මහජන මුදල් භාවිත කරමින් විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට සහ මහජන නියෝජිතයන්ට වරප්‍රසාද ලබාදීම සාධාරණද? අසාධාරණද? මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ. රටක් ලෙස ආර්ථික අභියෝගවලට මුහුණදෙන මොහොතක මෙම වරප්‍රසාද සඳහා වැය වන විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව මෙවන් සංවාදයක් ඇතිවීම යුක්ති සහගතය. එහෙත් මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. ලෝකයේ බොහෝ රටවල්ද මෙම සංවාදයට මුහුණ දී ඇති අතර, ඇතැම් රටවල් දැනටමත් මේ සඳහා තීරණාත්මක පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම ලිපියෙන් ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක හිටපු පාලකයන්ට හිමි වරප්‍රසාද පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එසේම ඇතැම් රටවල වරප්‍රසාද කප්පාදු කිරීමට ගත් පියවර සහ එම තීරණ පිටුපස ඇති දේශපාලනික හා සදාචාරාත්මක සාධක විමසා බලමු.
සියල්ලට පෙරාතුව ශ්‍රී ලංකාවේ වර්තමානය තත්ත්වය පිළිබඳ කෙටි අදහසක් ලබාගත යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවේද හිටපු රාජ්‍ය නායකයන් සහ මන්ත්‍රීවරුන් සඳහා දැනට පවතින වරප්‍රසාද වෙනස් කිරීමට නව පනත් කෙටුම්පත් සකස් වෙමින් පවතී. ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත’ සහ ‘පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත’ සංශෝධනය ඒ අතර ප්‍රධානය.
මෙම පනත් මගින් වරප්‍රසාද කප්පාදු කිරීමට සහ මහජන මුදල් කාර්යක්ෂමව භාවිත කිරීමට රජය බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් මේ හා සම්බන්ධව විපක්ෂ දේශපාලන කණ්ඩායම් තුළ බරපතළ විවේචන නිර්මාණය වී ඇත. සාමාන්‍යයෙන් විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට වරප්‍රසාද ලබාදීම සාධාරණීකරණය කරනු ලබන්නේ රටේ ගෞරවය, ආරක්ෂාව සහ ඔවුන්ගේ අත්දැකීම්වලට ගරු කිරීම මතය.
කෙසේ වෙතත් මෙම තත්‍ත්වය පිළිබඳ විධිමත් හරයාත්මක සංවාදයක අවශ්‍යතාව මේ වන විට නිර්මාණය වී තිබේ. ලෝකය දෙස අවධානය යොමු කරමින් අපි මේ සඳහා පළමු පියවර තබමු. අපගේ පළමු අවධානය යොමුවන්නේ අසල්වැසි ඉන්දියාව දෙසටයි. ඉන්දියාවේ හිටපු අගමැතිවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳ විස්තරාත්මක තොරතුරු අප කළ සොයා බැලීම්වලදී හමුවිය. ඉන්දීය රාජ්‍ය නායකයන්ට මාසික විශ්‍රාම වැටුපක් ලැබෙන අතර, මෙම මුදල ඉන්දීය රජයේ ඉහළම වැටුපට සම්බන්ධ වන අතර, එය 50% කට සීමා වේ. මෙම විශ්‍රාම වැටුප ලබාදෙන්නේ හිටපු අගමැතිවරයාට ගෞරවාන්විතව සහ මූල්‍යමය ස්ථාවරත්වයකින් යුතුව විශ්‍රාම ජීවිතය ගත කිරීමේ අවස්ථාව ලබා දීමටයි.
මීට අමතරව ඉන්දීය හිටපු අග්‍රාමාත්‍යවරුන්ට කාර්යාල කටයුතු සඳහා සහාය වීමට ලේකම් කාර්ය මණ්ඩලයක් ලබා දෙයි. මෙම කාර්ය මණ්ඩලයට පෞද්ගලික ලේකම්වරයෙක්, අතිරේක පෞද්ගලික ලේකම්වරයෙක්, පෞද්ගලික සහායකයෙක් සහ කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනෙක් ඇතුළත් වෙති. මෙම සියලු දෙනාගේ නඩත්තුව සඳහා වන වියදම් රජය විසින් දරනු ලබයි. මෙම සේවකයන් සිටීමෙන් හිටපු අගමැතිවරයාට විශ්‍රාම ගැනීමෙන් පසුවද තම රාජ්‍ය කටයුතු හා සම්බන්ධ ලිපිලේඛන සහ වෙනත් කාර්යයන් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
නිවාස පහසුකම් ලෙස රජයේ අමාත්‍යවරයකුගේ නවාතැන් හා සැසඳිය හැකි ගෘහ භාණ්ඩ සහිත නිවෙසක්, ජලය සහ විදුලි ගාස්තු ඇතුළුව කුලිය රහිතව සපයනු ලැබේ. මෙය ඔවුන්ගේ සමාජ තත්ත්වය සහ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වේ. සංචාරක පහසුකම්ද සැලකිය යුතු මට්ටමක පවතී. ඔවුන්ට සහ ඔවුන්ගේ කලත්‍රයාට දුම්රිය සහ ගුවන් ගමන් ඇතුළු ගමන් දීමනා සඳහා හිමිකම් ඇති අතර සේවකයකු ද රැගෙන යා හැකිය.
ආරක්ෂක පහසුකම් අතර ඉන්දියාවේ ඉහළම මට්ටමේ ආරක්ෂාව ලෙස සැලකෙන Z+ ආරක්ෂාව ඔවුන්ට සපයනු ලැබේ. මෙය ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. සන්නිවේදනය සඳහා නිල සහ පෞද්ගලික භාවිතය සඳහා දුරකතන සහ අන්තර්ජාල පහසුකම් ලබාදෙන අතර, කාර්යාල වියදම් සඳහා ද වාර්ෂිකව මුදලක් වෙන් කරනු ලැබේ. සෞඛ්‍ය සේවා සහ වෙනත් අමතර දීමනා ද රජයේ නීතිරීතිවලට අනුව ඔවුන්ට හිමිවේ.
මීළඟට අපගේ අවධානය යොමුවන්නේ තවදුරටත් ලෝක බලවතා ලෙස පෙනී සිටීමට උත්සාහ දරන එක්සත් ජනපදය වෙතටයි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන්ට 1958 වර්ෂයේදී ක්‍රියාත්මක වූ Former Presidents Act (FPA) පනත යටතේ විශේෂ වරප්‍රසාද හිමිවේ. ජීවිත කාලය පුරාම වාර්ෂික විශ්‍රාම වැටුපක්, කාර්යාල පහසුකම්, කාර්ය මණ්ඩල දීමනා, ගමන් වියදම් සහ රහස් සේවයේ (Secret Service) ආරක්ෂාව මේ අතර ප්‍රධාන වේ. මෙම පනත හඳුන්වා දුන්නේ විශ්‍රාමයෙන් පසු ජනාධිපතිවරුන්ට මුහුණදීමට සිදුවන මූල්‍ය දුෂ්කරතා මගහරවා ගැනීමටය.
බ්‍රිතාන්‍යයේද හිටපු අගමැතිවරුන්ට "Public Duty Costs Allowance (PDCA)" ලෙස හැඳින්වෙන දීමනාවක් හිමිවේ. මෙම දීමනාව ඔවුන්ට විශ්‍රාමයෙන් පසුවද ඔවුන්ගේ රාජ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන කාර්යාල සහ පරිපාලන වියදම් සඳහාය. මීට අමතරව ඔවුන්ට ආරක්ෂාවද දිගටම ලැබේ.
ප්‍රංශය හිටපු ජනාධිපතිවරුන්ට ඉතා පුළුල් වරප්‍රසාද ලබාදෙන රටක් ලෙස ප්‍රසිද්ධය. ඒවාට මාසික විශ්‍රාම වැටුපක්, නිල නිවෙසක්, රියැදුරන් දෙදෙනෙක් සහිත මෝටර් රථයක්, කාර්ය මණ්ඩල සාමාජිකයන් හත්දෙනෙක් සහ ගෘහ සේවකයන් දෙදෙනෙක් ඇතුළත් වෙති. මීට අමතරව ඔවුන්ට ගමන් බිමන් සඳහා නොමිලේ ප්‍රවේශපත්ද හිමි වේ.
මේ අනුව ලෝකයේ බොහෝ රටවල්වල හිටපු පාලකයන්ට වරප්‍රසාද ලබාදෙන බව පැහැදිලිය. ඒ නමුත් මෙම ක්‍රමවේද සඳහා වැය වන විශාල මුදල් ප්‍රමාණය සහ දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව මහජනතාව තුළ ඇතිවන විවේචන හේතුවෙන් ඇතැම් රටවල් සිය ප්‍රතිපත්ති වෙනස් කර තිබේ. මෙම වෙනස්කම් පිටුපස ඇති ප්‍රධානතම හේතුව වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ දූෂණ විරෝධී පියවරයි.
ජර්මනියේ හිටපු චාන්සලර්වරුන්ගේ (අග්‍රාමාත්‍ය) වරප්‍රසාද සීමා කිරීම සඳහා නව නීති හඳුන්වා දී ඇත. හිටපු චාන්සලර් ගර්හාර්ඩ් ශ්‍රෝඩර්ගේ සිද්ධිය මෙයට හොඳම උදාහරණයකි. රුසියාව සමඟ ඇති සමීප සබඳතා නිසා ඔහුට එල්ල වූ විවේචන හේතුවෙන්, පාර්ලිමේන්තුව තීරණය කළේ ඔහුට රාජ්‍ය වියදමින් ලබාදී තිබූ කාර්යාලය සහ එහි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමටය. මෙම තීරණය “ඔහුගේ තනතුරෙන් පැන නගින අඛණ්ඩ රාජකාරි” මත පදනම්ව වරප්‍රසාද ලබාදිය යුතු බවට වූ නව රෙගුලාසියක් මත ගෙන ඇත. ශ්‍රෝඩර් ඔහුගේ නිල රාජකාරිවලින් බැහැරව කටයුතු කිරීම නිසා මෙම වරප්‍රසාද අහිමි විය. මෙම සිද්ධිය පෙන්වා දෙන්නේ, රාජ්‍ය නායකයන්ට විශ්‍රාමයෙන් පසුව වුවද ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් වගකීමක් ඇති බවය.
මෙක්සිකෝවේ හිටපු ජනාධිපතිවරුන්ට ලැබුණු ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුප් සහ ආරක්ෂක පහසුකම් අහෝසි කිරීමට 2018 වසරේදී නව ජනාධිපති ඇන්ඩ්‍රසේ මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් පියවර ගත්තේය. ඔහු මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ පරිදි, හිටපු රාජ්‍ය නායකයන්ට ලැබුණු වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අහෝසි කළ අතර, මින්පසු ඔවුන්ට හිමිවන්නේ සාමාන්‍ය පුරවැසියකුට ලැබෙන මට්ටමේ විශ්‍රාම වැටුපක් පමණි. මෙම තීරණයට ප්‍රධාන හේතුව වූයේ දූෂණය සහ රාජ්‍ය වියදම් පාලනය කිරීමයි.
මේ අතර කැනඩාවද සිය මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන නමුත් 2016 වසරේදී සම්මත කළ නීතියක් මගින් වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අහිමිවන බවට නීති පනවා තිබේ. මෙය මහජන නියෝජිතයන්ගේ වගවීම තහවුරු කිරීමට ගත් වැදගත් පියවරකි. මෙවැනි නීති මගින් දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීමට දේශපාලනඥයන්ට දැඩි පණිවිඩයක් ලබා දෙයි.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන ආරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් විටින් විට වෙනස්කම් සිදුවී ඇති බවද සිහිපත් කළ යුතුය. 1994 වර්ෂයේදී සම්මත වූ නීතියකින් තීරණය වුණේ 1997න් පසු පත්වන ජනාධිපතිවරුන්ට ජීවිත කාලය පුරාම හිමිවූ රහස් සේවයේ (Secret Service) ආරක්ෂාව වසර 10කට පමණක් සීමා කළ යුතු බවකි. නමුත් හිටපු ජනාධිපතිවරුන්ට එල්ලවිය හැකි තර්ජන වැඩිවීම සහ ආරක්ෂාවේ වැදගත්කම සලකා බලා 2012 වර්ෂයේදී සම්මත වූ 'Former Presidents Protection Act' පනත මගින් නැවතත් සියලුම හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ආරක්ෂාව ලබාදීම ආරම්භ කෙරිණි. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ පාලකයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳ ප්‍රතිපත්ති ජාතික ආරක්ෂාව වැනි සාධක මත පදනම්ව වෙනස් විය හැකි බවයි.
මේ අනුව විමසා බලන විට මෙම සංවාදය ඉතා බරපතළ සහ පුළුල් පරාසයක පැතිර යන බව පැහැදිලිය. මෙම සංකීර්ණතාව අවබෝධ කරගැනීමේ පහසුව මත දකුණු ආසියානු කලාපයේ තත්ත්වය යම් පමණකින් හෝ විමසා බැලීම වටී. දකුණු ආසියාතික කලාපයේ දේශපාලන සංස්කෘතිය තුළ ද පාලකයන්ට විශ්‍රාමයෙන් පසු වරප්‍රසාද ලබාදීම සාමාන්‍ය සිරිතකි.
බංග්ලාදේශයේ හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් හිමිවන අතර, එය ඔවුන්ගේ අවසාන වැටුපෙන් 75% කි. මීට අමතරව ඔවුන්ට පෞද්ගලික සහායකයකු, ගෘහ සේවකයකු, නිල වාහන භාවිත කිරීමේ පහසුකම, දුරකතන බිල්පත් සහ වෛද්‍ය පහසුකම් ලබා දී තිබේ. ඔවුන්ට රාජ්‍ය නිල නිවාඩු නිකේතන නොමිලේ භාවිත කිරීමටත්, තානාපති ගමන් බලපත්‍රයක් හිමිකර ගැනීමටත් අවස්ථාව උදාකර දී ඇත.
පාකිස්ථානයේද හිටපු ජනාධිපතිවරුන්ට ජීවිත කාලය සඳහා විශ්‍රාම වැටුපක්, රාජ්‍ය වියදමින් පවත්වාගෙන යන නිල නිවෙසක්, ආරක්ෂාව, රියැදුරකු සහ වාහනයක් සහ නිල ගමන් බිමන් සඳහා පහසුකම් හිමිවේ. හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවටද ඔවුන්ගේ ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුප් සහ වෙනත් පහසුකම් ලබාදීමට පාකිස්ථානය කටයුතු කර ඇත.
මෙවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකාව ගනු ලැබීමට බලාපොරොත්තු වන තීන්දුව තරමක් පෙරැළිකාර එකක් බව පැහැදිලිය. කෙසේ වෙතත් වර්තමාන ලෝකය තුළ විශ්‍රාමික රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ යම් ප්‍රවණතාවක් පවතින බවද බැහැර කළ නොහැකි සත්‍යයකි. කෙසේ වෙතත් අප විමසා බැලූ උදාහරණ ඇසුරෙන් මේ කරුණ අරභයා පවතින ගැඹුරු දේශපාලනික හා සදාචාරාත්මක ගැටලුව කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කළ හැකිය.
රාජ්‍ය නායකයන් සහ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලබාදීම පිටුපස ඇති එක් ප්‍රධාන තර්කයක් වන්නේ ඔවුන්ගේ සේවය සඳහා ගෙවීමක් ලෙස මෙය සැලකීමයි. නමුත් රටක් අරාජිකත්වයට හෝ බංකොලොත්භාවයට පත් කිරීමට වගකිවයුතු පාලකයන්ට විශ්‍රාම ගිය පසුද එම රටේ මහජන මුදලින් සුවපහසු ජීවිතයක් ගත කිරීමට ඉඩ දීම සදාචාරාත්මකව යුක්ති සහගත දැයි ප්‍රශ්නයක් මතුවේ. මෙවැනි තත්ත්වයන් යටතේ මහජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන අතර, එය ප්‍රජාතන්ත්‍රවාදයේ හරයටම හානිකරය. වගකීම් විරහිත පාලනයකට ත්‍යාග පිරිනැමීමක් ලෙස මෙය ජනතාවට හැඟී යා හැකිය.
කෙසේ වෙතත් රට වෙනුවෙන් සුවිශේෂී සේවයක් සිදුකළ රාජ්‍ය නායකයන්ව රාජ්‍ය විසින් අතහැර දැමීම යුක්ති සහගත ද යන්න ගැටලුවකි. රාජ්‍ය නායකයෙක් යනු යම් මොහොතක ජනතා පරමාධිපත්‍යය මතින් බිහිවන චරිතයකි. ඔහු ගනු ලබන සියලුම තීන්දු තීරණ සඳහා ප්‍රජාතාන්ත්‍රික පිළිගැනීමක් තිබේ. සමත්කම් අසමත්කම් කෙසේ වෙතත් රටකට සිය පූර්ව පාලකයා අමතක කර දැමීමට තරම් අකෘතඥ විය හැකිද යන්න ගැටලුවකි. එසේම එවන් තත්ත්වයක් පාලන ව්‍යුහයට සහ රාජ්‍ය ප්‍රතිරූපයටද හානි විය හැකි බවට අදහසක් පවතී.
ඒ අනුව මෙම ගැටලුවට එක් නිශ්චිත පිළිතුරක් ලබාදීම අපහසුය. ලෝකයේ රටවල් ගත් තීරණ සලකා බලන විට පැහැදිලි වන්නේ, දේශපාලනඥයන්ට වරප්‍රසාද ලබාදීම සහ නොදීම අතර පැහැදිලි සීමාවක් ඇඳිය නොහැකි බවයි. එය එක් එක් රටෙහි ආර්ථික තත්ත්වය, දේශපාලන සදාචාරය සහ ජනතා අපේක්ෂා මත රඳා පවතී. ඒ අනුව මෙම සංවාදය අවසානයේ, ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා වඩාත් සුදුසු විසඳුම් සොයා ගැනීම සඳහා අපට විවෘත මනසකින් හා බුද්ධිමත්ව සිතීමට සිදුවනු ඇත. සැබවින්ම මෙය හුදෙක් දේශපාලන සංදර්ශනයක් හෝ දේශපාලන පළිගැනීමක් ලෙස කටයුතු කළ යුතු අවස්ථාවක් නොවේ. බුද්ධිමත්ව ගැඹුරින් කල්පනා කර තීන්දු තීරණ ලබාගත යුතු අවස්ථාවකි.
• චමිඳු නිසල් ද සිල්වා