2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

දොස්තරලාට තවත් අවුලක්

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03 109

රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය සේවයට කලක පටන් අර්බුද හිඟ නැත. වර්තමානයේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවක් පෙනේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නව වෛද්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් නිර්මාණය වී ඇති මෙම තත්ත්වය හරහා වෛද්‍යවරුන් සහ රෝගීන් යන දෙපාර්ශ්වයම දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මෙම අර්බුදය ආරම්භ වූයේ කෙසේද සහ එය රටේ සෞඛ්‍ය සේවයට බලපාන්නේ කෙසේද යන්න විමසා බැලීම අපගේ වගකීමකි.

අර්බුදයේ ආරම්භය සනිටුහන් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා විසින් ජූලි 16 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛයත් සමඟය. මෙම චක්‍රලේඛය, “ඖෂධ සහ ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම සහ රසායනාගාර පරීක්ෂණ පිටතින් සිදුකර ගැනීම පිළිබඳ ආයතන ප්‍රධානීන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශ”‍ ලෙස හැඳින්විණි. එහි මූලික අරමුණ වූයේ රෝහලක නොමැති ඖෂධ, උපකරණ හෝ පරීක්ෂණ පහසුකම් පිටතින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට බලය ලබා දීමයි.

එහෙත් මෙම චක්‍රලේඛය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී දැඩි ගැටලු‍ පැන නැගී ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා පෙන්වා දෙති. නව ක්‍රියා පටිපාටියට අනුව රෝගියාට පිටතින් අවශ්‍ය ද්‍රව්‍ය හෝ සේවා ලබාදීමට නම් රෝගියාගේ ලිඛිත කැමැත්ත ලබාගත යුතුය. එම පෝරමය විශේෂඥ වෛද්‍යවරයා, ප්‍රධාන ඖෂධවේදියා සහ රෝහල් අධ්‍යක්ෂවරයා වැනි අය විසින් අත්සන් කර සහතික කළ යුතු වේ. මෙම ක්‍රියාවලිය අධික ලෙස කාලය නාස්ති කරන, වෙහෙසකර සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නක් බවට චෝදනා නැගේ. සැබවින් මෙය අවතක්සේරු කළ නොහැකි චෝදනාවකි.

මෙම තත්ත්වය දෙස බැලීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය මෙවැනි තීරණයක් ගැනීමට පෙළඹුණේ මන්දැයි යන්න සලකා බැලීම වැදගත්ය. ජයවර්ධනපුර රෝහලේ සිදු වූ බවට වාර්තා වූ කුප්‍රකට මූල්‍ය අක්‍රමිකතාව මේ සඳහා මූලික හේතුව වී ඇති බව ඉතා පැහැදිලිය. යම් මූල්‍ය අපරාධයක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා පිළිගෙන ඇත. එහෙත් මෙම තනි සිදුවීමක් මත පදනම්ව සමස්ත සෞඛ්‍ය සේවයටම බලපාන මෙවැනි අවුල් සහගත ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීම ප්‍රශ්නකාරී බව ඔවුහු පෙන්වා දෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා “දේශය”‍ කළ විමසීමකදී මේ පිළිබඳව ඉතා පැහැදිලි අදහසක් දැක්වීය. ඔහු පෙන්වා දුන්නේ රෝහල්වල ඖෂධ, ශල්‍ය උපකරණ සහ පරීක්ෂණ පහසුකම් නොමැති විටදී පවා වෛද්‍යවරුන් රෝගීන් ගෙදර නොයවා විකල්ප ක්‍රමවේද අනුගමනය කර ප්‍රතිකාර ලබා දුන් බවයි.

“මෙතැනදි අපි තේරුම් ගන්න ඕන කාරණය, රෝහලේ අවශ්‍ය ඖෂධ ටික නැත්නම්, ශල්‍යකර්මය සඳහා අවශ්‍ය උපකරණ නැත්නම්, අවශ්‍ය පර්යේෂණ ටික කරගන්න බැරි නම්, තත්ත්වය බරපතළයි. ඒත් මෙතෙක් එහෙම තත්ත්වයන් හමුවේ වුණත් වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රෝගීන් හරවලා ගෙදර යැව්වේ නෑ. විකල්ප ක්‍රමවේදයක් යටතේ බාහිරින් ගෙන්වාගෙන ඒ අදාළ ශල්‍යකර්මය හෝ ප්‍රතිකාරය සිදු කළා. මෙතැනදි වෛද්‍යවරුන් උත්සාහ කරන්නේ රෝගීන් සඳහා වන හොඳම ප්‍රතිකාරය ලබා දෙන්න.”‍

එමෙන්ම රෝගීන්ට ද හොඳම ප්‍රතිකාරය ලබා ගැනීමට අයිතියක් ඇති බව ඔහු අවධාරණය කළේය.

ඔහුගේ ප්‍රකාශයට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය කළ යුතුව ඇත්තේ මෙවැනි ක්‍රියා පටිපාටි හඳුන්වා දීම නොව රෝහල්වලට අවශ්‍ය ඖෂධ සහ උපකරණ නිසි පරිදි ලබා දීමයි.

“මේ චක්‍රලේඛයෙන් සරලව කරලා තියෙන්නේ රෝහලේ ඖෂධය නැත්නම් ජනතාවට කියනවා, පෝරමයක් පුරවාගෙන තැන් කිහිපයකට ගිහිල්ලා අත්සන් කරගෙන, කොහෙන් හරි සල්ලිවලට ගෙනත් දෙන්න කියන එක.”‍
විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම නව චක්‍රලේඛය තුළ ප්‍රායෝගික ගැටලු‍ රැසක් පවතින බවයි. සායනයකට දිනකට පැමිණෙන රෝගීන් සිය ගණනකට අවශ්‍ය ඖෂධ නොමැති වුවහොත්, ඔවුන් සියලු‍ දෙනාටම මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දෙයි. විශේෂඥ වෛද්‍යවරයා, ඖෂධවේදියා, රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වෙත ගොස් අත්සන් ලබා ගැනීමට දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකි බව ඔහු සඳහන් කරයි. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියකුට මෙවැනි ක්‍රියාවලියකට මුහුණ දීමට සිදුවුවහොත්, එහි ප්‍රතිඵලය මරණය පවා විය හැකිය.

මේ අතර රෝහල්වල පවතින දැඩි ඖෂධ සහ උපකරණ හිඟය තවත් උග්‍ර කර ඇති බවක් පෙනේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජූනි 14 වැනි දින මාධ්‍යයට අනාවරණය කළේ, මධ්‍යම ඖෂධ ගබඩාවේ අත්‍යවශ්‍ය ඖෂධ 180 ක තොග නොමැති බවයි. වේදනා නාශක, ප්‍රතිජීවක සහ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා අවශ්‍ය ඖෂධ මේවාට ඇතුළත්ය.

එමෙන්ම, ලේඩි රිජ්වේ ළමා රෝහලේ සහ පේරාදෙණියේ සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරණ නොමැති බවට වාර්තා පළ විය. මෙවැනි තත්ත්වයන් හමුවේ රෝගීන්ගේ ජීවිත අනතුරේ දමමින් අලු‍ත් නීති රීති හඳුන්වා දීම වෙනුවට, සෞඛ්‍ය අමාත්‍යංශය කළ යුත්තේ මෙම හිඟයන් වහාම විසඳීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පසුගිය සමයේ සෞඛ්‍ය සඳහා විශාල වැය ශීර්ෂයක් වෙන් කිරීමටද ආණ්ඩුව කටයුතු කළේ ඖෂධ සහ උපකරණ ලබා දෙන බව කියමිනි. එහෙත් වර්තමානය වන විට තත්ත්වය වෙනස් වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ වෙනස්ම කතාවකි. රජයට සියලු‍ ඖෂධ ලබා දිය නොහැකි බවත් රෝගීන්ට ඒවා ලාබම ස්ථානවලින් මිලදී ගත හැකි බවත් ඔහු කියා සිටියේය. මෙම ප්‍රකාශය නව චක්‍රලේඛය මගින් රජය අපේක්ෂා කරන ප්‍රතිපත්තිය පැහැදිලිවම පෙන්වා දෙයි. එනම් රෝගීන් විසින්ම තමන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය දෑ සොයාගත යුතු බවයි. මෙය මුදල් ඇති අය ප්‍රතිකාර ලබන, මුදල් නැති අය මිය යන තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවක් විය හැකි බවට බොහෝ දෙනා බිය පළ කරති. ඇතැම්විට මෙය නිදහස් සෞඛ්‍ය මළගමේ ආරම්භය ද විය හැකිය.

මෙම අර්බුදය විසඳීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංගම් අවධාරණය කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. එහෙත් විටින් විට වාර්තා වන මූල්‍ය අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා යම් නියාමනයක් හෝ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් බව ද ඔවුහු පිළිගනිති.

ඖෂධ මාෆියාව සහ ඖෂධ සමාගම් විසින් වෛද්‍යවරුන් යොදාගැනීම, බොහෝ කලක සිට කතාබහට ලක්වූ කරුණකි. වෙළෙඳ නාමවලින් ඖෂධ නිර්දේශ කරන වෛද්‍යවරුන් මෙන්ම, සිය වෘත්තීය ගෞරවය පාවාදෙන පිරිස් ද සමාජයේ සිටින බව රහසක් නොවේ. එබැවින් විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන සියලු‍ පාර්ශ්වයන්ට සාධාරණ ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පැහැදිලිය.

කෙසේ වෙතත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාමාර්ග එතරම් ප්‍රායෝගික නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතුමය. සෞඛ්‍ය බලධාරීන් විසින් රෝහල් පද්ධතිය විධිමත් කරමින්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම සඳහා සුදුසු සැලැස්මක් සකස් කළ යුතුව ඇත. එය බහුපාර්ශ්වික එකඟතා මත නිර්මාණය විය යුතු අතර වෘත්තීය ගැටුම් අවම කර ගැනීමට වගබලා ගත යුතුය. කිසිවකුට තම වෘත්තීය භූමිකාව මත පිහිටා ආධිපත්‍යය දැරීමට ඉඩ නොතැබිය යුතුය.
මෙම අර්බුදයේ අවසාන ඉලක්කය විය යුත්තේ රෝගීන්ට කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාගත හැකි තත්ත්වයක් ඇති කිරීමයි. එසේ නොවුණහොත් සකලවිධ සෞඛ්‍ය අර්බුද හේතුවෙන් තවදුරත් පීඩාවට පත් වන්නේ රටේ සාමාන්‍ය ජනතාවය. වර්තමාන ආණ්ඩුව සිය පොරොන්දු ප්‍රකාරව තවදුරටත් පමා නොවී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටලු‍ විධිමත්ව විසඳාලීමට දැන් ඉදිරිපත් විය යුතුය. මන්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාදය මරණයට පවා හේතු වේ.

• චමිඳු නිසල් ද සිල්වා