ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා වසරකට සීනි මෙට්‍රික් ටොන් හයලක්ෂ පනස්දහසක් පමණ අවශ්‍ය වේ. ඉන් ගෘහස්ථ පරිභෝජනය සඳහා සීනි මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස්දහසක් පමණ අවශ්‍ය වන අතර, කර්මාන්ත සඳහා තුන්ලක්ෂ හැටදහසක් පමණ අවශ්‍යය. මෙම සීනි අවශ්‍යතාවයෙන් මෙරට නිපදවන්නේ 10% ක් වැනි ප්‍රමාණයකි. ඉතිරි 90% ආනයනික සීනිය. වර්තමානයේ දේශීයව නිපදවන සීනි ප්‍රමාණයවත් නිසි පරිදි නිපදවාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැව් පෙනී යන්නේ මේ වන විට සීනි කර්මාන්තශාලා ඇසුරේ නිර්මාණය වී ඇති අර්බුද හේතුවෙනි. මෙරට සීනි නිෂ්පාදනය කළ කර්මාන්තශාලා හතරකි. ඒ ඇතිමලේ, හිඟුරාන, පැලවත්ත හා සෙවණගලය.
1986 වසරේ ලංකා සීනි සමාගමට අයත් සෙවණගල සීනි කර්මාන්තශාලාව ආරම්භ කෙරුණේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් යම් ප්‍රමාණයක් නිපදවා ගැනීමේ අරමුණිනි. වරින් වර විවිධ කඩාවැටීම් හමුවේ එය පවත්වාගෙන ගියද මේ වන විට යළි අර්බුදයකට මුහුණ පා තිබේ.
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අතර මේ වන විට සෙවණගල සීනි කර්මාන්තශාලාව මගින් උක් අස්වැන්න බාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබීම හේතුවෙන් උක් ගොවීහු විශාල අර්බුදයකට මුහුණ පා සිටිති. සාමාන්‍යයෙන් උක් කපා කර්මාන්ත ශාලාවට බාරදිය යුත්තේ ඒවා වගා කර මාස 12ක වැනි කාලයකදීය. මාස 12න් කැපිය යුතු උක් අස්වැන්න මාස 15ක් හෝ ඊට වැඩි කාලක් තිස්සේ කැපීමට නොහැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත. සෙවණගල සීනි කර්මාන්තශාලාව උක් ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ එහි එක් කැපුම් යන්ත්‍රයක් (කටර්) මාස දෙකක පමණ කාලයක සිට අක්‍රියව පැවතීම හේතුවෙනි. එහෙයින් දැන් කැපුම් කටයුතු කෙරෙනුයේ එක් යන්ත්‍රයකින් බැවින් ලබාගන්නා උක් ප්‍රමාණය සීමා කර ඇති අතර, සීනි නිෂ්පාදන ධාරිතාවද පහත වැටී තිබේ. එම කැපුම් යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමට පාලන අධිකාරිය කිසිදු උත්සාහයක් නොගන්නා බව ගොවිසෙත ඒකාබද්ධ බලමණ්ඩලයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත සුරාජ් මහතා සඳහන් කළේය. සාමාන්‍යයෙන් උක් ටොන් එකකින් සීනි කිලෝ 70ක් පමණ නිපදවුවද යන්ත්‍රයේ අර්බුදය හේතුවෙන් එය සීනි කිලෝ 35ක් දක්වා පහත වැටී ඇතැයිද ඔහු සඳහන් කළේය.
උක් අස්වනු නෙලා කඩිනමින් ඇඹරිය යුතුය. කල් ගතවත්ම උක් ගසෙන් ලබාගත හැකි ඵලදායිතාව හීන වේ. පසුගිය දිනවල කර්මාන්ත ශාලාවට බාරදීම සඳහා රැගෙන ආ උක් ටොන් 4000ක් පමණ කර්මාන්තශාලාව ඉදිරිපස ගොඩගසා ඇති අතර, කර්මාන්ත ශාලාවට උක් සැපයූ ගොවීන්ට ලක්ෂ 2500ක් පමණ මුදලක් හා ට්‍රැක්ටර් රථ රියැදුරන්ට ලක්ෂ 70ක් පමණ මුදලක් තවමත් ගෙවා නොමැති යැයි ප්‍රියන්ත සුරාජ් මහතා සඳහන් කළේය.
උක් ගොවිතැනේ නියැලෙන ගොවි පවුල් 4000ක පමණ සාමාජිකයන් 10,000කට අධික පිරිසක් සෙවණගල ලංකා සීනි සමාගමේ කර්මාන්ත ශාලාවට උක් ලබා දී ජීවනෝපාය සරිකර ගනිති. සෙවණගල උක් කර්මාන්තශාලාව නිසා වක්‍රව ජීවත් වන තවත් පිරිසක් වන්නේ අම්පාර, නුවරඑළිය, කන්තලේ, මාතලේ, පල්ලෙකැටුව වැනි ප්‍රදේශවලින් පැමිණ උක් කැපීමේ නිරත ජනතාවය. ඔවුහු උක් කැපීමෙන් මසකට එක්ලක්ෂ හැත්තෑපන්දසක් පමණ උපයා ගනිති. මේ දිනවල උක් කැපීම නවතා ඇති හෙයින් ඔවුන්ගේ ජීවනෝපායටද කණකොකා හඬා තිබේ. මෙම තත්ත්වය සෙවණගලට පමණක් නොව අනිකුත් සීනි කම්හල්වලටද බලපා තිබේ.
තම උක් අස්වැන්න කර්මාන්ත ශාලාවට බාරගන්නා ලෙසටත්, තමන්ට ගෙවීමට ඇති හිඟ මුදල් වහා යළි ලබාදෙන ලෙසටත් ඉල්ලමින් ඔවුන් අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ කිහිපයකම නිරත වුවද තවමත් ඒ සඳහා විකල්පයක් ලැබී නොමැත. පරිපාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් සියලුම උක් ගොවීන් දස අතේ ණය වී ඇති බවත්, වැඩි පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට පත්ව ඇති බවත් සඳහන් කළ ප්‍රියන්ත සුරාජ් මහතා, නව රජය පත්වන විට සීනි ටොන් 33,000ක්ද, ස්ප්‍රීතු ලීටර් මිලියන 5ක්ද සෙවණගල කර්මාන්ත ශාලාවේ තිබූ බවට කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත්, මේ වන විට ඉන් ඉතිරිව ඇත්තේ සීනි ටොන් 1750ක් බවත්, ඉතිරි සීනි විකුණාගත් මුදල් ගොවීන්ට නොගෙවා බලධාරීන්ගේ හා සේවකයන්ගේ සුඛවිහරණයට යොදාගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.
උක් ලබා ගැනීම සඳහා පාලනාධිකාරිය කිසිදු පියවරක් ගෙන නොමැති යැයි පෙන්වා දෙන සෙවණගල ඒකාබද්ධ ගොවි බලමණ්ඩලයේ සභාපති රුවන් සංජීව කුමාර මහතා ප්‍රකාශ කළේ මාස ගණනක සිට අබලන්ව ඇති යන්ත්‍රයක මෝටරය ප්‍රතිසංස්කරණය කර යළි නිෂ්පාදනය ආරම්භ කිරීමට සෙවණගල සීනි සමාගමේ කිසිදු නිලධාරියකු කටයුතු නොකරන බවටය. ගොවීන්ගේ උක් අස්වැන්න දිනක් බාර ගතහොත් යළි දින දෙකක් බාර නොගන්නා බවද ඔහු සඳහන් කළේය.
ලංකා සීනි සමාගම 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා උක් ටොන් තුන්ලක්ෂ විසිපන්දහසක් පමණ ඇඹරීමට යෝජනා කර තිබිණි. එහෙත් මේ වන විට ඉන් අඩක් හෝ සපුරා නොමැති යැයි ගොවීහු චෝදනා කරති. ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායිකා දීපිකා ගුණරත්න මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කළේ, අතීතයේ සිට පැවැති ආකාරයට උක් ලබාදුන් විට අත්තිකාරම් මුදලක් ලබා දී මසකට පසුව මුළු මුදල ලබාදෙන අතර, පසුගිය කාලයේ යම් අතපසුවීම් සිදුවීම මත ගෙවීම් ප්‍රමාද වී තිබීම හේතුවෙන් ගොවීන් සහ ට්‍රැක්ටර් හිමිකරුවන් යම් ගැටලුවකට පත්ව ඇති බවයි. මේ වසරේ ගොවීන් 531 දෙනකුගෙන් උක් මෙට්‍රික් ටොන් 45,919ක් ලබාගෙන ඇති අතර, ඒ සඳහා මේ වන විට අත්තිකාරම් වශයෙන් මිලියන 243.9ක ගෙවීම් කර ඇති බවද ඒ හා සමාන මුදලක් ගෙවීමට ඇති බවද ඇය සඳහන් කළාය. ඔවුන්ගේ සියලු මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු කරන අතර, දෙසතියක පමණ කාලයකින් සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවද, ට්‍රැක්ටර් හිමිකරුවන් සඳහා අත්තිකාරම් මුදලක් ගෙවා ඇති අතර තවත් මිලියන 73.2ක ප්‍රමාණයක් ගෙවීමට ඇති බවද සඳහන් කළාය.
අර්බුදය හමුවේ මාස 15ක පමණ කාලයක් ගතවී ඇතත් තවමත් කැපීමට නොහැකි උක් ටොන් දෙලක්ෂයක පමණ ප්‍රමාණයට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ගොවීහු ප්‍රශ්න කරති. ගොවි සංවිධාන සඳහන් කරන පරිදි මෙම අර්බුදයට හේතු වී ඇත්තේ කළමනාකාරිත්වයේ දුර්වලතාය. සෙවණගල පමණක් ගොවි සංවිධාන 34ක් ඇත. පසුගිය කළමනාකාරිත්වය නිරන්තරයෙන් ගොවි සංවිධාන සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළද වර්තමාන පාලනාධිකාරිය ගොවි සංවිධාන සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවට ඔවුහු චෝදනා කරති. 2021 සිට 2024 දක්වා කාලය තුළ මෙම සීනි කර්මාන්තශාලාව සාර්ථකව පවත්වාගෙන ගිය අතර, 2015 වසරේ සිට 2021 දක්වා උක් ටොන් එකකට ගෙවන ලද රුපියල් 5000ක මුදල දසදහස දක්වා වැඩි කළ බවද, 2021ට පෙර 290ක් වැනි මිලකට පැවැති එතනෝල් මිල 1200 දක්වා වැඩිකර ගැනීමට එවක සිටි පාලනාධිකාරිය සමත් වූ බවද ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට කර්මාන්තශාලාව සීනි කිලෝවක් අලෙවි කරනුයේ රුපියල් 200ට වුවද එහි නිෂ්පාදන වියදම රුපියල් 284කි. දුඹුරු සීනි සඳහා 18ක බද්දක් සහ 2.5% ක සමාජ ආරක්ෂණ බද්දක් පනවා තිබේ. ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා කියා සිටියේ, පසුගිය දිනෙක දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණි සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා තව සති තුනක් පමණ ඉවසා සිටින ලෙස දැන්වූ බවත්, දැනට කර්මාන්ත ශාලාවේ ඇති එතනෝල් විකුණා ගොවි ගැටලු විසඳන බැව් ප්‍රකාශ කළද ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත්ය.
“ආණ්ඩුව දැනට කර්මාන්ත ශාලාවේ ඇති සීනි ටික විකුණන්න වැඩපිළිවෙළක් සකසන්නේ නැහැ. දුඹුරු සීනි සඳහා පනවා ඇති අධික වැට් බදු හේතුවෙන් දුඹුරු සීනි අලෙවි කරගත නොහැකි වී තිබෙනවා. සුදු සීනි සඳහා වැට් බද්දක් නොමැති හෙයින් ඒවා කිලෝවක් රුපියල් 220ට පාරිභෝගිකයාට මිලදී ගැනීමට හැකි අතර, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 260ත් 280ත් වැනි මිලක් වන හෙයින් ඒවා අලෙවි කරගත නොහැකි වෙලා. එමෙන්ම බඩඉරිඟු භාවිතයෙන් එතනෝල් නිෂ්පාදනය කරන්න බලපත්‍ර ලබා දීලා. ඒ නිසා සමාගම සතු එතනෝල් විකුණාගන්න බැහැ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. නිසි වැඩපිළිවෙළක් සකස් කර සීනි කිලෝව රුපියල් 200ටත් එතනෝල් ලීටරය රුපියල් 800ක් වැනි මිලකටත් විකිණීමට පියවර ගත යුතු යැයිද එසේ නොවුණහොත් මෙම කර්මාන්තයට ඍජුවම සම්බන්ධ වන මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000ක් සහ දසදහසක් පමණ වන කම්කරු පිරිස ඇතුළුව ලක්ෂ දෙකකට අධික පිරිසකට බලපාන බවද ඔහු සඳහන් කළේය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා