වරින් වර මතුවන සෞඛ්‍ය ගැටලුවක් ගැන කතාබහක් දැන් නැවත මතුව තිබේ. ඒ ප්‍රමිතියකින් තොර විශේෂයෙන්ම ශරීරයට අහිතකර මට්ටමට විවිධ බැර ලෝහ, ස්ටෙරොයිඩ සහ වෙනත් රසායන අඩංගුව ඇති සම සුදු කරන විවිධ ආලේපන රැසක් නියාමනයකින් තොරව සමාජගතවීමේ අර්බුදයයි. මෙම ක්‍රීම් එන්නත් පෙති සහ විවිධ රූපලාවණ්‍ය ආලේපන වර්ග හේතුවෙන් චර්ම රෝග, ස්නායු රෝග, හෘද රෝග ප්‍රමුඛ විවිධ රෝගාබාධවලට සහ විකෘතින්ට පවා ගොදුරුවීමේ අවදානම ඉහළ යන බව සෞඛ්‍ය අංශ වෙතින්ම දැන් නැවත වතාවක් හඬක් නැගී එමින් තිබේ.
ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසා මේ වන විට දිවයින පුරා සම සුදු කරන විවිධ ආලේපන වර්ග 08 කට වැඩි ප්‍රමාණයක් පවතින බවත්, මෙම බොහෝ ආලේපන වර්ගවල පැවතිය යුතු නියමිත ප්‍රමිතිය නොමැතිවීමෙන් විශේෂයෙන්ම තරුණ පිරිස දැඩි සෞඛ්‍ය අවදානමකට ගොදුරු වන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ද පසුගිය දා හඬ අවදි කර තිබුණි.
මෙරට සුවඳ විලවුන් හා ආලේපන වර්ග, ඖෂධ වර්ග නියාමනය කිරීමට පවතින නීත්‍යනුකූල අයිතිය ඉවත් වීමත් සමඟ මේ අන්දමට රට පුරා මිනිස් සිරුරට හානිකර බැර ලෝහවලින් සමන්විත වන බවට සැක සහිත ශරීරය සුදු පැහැය වැඩි කිරීමට හේතු වන බොහෝ ක්‍රීම් වර්ග වෙළෙඳසල් තුළ සහ මාර්ගගත ක්‍රමයට අලෙවි කරන බව ඔහු පෙන්වා දී ඇත. මෙම සමහර ඖෂධ හා ආලේපන වර්ග අධික රසදිය, ක්විනීන්, ස්ටෙරොයිඩ සහ වෙනත් බැර ලෝහ වර්ගවලින් යුක්ත වන බව සනාථ වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතියට අනුව මෙම සංයෝග තිබිය හැකි යැයි නිර්දේශිත උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් වුවත් වෙළෙඳපොළේ පවතින බොහෝ ආලේපන වර්ගවල මෙම මට්ටම කොටස් දස ලක්ෂයකට 10,000 හෝ 20,000 සීමාවේ පවතින බවත් ඔහු පෙන්වා දෙයි.
නිසි සුදුසුකම් නොමැති රූපලාවණ්‍ය ශිල්පීන්, නිරූපණ ශිල්පීන්, ආයුර්වේද වෛද්‍යවරුන්, කටු චිකිත්සකයන් යැයි කියාගන්නා බොහෝ දෙනකු මේ වන විට මෙම සුදු වන ක්‍රීම් වර්ග ස්වයංරැකියාවක් ලෙස නිෂ්පාදනය කර අලෙවි කරන බව ද ඔහු පෙන්වා දෙයි. කොළඹ, පිටකොටුව, කොටුව, මල්වත්ත පාරේ මෙම ක්‍රීම් වර්ග තොග මිලට මිලදී ගත හැකිවන අතර ඉන් පසුව ඒවා ආකර්ශනීය බඳුන්වල දමා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව ද වාර්තා වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය සහ කාර්මික තාක්ෂණ ආයතනය එකතුව මෙම සුවඳ විලවුන් හා ආලේපන වර්ග නියාමනය සඳහා නැවත සුදුසු ප්‍රතිපත්තියක් සකස් කර නීතිමය පදනමක් ඉදිරිපත් කරන තුරු මෙම ජාවාරම නීතියේ රැහැන්වලින් රිංගා සිදු කිරීමට මෙම කණ්ඩායම්වලට හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
මීට අමතරව ග්ලූටතයෝන් (glutathione iv) එන්නත හෝ ක්‍රීම් වර්ග ද පෙති වර්ග ද මැදපෙරදිග රටවල සිට මෙරටට ගෙනැවිත් එන්නත් කිරීම සිදුකරන අතර මෙම සියලු ඖෂධ භාවිත කිරීම නිසා සමෙහි පවතින සාමාන්‍ය පැහැය දුර්වර්ණ වීම සිදුවන බවත්, අක්මා රෝග, වකුගඩු රෝග, සම ආශ්‍රිත පිළිකා තත්ත්ව හා දැඩි ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීම සංකූලතා ලෙස දැකිය හැකි බවත් වාර්තා වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. දැනටමත් රූපලාවණ්‍ය විෂයය සම්බන්ධව විශේෂයෙන් අධ්‍යාපනය ලද වෛද්‍යවරුන් මෙරට සේවය කරන බව පෙන්වා දෙන ඔහු, මෙවන් ආලේපන වර්ග හෝ එන්නත් වර්ග ලබාගන්නා බොහෝ දෙනකුගේ සමේ පවතින සාමාන්‍ය පැහැය දැඩි ලෙස දුර්වර්ණ වූ පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම කළ නොහැකි වන බැවින් සුදුසුකම් සහිත බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය සහ නිර්දේශ මත පමණක් රූපලාවණ්‍ය සම්බන්ධ ගැටලුවට විසඳුම් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ සම්බන්ධ විශේෂඥතාව දක්වන වෛද්‍යවරු පෙන්වා දෙති.
වෙළෙඳ දැන්වීම්වලින්, වැරදි උපදේශනවලින් පෙළඹී ‘වයිට්නින් ක්‍රීම්’ සහ සබන් ඇතුළු ද්‍රව්‍ය හිතුමතේ නිසි වෛද්‍ය උපදෙස් රහිතව භාවිතය ඉතා හානිදායී බව මීට පෙර සිදුකළ පර්යේෂණවලින් ද සනාථ වී තිබේ. ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇති ක්‍රීම් වර්ග රැසක්ම නීතිමය බාධා නිසා රට පුරා නිදැල්ලේ අලෙවි වන බව ඒ ආයතනය ද මීට පෙර පෙන්වා දී තිබුණි. සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස්එක්දහස් ගුණයක් රසදිය අඩංගු බව එබඳු එක් පර්‌යේෂණයකින් අනාවරණය වී තිබුණි. රජයේ ආයතනයක් වන කාර්මික තාක්ෂණ ආයතනයේදී [ITI] පරීක්ෂා කර ඇති නියැදි 16 ක් තුළ ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී තිබුණි. 2018 මැයි 03 වැනිදා නිකුත් කෙරුණු අංක 2069/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව සමේ අලේප කරන්නා වූ සියලුම ක්‍රීම් සහ දියර වර්ගවල [Lotions] බැර ලෝහ අඩංගු කළ හැකි උපරිම සීමා දක්වා ඇත. ඒ අනුව රසදිය [Mercury] පැවතිය හැක්කේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකකි (1Kg -1mg). එහෙත් ඉහත පරීක්ෂාවට ලක් කෙරුණු නියැදි 10/16 කම අන්තර්ගත රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකළොස් දහස ඉක්මවා තිබී ඇත.
ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් අඩංගු මේ ඇතැම් ආලේපන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ නාම බවට පත්ව ඇති අතර එම ක්‍රීම් සහ දියර පිළිබඳ විශ්ලේෂණයේදී සුවිශේෂී තත්ත්වයක් හඳුනාගෙන තිබේ. එනම් ඒවායේ නිෂ්පාදිත රට, කල් ඉකුත්වීමේ දිනය හෝ අන්තර්ගත රසායන ද්‍රව්‍ය පිළිබඳ කිසිදු සටහනක් නොමැති වීමය. විවිධ කාන්තා නම් සහිතව වෙළෙඳපොළට පැමිණ ඇති මේ නිෂ්පාදන අතර ඇතැම් නිෂ්පාදනයක රසදිය මට්ටම 51,752 ක් වාර්තා වූ බව මේ පර්‌යේෂණයට මූලික වූ එවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක වූ සමන්තා කරුණාරත්න මාධ්‍ය වෙත විස්තර කර තිබුණි. පාරිභෝගික සේවා අධිකාරියට සහ විශේෂඥයන්ට අනුව රසදිය මට්ටම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු ආලේපන සහ දියර වර්ග අතර, මේකප් ක්‍රීම් සහ දියර වර්ග, මොයිස්චරයිසින් ක්‍රීම් සහ දියර වර්ග, රෝම ඉවත් කිරීමේ ආලේපන (වැක්ස්) සහ දියර වර්ග, හිරු රශ්මියෙන් සම පිළිස්සීම වළක්වන ක්‍රීම් (සන් ක්‍රීම්) සහ දියර වර්ග, සම පැහැපත් වීම සඳහා භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ග, සමෙහි අඳුරු පැහැය නොපෙන්වීම සඳහා භාවිත කරන [Vanishing] ක්‍රීම් සහ දියර වර්ග මූලික වේ.
රසදියවලට අමතරව ඊයම්, ආසනික් සහ කැඩ්මියම් යන බැර ලෝහ සමෙහි ආලේප කරන ක්‍රීම් හා දියර තුළ අඩංගු වේ. එම බැර ලෝහ සඳහා ද උපරිම සීමා දක්වමින් ප්‍රමිති සකස් කර ඇත. බොහෝ විට ඉන් වඩාත් හානිකර බවට වාර්තා වී ඇත්තේ රසදිය බැවින් පිළිගත් වෙළෙඳ නාමයක් සහිත නිෂ්පාදන මිල දී ගැනීම ආරක්ෂාකාරී බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙම ආලේපන මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, අඩංගු රසායන ද්‍රව්‍ය සහ භාවිතයට උපදෙස් ලේබලයේ අඩංගු වී ඇත්දැයි පරීක්ෂා කර බැලීම එහිදී වැදගත් වේ. පිළිගත් නිෂ්පාදනවල රසදිය අඩංගු නම් ලේබලයේ සටහන් කර ඇති බව විශේෂඥ චර්ම රෝග වෛද්‍ය ඉන්දිරා කහවිට අප කළ විමසුමකදී පෙන්වා දුන්නාය.
යම් ක්‍රීම් හෝ දියර වර්ගයක උපරිම සීමාවට වඩා රසදිය අන්තර්ගත බවට අනාවරණය කර ගත්ත ද ඒවා ශ්‍රී ලංකාව පුරා විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නීතිමය හැකියාවක් නොමැත. ඔවුන්ට නඩු පැවරිය හැකි නමුදු 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ මහේස්ත්‍රාත්වරයකුට බලය ඇත්තේ සිය අධිකරණ බල සීමාව තුළ ඇති වෙළෙඳසල්වලින් එම භාණ්ඩ ඉවත් කරන්නට පමණක් වන හෙයින් එම ප්‍රදේශයක තහනම් කළ ද ලංකාව පුරාම විකුණන්නට හැකියාව පවතියි. මේ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගනිමින් නිසි උපදෙස් මත කරුණු සොයා බලා මේ ආලේපන භාවිත කිරීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
• සුගත්