2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

විභාගයෙන් ගණන් පාස්වෙන්න අලුත්ම ක්‍රමයක්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2162

එපාම කරපු පාසල් විෂය මොකක්ද කියලා අපේ අයගෙන් ඇහුවොත් ගණිතය කියලා වැඩි දෙනෙක් උත්තර දේවි. ඒ වගේම වැඩිම පිරිසක් අසමත් වන විෂයයත් ගණිතය. ගණන් ෆේල් වුණොත් ජීවිතේම ෆේල් කියලා තමා අපේ පිළිගැනීම. 

අපේ දරුවන්ට ගණන් මේ කියන තරම් ගණන් පෙන්වන්නේ මොකද? ලේසියෙන් ගණන් ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද?

දැන් බය වෙන්න දෙයක් නෑ. ලේසියෙන්ම ගණිතය සරලව, විනෝදාත්මකව, ආසාවෙන් ඉගෙන ගන්නත් කජු කනවා වගේ උත්තර දෙන්න පුළුවන් වෙන්නත් ගණිතය හරි හැටියට තේරුම්ගන්නත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයට ගණිතය ඉගෙනගන්න හදපු එක ගවේෂණාත්මක ක්‍රියාකාරකමක් තමයි පුපුරණ ගෝල ක්‍රමය කියන්නේ. ආචාර්ය ජේම්ස් ටැන්ටන් නැමැති ගණිත ගුරුතුමාගේ හිතේ පිළිසිඳ ගත්ත මේ අපූරු ක්‍රමවේදයට අනුව එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම පමණක් නොවේ භාග ගණන් වල ඉඳලා වීජ ගණිතයේ අවකලන අනුකලන ප්‍රස්තාර ශ්‍රිතවලටත් විසඳුම් පවා හරි ඉක්මණින් හොඳ දැනුමක් තේරුමක් ඇතිව එහෙම වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ඇතිව ලබාගන්න එක දැන් හරිම ලේසියි. මේ නිසා ඉදිරියේදි අපේ රටේත් ගණිතයට ආසා කරන අලුත් ගණිත සංකල්ප මවන අයිස්ටයින්ලා, නිව්ටන්ලා බිහිවෙන්නත් පුළුවන්. 

ආචාර්ය ජේම්ස් මැන්ටන් ලෝකය පුරා තමන්ගේ මේ ගණිත සංකල්පය ව්‍යාප්ත කරන්නට ගෝලීය ගණිත ව්‍යාපෘතිය (The Global Math Project) හඳුන්වා දී තියෙනවා. මේ ගණිත ව්‍යාපෘතියේ විවිධ රටවලට හඳුන්වා දෙන්න රටවල් 300ක පමණ ගණිතයට දක්ෂ ආචාර්යවරු තානාපතිවරුන් හැටියට පත්කර තියෙනවා. ලංකාවේ GMP තානාපති හැටියට ක්‍රියාකරන්නේ ආචාර්ය ගයා ජයකොඩි. ජේම්ස්ගේ මේ පුපුරණ ගෝල සංකල්පය ගැන දේශය පාඨක ඔබ විශේෂයෙන් දැනුවත් කරන්නට ඇය අප හා එක් වී සිටිනවා. අපූරු කතාවක් රස විඳිනවා වගේ ආචාර්ය ජේම්ස්ගේ සංකල්පය ඔබටත් ඉදිරිපත් කරන්නට ඇය සූදානම්. මුලින්ම ටිකක් ආගන්තුක වගේ පෙනෙන්නේ අපි මෙතෙක් හුරුවෙලා ඉන්න රටාව නිසයි. නමුත් හොඳින් විමසිලිමත්ව කියවා බලද්දී මේ අලුත් ගණිත චින්තන රටාව කොච්චර නම් ලේසිද? මෙච්චර කාලයක් ගණන් අමාරැයි කියලා හිතූ එක මුලාවක් නේද කියලා ඔබට හිතේවි. ඉතින් එහෙනම් අපි ආචාර්ය ගයා ජයකොඩිට සවන් දෙමු.

මේ ගෝලීය වැඩපිළිවෙළට සහභාගි වෙන්න අපේ රටේ ඕනෑම කෙනෙකුට පුළුවන්. විශේෂයෙන්ම ගුරුවරුන්ට, පාසල් දරුවන්ට, දෙමාපියන්ට වගේම ගණිතය ගැන උනන්දු වන ඕනෑම කෙනෙකුට එයට සම්බන්ධ වෙන්න පුළුවන්. www.theglobalmathproject.org මගින් මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. 

ඒ වගේම ඔබේ පාසලේ මේ කියන පුපුරණ ගෝල සංකල්පය ගැන වැඩමුළුවක් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා එහි ලංකාවේ තානාපතිනිය ආචාර්ය ගයා ජයකොඩි නොමිලයේම සහභාගිවන්න සූදානම්. ඉතින් අයිස්ටයින්ලා නිව්ටන්ලා වෙන්න කැමති අයට ඔන්න අවස්ථාව!

ගෝලීය ගණිත ව්‍යාපෘතියේ ලංකාවේ තානාපතිනිය ආචාර්ය ගයා ජයකොඩි

මගේ පාසල් අධ්‍යාපනය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ. ප්‍රථම උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා පළමු පෙළ විශේෂ උපාධියක්. ඊට පස්සේ අවුරැදු 10ක් විතර භෞතික විද්‍යාවත්, ගණිතයත් අන්තර්ජාතික පාසල් 3ක  ඉගැන්නුවා. අන්තිමට ගණිතය විතරක් උගන්නන්න පටන් ගත්තා. ඒ ගණිතය ඉගැන්වීමට තිබ්බ ආසාව නිසා. මගේ සිසු සිසුවියන් හොඳ ප්‍රතිපල ලබාගන්න නිසාත් (ලෝකයේ පළමු තුන්දෙනා අතරට ගෙන ඒම දක්වා), ඔවුන්ගේ පැසසුම් නිසාත් මම තක්සේරැ කළා මම හොඳ ගණිත ගුරුවරියක් කියල. ඔහොම ඉන්නකොට, මට දැන ගන්න ලැබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයෙන් "Mathematics Education" සම්බන්ධයෙන් Master’s  උපාධි පාඨමාලාවක් ආරම්භ කරන්න යනවා කියල. ඒ ලංකාවේ පළමු වතාවට.  

ඒ, Mathematics Education කියල වෙනමම ක්ෂේත්‍රයක් තිබෙන බව පළමු වතාවට මම අහපු  වෙලාව. ඉතින් ඒ උපාධියට මම බැඳුනා. එහිදී ඉගෙන ගත්තු දේවල්, මම ගණිතය ගැන හිතාගෙන හිටපු හැටි වෙනස් කළා. මෙතරම් කලක් හොඳ ප්‍රතිපල ලැබෙන විදියට උගන්නලා තිබුණා තමා. ඒත්, ඒ ඉගැන්වීම් ක්‍රමයේ අඩුපාඩු මම දැක්කා. මෙය මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා. මට තවත් පුදුම හිතෙන දෙයක් වුණේ, ගණිත ගුරුවරුන් විදියට ලංකාවේ බහුතරයකගේ ඉගැන්වීම් ක්‍රමය කොයිතරම් යල් පැනලද කියන එක සහ ගණිතය ඉගෙනීම සහ ඉගැන්වීම සම්බන්ධයෙන් අති විශාල දැනුම් සම්භාරයක් ලෝකයේ තිබියදී අපි ඒ ගැන දැනුවත් නොමැති වීම ගැන. ආචාර්ය රප්ති ද සිල්වා සහ ආචාර්ය චානක්‍ය විජේරත්න යන ගුරු දෙපල පෙන්වපු ගණිතය ඉගැන්වීම සම්බන්ධ දේවල්  මාව පුදුමයට පත් කළා.

මේ පිබිදීමත් එක්ක මම තීරණය කළා Mathematics Education අංශයෙන් PhD උපාධියක් කරන්න. මොකද ලංකාවේ ඒ අංශයෙන් විශේෂඥයෝ ඉන්නේ අතලොස්සක්. මට ඕනේ වුණේ මේ ක්ෂේත්‍රය වැඩිදුර හදාරන්නත් පසුව ඒ දැනුමෙන් ලංකාවේ ගණිත ගුරුවරුන්ට දරුවන්ට යමක් ලබාදෙන්නත් තමා. එහෙම තමයි මම කැනඩාවේ Simon Fraser University විශ්ව විද්‍යාලයෙන් PhD උපාධිය ලබා ගත්තේ.

අද මම, කොළඹ විශ්වවිද්‍යාලයේ, Mathematics Education, Master’s උපාධි පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙනුත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ප්‍රධාන ගණිත සම්බන්ධීකාරක හැටියටත් කටයුතු කරනවා. ඊට අමතරව මම ගෝලීය ගණිත ව්‍යාපෘතියේ ලංකාවේ තානාපති හැටියටත් කටයුතු කරනවා.

එම ව්‍යාපෘතියේ අරමුණ ගණිතයේ තියෙන රසය ගැන ලෝකයම දැනුවත් කිරීමයි. අපි මේ වැඩිපුරම කතා කරන්නේ අපි ඔක්කොම ඉගෙන ගන්න, ඒත්, කවුරුත් ඒ තරම් කාමැත්තක් නොදක්වන පාසල් ගණිතය ගැන. ඔය දැනට තියෙන සම්ප්‍රදායික ක්‍රමයේදී ගුරුවරුන්ගේ,  සිසුන්ගේ, දෙමාපියන්ගේ ගණිතය ගැන ඇති කරලා තියෙන යාන්ත්‍රික ආකල්පයේ වෙනසක් කිරීමයි ගෝලීය ගණිත ව්‍යාපෘතියේ අරමුණ. ඒ නිසයි, මම ඒ ව්‍යාපෘතියට සහයෝගය දෙන්නේ. මොකද මගෙත් අරමුණ එයම නිසා.
ගණිතය ඉගැන්වීම සහ ඉගෙන ගැනීම ගැන  ආචාර්ය ගයා ජයකොඩිගේ අදහස්

මේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. නමුත් ඉතා කෙටියෙන්: 

අද කාලේ විවිධ පුද්ගලයෝ කෙටි ගණිත ක්‍රම ප්‍රචලිත කරන්න පෙළඹෙනවා. නමුත් අවබෝධයෙන් තොර අන්ධ ක්‍රම අනුගමනය කිරීම ගණිතයේ සැබෑ ස්වරූපය නෙමෙයි.

ගණිතය කියන්නේ ගවේෂණාත්මක විෂයක්. හිතන්න පුරුදු කරන විෂයක්. ගණිතයේ අපි කරන දේවල්වල තේරැමක් තියෙන්න ඕනේ. තේරැමකින් තොරව නිකම් නීති මාලා අනුගමනය කරමින්, ගණන් දහස් ගණනක් හදන එක සැබෑ ගණිතය නෙමෙයි. එතැනින් චින්තනයක් නිර්මාණය වෙන්නේ හෝ දියුණු වෙන්නේ නෑ. ඒ නිපුණතාවත් අවශ්‍යයි. නමුත් ගණිතය කියන්නේ එය පමණක් නෙමෙයි. ගණිතය තුළින් අපි සිසුන්ට ඉගැන්විය යුත්තේ ගණිතානුකුලව හිතන්නයි. ඒ කියන්නේ, ගැටලු විසඳන්න, විශ්ලේෂණය  කරන්න, ගවේෂණය කරන්න, විචාරාත්මකව හිතන්න, තර්කානුකුලව හිතන්න, ආදී වශයෙන් විවිධ හිතීමේ රටාවන් ඔවුන්ට මුණගැස්විය යුතුයි. මෙන්න මේ ගණිත චින්තනයේ යෙදෙන්න අවස්ථාවක් අපි ඔවුන්ට ලබා දෙන්න ඕනේ. ගණිත ගුරුවරු වශයෙන් අපේ වගකීම එයයි.

හැබැයි කවුරුත් මතක තබා ගත යුතු දෙයක් තමයි, තේරුම් ගන්නවා කියන එක, යමක් නිකන් මතක තියාගෙන යාන්ත්‍රිකව කරනවා වගේ ලේසි නෑ කියන එක. තේරැම් ගන්න නම්, හිතන්න අවශ්‍යයි. මනස ව්‍යායාමයේ යොදවන්න අවශ්‍යයි. යමක් කට පාඩම් කරගෙන, ක්‍රියාවේ යොදවන එක ඉක්මනින් ප්‍රතිපල පෙන්වන, ලේසි  විදියක්. නමුත් එයින් දීර්ඝකාලීන ප්‍රතිපල අඩුයි. ඒ ක්‍රමයෙදී සිද්ධ වෙන්නේ ලොකු මතක ගබඩාවක් හදන එක. නමුත් සංකල්ප එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක සහ පුළුල්ව සංකල්ප දිහා බලන දැක්ම එතනින් ඇතිවෙන්නේ නැහැ. නමුත් තේරුමක් ඇතුව ගණිතය ඉගෙන ගන්නවා නම්, මතකයේ නීති ගොඩක් ගොඩ ගහගන්න එක අඩු කරලා අවබෝධයෙන් ඉස්සරහට යන්න පුළුවන්. මේ අලුත් ක්‍රමය දිගුකාලීනව හරිම සාර්ථකයි. මේ ක්‍රමයේදී එන්න එන්නම ගණිතය ලේසි වෙනවා. මුලදී තේරැම් ගැනීම අමාරැ වගේ පෙනුණත්, ගණිතයේ හැම අංශයක්ම කොටස කොටස එකතු වෙලා ලස්සනට හැදෙන එක ලොකු පින්තූරයක් වගේ දකින්න, මේ විදියට ගණිතය ඉගෙන ගන්න එක උදවු වෙනවා.

අපි දැන් බලමු මොකක්ද මේ අලුත් ක්‍රමය නැතිනම් පිපිරෙන ගෝල ගැන ලස්සන කතාව කියලා.

පුපුරණ ගෝල කතාන්දරය

ආචාර්ය ජේම්ස් පොඩි කාලේ යන්ත්‍රයක් හැදුව. (ඒ කොටස නම් මනඃකල්පිතයි) මේක අමුතු යන්ත්‍රයක්. ඒකේ තිබ්බේ නිකන් වම් පැත්තට දිගට දිගට යන පෙට්ටි පේලියක් විතරයි. පුංචි ජේම්ස් නම් කළා මේ යන්ත්‍රය දෙක - එක යන්ත්‍රය කියලා. හැබැයි ලිව්වේ අනිත් පැත්තට 1<2 කියල. තව ටිකකින් තේරෙයි ඇයි එහෙම ලිව්වේ කියල. මේ පෙට්ටියට බෝල දාන්න පුළුවන්. හැබැයි දකුණු පැත්තේ කෙළවරේ පළවෙනි පෙට්ටියට තමයි දාන්න ඕනේ. බෝල 2ක් දාපු ගමන් ඒ බෝල පුපුරලා එක බෝලයක් වෙලා වම් පැත්තේ පෙට්ටියට මාරු වෙනවා. ඕනෙම පෙට්ටියක මේ සිද්ධිය ඔය විදියටයි සිද්ධ වෙන්නේ.

ජේම්ස් එක එක ගණන් බෝල දාල බැලුව මේ යන්ත්‍රයේ ඒ සංඛ්‍යා පෙන්නුම් කරන්නේ කොහොමද කියල. එයා එක එක නොම්මරවලට කේතයන් ලිව්වා. මේ යන්ත්‍රය පෙන්වන විදියට.
දකුණේ කෙළවරම පෙට්ටියේ ඒ කියන්නේ පළමු වැනි එකේ මුලින්ම ඇත්තේ එක බෝලයයි. ඒ නිසා බෝල 1යි. සංකේතයත් 1යි. හරි නේද?
 
ඔන්න දැන් කෙලවරම පෙට්ටියට තව බෝලයක් දානවා. බෝල පුපුරලා තනි බෝලයක් හැටියට දෙවැනි පෙට්ටියට පනිනවා. මතක තබාගන්න දෙවැනි පෙට්ටියට තනි බෝලයක් හැටියට පැන්නාට එතැන ඇත්තේ බෝල දෙකක් බව. එතකොට ඒක ලියන්නේ කොහොමද? තියන බෝල ගණන 2යි. හැබැයි ඒක තියන ස්ථානය පෙන්නුම් කරන්නේ දෙවැනි පෙට්ටියේ බෝල 1යි පළමු පෙට්ටියේ බෝල නෑ. ඒ නිසා 0යි කියලයි. ඔය විදිහට පළමුවැනි පෙට්ටියට තව බෝලයක් දැම්මොත් බෝල ඔක්කොම 3යි. දෙවැනි පෙට්ටියේ තනි බෝලයක් වුණ 2යි, පළමුවැනි එකේ 1යි. එතකොට බෝල ගණන ඔක්කොම කීයද 3යි. ඒක ලියන්නේ කොහොමද දෙවැනි පෙට්ටියේ බෝල එකතුවෙලා හැදුණු බෝල එකයි පළමුවැනි පෙට්ටියේ සම්පූර්ණ තනි බෝල එකයි.
 
ඒ කියන්නේ 3:1 1 දැන් හරිද?
 
 
මෙන්න ජේම්ස් ඒ වගේ හදපු කේත කීපයක්:
 
1:1 4:100
2:10 5:101
3:11 6:110
 
දැන් ඔබට පුළුවන්ද මේ යන්ත්‍රයේ 13 පෙන්නුම් කරන්නේ කොහොමද කියලා හොයන්න?
 
ඔබ හදපු කේතය හරිද කියල බලන්න විදියක් තියෙනවද? ඔබට හිතන්න පුළුවන්ද එක එක පෙට්ටිවල තියෙන බෝලවල ඇත්ත වටිනාකම කීයද කියල? පළවෙනි පෙට්ටියේ, ඒ කියන්නේ, දකුණුම පැත්තේ පෙට්ටියේ එක බෝලයක් එක බෝලයක්මයි. නමුත් දෙවැනි පෙට්ටියේ බෝලයක්? ඒ බෝලයක වටිනාකම බෝල දෙකක් නේ නේද? ඇයි බෝල දෙකක් පිපිරිලානේ ඒ බෝලේ හැදුනේ. එතකොට තුන්වෙනි පෙට්ටියේ බෝලයක්? දෙකේ ඒවා දෙකක් නේද? ඒ කියන්නේ 4ක්? ඔව්.  ඔය විදිහට හිතාගන යන්න 13 හදන්න බෝල කීයක් ඕනද? ඒ අනුව ඒවා පිහිටා තිබිය යුත්තේ කොහොමද?
 
 
13 ට හැදිච්ච කේතය 1101ද? ඒ කියන්නේ අටේ ඒවා එකයි, හතරේ ඒවා එකයි, එකේ ඒවා එකයි?
 
8 + 4 + 1 = 13
 
හරිනේ!!!
 
ඔහොම මේ යන්ත්‍රයත් එක්ක සෙල්ලම් කරද්දී ඔහුට හිතුන අහ්... ඇයි මම තුන - එක යන්ත්‍රයක් හදන්නේ නැත්තේ* කියල. ඒ කියන්නේ දැන්, බෝල 3ක් එකතු වුණාම ඒවා පිපිරිලා එකක් හැදිලා වම් පැත්තේ පෙට්ටියට මාරැ වෙනවා. තුන - එක යන්ත්‍රයක් හදපු පුංචි ජේම්ස්ට කදිම අදහසක් පහළ වුණා ඊට පස්සේ. ශා! මට පුළුවන්නේ හතර - පහ, පහ - එක, ඔය වගේ දිගටම හදන්න කියල. මේ හැම යන්ත්‍රයක් එක්කම ජේම්ස් ඒ යන්ත්‍රය පෙන්වන විදියට ඉලක්කම්වලට වෙනස් වෙනස් කේත හැදුව. දැන් තේරෙනවාද කේතයකින් කියන්නේ එක එක ස්ථානයක පවතින සැබෑ බෝල ගණන. මෙහෙම අන්තිමට දහය - එක යන්ත්‍රයටත් ආවා. හරි පුදුම වැඩක් ඒ යන්ත්‍රයත් එක්ක සිද්ධ වුණේ.
 
ජේම්ස් දැම්ම පළවෙනි පෙට්ටියට බෝල 273ක්.
 
 
හිතන්න පුළුවන්ද පිපිරැම් කීයක් වේවිද කියල? හැම බෝල 10ක්ම පිපිරෙනවා. එතකොට පිපිරැම් 27ක්! තව බෝල 3යි ඉතුරැ ඒ පෙට්ටියේ.
 
 
දැන් මොකද වෙන්නේ? දෙවැනි පෙට්ටියේ පිපිරැම් වෙනවද? කීයක් වෙනවද? දහයක් නේද? ඔබට හිතන්න පුළුවන්ද එතකොට ඔක්කොම පිපිරැම් ඉවර වුණාම 273 ඉලක්කමට යන්ත්‍රය පෙන්වන කේතය මොකක්ද කියල? බලන්න.
 
 
හරි පුදුමයිනේ. කේතයත් 273 මයි!
 
තවත් පුදුම වැඩේ, අපි හිතල බැලුවොත් එක එක පෙට්ටිවල බෝලවල වටිනාකම කීයද කියල තව දෙයක් අපිට පේන්න පටන් ගන්නවා.
 
 
අපි වචනානුසාරයෙන්ම මේ ඉලලක්කම ශබ්ද කරන්නේ මේ යන්ත්‍රයේ පෙට්ටිවල බෝල තියෙන විදියට!
 
2 සීය 7 දහය (හැත්තෑ) 3
 
ඉංග්‍රීසි බාසාවෙන් මේක වඩා හොඳට පේනවා.
 
2 hundred 7 ty (ty = ten) 3
 
ඔබට හිතන්න පුළුවන්ද දැන් මේ යන්ත්‍රය මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා.
 
මේ දහය - එක යන්ත්‍ර,ය අපේ ඉලක්කම් පද්ධතියේ ස්ථානීය අගය පෙන්වන අපූරැ යන්ත්‍රයක්!
 
ඇයි අපි දෙක - එක නැත්නම් පහ - එක යන්ත්‍ර නැතුව දහය - එක යන්ත්‍රයේ විදියට ඉලක්කම් ලියන්නේ? මේ ඉලක්කම් පද්ධතිය අපි විසින්ම නිර්මාණය කරපු දෙයක් නේ. අපි දහය තෝරාගෙන තියෙන්නේ අතේ ඇඟිලි දහයක් තියෙන නිසා!
 
බලන්නකෝ ඉතින්, අපිට බැරිවෙලා හරි ඇඟිලි 8ක් වගේ තිබුණා නම් අපි 8 පාදක කරගෙන අට - එක යන්ත්‍රයක විදියට ඉලක්කම් ලියන්න තිබුණ!
 
ඕගොල්ලො දන්නවද ලෝකේ සමහර සංස්කෘතීන් තියෙනවා 20 (අතේ සහ පාදවල ඇඟිලි 20ක් නිසා) නැත්තන් 12 (අපේ ඇඟිලිවල පුරුක් තුනේ ඒවා 12ක් මහපට ඇඟිල්ලෙන් ගනින්න පුළුවන් නිසා) පාදක කරගෙන ඉලක්කම් ලියන, ඒ කියන්නේ ඒ ගොල්ලෝ විස්ස - එක නැත්තන් දොළහ - එක පුපුරන බෝල යන්ත්‍රවල කේත තමයි ඉලක්කම්වලට ලියන්නේ.
 
ඇයි අපි කාලය මනින්නේ 60 පාදක කරගෙනනේ! නේද? 60 තෝරාගෙන තියෙන්නෙ මොන වගේ හේතුවකටද කියල හිතන්න පුළුවන්ද?
 
අපි ලබන සතියේ බලමු මේ පුපුරන බෝල යන්ත්‍ර පාවිච්චි කරලා ඉලක්කම් එකතු කිරීම, වැඩිකිරීම වගේ දේවල් කරන්නේ කොහොමද කියල. ඔයගොල්ලෝ පුදුම හිතෙන දෙයක් බලන්න පුළුවන්!
 
සුගත් පී. කුලතුංගආරච්චි