2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

දෙබරයක් නොවිය යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:02 22

“අලු‍ත් වැඩපිළිවෙලේ දී ඉතිහාසය සහ සෞන්දර්ය අයින් කරලා. එතකොට හැදෙන්නේ කලාවක් දන්නැති අතීතය නොදන්නා පිරිසක්.” දැන් කතාබහට ලක්ව ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පිරිසක් කියති. “කොච්චර විභාග පාස් වුණත් ජොබ් එකක් ගන්න ඉන්ටර්වීව් ගියාම පළපුරුද්ද අහනවා. ඉගෙන ගත්ත විෂයයන්වල ප්‍රායෝගික බව ගැන අහනවා. ඉගෙන ගන්න තියෙන විෂයයන් ගණනත් වැඩියි. සමහර විෂයයන් විභාගෙන් පස්සෙ වැඩක්ම නෑ.”

පාසල් දරුවන් මෙන්ම පාසල් අධ්‍යාපනය හමාර කළ අය ද නිතර මැසිවිලි නගති. ඒ නිසා වැඩි දෙනකුගේ අදහස නම් යල්පැන ගිය ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමය වෙනුවට නවීන ලෝකයට ගැලපෙන ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවය. සිස්ටම් වෙනසක් වෙනුවෙන් බලයට පත්වූ ආණ්ඩුව ලබන වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එය දෙබරයට ගැසූ ගලක් බවට පත්වී අවසන්ය. චෝදනා, යෝජනා දසතින් ඇසෙන්නට පටන්ගෙන ඇත.  

දැනට මතභේදයට තුඩු දී ඇති කරුණක් වන සෞන්දර්ය, ඉතිහාසය යන විෂයයන් ඉවත් කිරීමක් කර නැති බවත් එම විෂයයන් සහ වෘත්තිය විෂයයක් හැදෑරීම අනිවාර්ය බවත් අධ්‍යාපන ඇමැතිනී සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකදී පැවසුවාය.

නමුත් රජයේ පාර්ශ්වයෙන් අඩුවක් දකින්න ලැබෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ලිඛිත කරුණු දැක්වීමක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර නොමැතිවීමය. මේ විවිධ මතවාද පැන නැගීම ස්වභාවිකය. අනික ආණ්ඩුවේ තොරතුරු නිවැරදිව ජනතාවට ගෙන යාමට හැකියාවක් ඇති නිලධාරීන් බොහෝ තැන්වල නැත.  

ශ්‍රී ලංකාවේ කලක පටන් පවතින අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවක් නම් එය දරුවන්ගේ නිර්මාණශීලීත්වය අගැයීම වෙනුවට ඔවුන්ගේ මතක ශක්තිය මැන බැලෙන අධ්‍යාපන ක්‍රමයක් බවයි. එනම් වඩාත් හොඳින් කටපාඩම් කිරීමට හැකි පොතේ ගුරු සිසුවා මුල් තැන ලබාගන්නා බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලු‍නු 05 ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව කියන අගමැතිවරිය, ඒ අනුව, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව සහ ඇගයීම යන ප්‍රධාන කුලුනු යටතේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු ශ්‍රේණියේ සහ හයවැනි ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් 2026 වර්ෂයේ ප්‍රථමයෙන් හඳුන්වාදීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙන බව වැඩිදුරටත් පවසන්නීය.
මේ ගැන පවසන අගමැතිවරිය මෙසේ ද සඳහන් කරයි.

“අධ්‍යාපනය නිම කරන දරුවන්ට රැකියාවක නිරතවීමට පුළුවන් විදිහට සහතිකයක් හිමි වෙනවා. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් රැකියාවට යනකොට කියන්නේ කුසලතා පූර්ණය කරලා නෑ කියලා. ඒ නිසා විශ්වවිද්‍යාලවලට සිදුවෙලා තිබෙන්නේ මෘදු කුසලතා සංවර්ධනය කරන්න. ඒක කරන්න ඕන පාසල්වලින්. 9 වසරේ ඉඳලා දරුවන්ට තමන් ඉදිරියේදී කරන්න ඕන වෘත්තීය මොකක්ද කියලා තීරණය කරන්න ඒ වෙනුවෙන් අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් නව ප්‍රතිසංස්කරණයෙන් ලැබෙනවා. වසර 11 ක් හෝ 13 ක් අධ්‍යාපනය ලබලා පාසලෙන් ඉවත් වන දරුවන්ට අවශ්‍ය නම් රැකියාවක් කරන්නත් පුළුවන්. නැත්නම් උපාධිය හදාරන්නත් අවස්ථාව තිබෙනවා. කැමති නම් රැකියාව කරන ගමන් උපාධිය හදාරන්නත් අවස්ථාව තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය නිර්දේශය පමණක් නෙමෙයි පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, ගුරුවරුන් පුහුණු කරන්න, ප්‍රතිසංස්කරණය පිළිබඳ ජනතාව තුළ කථිකාවක් ඇති කරන්නත් කටයුතු කරනවා. ගම්පොළ විදුහල්පතිවරයකු දේශයට පැවසුවේ මේ ප්‍රතිසංස්කරණ අලු‍ත් දෙයක් නොවන බවත් වසර කිහිපයකට පෙර ආරම්භ කිරීමට යෝජනා වුණු ප්‍රතිසංස්කරණම බවත්ය.

“ඒ කාලෙ ආර්ථික අර්බුදයත් සමඟ මේවා ක්‍රියාත්මක කිරීම නතර වුණා. ඒ කාලෙ ගුරුවරුන් පවා මොඩියුල ලිවීමට පුහුණු කළා. එක පරිච්ඡේදයක් විනාඩි 50 ක් කිරීමත් මම නම් දකින්නෙ හොඳ දෙයක් විදිහට. මේකෙදි විෂයයන්වල ප්‍රායෝගික පැත්තට වැඩිපුර අවධානයක් දීලා තිබෙනවා. ඒ නිසා සිසුන්ට වැඩි කාලයක් අවශ්‍යයි කාල පරිච්ඡේදවලට. සාමාන්‍ය පෙළ විෂයයන් සංඛ්‍යාව අඩු කිරීමත් යහපත් ප්‍රවණතාවක්. දැනට ඉගෙන ගන්නා විෂයයන් සමහරක් විභාගෙ පාස් වෙන්න මිසක් සිසුන්ට ඉන් පසුව උසස් අධ්‍යාපනයට ප්‍රයෝජනයක් නෑ.”

ගම්පොළ විදුහල්පතිවරයා පැවසූ ලෙස මීට අවුරුදු කිහිපයකට කලින් සුසිල් ප්‍රේම්ජයන්තගේ අධ්‍යාපන ඇමැති ධුරය දැරූ කාලයේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මූලික පියවර තැබිණි. පාසල් 110 ක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් ද එකල ක්‍රියාත්මක විය. බෙහෝ ව්‍යාපෘති මෙන් එය හිටිගමන් නතර විය.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 ජනවාරි 01 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය මුලින්ම ඇරඹෙන්නේ 1 සහ 6 ශ්‍රේණිවලිනි. ලංකාවේ සියලු‍ පාසල්වල මේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට යෝජිතය.

“මේ ක්‍රියාවලිය හඳුන්වාදීමත් සමඟ පාසලක කාල පරිච්ඡේදයක් දැනට වඩා දිගුවී කාලය විනාඩි 50 ක් බවට පත් වෙනවා. දැන් තියෙන්නෙ පීරියඩ් 8 යි. ඒක 7 ක් බවට පත් වෙනවා. මේ වර්ෂය තුළදී අපට සිද්ධ වෙනව අවම වශයෙන් ගුරුවරුන්  100,000 ක් මේ කටයුතුවලට පුහුණු කරන්න,” අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග අගැයීම් සිදුවන්නේ කෙසේද යන්න වැඩි දෙනකුට ඇති ගැටලු‍වකි. ඒ ගැන විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරන්නේ මෙසේය.
“දහය එකොළහ ශ්‍රේණි අවසානයේදී දැනට පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ ආකාරයටම විභාගයක් විදිහට පැවැත්වීමට නියමිතයි. ඒ විභාගයේදී දැනට තියෙන විෂයය මාලාවට වඩා වෙනස් විෂයය මාලාවක් තමයි, ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ. එහිදී ප්‍රධාන විෂයයන් 5 ක් සහ තෝරාගත් විෂයයන් දෙකක් තමයි, ජාතික මට්ටමෙන් පරීක්ෂා කරන්නෙ.”‍

මේ අතර, එක් එක් විෂයයන් සඳහා A,B,C අගැයීම් ක්‍රමය වෙනුවට ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබාදීමට ද යෝජනා වී තිබේ. මේ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 7 කට සීමා වේ. ඉන් ප්‍රධාන විෂයයන් 5 ක් අනිවාර්යයෙන් හැදෑරිය යුතු වේ. එම විෂයයන් නම්, ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාවයි. ඊට අමතරව, තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ. තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ ඇති විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකිය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් සහ යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය දා පැවසුවාය. “2026 අපි සිදු කරන්නේ 1 වසර සහ 6 වසර සඳහා පමණයි. විභාගයෙන් පසු දරුවන්ට ඉගෙන ගත්ත දේ අමතකයි. එහෙම අධ්‍යාපනයක් රටකට වැදගත් නෑ. ඒ නිසයි නව ඇගයීම් සහ තක්සේරුකරණය හඳුන්වා දෙන්න කටයුතු කරන්නේ.”

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලැබුණු ජාත්‍යන්තර ආධාර හා ණය මුදල විශාලය. මෑත අතීතය දෙස බැලු‍වහොත් 2020 දී ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 400 ක ණයක් ලබාදී තිබෙන අතර, ලෝක බැංකුව 2025 ජූනිවලදී ඩොලර් මිලියන 50 ක මූල්‍ය ආධාරයක් ලබා දී තිබේ. මේ ණය ජනතාව ආපසු ගෙවිය යුතුය. මේ දක්වා සිදුකළ ව්‍යාපෘතිවලින් සාර්ථක ප්‍රතිඵල ලබාදිය හැකි අධ්‍යාපනයකට පදනම දැමුවාද යන්න ගැටලු‍වකි. එසේනම් අලු‍ත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හැම ආණ්ඩුවක්ම පාහේ කතාබහ කරයි. කමිටු පත් කරයි. යෝජනා ඉදිරිපත් කරයි. වාර්තා සකස් කරයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිසංස්කරණ අංශය නමින් වෙනම කොටසක් ද පවතී. හැබැයි අවසානයේ සිසුවාට සිදුවන්නේ කටපාඩම් කළ විභාග ක්‍රමයම අනුගමනය කිරීමටය. අලු‍ත් ආණ්ඩුවෙන්වත් පිළිවෙලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉටුකර සිසුවාගේ අනාගතයට යහපතක් කරන්නේ නම් එය මහත් සේවයකි. එවිට සමාජයට පිවිසුණු විට සාර්ථකව සමාජගත වීමට, අවදානමකින් තොරව රැකියාවක් සොයා ගැනීමට ද ඔහුට ඉන් පිටුවහලක් ලැබෙන බැවිනි.

• කුසුම්සිරි විජයවර්ධන

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:05