2017 ජුලි 29 වන සෙනසුරාදා

ඩෙංගු ලෙඩෙක් ගෙදරදී බලාගන්නේ කොහොමද?

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 6764

රටපුරා ඩෙංගු රෝගය වසංගතයක් සේ පැතිර යාමත් සමඟ රෝග මර්දනය සඳහා හදිසි නීතියද ආධාර කරගැනීමට දැන් රජයට සිදුව තිබේ. මේ වනවිට රටපුරා ඩෙංගු රෝගීන් 110372ක් වාර්තා වී තිබේ. එයින් බහුතරයක් බස්නාහිර පළාතෙනි. එය සියයට 44.52ක ප්‍රතිශතයකි. ජූනි මාසය තුළ 24537ක් වාර්තා වූ අතර ජූලි මාසයේ මේ වනවිට 24268ක් රෝගීන් වාර්තා වී තිබේ. ඩෙංගු මර්දනය උදෙසා අවශ්‍ය බලතල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත පැවැරී ඇත්තේය. ඔහුට ඒ සඳහා සහාය වීමට වසංගත රෝග විද්‍යා ඒකකයක්ද ඩෙංගු මර්දන ඒකකයක්ද, වසංගත රෝග විද්‍යාඥයින් සිය ගණනකට අධික සංඛ්‍යාවක්ද පුහුණු කීට විද්‍යාඥයින්, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ද ඇතුළු බොහෝ පිරිසක් නම්කර තිබේ. එසේ තිබියදී දැන් ආන්දෝලනාත්මක ලෙස ඩෙංගු බලධාරියකුද පත්කිරීමට කටයුතු කර තිබේ. නමුත් ඩෙංගු අඩුවන පාටක් නම් නැත. රටේ ප්‍රධාන රෝහල් පිරී ඉතිරී ගොසිනි. මේ නිසාම අසාධ්‍ය නොවන රෝගීන් නැවත හරවා යැවීමට රෝහල් බලධාරීන්ට සිදුව තිබේ. ඉතින්, මේ මාරාන්තික වසංගතය හමුවේ දැන් හුදී ජනයාට සිදුව ඇත්තේ අපේ රටේ හිටපු ජනාධිපතිවරයකු කලින් අනතුරු ඇඟෙව්වාක් මෙන් “තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගැනීමටය” මේ නිසාම ඩෙංගු රෝගියකු ගැන බලා කියා ගන්නේ කෙසේද යන්න ගැන කවුරැත් දැනුම්වත්ව සිටීම ඉතා වැදගත්ය.

ඩෙංගු රෝගියකු නිවසේදි බලාගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය චමල් සංජීව මෙසේ කරුණු පැහැදිලි කරයි.

•ඩෙංගු ප්‍රතිදේහ රුධිරයේ ඇති බව පරීක්ෂණ වලින් සනාථ වූ විට හා රුධිර පට්ටිකා අගය 150000 අඩු වූ විට උණ ඇතත් නැතත් වහාම රෝහලක් කරා ගෙනයාම කළ යුතුයි.

•ඩෙංගු රෝගියකු සාමාන්‍ය මට්ටමට පත්වන තුරු එනම් රුධිර පට්ටිකා අගය 150000ට වැඩිවන අවස්ථාව වනතුරු මූලික ප්‍රතිකාර රෝහලේදි හෝ ප්‍රදේශීය රෝහලකදි වෛද්‍ය අධීක්ෂණය යටතේදී ලබාදේ. ඉන්පසු නිවසට යාමෙන් පසු මේ සම්බන්ධව කටයුතු කළ යුත්තේද වෛද්‍ය උපදෙස් මතය. ඒවා මෙසේය.

•රෝගියා නිදහස්ව ඇඳ විවේකයෙන් තැබිය යුතුයි

•මුළු සිරුරම ආවරණය වන ඇඳුමක් අන්දවන්න. එය සුදු හෝ ළා පැහැවීම වැදගත්.

•උණ පවතින විට පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණක් ලබාදිය යුතුය. ඇස්ප්‍රින් කිසිවිටක භාවිතා නොකරන්න.

•රෝගියාගේ රුධිර පීඩනය හා හෘදස්පන්දනය මැන සටහන් තබාගැනීම වැදගත්. ඒවා සාමාන්‍ය මට්ටමක ඇත්නම් රුධිර පට්ටිකා අඩු වුවද වෛද්‍ය උපදෙස් මත රෝගියාගේ රුචිය පරිදි ආහාර පාන ලබාදිය හැකිය. පාන වර්ග ලබාදීමේදී ද්‍යෛ උපදෙස් මත ලබාදිය යුතු පරිමාව පමණක් ලබා දිය යුතුය. එම ප්‍රමාණය වැඩිකිරීම හෝ අඩු කිරීම තීරණය කළ යුත්තේ වෛද්‍යවරයාය.

•මතක තබාගන්න කිසිදු විටක අඳුරු පැහැති හෝ රතු පැහැති පාන වර්ග ලබා නොදිය යුතුවග.

•පාන වර්ග ලබාගන්නා අතර රෝගියාගේ පිටවන මුත්‍රා ප්‍රමාණය පැයකට වරක් ඒ සඳහා වූ භාජනයක් මගින් මැන සටහන් තබාගත යුතුයි.

•ආහාර සහ පාන වර්ග ලබාදීමේදී උණ අධික විට පෝෂණ ගුණයෙන් යුතු දියරමය පාන සහ ආහාර ලබාදිය හැකිය. බාර්ලි වතුර, තැඹිලි, එළවළු සුප්, පළතුරු යුෂ, කැඳ වර්ග භාවිතා කරන්නට හැකියි. පලතුරු යුෂ ලබාදීමේදී පැපොල් යුෂ වැනි දේ ලබාදිය යුත්තේ වෛද්‍ය අනුමැතිය මත පමණක් බව සිහි තබාගන්න. 

•උණ මදක් අඩු වූ පසු රෝගියාගේ රුචිකත්වය මත මඳක් ඝන ආහාර ලබා දෙන්නට හැකියි.

•උණ බැසගිය පසු සහ සාමාන්‍ය රුධිර පීඩනය සහ හෘද ස්පන්දනය ඇතිවීට රෝගියාට රුචිකත්වය අනුව සාමාන්‍ය ආහාර රටාවට හුරු විය හැකියි.

•රෝගියා වෙහෙසකර වීම සිදු නොකළ යුතුයි.

•රෝගියාෙග් සිරුර ඇඳුම් පැලඳුම් අවට පරිසරය පිරිසිදුව තබන්න.

•හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන තැනක මදුරු දැලක් යටතේ තැබිය යුතුයි.

•මදුරු විකර්ෂණ ආලේපන, දුම් වර්ග භාවිතාකර මදුරු දෂ්ටයෙන් රෝගියා මෙන්ම අනෙකුත් නිවැසියන්ද ආරක්ෂා කරගන්න.

•මස් වර්ග මාළු කිරි බිත්තර වැනි ආහාර රෝගියා යථා තත්ත්වයට පත්වෙමින් සිටින අවධියේදී ලබාදීම වරදක් නැත.
•කිසිදු විටක ඩෙංගු රෝගියකු හට ආහාර තහනමක් පනවා නැත. අධික උණ තත්ත්වයේ නොවේනම් ආහාර ලබාගන්නට රුචිය ඇත්නම් කුසගින්න ඇතිවිට දිරවිය හැකි පෝෂ්‍යදායි ආහාර ලබාදීමේ වරදක් නැත.

•රෝගියාගේ රුධිර පරික්ෂණ නිරත්තරව ලබාගත යුතුයි. පට්ටිකා ප්‍රමාණය ගණනය කිරීම කළ යුතුයි. 

උපදෙස් - වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, හම්බන්තොට

WHO උපදේශ

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වූ කරුණු දැක්වීමකදී පෙන්වා දුන්නේ ඩෙංගු මර්දනය සඳහා මහජන සහභාගීත්වය ඉතා අවශ්‍ය බවය. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වනසමින්, මදුරු දෂ්ඨනයට ගොදුරු නොවී සිටිමින් මෙහිදී ඉතා වැදගත් බව එය පෙන්වා දෙයි. මේ වනවිට මාරාන්තික ඩෙංගු වෛරසය නැසීම සඳහා නිසි ඖෂධයක් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සොයාගන නැත. එහෙයින් ඩෙංගු රෝග ලක්ෂණ සහ සංකූලතා පාලනයට ප්‍රතිකාර ලබාදීම සිදුවේ. මේ නිසාම පෞද්ගලික මට්ටමින් මදුරු දෂ්ටයෙන් ආරක්ෂා වීමත්, මදුරු මර්දනයත් මේ වනවිට ගත හැකිව ඇති ප්‍රධාන ආරක්ෂක පියවර බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රෂියා පෙන්ඩ්ස් පෙන්වා දෙයි.

මේ අනුව ඩෙංගු රෝගියකු සඳහා ප්‍රතිකාර ලබාදෙන අතරම තවදුරටත් මදුරු දෂ්ටයෙන් ඔහුට ආරක්ෂා කර ගැනීමද ඉතා වැදගත්ය. මක්නිසාද යත් ඔහුගේ සිරුර තුළින් ඩෙංගු වෛරසය තවත් මදුරුවන් ඔස්සේ පැතිර යා හැකි හෙයිනි. මේ කියන රෝගියා සිටින ස්ථානයේ, නිවසේදී රෝග ලක්ෂණ සංකූලතා සඳහා ප්‍රතිකාර කරන අතරම මදුරු දෂ්ටයෙන් වැලකී සිටීමට අවශ්‍ය පියවර ගැනීමද ඉතා අවශ්‍යය.

මේ සඳහා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම.

මදුරුවන් ආකර්ෂණය වන පරිසර තත්ත්ව සහ හේතු හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සිදුකළ යුතුය.

මදුරු දෂ්ටයෙන් වැලකීමට පියවර ගැනීම ප්‍රධාන තැනක් ගනියි. ඩෙංගු රෝගියකු සිටින නිවසේ රෝගියා මෙන්ම අනෙකුත් අයද මේ උපදෙස් පිළිපැදීම වැදගත්ය.

මදුරු දෂ්ටයෙන් වළක්වා ගන්න

ඩෙංගු රෝගියකු තම නිවසේදී ප්‍රතිකාර කරනවිට හැකිතරම් ඔහු තවදුරටත් මදුරු දෂ්ටයෙන් බේරාගත යුතුයි. මේ නිසා හොඳින් අතපය ශරීරය වැසෙන සැහැල්ලු, ඇඳුම්වලින් සැරසී සිටීම වැදගත් වේ. මදුරු දැල් භාවිතය ඉතා වැදගත්ය. මදුරු ආකර්ෂණ ද්‍රව්‍ය ඉවත් කරනවා මෙන්ම මදුරු විකර්ෂක භාවිතාවත් සහ ධුමායනයත් වැදගත්ය.

හොඳ වාතාශ්‍රය, විවේකය, මදුරු දෂ්ටයෙන් වැළකීම, නිසි පෝෂණය, නිරන්තර පරීක්ෂාව.

රෝගියකු සුවකරගන්නට අවශ්‍ය වන මූලික කරුණු ලෙස ඉහත උපදෙස් කෙටියෙන් පෙලගැස්විය හැක්කේ එසේය.

♦ සුගත් පී කුලතුංගආරච්චි

මදුරු කොයිල්

මදුරු කොයිල් භාවිතා කළ යුත්තේ අරපරෙස්සමෙන් යුතුවය. මදුරු කොයිල් මගින් භාවිතාව සිදු නොකළහොත් වෙනත් ශ්වසන රෝගාබාධ ඇතුළු රෝග මෙන්ම සෞඛ්‍ය අනතුරුවලට අත වැනීමක්ද සිදුවෙයි. මදුරු දඟරයක සිගරට් සියයක අඩංගු විෂ සහිත බව වාර්තා වේ. සිගරට් තුළ පිළිකාජනක ඇතුළු මිනිස් සිරුරට අහිතකර විෂ රසායන 7000ක් පමණ ඇති බව කියති. මේ නිසා ස්වභාවි විකර්ෂක ද්‍රව්‍ය යොදා කරන ධුමායනය ඉතා වැදගත්ය.

පරිසරය සුවඳවත් කරන්නා!

රෝගියා සිටින පරිසරය හොඳින් වාතාශ්‍රය සහිත ඔක්සිජන් වැඩි පරිසරයක් වීම වැදගත්ය. CO2 අඩු කරන අතර සුවඳවත් මදුරු විකර්ෂක භාවිත කළ හැකිය.

තදපාට එපා! ළා පාට ඇඳුම්

මදුරුවෝ තද පාටට ආකර්ෂණය වෙති. මේ නිසා සැමවිටම ලා පැහැති ඇඳුම්වලින් සැරැසී සිටින්න. රෝගීන් සඳහා සුදුසුම සුදු පාටයි. මුළුමනින්ම ශරීරය වැසෙන සැහැල්ලු සුදු ඇඳුමක් අන්දවන්න.

අඳුරු ස්ථාන

හොඳින් ආලෝකය නොලැබෙන තැන්වලට ගොනුවීම මදුරුවන්ගේ ස්වභාවයයි. මේ නිසා හොඳින් ආලෝකය ලැබෙන හොඳ වාතාශ්‍රයක් සහිත කාමරයක රෝගියා තැබිය යුතුය. හිරු එළියෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ධුමායනය

ඩෙංගු රෝගියකු සිටින ස්ථානයේ සිට මීටර් 100ක පමණ ප්‍රදේශය ධුමායනයට ලක්කළ යුතුය. එය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සේවාව ලවා කරවා ගන්නට හැකිය. එසේම රෝගියා සිටින නිවසද හොඳින් ධුමායනයට ලක්කිරීම එහි සිටින අන් අයට කළහැකි කාර්යයකි. ඒ සඳහා විවිධ විකර්ෂක ද්‍රව්‍ය අපිට භාවිතා කළ හැකිය. ඒ සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදාගත හැකිය.

පැඟිරි කොළ, කොහොඹ කොළ, දූරියං පිට කටු, කජු ලෙලි, මදුරු තලා වැනි සැර ශාක වර්ග නිදසුනකි.
ධුමායනය කරන අවස්ථාවේ හොඳින් දොර ජනෙල් විවෘත කර තැබිය යුතුය.

ආහාර වර්ග

• බිත්තර, කුකුළු මස් සහ මාළු වැනි ප්‍රෝටින බහුල ආහාර ලබාදීම රෝගය ඉක්මණින් සුව වීමට පහසුවේ. 

• උණ බැස ගිය පසු ශාඛමය ආහාර බහුල කෑම වේලක් ගත හැකියි.

• ක්ෂණික ආහාර, තෙල් දැමූ ආහාර ගැනීම නුසුදුසුය. තෙල් බහුල ආහාර දිරවීම අපහසුතා ඇති කරනවා පමණක් නොව උණ උත්සන්න කිරීමටද හේතුවකි.

• ඩෙංගු රෝගින්ගේ ආහාර ගැනීමේ අඩුකම නිසා ප්‍රෝටින්, විටමින්, ඛනිජලවන සමභරව එක්වන සේ සාදල ලද සුප් වර්ග හොඳම පෝෂණයකි. 

බොන්නට හොඳ පාන වර්ග

පෝෂණය සහිත ස්වභාවික පානවර්ග සුදුසුයි.
• ඉඟුරු දැමූ තේ

• පොල් වතුර

• තැඹිලි

• ලයිම් යුෂ, දොඩම් යුෂ

• කොමඩු, ගස්ලබු, පේර, කැරට්, පිපිඤ්ඤා වැනි එලවළු සහ පලතුරු යුෂ වර්ග