චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්...
දූ සනසන්නට ගීත ගයනවලු...
දුවේ එපා ඒ කතා අසන්නට....
මේ නැලවිලි ගී මමයි ගයන්නේ....
ඇය ආචාර්ය නන්දා මාලනී වූවාය. පසුගිය දිනක ඇය තම ජීවිතයේ සුවිශේෂී දිනයක් සනිටුහන් කළාය. වයස අවුරුදු අසූ දෙකක් වූ මාලිනියගේ නමින් ගුවන්විදුලි සංස්ථාවේ නමවැනි මැදිරිය “ආචාර්ය නන්දා මාලනී මැදිරිය” නමින් වෙන්විය. එදින හරි අපූරුය. ඇය ‘චන්ද්‍ර මඩුලු’ ගීතයේ පද කොටසක් සංගීතයත් සමඟ රහට ගැයුවාය.
මෙරට සංගීත ක්ෂේත්‍රයට අනූපමේය මෙහෙවරක් කළ නන්දා මාලනී වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් නම් වෙද්දී එහි ප්‍රධාන අමුත්තිය වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියයි. ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටදී ආචාර්ය නන්දා මාලනී මහත්මියට මල් කළඹක් දී ඇයව පිළිගනු ලැබුවේද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා විසිනි. මුවගේ නිරන්තරයෙන් නැගෙන සුන්දර සිනහව ඒ මොහොතේදීද නොවෙනස්ව ආචාර්ය නන්දා මාලනියගේ මුව රැඳී තිබුණි. ගුවන්විදුලි සංස්ථාවේ සවිකර තිබූ තම ඡායාරූපය ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා විසින් නිරාවරණය කරද්දී සුන්දර සිනහවක් සමඟ, සුදු සාරිය හැඳි ඇය හරි අපූරුවට තම ඡායාරූපය දෙස මොහොතක් බලා සිටියාය.
ඉන්පසු මොහොත වෙන්ව තිබුණේ මැදිරිය විවෘත කිරීමටය. “ආචාර්ය නන්දා මාලනී මැදිරිය” නම් නාමපුවරුව ඉහළින් දිස් වෙද්දී එහි පීත්ත පටිය කපා වෙන් කරනු ලැබුවේද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ආචාර්ය නන්දා මාලනී මහත්මිය විසිනි.
1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙවන්දූව උපත ලැබූ නන්දා මාලනී, කුඩා කල සිටම සංගීතයට ඇළුම් කළාය. ලංකා ගුවන්විදුලියේ එවකට පැවති කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපයට” එක්වූ ඇයට “බුදු සාදු” ගීතය ගායනා කරන්නට අවස්ථාව උදා විය.
“අපේ තාත්තාට අද දරුවන් පළඳින සපත්තු අපිට අරගෙන දෙන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ කාලෙ ‘කට්ටා සෙරෙප්පු’ කියලා සෙරෙප්පු ජාතියක් තිබුණා. ඒක ගාණ සත තිහයි, සත පනහයි. හොඳම දෙක සත හැටයි. ඒකේ පාට පාට තීන්ත තිබුණ. මම ඉස්කෝලේ ගියේ ඒ සෙරෙප්පු දෙකක් දාගෙනයි. ඉස්කෝලේ සපත්තු මේස් දාපු අය හිටියා. හැබැයි මම කට්ට සෙරෙප්පු දැම්මා. ඉතින් මම ඇවිදගෙන යද්දි ටක්.. ටක්.. කියලා සද්දය ඇහුණා. ඉතින් “ඔන්න කට්ටේ එනවා” කියලයි යාළුවෝ කිව්වේ. මගේ ටීචර් සපත්තු දෙකක් ගෙනත් ළමා මණ්ඩපයට දාගෙන යන්න දුන්නා. මගේ කකුලේ ඇඟිලි ඈත්වෙලයි තිබුණේ. බොහොම අමාරුවෙන් ළං කරලා සපත්තු දෙක දැම්මා. ඊට පස්සේ කරුණාරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. “සර් මේ දරුවා අපේ ඉස්කෝලේ දක්ෂ දරුවෙක්. හැබැයි හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව්‍වක් කරන්න” කියලා කිව්වා. මම ළමා මණ්ඩපයේ අවුරුදු හතරක් විතර ඉඳිද්දී අමරදේව සර් ගුවන්විදුලියේ වැඩ කළා. එතුමා අපි සින්දු කියනවා දැක්කා. එතුමාට ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබුණා. කිසිම කෙනෙක් දන්නෙ නැති මට එතුමා මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. ”
ඒ ඇගේ අතීතයයි.
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපළු නටයි ගං තෙරේ
එකල ගුවන්විදුලියේ ගීත තරගයක් පැවැත්විණි. තරග අවසානයේදී නන්දා මාලනී සමඟ වික්ටර් රත්නායක තරග කළේය. තරගයේ ජය හිමිවුණේ ඇයටය. ඇයට බොම්බායට යාමට අවස්ථාවක් උදා විය. ඒ ගමන ගැන විශාල හැඟීමක් ඇයට තිබුණේ නැත. ආර්ථික අපහසුතා එමටය. “අපට මොන බොම්බායද තාත්තේ, අපි මේ වියදමට දෙන සල්ලි ඉල්ලාගමු.” එය නන්දා මාලනීගේ අදහසයි. ඇය පියා සමඟ එම ආයතනයට ගියාය. ආයතනයේ ප්‍රධානීන්ගේ අදහස වූයේ බොම්බාය ගැන විස්තරය දැනගැනීමට ඔවුන් පැමිණ ඇති බවය. “මහත්තයෝ අපි හරි දුප්පත්. පුළුවන් නම් මේ සල්ලි අපිට දෙන්න.” අවසානයේදී ඒ මුදල ඔවුන්ගේ අතට ලැබුණි.
කොටුවේ එම ආයතනයෙන් එළියට පැමිණි නන්දා මාලනී, පියා සමඟ චැතෑම් වීදියේ අවන්හලකින් එළවළු රොටි දෙකක් කා අයිස් කැට දැමූ සරුවත් දෙකක් බිව්වාය. එය ඔවුන්ට දිව්‍ය භෝජනයක් විය. ඇයගේ පියා ටේලර්වරයෙකි. ඔහු ඇඳුම් මැදීම සිදු කළේ පොල්කටු ඉස්තිරික්කයෙනි. විදුලි ඉස්තිරික්කයක් ගන්නට වත්කමක් පියාට නොතිබුණා සේම එවැනි ඉස්තිරික්කයක් පාවිච්චි කරන්නට නිවෙසේ විදුලිය තිබුණේද නැත. අඟුරු ඉස්තිරික්කයෙන් පිටවන අළු පියාගේ හිසකෙස්වල නිරන්තරයෙන් රැඳී තිබෙනු නන්දා මාලනියගේ මතකයේ තිබුණි. ඒ නිසාම ඇයගේ යෝජනාව වූයේ මෙම මුදලින් නිවෙසට විදුලිය ගෙන විදුලි ඉස්තිරික්කයක් ගැනීමය. නන්දා මාලනී තම පියා සමඟ එදින නිවෙසට ගියේ කොටුවෙන් මිලදීගත් විදුලි ඉස්තිරික්කයක් සහ සුමාන දෙකකට සරිලන බඩුමළු දෙකක්ද රැගෙනය.
මාලනියගේ ජීවිතය එතරම් සොඳුරු වූයේ නැත. නමුත් ඇය උත්සාහයෙන් තම ජීවිතය ජයගත් ආදරණීය කලාකාරියකි. ඇයට අදටත් තම අතීතය අමතක නැත. ඇය අතීතයට ආදරය කරන්නීය. ඇයගේ නමින් එළිදැක්වූ කැසට්පට මෙන්ම පසුකාලීනව එළිදැක්වූ සීඩීපට ඉතා ඉක්මනින් අලෙවි විය. ඇයගේ හඬට ආදරය කළ පිරිස අති මහත්ය. ඇය ගී ගැයූ පළමු චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ සිට ඇය සම්මාන බොහොමයකට හිමිකම් කී ආදරණීය කලාකාරියකි. මෙරට පමණක් නොව විදෙස් රටවල් බොහොමයක ඇය සංගීත ප්‍රසංග පැවැත්වූ අතර, ඒ සියල්ල ඉතා සාර්ථක විය.
අදටත් ඇය ගැයූ ගීත ඇයට හොඳට මතකය. ඒ හඬ තවමත් අපූරුය. පසුගිය දා ගුවන්විදුලි සංස්ථාවේ ඇය හරි අපූරුවට ගීතය ගයද්දී ඇය පිටුපස සිටි ඇයගේ දියණියන් දෙදෙනාගේ පමණක් නොව, ආරාධිත අමුත්තන් බොහෝ දෙනකුගේද ඇස්වල කඳුළු දක්නට ලැබිණි. ඒ තරමටම ඇය හරිම සුන්දර නිහතමානී ආදරණීය කලාකාරියකි.
ආදරණීය ආචාර්ය නන්දා මාලනී කලාකාරිණියනි.... චිරන් ජයතු....
ජීවිතේ කවියක්...
ආදරේ එහි සොඳුරුතම වදනක්...
කඳුළැලි බිඳක් හසරැලි පොදක්...
එකට එක්වූ විට දැනේ...
පෙර නොවිඳි රසයක්....
• දිශානි ජයමාලි කරුණාරත්න
සේයා රූ- සුමුදු හේවාපතිරණ