2017 ජුලි 22 වන සෙනසුරාදා

දන්නෙම නැතුව ඇබ්බැහි වෙන මත් ජාති 648ක්!

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1764

අද වනවිට මෙරට මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම විද්‍යුත් මාධ්‍යයේ ද මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ පුවතක් වරදින්නේම නැත. ඒ තරමට අද මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවෙමින් පවතී. ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය පසුගියදා පැවසූවේ ඇබ්බැහි වියහැකි ආකාරයේ මත්ද්‍රව්‍ය 648ක් පමණ රට තුළ ඇති බවය. එමෙන්ම මෙරට පිරිමි ජනගහනයෙන් 35% පමණ ප්‍රමාණයක් මතට ලොල්වී සිටින අතර 65000කට අධික පිරිසක් හොරොයින් භාවිතයට හුරුවී සිටිති.

මෙරට මෑතක් වනතුරුම මත්ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන සාමාජිකයා වශයෙන් ගංජා සහ අබිං සැළකිය හැකිවුවද මෙයට දශක තුනකට පමණ පෙර ඉතා ප්‍රබල මත්ද්‍රව්‍යයක් වූ හෙරොයින් භාවිතය ආරම්භ විය. විදේශීය සංචාරකයන් බහුලව වෙ‍ෙසන පළාත්වලට පමණක් කාලයක් සීමාවී තිබූ මත්ද්‍රව්‍ය අද වනවිට ඇතැම් පාසල් තුළට ද රිංගාගෙන හමාරය.

වර්තමාන සමාජයේ ඇතැම් මව්පියන්ට ඇති කාර්යබහුලත්වය නිසාම සිය දරුවන් ගැන සොයාබැලීමට කාලයක් නොමැත. එවැනි වටපිටාවක අන්තර්ජාලයේ විවිධ කණ්ඩායම් හරහා සබඳතා ගොඩනගන්නා දරුවන් මත් සාදවලට යොමුවන අවස්ථා ද තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය මේ ආකාරයට රට තුළ පැතිරයාම සම්බන්ධයෙන් රටේ සංචාරක ව්‍යාපාරය ද බෙහෙවින් වගකිව යුතුය. සංචාරක ව්‍යාපාරය තුළ පවතින ලිහිල්භාවය මේ රටේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිකිරීමට උපයෝගීවන මාධ්‍යයන් බවට පත්ව තිබේ. ඇතැම් සංචාරකයන් ජාත්‍යන්තරව මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස කටයුතු කිරීම නිසා පහසුවෙන්ම රට තුළට මත්ද්‍රව්‍ය රැගෙනඒමට හැකියාවක් පවතී. දකුණු පළාතේ නාරිගම, හික්කඩුව, උණවටුන මෙන්ම නැගෙනහිර වෙරළේ පාසිකුඩා, කල්කුඩා, ආරුගම්බේ වැනි සංචාරක ප්‍රදේශවල තරුණ තරුණියන් කණ්ඩායම් වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින බවද මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබිණි. පසුගිය වර්ෂය අවසන් වනවිට විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1246ක්, කොකේන් කිලෝග්‍රෑම් 1230ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 800ක් අත්අඩංගුවට ගැනීමට රේගුව සමත් විය. එහි වටිනාකම රැපියල් මිලියන 18556කි.

මත්වන ටොෆි, මුද්දර, පුවක් ඇතුළු තවත් විවිධ මාදිලියේ මත්ද්‍රව්‍ය ගණනාවක්ම අද මෙරට පාසල් දරුවන් ඉලක්ක කරගෙන පාසල් තුළට රිංගාගෙන තිබේ. සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය ලැබෙන්නේ කෙලෙසද යනුවෙන් විමසන වැඩපිළිවෙළක් මෙතෙක් කිසිදු පාසලක් මගින් ක්‍රියාත්මක කර නැත. මේ තත්ත්වය දැන්ම වළක්වා ගැනීමට ඵලදායි සක්‍රීය පියවර හැකිපමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි. නිදසුනක් ලෙස ප්‍රාථමික මට්ටමේ සිට සිසුන්ට මේ උවදුරින් බේරීම සඳහා ප්‍රයෝජනවත් වියහැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බලපෑමක් කළහැකිය.

මේ වනවිට මෙරට හොරොයින්වලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව 50000 ඉක්මවා ගොස් ඇතිබව පරීක්ෂණයකින් හෙළිවී තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් අවුරැදු 18 – 30ක් අතර වයස් කාණ්ඩයට අයත් බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කරයි. එමෙන්ම 2000 වසරේ සිට 2017 වසර දක්වා මෙරට පවතින නීතියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලීමට එරෙහි 124 දෙනකුට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ නියමකර ඇත.

මේ වනවිට මඟුලක්, අවමඟුලක්, ප්‍රියසාදයක් තබා සාංඝික දානයක් පවා මතින් තොරව පැවැත්විය නොහැකි තැනට රට පත්ව තිබේ. මෙවැනි තත්ත්වයක් තුළදී මාපියන් දරුවන් කෙරෙහි වඩාත් සැලකිලිමත් වීම අවශ්‍යය.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ අධ්‍යක්ෂ සමන්ත නීතලව ආරච්චි මහතා මේ පිළිබඳව පැවසූයේ මෙසේය.

“ලංකාව පුරා දැනට පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය රාශියක් භාවිත වන බවට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය අන්තරාකර ඖෂධ පාලක මණ්ඩලය හා දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය විසින් හඳුනාගෙන තියනවා. මෙහි භයානකත්වය තියෙන්නේ මේ දරුවන් ඉලක්ක කරගෙන බොහෝවිට පැණිබීම වර්ග, දරුවන්ගේ කට ඇතුළේ අලවගන්න පුළුවන් ස්ටිකර් වර්ග, සමහර පුවක් වර්ග සහ ටොෆි වර්ග තිබීමයි. බොහෝ වෙලාවට සිදුවෙන්නේ වැඩිහිටි සිසුන් විසින් තමන්ගේ පහළ පන්තිවල සිසුන් ඒවාට යොමුකර ගැනීමයි. 

මව්පියන්ට කියන්න ඕන විශේෂයෙන්ම තරුණ වයසේ දරුවන් මෙවැනි දේවල් ගැන දැනුවත් කළ යුතුයි කියා. මම දැකලා තිබෙනවා ඈත ප්‍රදේශවල සිසුවියන් පවා මේවට ඇබ්බැහිවෙලා තියනවා. ඇතැම් ජාවාරම්කරුවන් මේ දේවල් දරුවන්ට මුලින් දීලා ඒවාට ඇබ්බැහි කරගන්නවා. ඉතින් මේවා ආරක්ෂක අංශවලට කියලා විසඳන්න බැහැ. පාසලේ ඉන්න දෙමව්පිය සංගම්, ගුරුවරුන්ගේ කමිටු, ආදි ශිෂ්‍ය සංගම් ආදිය මේ පිළිබඳව සොයාබැලිය යුතුයි. අපේ අරමුණ තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය ජනතාව අතරින් ප්‍රතික්ෂේප කරලා ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් නීතියට හසුකර දීමයි.

 හසිත් අංජන