2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ජේ.ආර්ගේ මල්ලී රස්සාවෙන් දොට්ට දැමූ සභාපති

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 347

නිදහසින් පසු මුල් කාලයේ මෙරට පැවති එයාර් සිලෝන් ආයතනය අහෝසි කර දමා එයාර් ලංකා ආයතනය නිර්මාණය කරන ලද්දේ ජේ.ආර්. විසිනි. ජේ.ආර්ගේ පුත් රවී ජයවර්ධනගේ සමීප මිතුරෙකු මෙන්ම එ.ජා.ප හිටපු ඇමැතිවරයකුගේ පුත්‍රයෙකුද වූ ගුවන් නියමු කපිතාන් රක්ඛිත වික්‍රමනායක එයාර් ලාංකික ප්‍රථම සභාපතිවරයා බවට පත් කළේය. සිංගප්පූරු ගුවන් සේවයේ සිටි ඉහළ වැටුප් ලබන ප්‍රවීණ ගුවන් නියමුවෙකු වූ රක්ඛිත වික්‍රමනායකද අමුතුම තාලයේ පුද්ගලයෙකි. තීරණ ගන්නට බිය නොවූ පාලකයෙකු ලෙස රක්ඛිත ප්‍රකට විය. එකල ජේ.ආර්ගේ බාල සහෝදරයකු වූ විල්මට් ජයවර්ධන මහතා එයාර් ලංකා ආයතනයේ ඉහළ කළමනාකරුවකු ලෙස රැකියාව කරමින් සිටියේය. ජනාධිපතිතුමාගේ සහෝදරයා වූ නිසා විල්මට් ඇතැම් විට ආයතනයට අහිතකර තීරණ ගත් බවට සභාපති වික්‍රමනායකට වාර ගණනක් පැමිණිලි ලැබුණි. 

ඇතැම් විට ඔහුගේ තීන්දු ගැන සේවකයෝ අප්‍රසාදයට පත් වූහ. මේ ගැන සොයා බැලූ සභාපතිවරයාට දැනගන්නට ලැබුණේ විල්මට් ජයවර්ධන කළමනාකාරවරයාගේ ඇතැම් හිතුවක්කාර වැඩ නිසා ආයතනය තුළ ප්‍රශ්න ඇතිවන බවයි. මේ ගැන පියවරක් ගන්නට සුදුසු අවස්ථාව එළඹ තිබූ බැවින් කිසිඳු පසුබටවීමකින් තොරව සභාපති වික්‍රමනායක ජේ.ආර්ගේ මල්ලිට අවවාද කිරීමේ ලිපියක් නිකුත් කළේය. විල්මට් ඒ ගැන අසතුටු වුවද ලිපිය බාරගත්තේය. ඉන්පසුව කළ විපරමකදී සභාපතිවරයාට දැනගන්නට ලැබුණේ අවවාදයෙන් එතරම් වැඩක් වී නැති බවයි. ටික කලකට පසු දෙවන අවවාද කිරීමේ ලිපියත් එයිනුත් පසු අවසන්වරට තුන්වැනි අවවාද කිරීමේ ලිපියත් නිකුත් කළේ එයාර් ලංකා සභාපතිවරයා විසිනි. එහෙත් ඒ කිසිවකින් විල්මට් තිබුණු වැරදි හරිගස්සා නොගත් බව රක්ඛිත වික්‍රමනායකට වාර්තා විය. හොඳ පිට කොන්දක් සහිත පාලකයෙකු වූ රක්ඛිත බොහෝ විට එයාර්ලංකා ආයතනයේ කටයුතුවලට අදාළ බරපතළ තීන්දු තීරණ ගැන ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ මෙන්ම ඔහුගේ පුත් රවී ජයවර්ධන මහතා සමඟද සාකච්ඡා කිරීම සිරිතක්ව තිබුණි. එහෙත් අභ්‍යන්තර පරිපාලන ප්‍රශ්නයක් වූ ජේ.ආර්ගේ සහෝදරයාගේ ප්‍රශ්නය ගැන ඔහු ජයවර්ධන පවුලේ අය සමඟ කතා කළේ නැත. කෙසේ හෝ විල්මට් ජයවර්ධන මහතා සම්බන්ධ ප්‍රශ්න නිසා කාරණා කාරණා බරපතළ වෙමින් තිබුණි. එයාර් ලංකා සභාපතිවරයා ලෙස තීරණයක් ගන්නට සුදුසු මොහොත උදාවී ඇති බව රක්ඛිත වික්‍රමනායක තීන්දු කළේය. පසුව එක් දිනක් ඔහු අතිශය රහසිගත ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සහෝදරයාගේ තහනම් කිරීමට අදාළ ලිපිය සකස් කළේය. විල්මට් ජයවර්ධන මහතා ස්වකීය කාර්යාලයට කැඳවූ සභාපතිවරයා වැඩතහනම් කිරීමේ ලිපිය ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු ලවා විල්මට් අතට ලැබෙන්නට සැලැස්වීය. ජනාධිපතිතුමාගේ සහෝදරයා නිසා තරමක් අභිමානයෙන් සිටි විල්මට්ට වැඩ තහනම් ලිපිය දුටුවිට යකා නැග්ගේය. ඔහු කෙළින්ම ගියේ සභාපති රක්ඛිත වික්‍රමනායකගේ මේසය ඉදිරි පිටටයි. ගොස් වැඩ තහනම් කිරීමේ ලිපිය ඉරා ගුලි කොට සභාපතිවරයාගේ මේසය මතට දමා ගැසීය.


ඔහේ හිතුවද මගේ වැඩ තහනම් කරලා හෙටත් ඔය පුටුවේ ඉන්න පුළුවන් කියලා. බලනවා ඔහේට වෙන දේ. මම හොඳට හොඳයි නරකට නරකයි* කියා කෝපයෙන් පිටව ගියේය. රක්ඛිත වික්‍රමනායකද &ඔව් මමත් ඕන දෙයක් බලාගන්න ලෑස්තියි කියා කීවා මිස ජනාධිපති සහෝදරයා සමඟ පැටලෙන්නට ගියේ නැත. බෝම්බය පත්තු වී ඇති නිසා ප්‍රතිඵල ළඟ ළඟම එන බැවින් රක්ඛිත ඕනෑම දේකට මුහුණ දීමේ අපේක්ෂාවෙන් පසුවිය. පැය කිහිපයකට පසු වෝඩ් පෙදෙසේ ජනාධිපති නිවසින් එයාර් ලංකා සභාපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණි. කතා කළේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.

රක්ඛිත හෙට උදේ ඇවිල්ලා මාව හම්බුවෙන්න* ජේ.ආර්ගේ පණිවුඩය විය. ජනාධිපතිවරයා දැනුම් දුන් පරිදි පසුදා උදෑසන රක්ඛිත වෝඩ් පෙදෙසේ ජේ.ආර්ගේ නිවසට ගියේ තරමක් චකිතයෙන් යුතුවය. ඔහු අත ජේ.ආර්ගේ සහෝදරයාගේ පෞද්ගලික ලිපිගොනුවද විය. ඔහුට ඉවෙන් මෙන් දැනුණේ අද නම් ජේ.ආර්ගෙන් කන්න සිද්ධ වෙනවා වැනි හැඟීමකි. ටික වේලාවකට පසු ජනාධිපතිවරයාගේ කන්තෝරු කාමරයට එයාර් ලංකා සභාපතිවරයා කැඳවනු ලැබීය. ජේ.ආර්. ඉදිරිපිටට ගිය රක්ඛිතගෙන් ජනාධිපතිවරයා ඉතා සංසුන්ව ප්‍රශ්න කළේ රක්ඛිත ඔයා මොකක්ද මගේ සහෝදරයාට කළේ* යන ප්‍රශ්නයයි. ජේ.ආර්. අසන ප්‍රශ්නය ගැන අවබෝධයෙන් සිටි රක්ඛිත ජනාධිපතිවරයාට සිය සම්පූර්ණ කතාව පැහැදිලි කළේය. තමන් අත තිබූ පෞද්ගලික ලිපිගොනුවේ ඇති අවවාද කිරීමේ ලිපි ලේඛන ජනාධිපතිවරයාට පෙන්වූ රක්ඛිත වික්‍රමනායක තමන්ට මේ තීරණය ගන්නට සිදුවූයේ ආයතනයේ උන්නතිය ගැන සිතා එය නොකරම බැරි වූ බැවින් යැයි ජේ.ආර්ට කීය. ප්‍රශ්න කිරීම්වලින් තොරව සියල්ල අසා සිටි ජනාධිපතිවරයා බැරෑරුම් ප්‍රශ්නයකදී ඔහුගේ පුරුද්දක් වූ නළල ස්පර්ශ කරමින් ලිපිගොනුවද පරීක්ෂා කළේය. අනතුරුව මඳක් නිසොල්මනේ හිඳ සිය සහෝදරයා ගැන තමන්ගේ තීන්දුව ප්‍රකාශ කළේය.

රක්ඛිත ඔයා හරි... මම හිතන්නේ ඔයාගේ තීරණය නිවැරදියි. ඒ නිසා ඔයා කළබල වෙන්නේ නැතුව වැඩ ටික කරගෙන යන්න. මම මගේ සහෝදරයාට වෙන මොකක් හරි ලෑස්ති කරලා දෙන්නම් 

ජේ.ආර්ගේ මෙම පිළිතුර රක්ඛිතට අදහගන්නට බැරි තරම් විය. සැබැවින්ම එදා ඔහු එහි ගියේ ජනාධිපතිවරයා ඔහු දෝෂ දර්ශනයට ලක් කළහොත් සභාපතිකමෙන් ඉවත් වීමට වුවද තීන්දුවක් ගෙනය. එහෙත් ජේ.ආර්. ස්වකීය තීන්දුවෙන් පෙන්වා දුන්නේ තමන් සරල සිල්ලර දේශපාලනඥයෙක් නොවන බවයි. ඔහු වැරදි සිදුනොකළ නායකයෙක් යැයි අපි නොකියමු. එහෙත් නායකයෙකු වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් මෙබඳු සෘජු සංවේදි තීරණ ගැන හෙතෙම ප්‍රසංශා ලැබිය යුතු බව කියන්නේ ඔහුට හරසර පිණිසය.

රන්ජිත් ආනන්ද ජයසිංහ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05