“ සීමා වුණු බිම් තීරයකි. පීත්ත පටියක් සේ දිවෙන ගාලු-මාතර පාරින් වෙන් කරනු ලැබූ මෙහි වෙරළබඩ වනාහි, ගමෙහි සුලභ ගෙයක මිඳුලට හෝ ආලින්දයට හෝ සම කළ යුත්තකි” මීට දශක අටකට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද ගම්පෙරළිය ඇරඹෙන්නේ එවන් වූ සොඳුරු වර්ණනයකිනි. ගාලු දිසාවෙහි පිහිටි සුන්දර කොග්ගල ගම්මානය ලෝක ප්‍රසිද්ධ වූයේ කොග්ගල මහා ප්‍රාඥයා ලෙස විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහයන් කොග්ගල ගැන ලියූ ලිපි රචනා ග්‍රන්ථ ආදිය නිසාවෙන්යැයි සඳහන් කරලීම සාධාරණය. එක් අතෙකින් මුහුදද අනෙක් පසින් කොග්ගල කළපුවද ආශ්‍රයේ ගොඩනැගුණු කොග්ගල ගම පසු කලෙක යුද කඳවුරක්, ගුවන් තොටුපොළක් සංචාරක පාරාදීසයක් හා නිදහස් වෙළඳ කලාපයක් ලෙසද පරිණාමය විය. මේ පරිණාමයත් සමඟ වික්‍රමසිංහයන් අපට හඳුන්වාදුන් කොග්ගල මුහුණුවරද කෙමෙන් කෙමෙන් වෙනස් විය. අද ක්‍රියාත්මක වන සියල්ල ආර්ථිකය විසින් යටකරගත් පාරිභෝගික සමාජයේ මෙබඳු සුන්දර ස්ථානවලට හිමිව තිබූ අනුපමේය වටිනාකම් දූරිභූත වී යමින් තිබේ.
අප මෙවන් සඳහනක් තැබුවේ පසුගිය ඉරිදා වික්‍රමසිංහයන් මැවූ කොග්ගල වෙරළේ චමත්කාරය දකින්නට කොග්ගල ගිය ගමනේදී අප දුටු විසල් විනාශයකට පෙරමං කියන සංසිද්ධියක් මුල් කරගෙනය.
සුන්දර නිල්වන් මුහුදු රළ සහිත කොග්ගල මුහුද සහ චමත්කාර වෙරළ තීරය දකින්නට කොග්ගල ගිය අපට කොග්ගල මුහුදු වෙරළේ එක් ඉසව්වක ඇවිද යද්දී දැනුණේ දැවැන්ත කුණු ගොඩක් ඇති තැනකින් හමනා දැඩි දුර්ගන්ධයකි. මුහුදු රළ හා දැවටී එන සුළඟේද ඒ දුඟද ඉහිරී තිබුණි. හැන්දෑවක කොග්ගල වෙරළේත් අනන්ත මුහුදේත් සෞන්දර්යය ආස්වාදනය කරන්නට ගිය අප ඊළඟ මොහොතේ දුටුවේ මුහුදු වෙරළ කෙළවරේ ඇති වැටකෙයියා යායෙන් වෙන්වන බිමේ ගොඩනැගෙමින් තිබූ කුණු කන්දකි. වෙරළේ සුන්දරත්වය විඳීම පසෙක තබා කුණු දමා තිබූ ඒ හිස් ඉඩමට අප පැමිණියේ එය මඟ හැර යා නොහැකි තවත් පරිසර විනාශයක්, නොගැඹුරැ සාගර හා වෙරළ විනාශයක් බව ඒත්තු යන සාධක අප පැහැදිලිවම හා මැනවින් දුටු නිසාමය. වළවල් හාරා කුණු දමා ඒ වළවල් නැවත වැලි වලින්ම වසා දමා ඇති බව එය දකින කාට වුවත් ප්‍රත්‍යක්ෂ වෙන අතර ඒ කැලි කසළ සහිත භූමියෙන් හමන මහා දුර්ගන්ධය අනුව මාස ගණනාවක් තිස්සේ ඒ ඉඩමට කුණු බැහැර කෙරෙන බව අනුමාන කිරීම දුෂ්කර නොවේ.
“මේක රජයේ ඉඩමක්. හබරාදූව ප්‍රාදේශීය සභාවෙන් දැන් මාස තුනක් විතර තිස්සෙ මෙතෙන්ට කුණු ගෙනත් දානවා. වැල්ල අයිනේ ඉඳන් මැෂින්වලින් වළවල් හාර හාරා කුණු දාලා වැලි වලින් වහලා යනවා. පහුගිය කාලයේ දවස් කීපයක්ම වෙරළේ සතුන් කීප දෙනෙක් මැරිලා හිටියා කුණු කාලා කුණු විසවෙලාම වෙන්න ඇති. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. මේක කරුමයක්. අපිත් දැන් වෙන දෙයක් වෙච්චදෙන් කියලා බලන් ඉන්නවා. අපේ නම් ගම් නම් අහන්න එපා. අන්තිමට ආණ්ඩුවේ මහත්තුරු ඇවිත් අපට තග දැම්මොත් මේ කරන රස්සාව කරගන්නත් නැතිවෙයි”.
සංචාරකයන් ඉලක්ක කරගත් රැකියාවක් කරන්නෙකු අප හා පැවසුවේ ඒ බිම තුළ අපි රැදී සිටියදීය.
අයිතිය කවුරුන් සතු වුවත් මේ අයුරින් වෙරළට යාබද ඉඩමකට කැලි කසළ බැහැර කිරීමෙන් සිදුවන පාරිසරික හානිය කිසිසේත් ලඝු කොට තැකිය නොහැකිය. නොගැඹුරු සාගරයේ ජීවත්වෙන සත්ත්ව විශේෂ මෙන්ම තෙත්බිම් පරිසරයේ පරිසර පද්ධතිද මෙවන් කැලි කසළ කඳු හේතුවෙන් ප්‍රබල තර්ජනයකට ලක්වේ. මේ පිළිබඳව හබරාදූව ප්‍රාදේශීය සභාවේ වගකිව යුතු නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ දැනට දින හතක කාලයක සිට මේ ස්ථානයට කුණු දැමීම නවත්වා ඇති බවයි. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අප කළ විමසීමකදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වගකීමෙන් ප්‍රකාශ කළේ දැනට දින දහයක කාලයක සිට මේ ස්ථානයට කුණු දැමීම තම දෙපාර්තමේන්තු බලධරයන් විසින් සම්පූර්ණයෙන්ම නවතා ඇති බවයි. හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අප මේ ගැන කළ විමසීමේදී නම සඳහන් නොකළ නිලධාරියෙකු හෙළිදරව් කළ කරුණු අනුව පැහැදිලි වූයේ කුණු නොදමන බව පවසමින් හබරාදූව ප්‍රාදේශීය සභාව තවදුරටත් මේ ස්ථානයට කුණු දැමීම අඛණ්ඩවම සිදු කරන බවයි. ඉකුත් 20වැනිදායින් අවසන් වූ සතියට පසු එළඹි සතිෙය් මැද දවසකදීද ට්‍රැක්ටර් දෙකකින් සහ ලොරියකින් මේ ස්ථානයට කුණු බැහැර කළ බව අප ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අවසානයේ තහවුරු වූයේද ඒ් මොහොතට ප්‍රශ්නයෙන් ගැලවෙන්නට බෝලය පාස් කරගනිමින් හිඳින නිලධාරීන්ගේ සැබෑ ක්‍රියාකලාපයයි.
නොගැඹුරු සාගරයේ වෙසෙන ජීවීන්ට හා පරිසරයට සිදුවන හානිය මෙන්ම මෙවන් පරිසරයක අන්තර්ගත ස්වභාවික සෞන්දර්යයට සිදුවන හානිය කිසිසේත්ම ලඝු කර තැකිය නොහැකිය. මේ ප්‍රදේශය වනාහි තවත් අතකින් දැඩි සංචාරක අකර්ෂණය සහිත ප්‍රදේශයකි. ඒ සංචාරක ආකර්ෂණයේ ප්‍රබලම කේන්ද්‍රස්ථානය වන්නේ කොග්ගල මුහුදු තීරය හා වෙරළ තීරයයි. වෙරළට යාබදව ඇති භූමි අනාගත කුණු කඳු බවට පත්වීමේ අවදානමක් පවතීනම් එය සෘජුවම මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඇසුරෙන් ජීවනෝපායන් සකස් කරගත් ජනතාවගේ ආර්ථිකයට මාරාන්තික පහරක් වෙයි. වක්‍රව සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමටද හේතුවක් වේ. විය යුත්තේ ප්‍රශ්නවලට පැලැස්තර විසම් හොයන රාජ්‍ය නිලධාරීන් ඒ මොහොතට උත්තරයක් දී ඇඟ බේරාගැනීමේ න්‍යායෙන් මිදී ජනතාවගේ ගැටලුවලට යථාර්ථවාදී විසඳුම් ලබාදීමය.
කොග්ගල මුහුදු තීරය හා කොග්ගල වෙරළ තීරය දකින අපට අදටත් මතක් වෙන රුවක් වෙයි. ඒ දිග කුඩයත් අතින් ගෙන කොග්ගල වෙරළ දිගේ ඇවිදගෙන යන සාහිත්‍යයට දේවාත්මයක් කැන්දූ මුනිවර රුවයි. ඒ මුනිවරයාණෝ මාර්ටින් වික්‍රමසිංහය. මාර්ටින් වික්‍රමසිංහ 1934දී ලියූ මුහුදු වෙරළ නම් පොතට අත්දැකීම් අහුලා ගත්තේද කොග්ගල වෙරළ තීරයෙනි. කොග්ගල ගම්මානය එහි සොබා සොඳුරු බව හා මිනිසුන් සමඟ ඔහු කළ සෞන්දර්යාත්මක ගනුදෙනුව ඔහුගේ බොහෝ නිර්මාණ ඔස්සේ වදන් වියමන් ලෙස කලඑළි බැස්සේය. ඔහුගේ නිර්මාණ පරිචය ඉහළ තැනක ඔසවා තබන්නට ඔහු කොග්ගල ආශ්‍රයෙන් උකහා ගත් ප්‍රස්තුත අපමණය. ගම්පෙරළිය, අපේගම, උපන්දාසිට සත්ත්ව සන්තතිය මේ හැම පුස්තකයකම පිටු ඇතුළේ කොග්ගල ජීවමාන වූයේය. මේ ඇතැම් පොත් රුසියානු සහ ප්‍රංශ භාෂාවන්ට පරිවර්තනය විය. ඒ පොත් කියවූ ජාත්‍යන්තර පාඨකයෝ අසිරිමත් කොග්ගල දෑසින් දකින්නට මෙසිරිලකට පැමිණියහ. කොග්ගලට වාණිජ වටිනාකමක් ලැබුණේ ඒ සාහිත්‍යාත්මක වටිනාකමත් කරණ කොටගෙනය.
“මුහුදු වෙරළේ රැස්වන මාදැල් කාරයෝ එකම අදහසකින් මැඩුණු උන් ලෙස මුහුද දෙස බලයි. සුන්දර මුහුදු වෙරළේ ළමෝ සෙල්ලම් කරති. බෙන වලින් එළියට එන සුදු කකුළුවෝ උන්ගේ අඩු උස්සාගෙන එහෙ මෙහෙ දුවන දර්ශනය සුන්දරය”. (උපන් දා සිට)
මාර්ටින් වික්‍රමසිංහයන් දුටු ඒ මනහර කොග්ගල පරිසරය දෑසින් දකින්නට අප පිං කර නැත. පෑනට පෙම්කළ මහා පුරුෂයෙකු සනහාලු ඒ කෙම්බිම අද දකින්නට නැත. කොග්ගලට ආදරය කළ මාර්ටින් වික්‍රමසිංහලා හෝ ස්වභාවධර්මයට ජීවාත්ම වූ ස්නේහයෙන් පෙම් කළ සියැටල්ලා කලාතුරකින් හෝ අහම්බයකින්වත් යළි මුණගැසේදැයි කියන්නට අපි නොදන්නෙමු.
“නිල්තලාවක් වගේ ඈත මුහුදෙන් නගින සිහින් රළ කොග්ගල වෙරළේ හැපී බිඳෙන්නේ ඉතා සුන්දර ලෙසය”. උපන්දා සිට පිටු අතර වික්‍රමසිංහයන්ට හමුවූ ඒ වෙරළ අද අපට හමුවන්නේද ඒ අතීත පොත් පිටුඅතර පමණි.
එහෙත් තමන් ජන්ම ලාභය ලද්දා වූ බිෙම් හැම වැලි කැටයක් වෙනුවෙන්ම අරගල කිරීෙම් අයිතියත් සහ වගකීමක් රටක පුරවැසියෙක් සතු පරම අයිතියක් සහ වගකීමක් බව අපි අවධාරණය කරමු. ඒ අයිතිය හා වගකීම වෙනුවෙන් රටේ සෑම පුරවැසියකුම පෙළගැසිය යුතු බවද අවසන් වශයෙන් අපි ඔබට සිහිපත් කරමු.
සතියක ඉඳන් කුණු දාන්නෙ නෑ
ජගත් ගම්මන්පිල. පාරිසරික නිලධාරී හබරාදූව ප්‍රාදේශීය සභාව
හබරාදූව ප්‍රාදේශීය සභාව මඟින් කලින් කුණු බැහැර කළ තැනට කුණු දැමීමට එරෙහිව මිනිස්සුන්ගේ විරෝධයක් ආවා. අපේ ප්‍රාදේශීය සභාවේ කුණු එතෙන්ට දාන්න එපා කීවා. ඊට පසුව අපි කොග්ගල වෙරළට ආසන්නයේ අපේ ප්‍රාදේශීය සභාවට අයිති ඉඩමකට කුණු දැම්මා. මාස දෙකක විතර කාලයක් අපි ඒ වෙරළ ආශ්‍රිත ඉඩමට කුණු දැම්මා. ඒත් දැන් සතියක පමණ කාලයක සිට අපි වෙරළ ආසන්නයේ ඉඩමට කුණු දාන එක නතර කරලයි තියෙන්නෙ. දැන් කුණු දාන්නෙ හිරිගල් වලවල් වගයක් තියෙනවා එතෙන්ට. මාස හය හතක් විතර මේ වලවල්වලට කුණු දාන්න පුළුවන්. දිරපු කුණු ටික අපි මොන්රෝවියාවත්තට ගෙනියනවා.
රජයේ අායතනයකට අපි එකපාරටම නඩු දාන්නෙ නෑ
ගාමිණී හේවගේ - අධ්‍යක්ෂ ජෙනරාල් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
හබරාදූව ප්‍රාදේශීය සභාව කුණු දාන්න තැනක් නැති වීම නිසා කොග්ගල වෙරළ තීරයට යාබද ඉඩමකට කුණු බැහැර කර තිබෙනවා. එහෙත් දැනට දවස් දහයක පමණ කාලයක සිට මෙතෙන්ට කුණු දාන්නෙ නෑ. අපි ප්‍රාදේශීය සභාව සමඟ කතා කර කුණු දැමීම සම්පූර්ණයෙන්ම නතර කළා. දැන් හබරාදූව ප්‍රාදේශීය සභාව කුණු දාන්නෙ හිරිගල් හාරපු ඉඩමකට. කුණු ප්‍රශ්නය අද ලංකාවටම තියෙන ප්‍රශ්නයක්. ප්‍රාදේශීය සභාව කුණු කොතන හෝ රජයේ ඉඩමකට බැහැර නොකර ප්‍රාදේශීය සභාව ඇතුළට ගෙනත් දා ගන්නද? පෞද්ගලික අංශය මේ විදිහට කුණු දැම්මොත් අපිට පුළුවන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න.
ප්‍රාදේශීය සභාව කියන්නෙත් රජයේ ආයතනයක්. අපිත් නියෝජනය කරන්නේ රජයේ ආයතනයක්. රජයේ ආයතනයකට එක්වරම නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා අපි බලන්නෙ තත්ත්වය පැහැදිලි කරදී විසඳුමකට එන්න. අපි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ කියනදේ අහන්නෙ නැත්නම්නේ.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව අපි වෙරළ සීමාව කියන්නෙ මොකක්ද කියලා නිර්වචනය කර තියෙනවා. පනතට අනුව වෙරළට කුණු විතරක් නෙවෙයි අපවිත්‍ර ජලය දැමීමත් තහනම්. වෙරළට යාබද ඉඩමකට දාන කුණු වලින් හෝ වෙරළට හානියක් වෙනවනම් ඊට එරෙහිව නීතය ක්‍රියාත්මක කිරීමේ බලතල අපට තිබෙනවා. වෙරළ තීරයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත ගොඩනැගිලි ඉදිකිරීම් පාලනය කිරීමේ බලය අපට තියෙනවා. වෙරළට කුණු දානවනම්, හෝ වෙරළට යාබද ඉඩමකට දාන කුණු නිසා වෙරළට හානි වෙනවනම් පමණයි අපට නීතිය ක්‍රියාත්මක කළ හැකිවෙන්නේ.
බලධාරින් නිහඬවීම බරපතළම ප්‍රශ්නයක්
සජීව චාමිකර, අධ්‍යක්ෂ - පරිසර සංරක්ෂණ භාරය
වැඩි වශයෙන් වෙරළ සීමාවේ තියෙන තෙත් බිම් පරිසර පද්ධතිත් සුළු වශයෙන් කඩොලාන පද්ධති නමින් හඳුන්වන කලාපත් කැලි කසළ බැහැර කිරීම සඳහා යොදා ගන්න ආකාරය අපි අද දකිනවා. කසළ වැඩි වශයෙන් ගොඩගහද්දී ඒ අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රධාන වශයෙන් තර්ජනයකට ලක්වෙන්නෙ වෙරළ කලාපයේ සිටින ජෛව ප්‍රජාව. මොකද නොගැඹුරැ වෙරළ තීරයේ බොහෝ සත්ත්ව විශේෂ බෝවීම සිදුවෙන්නෙ ඒ ආශ්‍රිත තෙත් බිම් පරිසර පද්ධතිවලයි. කැලි කසළ නිසා මේ බෝවීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම වගේ බිඳ වැටෙනවා. කර්මාන්ත ශාලාවලින් ඉවතලන අපද්‍රව්‍ය, රෝහල්වලින් ඉවත් කරන රෝහල් අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය, මේ කැලි කසළවල තියෙනවා. ඒවගෙන් මුදාහැරෙන විස බැර ලෝහ වර්ග පසට හා නොගැඹුරු මුහුදට එකතු වෙනවා. ඒ විස බැර ලෝහ තෙත් බිම්වලට එකතුවීමෙන් ජෛව ප්‍රජාව බිහිවීමේ යාන්ත්‍රණය බිඳ වැටෙනවා. ඇතැම් කැස්බෑ විශේෂ ඉන්නවා උන් ප්‍රධාන වශයෙන්ම යැපෙන්නේ ජෙලි ෆිෂ් ආහාරයට ගැනීමෙන්. කැලි කසළවල ඇති පොලිතින් සිලි මලු වගේ ද්‍රව්‍ය වැස්සත් සමඟ නොගැඹුරු මුහුදට එක්වෙනවා. මේ සිලි මලු, පොලිතින් දියේ පාවෙද්දී ඇතැම් කැස්බෑවන් ඒවා ජෙලි ෆිෂ් යැයි සිතා ආහාරයට ගන්නවා. එයින් ඉතාමත් කෙටි කාලයක් තුළ උන් මරණයට පත්වෙනවා, අාමාශයේ ඒවා රැදී පැවතීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ විදිහෙ කැස්බෑ මරණ ගණනාවක් පහුගිය කාලයේ වාර්තා වුණා.
අනිත් කාරණය තමා වෙරළ පරිසර පද්ධති කියන්නෙ සුන්දරත්වය විඳීම සඳහා ඕනෑම පුද්ගලයෙකුට ඇතුළු වෙන්න නිශේධනීය අයිතිය තියෙන තැනක්. ඒ ස්වභාවික සුන්දරත්වය විඳින්න තියෙන පාරිසරික අයිතියට බාධා කරන්න කාටවත් බෑ. ඊට බාධා කිරීම කියන්නේ නීති විරෝධී ක්‍රියාවක්. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාපයක් තුළ කුණු දැමීම හෝ වෙනත් හානිකර කිසිම ක්‍රියාවක් හෝ ඉදිකිරීමක් කරන්න බෑ. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පුළුවන් එවන් හානිකර ක්‍රියාවක් වෙන ඕනෑම අවස්ථාවකදී අදාළ පනතට අනුව ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව මධ්‍ය උදම් සීමාවේ ඉඳන් මීටර් 300ක් රට ඇතුළට පිහිටන කලාපය පාලනය වෙන්නෙ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යටතේ. රජයට අයත් ඉඩමක් කියලා එවන් ඉඩමකට කුණු දැමීමේ බලයක් ප්‍රාදේශීය සභාවකට හෝ වෙනත් කිසිම ආයතනයකට නෑ. එවන් කලාපයක් තුළ කුණු බැහැර කරන්නනම් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ගන්න ඕන. එවන් කලාපයක කුණු බැහැර කරන්න අදාළ දෙපාර්තමේන්තුව කිසිම විටෙක අනුමැතිය ලබා දෙන්නෙත් නෑ. නගරසභා මඟින් හෝ ප්‍රාදේශීය සභා මඟින් හෝ වෙනත් අායතනයකින් වෙරළ ආශ්‍රිත භූමියකට කුණු බැහැර කරනවනම් එය සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. මධ්‍යම පරිසර අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නීති විරෝධී ලෙස කසළ රැඳවුම් කරන ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර නිහඬව සිටීමත් අද බරපතළ ගැටලුවක් වගේම ඉතාමත් නරක පූර්වාදර්ශයක්.
කුණු කඳු බලන්න සුද්දො එයිද?
කොග්ගල ප්‍රදේශවාසියෙක්
දැන් කුණු දාන එක නතර කරලා කියලා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හෝ වෙනත් කෙනෙක් කියනවානම් ඒක සම්පූර්ණ බොරුවක්. 20 වැනිදායින් අවසන් වූ සතියට පසු එළඹි සතියේ මැද දවසකදීත් ට්‍රැක්ටර් දෙකක් සහ ලොකු ලොරියක් ඇවිත් කුණු දැම්මා. පහුගිය කාලෙ වැල්ලෙ දේවාලේ උත්සවයක් තිබ්බා. ඒ කාලෙ මාර කුණු ගොඩක් මෙතෙන්ට ගෙනත් දැම්මා. දැන් මෙතෙන්ට කුණු දාන්න අරන් මාස තුනකට වැඩි වුණොත් මිසක් මාස තුනකට අඩු නෑ. මුලින් තෝරන්නෙත් නැතුව කුණු ඔක්කොම එකට ගෙනත් දැම්මෙ. දැන් කුණු වෙන්කරලා ගෙනත් දාන්නෙ. කොහොම දැම්මත් වෙන හානිය නතර වෙන්නෙ නෑනේ. කොග්ගල වෙරළ සහ මේ ඉඩම වෙන්වෙන්නේ වැටකෙයියා පඳුරු පේළියකින්. මැෂින් වලින් වළවල් හාරලා කුණු දාලා වැලි වලින් වහනවා. ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් මේ ගැන අදාළ නිලධාරීන්ට පැමිණිලි කළාම හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඇවිත් බලලා ගියා. ඊටපසු දවස් දෙකක් පමණ කුණු දැමීම නතර වෙලා තිබුණා. ඒත් දැන් ආයෙත් කුණු දානවා. දැන් ටික ටික වටේටම කුණු ගඳ පැතිරෙනවා. කොග්ගල කියන්නේ විදේශීය සංචාරකයන් හුඟක් එන ප්‍රදේශයක්. මුහුදේ නාන්න, මුහුදෙ ජල ක්‍රීඩා කරන්න. වෙරළේ නිදාගෙන අව් රැස් විඳින්න වගේම කැස්බෑවන් බලන්නත් කොග්ගලට හුඟක් සංචාරකයන් එනවා. මේ හරියේ හුඟක් හෝටල් තියෙනවා. මේ ප්‍රදේශයේ. හුඟක් අය ජීවත් වෙන්නෙත් සංචාරක කර්මාන්තයෙන්. ඒත් මෙතන කුණු කන්දක් ගොඩ ගැහුණොත් වෙරළ දිගේ කුණු ගඳ ගහන්න පටන් ගත්තොත් මිනිස්සු කී දෙනෙකුට බඩේ පාර වදියිද? කුණු කඳු බලන්නයි කුණු ගඳ විඳින්නයි සුද්දො එන එකක් නෑනේ.
දාන්නෙ නෑ කිය කියා කුණු දානවා
නම සඳහන් කිරීමට අකමැති වූ හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක්
හබරාදූව ප්‍රාදේශීය සභාවට කුණු දාන්න තැනක් නැතිවුණාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පවරා දුන් ඉඩමකට ඔවුන් කුණු දාන්න පටන් ගත්තා. මේ ඉඩම කොග්ගල වෙරළ තීරයට යාබදව ඇති ඉඩමක්. එය වෙරළ සීමාවෙන් වෙන් වෙන්නේ වැටකෙයියා පඳුරු කිහිපයකින්.
හබරාදූව ප්‍රාදේශීය සභාව කරන්නේ මැෂින් ටික ගෙනියලා ඒ ඉඩමේ වළවල් හාරලා කුණු දාන එක. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ බලධාරීන් කිහිප වතාවක් ප්‍රාදේශීය සභාවට පැහැදිලිවම දැනුම් දුන්නා මේ ඉඩමට කුණු දාන්න එපා කියලා. එහෙම දැනුම් දෙද්දී කියලා තිබුණේ හරි අපි දාන්නෙ නෑ. අපි කුණු දාන්න ඉඩමක් හොයාගත්තා කියලා. එහෙම කීවට දිගින් දිගටම කුණු දානවා. මැෂින් අරන් ගිහින් වළවල් හාරලා කුණු දාලා වැලිවලින් වහලා එනවා. පහුගිය සම්බන්ධීකරණ රැස්වීමේදීත් අදාළ නිලධාරීන් මේ ප්‍රශ්නය ගැන කතා කරලා තියෙනවා. එතෙන්දී කියලා තියෙනවා ව්‍යාපෘතියක් විදිහට කරගෙන යන්න ඉඩමක් ලැබිලා තියෙනවා. ළඟදීම එය පටන් ගන්නවා කියලා. නමුත් මේක වෙන්නෙ නෑ. මාස තුනකට අාසන්න කාලයක සිට මේ කුණු දැමීම සිද්ධ වෙනවා.
සංජීවිකා සමරතුංග
සේයාරූ - චන්න කස්සප කෝරලේආරච්චි