කාලයෙන් කාලයට විවිධ මාතෘකා කරළියට පැමිණීම සාමාන්‍ය සිදුවීමකි. මෙසේ සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දෙන කරුණු කාරණා සහ සිදුවීම් අතර, වර්තමානය වන විට වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට වැව් රක්ෂිත පත්ව තිබේ. වැව් රක්ෂිත ආශ්‍රිතව ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්, හෝටල් සහ අනවසර පදිංචිකරුවන් හේතුවෙන් වැවට සහ ඒ ආශ්‍රිත රක්ෂිතයට සිදුවන්නා වූ හානිය හේතුවෙනි.
“වැවයි - දාගැබයි.. ගමයි - පන්සලයි” යන සංකල්පය මත ගොඩනැගුණු අපේ පැරණි ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය වැව බවට පත් විය.
කෙසේ වෙතත් අවාසනාවකට මෙන්, වැව් රක්ෂිතවලට වර්තමානයේදී විවිධ තර්ජන එල්ල වී තිබේ. වැව් තාවුලු සහ රක්ෂිත ප්‍රදේශ අනවසරයෙන් අත්පත් කර ගැනීම සහ ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් වැව්වල ජල ධාරිතාවට සහ පරිසර පද්ධතියට සිදුවන්නේ විශාල හානියකි. වැව් රක්ෂිත තුළ වගා කටයුතු සිදුකිරීම නිසා රසායනික පොහොර හා කෘමිනාශක ජලයට එකතු වී ජල දූෂණය සිදුවීම කනගාටුදායකය. වැව්වලට සහ රක්ෂිත ප්‍රදේශවලට කැළි කසළ සහ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ජලජ ජීවීන්ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබේ. වැව් රක්ෂිත ආශ්‍රිතව සිදුවන ගස් කැපීම සහ වන විනාශය ජල පෝෂක ප්‍රදේශවලට හානි කරන අතර පාංශු ඛාදනය වැඩි කිරීමට හේතු වන්නකි. එපමණක් නොව, ආක්‍රමණශීලී ශාක හා සත්ව විශේෂ වැව් පරිසර පද්ධතියේ සමතුලිතතාවයට සිදු කරන්නේ විශාල හානියකි. නියඟ සහ අධික වර්ෂාපතනය වැනි දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් ද වැව් රක්ෂිතවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි.
වැව් රක්ෂිතවලට වැඩිමනක්ම හානි සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සඳහන් කළේ, දේශපාලනඥයන් වැව් රක්ෂිතවල නාන තටාක සහිත හෝටල් ඉදිකර ඇති වැව් 23 ක් දැනට හඳුනාගෙන ඇති බවයි. ඒවා අතර අනුරාධපුර නුවර වැව, අක්කරේපත්තුව ඉරක්කන්මන් වැව, මාපාකඩ දබ්බරා වැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මාතර කැකුණදුරැල්ල වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, දැදුරු ඔය, මින්නේරිය වැව, නවකිරි වැව ආදී වැව් රක්ෂිත රැසක විවිධ අනවසර ඉදිකිරීම් දක්නට ඇති බව ඒ මහතා පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ නුවර වැව් රක්ෂිතයේ ඉදිකර තිබෙන ආණ්ඩුකාර නිල නිවෙස, මහ ඇමැති නිල නිවෙස සහ අභිමංසල ඉතාමත් ඉක්මනින් ඉවත් කළ යුතු බවය. කෙසේ වෙතත් අභිමංසල යනු දේශපාලකයන් හෝ කිසිදු ව්‍යාපාරිකයකු විසින් ඉදිකළ හෝටලයක් නොව රට දැය සමය වෙනුවෙන් ඇස්, මස්, ලේ දන් දුන් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකරන ලද ස්ථානයකි. අභිමංසලට අමතරව වැව් රක්ෂිවලින් ඉවත් කළ යුතු ගොඩනැගිලි සහ හෝටල් ඕනෑතරම් හඳුනා ගත හැකිය.
වර්තමානය වන විට වැව් රක්ෂිත සහ ඒවා අවට ඉදිකර ඇති ඉදිකිරීම් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සමාජය තුළ මතුවෙමින් පවතී. වැව් රක්ෂිත ආශ්‍රිතව හෝටල් ඉදිකරන්නේ වැව් ආශ්‍රිත සුන්දරත්වය මැනවින් විදහා දක්වමින් එම හෝටල් සඳහා සංචාරකයන් ආකර්ශනය කර ගැනීමටය. එය ව්‍යාපාරික අංශයෙන් ගත් කල ඉතාමත් සාර්ථක උත්සාහයක් වන නමුත් එම ඉදිකිරීම්වලින් පරිසරයට සහ වැව්වලට සිදුවන්නේ සුළුපටු හානියක් නොවේ. අනෙක් අතට මෙම හෝටල් කේන්ද්‍ර කර ගනිමින් අපරාධකරුවන්ගේ කූඨ සැලසුම්ද ක්‍රියාත්මක වන අතර, ඇතැම් අවස්ථාවලදී දඩයක්කරුවන් විසින් වැව් රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම්ද සිදු කරන බව අතීතය විමසීමේදී අපට දැකගත හැකිය. වැව් රක්ෂිතවල හෝටල් සෑදීම මගින් පරිසරයට සිදුවන්නේ ඉමහත් හානියකි.
රජය විසින් වැව් රක්ෂිත සුරැකීම සඳහා විවිධාකාර පියවර ගෙන ඇති අතර ඒ අතරින් ආන්දෝලනාත්මක සහ අර්බුදකාරීම තීරණය වන්නේ වැව් රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සහ වැව් රක්ෂිතවල ඉදිකර ඇති අනවසර හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් කඩා ඉවත් කිරීමය. මේ හේතුවෙන් වැව් රක්ෂිත සුරැකීම පත්ව තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයකටය. වැව් රක්ෂිත ආශ්‍රිතව අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට ගත් තීරණයට අනුරාධපුර නුවර වැව ආශ්‍රිත පදිංචිකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. පසුගිය දිනක මාධ්‍ය හමුවක් කැඳවමින් නුවර වැව ආශ්‍රිත පදිංචිකරුවන් පවසා සිටියේ ඔවුන් පරම්පරා තුනක් පුරාවට මෙම වැව ආශ්‍රිතව ජීවත් වන්නන් බවය. තමන් පළාත් පාලන ආයතනවල අනුමැතිය සහිතව ඉඩම් සඳහා ඔප්පු සාදාගෙන ඇති බවත්, මේ වන විට එම ඔප්පු උකස් කර ණය මුදල් ලබාගෙන ඇති බැවින් කිසිසේත්ම මෙම වැව් රක්ෂිතවලින් ඉවත්ව නොයන බවත් ඔවුහු පවසති. තම නිවාස සහ අයිතීන් රැක ගැනීමට උද්ඝෝෂණයක් වුවද පැවැත්වීමට තමන් සූදානම් බව නුවර වැව ආශ්‍රිත පදිංචිකරුවෝ එහිදී සඳහන් කළහ. කෙසේ වෙතත් ලාල් කාන්ත අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ වැව් රක්ෂිත ආශ්‍රිත සියලුම අනවසර පදිංචිකරුවන් ඉවත් කරන අතර සියලුම අනවසර ගොඩනැගිලි කඩා ඉවත් කරන බවය. මේ හේතුවෙන් රජය සහ අනවසර පදිංචිකරුවන් අතර ගැටුම් ඇතිවීමක පෙරනිමිති දැනටමත් පහළ වී තිබේ.
වර්තමානයේ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වන, වැව් රක්ෂිත විනාශ වීම බරපතළ සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු රැසකට අත වැනීමකි. වැව් විනාශ වීමෙන් පානීය ජලය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින අතර, කෘෂිකර්මාන්තයට ජලය නොමැති වුවහොත් එය ආහාර නිෂ්පාදනයට ඍජුවම බලපාන අතර, ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් ද විය හැකිය. වැව් රක්ෂිත විනාශ වීමෙන් බොහෝ ශාක හා සත්ව විශේෂවලට වාසස්ථාන අහිමි වී වඳවී යාමේ තර්ජනයට ලක් විය හැකිය. එමෙන්ම ජල දූෂණය සහ වායු දූෂණය වැඩි වීමෙන් මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර බලපෑම් ඇතිවීමටද වැව් රක්ෂිතවල පරිහානිය හේතු වනු ඇත. කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට වන හානිය මෙන්ම ස්වාභාවික ආපදා නිසා සිදුවන හානි ද ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරයි. යම් හෙයකින් වැව්වල සුන්දරත්වය සහ සංස්කෘතික වැදගත්කම අහිමි වුවහොත් එය රටට සහ ජනතාවට ගණනය කළ නොහැකි පාඩුවක් වනු නොඅනුමානය.
වැව් රක්ෂිතයක් යනු කුමක්දැයි විමසීමේදී, වැවක්, වැව් බැම්ම, වැව් තාවුල්ල, වැව් පිටිය සහ වැව් ආශ්‍රිත වන පෙදෙස් ඇතුළුව, වැවේ පරිසර පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීම සඳහා නීත්‍යානුකූලව ආරක්ෂා කර ඇති කලාපයක් වශයෙන් වැව් රක්ෂිතය හඳුනාගත හැකිය. මේවා බොහෝ විට වැවේ ජල පෝෂක ප්‍රදේශය ද ආවරණය කරයි. වැව් රක්ෂිතයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ වැවේ පරිසර පද්ධතියට හානි වීම වැළැක්වීම, ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ වැව් ආශ්‍රිතව වෙසෙන සත්ව හා ශාක විශේෂ ආරක්ෂා කිරීමය. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකීය වැව් පද්ධතිය, හුදෙක් ජලය ගබඩා කිරීමේ මාධ්‍යයක් පමණක් නොව, සුවිශේෂී ජෛව විවිධත්වයකට නිවහනක් වන පරිසර පද්ධතියක් ලෙස හඳුනාගත හැකිය. වැව් රක්ෂිත සුවිශේෂී ජෛව විවිධත්වයකින් පොහොසත් වූවකි. වැව්වල ජලජ පරිසර පද්ධතිවල මෙන්ම වැව් තාවුලු සහ අවට වන ප්‍රදේශවලද විවිධ සත්ව හා ශාක විශේෂ ජීවත් වෙති.
සැබැවින්ම වැව් රක්ෂිතයක් යනු සියලු ජීවීන් පෝෂණය කරන රක්ෂිතයක්, පරිසර කලාපයක් වශයෙන් හැඳින්වීම නිවැරදිය.
වැව් රක්ෂිත මගින් පෝෂණය කරනු ලබන්නේ ගස් වැල් සහ සතුන් පමණක් නොව එමගින් පරිසරයට, ආර්ථිකයට සහ සමාජයට ඉටුවන්නේ මහත් සේවාවකි. වැව් රක්ෂිත මගින් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම තුළින් වැව්වලට ජලය ගලා ඒම තහවුරු කරයි. මෙය පානීය ජලය, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සහ විදුලිය උත්පාදනය සඳහා ජලය ලබා දීමට අත්‍යවශ්‍ය වන්නකි. එමෙන්ම පසේ ඛාදනය අවම කරමින් ජල ගැලීම් පාලනයටද වැව් රක්ෂිතවලින් ලැබෙන්නේ අනගි පිටිවහලකි. වැව් බැමි සහ අවට ඇති වෘක්ෂලතා ජලය රඳවා තබාගෙන වේගයෙන් ගලා යාම වළක්වනු ලබන්නේද මෙමගින්ය. විවිධ ශාක හා සත්ව විශේෂවලට වාසස්ථාන සපයන වැව් රක්ෂිත, සමස්ත පරිසර පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමටද දේශගුණික සමතුලිතතාවයේ රඳා පැවැත්මටද මහඟු දායකත්වයක් දක්වයි. වැව් ආශ්‍රිත වෘක්ෂලතා සහ ජල කඳ ප්‍රදේශයේ ක්ෂුද්‍ර දේශගුණය නියාමනය කිරීමට උපකාරී වේ.
ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අනූන දිවයිනක් ලෙස ලොව සුපතල වී ඇති අතර අද වන විට අතිමහත් සංචාරක ආකර්ශනයක් දිනාගැනීමට සමත් වී තිබේ. මෙම සංචාරක ආකර්ශනයට එක හේතුවක් වශයෙන් වැව් බැඳි රාජ්‍යය ඇතුළු ශ්‍රී ලංකාවේ ඇති අනෙකුත් වාරි තාක්ෂණයද හඳුන්වා දිය හැකිය. වැව් රක්ෂිතයන්හි ඇති සුන්දරත්වය නිසා ඒවා සංචාරක ආකර්ශනයට ලක්වන අතර, පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයට ද මෙමගින් ලැබෙන්නේ මහත් පිටිවහලකි.
එමෙන්ම සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම විමසීමේදී, වැව් අපගේ සංස්කෘතික උරුමයේ වැදගත් කොටසක් වන අතර, ඒවා සංරක්ෂණය කිරීම මගින් අපගේ ඉතිහාසය හා අනන්‍යතාව ලෝකය ඉදිරියේ මැනවින් විදහා දැක්විය හැකිය.
ජලය යනු ජීවයට අත්‍යවශ්‍ය සම්පතකි. වැව් රක්ෂිත ආරක්ෂා කිරීම මගින් අපට මෙන්ම අනාගත පරපුරට ද ප්‍රමාණවත් පානීය ජලය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගත හැකි බව නොරහසකි. වැව් ජලය කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය බැවින්, වැව් රක්ෂිත ආරක්ෂා කිරීම ආහාර නිෂ්පාදනයට ඍජුවම බලපෑම් කරයි. එපමණක් නොව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ පරිසර සමතුලිතතාව පවත්වා ගැනීම ද මානව වර්ගයාගේ යහපැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. වැව් රක්ෂිත මගින් ජල ගැලීම්, නියඟ සහ පාංශු ඛාදනය වැනි ස්වාභාවික ආපදාවල බලපෑම් අවම වීමද සිදුවෙයි.
• මංගලා පවිත්‍රානි