2025 අගෝස්තු 30 වන සෙනසුරාදා

නරකට හේතුවන ඉලක්කගත අත්අඩංගුවට ගැනීම්

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04 193

රටක නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වනුයේ අධිකරණ පද්ධතියයි. මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒ සඳහා නීතිය හමුවට කැඳවීමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරන ප්‍රධානම රාජ්‍ය ආයතනය වනුයේ ශ්‍රී ලංකා පොලිසියයි. මෙලෙස නීතිය හමුවට කැඳවා නීතියෙන් වරදකරුවකු වන තාක් පසුවන සැකකරුවන් වරදකරුවන් වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් කාලයක සිට දැකිය හැකි ගැටලු‍වක් වනුයේ පොලිසිය මගින් අධිකරණයට පමුණුවන සැකකරුවන් අධිකරණයෙන් නිදහස් වී යාමයි.

එසේ වන්නේ ඔවුන් සියලු‍ දෙනා නිර්දෝෂී පුද්ගලයන් නිසාම නොවේ. එසේ වීමට එක් හේතුවක් වනුයේ වරදකරුවකු කිරීමට අධිකරණය හමුවේ ඉදිරිපත් කරන සාක්ෂි ප්‍රමාණවත් නොවීමයි. මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට කැඳවන පුද්ගලයන් අතරිනුත් ඇතැම් පුද්ගලයන් එම වරදට අදාළ නොවූ අවස්ථාද තිබීම අධිකරණයෙන් නිදහස ලැබීමට හේතු වූ අවස්ථා අපි දැක ඇත්තෙමු. සැකපිට යන වචනය පොලිසියට නිදහසට කරුණක් නොවේ. සැක හිතෙන ඕනෑම කෙනකු සැක හිතුණු පමණින් අල්ලා කූඩුවට දැමීමට පොලිසියට හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පසුගිය සතියේ අප පුවත්පතට විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ පොලිසිය විසින් අධිකරණවල පවරන නඩුවලින් සියයට 95 ක් පමණ පරාජය වන බව අධිකරණ වාර්තා විමර්ශනවලින් පැහැදිලි වන බවයි.

මේ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් සොයා බැලීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඉකුත් 18 වැනිදා ශ්‍රී ලංකා පොලිසිය සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම සහ අනෙකුත් ආයතනික ප්‍රතිසංස්කරණ යන මැයෙන් ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ පොලිස් කොට්ඨාසවල නීතිය හා සාමය පවත්වාගෙන යාමේ ප්‍රාථමික දර්ශකයක් ලෙස පොලිස් ස්ථාන විසින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව භාවිත කිරීම කෙරෙහි කොමිෂන් සභාවේ දැඩි අවධානයක් යොමුවී ඇති බවයි. එහි මෙසේද දැක්වෙයි.

“මෙම පිළිවෙත වසර කිහිපයකට ඉහතදී හඳුන්වා දී ඇති බව පෙනී ගිය අතර, එය තවමත් ක්‍රියාත්මක වෙයි. එවැනි ක්‍රියා පිළිවෙතක් දිගටම පැවතුණහොත් එය අවිධිමත් සන්නිවේදනයක් ඔස්සේ කරන ලද අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම උදෙසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් වෙත කෙරෙන විකෘති දිරිගැන්වීමක් වීමට ඉඩ ඇත. නිල සන්නිවේදන තුළ එවැනි ඉලක්ක නිශ්චිතව දක්වා නොමැති අතර, නිලධාරීන්ගේ උසස්වීම් තීරණය කිරීමේදී අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කාර්ය සාධනය සලකා බලා කටයුතු කළ හැකි බව කොමිෂන් සභාව වෙත දන්වා ඇත.”

එම ලිපියේ දක්වා ඇත්තේ අත්අඩංගුවට ගැනීම් හා අත්තනෝමතික ආකාරයකින් සිදු නොකළ යුතු බවත්, පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමක් සිදුකරන සෑම පොලිස් නිලධාරියකුටම එහි අවශ්‍යතාව සාධාරණීකරණය කිරීමට හැකි විය යුතු වන්නේ එම පුද්ගලයා වරදක් කර ඇති බවට සාධාරණ සැකයක් මත සිදුකරන මූලික පොලිස් විමර්ශනයකින් පසුව විය යුතු බවත්ය.

පොලිස් අත්අඩංගුවට පත්වන්නන් අධිකරණයට ඉදිරිපත් කරනුයේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට යොදාගන්නා බී වාර්තාවක් මගිනි. මෙම බී වාර්තාව සැකසෙනුයේ පොලිස් පොතේ පැමිණිල්ල සහ ඒ ඇසුරෙන් පොලිසියෙන් කළ මූලික විමර්ශන ඇසුරෙනි. එහෙත් පොලිස් පොතේ ලියවෙන පැමිණිල්ලේ සහ විමර්ශනවල අඩුලු‍හුඬුකම් හේතුවෙන් සැබෑ වරදකරුවන් වුවත් නීතිය ඉදිරියේ වරදකරුවන් වීමට තරම් සාක්ෂි සැපයීමට පොලිසිය අපොහොසත් වෙයි.

පැමිණිල්ලක් ලිවීම අතිශය වගකීම් සහගත බාරදූර කාර්යයක් වුවත්, ඒ සඳහා බොහෝ පොලිසිවලින් දක්වනුයේ අඩු සැලකිල්ලකි. පොලිසියේ සිටින ආධුනිකම නිලධාරියා හෝ නිලධාරිනිය ඒ සඳහා යොදවා සිටිනු දැකිය හැකිය. පැමිණිලිකරුගෙන් ලබාගන්නා තොරතුරුවල ගුණාත්මක බව ඉදිරි විමර්ශන කණපිට හැරවීමට සමත් විය හැකිය. ඒ මන්ද යත් පැමිණිලිකරුම වරදකරු වූ අවස්ථාද ‍මේ කියන ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාවයෙන් කොටු කරගත් අවස්ථා අපි දැක ඇත්තෙමු. එහෙයින් ‍පැමිණිල්ලක් සටහන් කරගැනීම පොලිස් රාජකාරියේ ප්‍රාථමික කාර්යයක් බවට සැලකීම හේතුවෙන් එය ඉදිරි විමර්ශනවලට සහ අපරාධකරුවන්‍ නීතියේ රැහැනින් ගැලවී යාමටද රුකුල් සපයයි.

මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන් තමන්ට ලබා දී ඇති ඉලක්ක (ටාගට්) සම්පූර්ණ කිරීම සඳහා කරන ඇතැම් අනීතික අත්අඩංගුවට ගැනීම් මෙම තත්ත්වයට බලපා ඇති බවයි. මෙය බොහෝ අවස්ථා රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන බව කියන ක්‍රියාවක් බවට ප්‍රසිද්ධ රහසකි.

කෙසේ වෙතත් අපරාධ නඩු විසඳීමේදීත් නඩු කටයුතු ප්‍රමාද වීමට සාක්ෂි ප්‍රමාණවත් නොවීම සහ පොලිස් විමර්ශනවල අඩුලු‍හුඬුකම් හේතු වන බවට අපි දැක ඇත්තෙමු. ඇතැම් අවස්ථාවල ‍ගමේ නගරයේ ප්‍රදේශයේ සැකසහිත පුද්ගලයන් නිසි විමර්ශනවලින් තොරව පොදු සැකය මත පිහිටා පමණක් වෙනත් අපරාධවලට අධිකරණය හමුවට කැඳවීමෙන් එම අපරාධවල අධිකරණ ක්‍රියාමාර්ගවලට ගතවන කාලය අපතේ යාමද දැකිය හැකිය.

“පෙම්වතියගේ උපන්දිනයට තෑගි ගැනීමට මුදල් නොදුන් නිසා මව මරා දැමූ කොටකෙතන අජාසත් පුතා” යනුවෙන් පසුගිය කාලයේ කරළියට පැමිණි කතාවද ඒ හා සමානය. කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන රැල්ලක් පැවති සමයක නිවෙසක මවගේ ඝාතනයට සැකපිට පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණමය ක්‍රියාවලියක් අතරතුර රිමාන්ඩ් භාරයේ පසු වූ මෙම පුත්‍රයා පසුව දිවිනසාගන්නා තරමට ඔහුගේ මානසික පීඩාව උග්‍ර විය. මෙම මවගේ සැබෑ ඝාතකයා ලෙස පසුව වෙනත් සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර, පුත්‍රයාගේ නිර්දෝෂී බව සමාජයට පසක් වීමට පෙර ඔහු ජීවිතයෙන් සමුගත්තේ සමාජ වෛරයක් සමගිනි. මේ එක් කතාවක් පමණකි. බඩල්ගම සේයා සදෙව්මි ඝාතනයද මේ හා සමානය. පොදු සැකය මත අත්අඩංගුවට ගත් සැකකරු වෙනුවට වෙනත් සැකකරුවකු වරදකරු වුවද, ඒ තරම් ඉක්මනින් පෙර සැකකරුට එල්ල වූ අවමානය අපහාසය සමාජයෙන් නිවැරැදි වන්නේ නැත. එහෙයින් නීතිය හමුවට කැඳවන පොලිසියට මෙයට වඩා වගකීමක් තිබිය යුතුය.

පොලිසියේ අනීතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කරමින් දක්වා ඇත්තේ, අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක සඳහා පොලිස් නිලධාරීන්ට බලපෑම් නොකළ යුතු බවත්, අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක වෙනුවට ලැබුණු පැමිණිලිවල ප්‍රතිශතයක් ලෙස විසඳූ නඩු ගණන, සාර්ථක නඩු පැවරීම්වලට තුඩුදෙන අත්අඩංගුවට ගැනීමේ අනුපාතය, පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය සහ පොලිස් බලප්‍රදේශවල අපරාධ අවම කිරීම ආදී මිනුම් සලකා බැලිය යුතු බවයි.

2019 වසරේදී එවක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලිපියක් නිකුත් කර ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී සලකා බැලිය යුතු නිර්දේශ පිළිබඳ පෙන්වා දෙමිනි. එකී කොමිෂන් සභා ලිපියට ප්‍රතිචාර දක්වමින් පොලිසිය මගින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සියලු‍ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සී‍.ආර්.ටී.එම්. 285 පෝරම අංක යටතේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් 2019 අගෝස්තු මාසයේදී උපදෙස් ලබා දී ඇත. එහි සඳහන් වනුයේ අත්අඩංගුවට ගැනීමක් කරන සෑම අවස්ථාවකම නිසි විමර්ශනයකට අනුව සාධාරණ සැකයක් ඇතිකිරීම පිළිබඳ ස්ථිර සාක්ෂි තිබීම වැදගත් වන බවත්, අත්අඩංගුවට ගැනීම ප්‍රවාදක සාක්ෂි මත පදනම් නොවිය යුතු බවත්ය. එසේම රසායනික ද්‍රව්‍ය, පරිගණක ලිපිගොනු වීඩියෝ දර්ශන සහ ඒ හා සමාන දෑ හඳුනා ගැනීමේදී ඒ පිළිබඳ විශේෂඥ මත ලබාගත යුතු බවත්, අත්අඩංගුවට ගත යුතු වන්නේ විශ්වසනීය තොරතුරු ලැබීමෙන් පසුව බවත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීම සඳහා වැරැදි සොයා යා යුතු නොවන බවත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මාලාවේ පැහැදිලිව අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය යනු මෙරට විශාලතම රාජ්‍ය ආයතනය වන අතර, එහි සමස්ත ක්‍රියාදාමය සහ කාර්යභාරය සුළු කොට තැකිය නොහැකි බව අවිවාදිත කරුණකි. සුළුතරයකගේ වැරැදිවලින් බහුතරයක් නීත්‍යනුකූල නිලධාරීන්ට සිදුවන අපහසුතාව වළක්වාලීමටත්, කාර්යක්ෂම පොලිස් සේවයක් වෙනුවෙන් කැපවීමටත් පොලිස් සේවය සඳහා විධිමත් ක්‍රමවේද හඳුන්වාදීමත් අත්‍යවශ්‍යය.

• සසංක චලන ගිම්හාන