවතුර, සුළි සුළං වැනි ස්වභාවික තත්ත්වයන් බලාපොරොත්තු නොවුණ පැතිවලින් වාර්තා විය හැක. 
එමෙන්ම දැනට වක්‍රව වෘශ්චික රාශියේ ගමන් කරන සෙනසුරැ ග්‍රහයා 2017 ඔක්තෝබර් මස 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරැ 3.31 දක්වා වෘශ්චික රාශියේ සිට ඉන්පසු සෙනසුරු, ධනු රාශියට ගමන් කරයි. එම ගමනද එතරම් සුබදායක නොවේ. මේ කාලයේදී ජනතාව ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ.

රාහු ග්‍රහයා මින් පෙර මෙම කටක රාශියට ගොස් ඇත්තේ මීට අවුරැදු දහ අටකට පෙරය. ඒ 1999 ජනවාරි 11 වැනිදාය. මේ නිසා මෙම රාහු කේතුවට ගොස් සතුරු කරදර ගෙන දෙන අතර අනිත් අපල ගෙන දෙන ප්‍රධාන ග්‍රහයා වූ සෙනසුරු ද සිටිනුයේ සතුරුව බැවින් මේ අපල දුරු කරගැනීමට වැටකෙයි මල් උතුම් තුනුරුවන්ට මෙන්ම බෝධියට පූජා කිරීමෙන් බෝධි පූජාවක් පවත්වන්න. එමෙන්ම තමන්ගේ ගෙවන්නේ මේ කාල සීමාවේ දී වැටකෙයි පැළයක් රෝපණය කර එයට සාත්තු කිරීමද ඉතා සුබදායකය. එමෙන්ම සූනියම් දෙවියන් උදෙසා පුදපූජා පැවැත්වීම ද ඉතා සුබදායකය.

මෙම රාහු කටක රාශියට ගොස් සිටින වෙලාවේ දී යම් ජන්මියකු රාහුගේ අන්තර් දශාව ගතකරනවා නම් ඒ අය ඉතා සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ට දෙනු ලබන අපල ප්‍රමාණය ඉතා වැඩියි. ඒ නිසාවෙන් නාගර්ජුන යන්ත්‍රය දහස් වරක් ජීවං කර පළදන්න. ගෝමේද මැණික් ගලක් ඇල්ලූ රිදී මුදුවක් හෝ රත්තරන් මුදුවක් පැළඳීම ද ඉතා සුබදායක වේ.

විපක්ෂ නායකයන්ට අසුබයි

- ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර

මෙම කාලයේදී රාහු කටක රාශියටත් කේතු මකර රාශියටත් මාරුවීමක් සිදුවිය.

මෙම අවස්ථාවේ කුජ ග්‍රහයා නීචව පවතී. මේ තත්ත්වය අනුව වසර එකහමාරක් දෙකක් තුළ තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය තරමක වෙනසකට ලක් වේ. එයින් ජනතාවට යම්තාක් දුරකට වාසි අත්විඳිය හැකි නමුත් ඇතැම් දේශපාලන නායකයන්ගේ වෙනස්වීම් කීපයකට හේතු වේ.

නමුත් මෙය රාජ්‍ය නායකයාට තරමක් වාසිදායක වන කාලයකි. අනිකුත් සියලුම ආණ්ඩු කරවන පක්ෂ නායකයන්ට සහ ආණ්ඩු කරවන්නට බලාපොරොත්තුවෙන් ඉන්න විපක්ෂ නායකයන්ට මෙම කාල පරිච්ඡේදය අපලදායක වේ. බලාපොරොත්තු සුන් කරවන කාල වකවානුවක් වේ. මේ නිසා ඇතැම් පක්ෂ නායකයන් පැමිණි ක්‍රමවේදයත් ඉදිරි කාලයේදී වෙනස් කිරීමට සිදුවේ. එමෙන්ම පසුගිය කාලවලදී නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් වාර්තා විය. ඉදිරි කාලයේ දී නීතියට බාධා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වේ. රටට එරෙහිව ඇති සතුරැ කරදර බිඳ වැටේ. එබැවින් විරුද්ධ පක්ෂවල න්‍යාය පත්‍ර තරමක් වෙනස් කිරීමට සිදු වේ.

එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියා කලාපයද තරමක් වෙනස් කිරීමට සිදුවේ. පසුගිය කාලයේදී ඇති වූ දේශගුණික, කාලගුණික තත්ත්වයන් ඉදිරි වසර ඇතුළත එතරම් ගැටලුවක් ඇති නොවේ. සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවුවත් එයින් බරපතළ පීඩාවක් පෙන්නුම් නොකරයි. පවතින නියං තත්ත්වය ඉදිරි මාස දෙකහමාර ඇතුළත දී නිමාවට පත් වේ. ආර්ථික පැත්තෙන් ජනතාවට යහපත් කාලයක් පවතී. ජනතාවට තිබෙන බදු බර බොහෝමයක් අඩු වේ. නමුත් ව්‍යාපාරිකයන්ට ධනවතුන්ට ඇතිවන බදු බර වැඩි වේ. සෙනසුරැ ග්‍රහයා වෘශ්චික රාශියෙන් වක්‍රව පවතී. ඔක්තෝබර් මාසයෙන් පසුව සෙනසුරැ රාශිය ධනු රාශියට ගමන් කෙරේ. එනම් ලංකා කේන්දරයේ එකොළොස්වැන්නට. එම කාලයේදී ජනතාවට ඉතා වාසිදායක වේ. මේ ගමන් කරන කාලය කාන්තාවන්ට එතරම් සුබදායක කාලයක් නොවේ. මේ දිනවල සිකුරැ පීඩාකාරී තත්ත්වයක පවතින බැවින් කාන්තාවන්ට හා දරැවන්ට එතරම් සුබ කාලයක් නම් නොවේ.

අලුත් පක්ෂයක් බලවත් වෙයි

- ප්‍රවීණ ජ්‍යොතිෂවේදී  පියසේන රතුවිතාන

වර්ෂ 18කට පසුව රාහුත්, වර්ෂ 30කට පමණ පසුවත් රාහු - ශනි දෙදෙනා කටකයට සහ ධනුවට පිවිසෙයි. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ රාහු දුෂ්ඨ රාශියක් වූ 6 වැන්නටත් සෙනසුරැ 11 වැන්නටත් පිවිසෙයි. ශනි රාහු දෙදෙනාම සම්මත පාපියෝය. ධන කාරක ගුරැ සැප්තැම්බර් 12 වැනිදා සිට තුලා රාශියට සැපත් වේ. 2 සහ 11 අධිපති ගුරු මේ වර්ෂය තුළදී 2018 11 දක්වා 8 වැන්නේ ගමන් කිරීම රටේ ආර්ථිකයට යහපත් නැත.

ලංකා කේන්ද්‍රයේ 8 වැන්න ජල රාශියකි. රාහු 8 වැන්නට පිවිසීම යනු රාහු ළිඳට පැනීමකි. ඒ නිසා ජලය පිළිබඳව ප්‍රශ්න උග්‍රවනු ඇත. ජලය නොසිතූ ලෙස අපවිත්‍ර වීම, ළිං සිඳීයාම නිසා රෝග ව්‍යාප්ත වන බවක් පෙන්නුම් කරයි.

ශනි - රාහු එසේ රාශි මාරු කරද්දී ගුරු ග්‍රහයා ඔහුට සතුරු රාශියක් වන තුලාවට පැමි‍ණේ. තුලාව සිකුරුගේ රාශියයි. ගුරු - සිකුරු ඔවුනොවුනට සතුරු බවක් දක්වා ඇත්තේ ඒ දෙදෙනාගේ ලෝකෝත්තර හා ලෞකික කාරක අයිතිය නිසාය. ගුරු ධනකාරකයාය. නීතියට කාරක ග්‍රහයාය. ඒ නිසා 2017 සැප්තැම්බර් 13 වැනිදා සිට වර්ෂයක් ඉදිරියට අධ්‍යාපනික, ආර්ථික, නීතිය යන තුන් පැත්තේම අවුල්සහගත තත්ත්වයක් පෙන්වයි.

ඔක්තෝබර් 10 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ දින 10 තුළ ශ්‍රී ලංකා කේන්ද්‍රයට කාලසර්ප යෝගයක් උදා වේ. ඒ කාලය තුළ ගනු ලබන තීරණ යහපත් නැත. මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සෙනසුරැ මහ දශාවේ ගුරු අතුරු දශාව ලබයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මේ වන විට සෙනසුරු මහ දශාවයි. ඔක්තෝබර් වලින් පසුව ඒ පක්ෂ දෙකටම ඒරාෂ්ඨක අපලය ලබයි. ඒ නිසා මේ පක්ෂ දෙකම යටකරගෙන නව පක්ෂයක් බලවත් වන ලකුණු පෙනේ. මේ වූ කලී අවුරුදු තිහකට පසුව ලබන ඒරාෂ්ඨකයකි. එහි ප්‍රතිඵලය යහපත් නැත.

දේශපාලන නායකයකුට ද මේ වන විට සෙනසුරු මහ දශාවේ රාහු අතුරැ දශාව ලබයි. උපතින් මේ සෙනසුරු සිටියේ සඳුගෙන් 8 වැන්නේය. ගමන් කරන්නේ සඳු සිටි රාශිය මතටයි. යම් පාප ග්‍රහයකුගේ දශාවක් හෝ අතුරු දශාවක් ලබද්දී එම ග්‍රහයා ශෝචර වන්නේ කේන්ද්‍රස්ථානයක් හරහා නම් ජද්‍රක අපලය නමින් හඳුන්වනු ලැබේ. ඔක්තෝබර් පසුව එකී රාජ්‍ය නායකයකුගේ කේන්ද්‍රයට එම ජද්‍රක අපලයක් ලබයි.

ග්‍රහමාරුවලින් රටට විපත් වෙන කතාව බොරු

- ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර

ග්‍රහයන්ගේ මාරුවීම් හේතුවෙන් රටට යම් අපල විපත් සිදුවනවා යැයි කියනවා නම් එය සහමුලින්ම ජ්‍යොතිෂය වරදවා ගැනීමකි. 

ග්‍රහ මාරුවීම් නිසා රටට අපල හෝ සුබ පල හෝ සිදු නොවේ. ඉර පායන්නට ආසන්නයේ දී කුකුළෝ හඬලති. නමුත් රෑ දොළහට කුකුළන් හඬලවා ඉර පායවන්නට නොහැක. අද ජ්‍යොතිෂ්‍ය පාවිච්චි වන්නේ දේශපාලන මෙවලමක් ලෙසය.

ජ්‍යොතිෂ්‍ය බොහෝ දුරට භාවිතයට ගනුයේ ග්‍රහයන්ගේ බලපෑමට මුවාවෙමින් තමන්ගේ වගකීම් යුතුකම් ක්‍රියාකාරකම් මඟහරින මිනිසුන්ය. මේ නිසා මේ සියලු ග්‍රහ මාරු කල්වේලා ඇතිව දෙනු ලබන පණිවිඩයකි. එය හතරමං හන්දියක ඇති වර්ණ සංඥා මෙනි. ලංකාවේ බොහෝ සිංහල බෞද්ධයන් නීති කැඩීමෙන් තෘප්තියක් ලබාගැනීමට කැමැතිය. මේ නිසා ඇතැම් රියැදුරෝ වර්ණ සංඥා නොතකා රිය ධාවනය කරති. එහෙත් අනතුරක් ඇති වූ විටදී ඔවුන්ට වර්ණ සංඥා මතකයට නැගේ. ඔවුන් ග්‍රහයන්ට අසාර්ථකත්වයේ චෝදනාව එල්ල කරති. එයින් කියවෙන්නේ ජ්‍යොතිෂ්‍ය වැරදි කොණින් අල්ලා ගැනීමක් ලෙසය.

ජීවිතේ බොහෝ වගකීම් ග්‍රහයන්ට බාරදෙති. ඔවුන් ඒ නිසා සෑම අසාර්ථක සිදුවීමකම වගකීම ග්‍රහයන්ට පැවරීමේ ප්‍රාථමික පුරුද්දක බොහෝ පිරිසක් සිරවී සිටිති. මේ නිසා මේ හැම ග්‍රහයෙක්ම හැමදාම මාරැවීමෙන් මතකයට නංවන්නේ අපේ පරිගණකය, ස්මාට් ෆෝන් එක මෙන් යාවත්කාලීන වීමය. ඒ වෙනුවෙන් ජ්‍යොතිෂ්‍යවේදයෙන්, ජ්‍යොතිෂ්‍යවේදියාගෙන් උදව් ලබාගන්න. නමුත් යාවත්කාලීන කිරීමට තරම් සුදුසුකම් ලත් ජ්‍යොතිෂ්‍යවේදියකු තෝරාගන්න. මේ නිසා හැම මනුස්සයකුම එකතු වී එක පවුලක් ලෙස ජීවත් වෙන්නට උත්සාහ ගත්තොත් අපව හිරවී තිබෙන ග්‍රහ මාරැවීම්වලින් නිදහස් වෙන්නට හැකිවේවි.

දිශානි ජයමාලි කරුණාරත්න