2025 ජුලි 26 වන සෙනසුරාදා

හෝටල්වලට ගිය වැව් රක්ෂිතවලට මොකද වෙන්නේ

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:04 107

වැව් රක්ෂිත ගැන එන්පීපී රජයේ දේශපාලන උනන්දුවත් සමඟ නැවත ඒවායේ වටිනාකම ගැන සුන්දර කතන්දර ඇහෙන්නට පටන්ගෙන ඇත. රටට බත සපයන්නට පුරාණ රජ දරුවන් තැනූ මේ මහා ජලාශ හෝටල් සහ ලැගුම්හල්වලට පාවිච්චි කරන්නට පහුගිය කාලයේ උත්සාහ කළේ දේශපාලන අනුදැනුම ඇතිව බව ජනතාව දන්නා කරුණකි. එහි ප්‍රකටම උදාහරණය දඹුල්ලේ කණ්ඩලම වැවේ තාවුල්ලේ ඉදිකළ තරු හෝටලයයි. 1990 දශකයේ ආරම්භ කළ එම ඉදිකිරීමට එරෙහිව රට පුරා විරෝධතා සංවිධානය කෙරිණි. දැන් බලයේ සිටින ජ.වි.පෙ. කාඩර්වරු විශාල වශයෙන් එම විරෝධතාවලට එක්වූහ. ඒත් හෝටලය හැදුණි. නමුත් ඇතිවූ විරෝධතා නිසා එය පරිසර හානිය අවම වන සේ ඉදිකිරීමට අදාළ සමාගම කටයුතු කර තිබුණි. කලකට පෙර පටන්ම වැව් හා ජලාශ අද්දර නවාතැන් ඉදිකිරීම සිදුවුණේ එහි ජල මට්ටමට හානි නොවන ලෙසය. උදාහරණයක් ගතහොත් ඉංග්‍රීසින්ගේ සමයේ පොළොන්නරුව තානායම ඉදිකර තිබෙන්නේ පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත වැවට බාධාවක් නොවන පරිදිය. නමුත් මෑත අතීතයේ හෝටල කිහිපයක්ම මේ වැවේ ජල මට්ටමට බලපාන සේ ඉදිකර තිබෙන බව ඒ පැත්තේ යන ඕනෑ කෙනකුට දැකගත හැකිය.

අනුරාධපුරය සහ පොළොන්නරුව ඇතුළු රට පුරා පෞරාණික වැව් සංචාරකයන්ගේ මනදොළ පුරවන තැන් බව රහසක් නොවේ. මේ නිසා ඒවා ඉදිකළ නරපතියන් දන්නේ නම් සියදිවි නසාගන්නා තරමට වැව් අවභාවිත කරමින් ගොවිතැන් දෙවැනි තැනට ඇද දැමීමට අපේ ලොක්කෝ උත්සුක වූහ.

පසුගිය දා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කළේ දේශපාලනඥයන් විසින් වැව් රක්ෂිත ආක්‍රමණය කර ඉදිකරන ලද හෝටල් සහ නාන තටාක සහිත වැව් 23 ක් දිවයින පුරා හඳුනාගෙන ඇති බවයි. මෙම පිහිනුම් තටාක සහ හෝටල් ඉදිකර ඇත්තේ පවතින නීති රීතිවලට පටහැනිව බව මේ වන විට හඳුනාගෙන ඇත. මෙම ප්‍රදේශවල ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩු බලය යොදාගෙන වැව් රක්ෂිත බලහත්කාරයෙන් තමන් සතු කරගෙන මෙවැනි ඉදිකිරීම් සිදුකර ඇති බව ද අනාවරණය කරගෙන ඇත. ඒ මුදලට ලොබ සමහර නිලධාරීන්ගේ ද අනීතික සහායෙනි.

අනවසර ඉදිකිරීම් සහිත යැයි හඳුනාගත් වැව් අතර අනුරාධපුර නුවර වැව, අක්කරයිපත්තුව ඉරක්කමන් වැව, මාපාකඩ දම්බරා වැව, බදුල්ල දෙමෝදර වැව, මඩකළපුව උන්නච්චයි වැව, මාතර කැකනදුර ඇල්ල කන්ද වැව, තිස්ස වැව, නව කිරි වැව, හම්බන්තොට රිදියගම වැව, දඹුල්ල දේවහූව වැව, දඹුල්ල වෑමැඩිල්ල වැව, ගල්ගමුව සියඹලංගමුව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය, මුතුකණ්ඩිය මොනරාගල වැව, මන්නාරම යෝධ වැව, මන්නාරම අකතිමුරුප්පු වැව, මන්නාරම වියදි කුලම්, වව්නියාව පාවට්ට කුලම්, පොළොන්නරුව මින්නේරිය වැව, පොළොන්නරුව ගිරිතලේ වැව, ඉඟිණිමිටිය වැව, පුත්තලම තබ්බෝව වැව සහ කන්තලේ වැව අයත්ය.

වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ මෙම වැව් විසිතුනේ රක්ෂිත සීමා ලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි. මෙම වැව්වලට අයත් රක්ෂිත භූමිය සලකුණු කිරීමේ වැඩසටහනක් පසුගිය දා ආරම්භ කෙරිණි. එහි මුල් අදියර ලෙස අනුරාධපුර නුවර වැවට අයත් රක්ෂිතයේ සීමා සලකුණු කිරීම අරඹා තිබේ.

අනුරාධපුර නගරයේ විශාලම වැව වන නුවර වැව අවට නීත්‍යනුකූල නොවන පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර විධිමත් වාර්තාවක් සකස් කළ යුතු බවත්, එම ඉඩම්වල රක්ෂිත ප්‍රදේශ මැනුම් කටයුතු කළ යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා වී තිබේ. නුවර වැවේ මැනුම් කටයුතුවලදී මෙවර සිදු කරන්නේ මායිම ගල් දැමීම වෙනුවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සලකුණ සහිත රක්ෂිත සලකුණු කිරීම පමණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් අනාවරණය කළේ කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බවකි. මේ අතර කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ද ඉකුත් දා තම සිතැඟි අනාවරණය කරමින් පැවසුවේ වැවේ මායිම වැවට දිය යුතු බවත් ඒ වැඩේ අනුරාධපුරයෙන් ආරම්භ කරන බවත්ය. “එතකොට වැව් තාවුල්ලේ ඉඳගෙන අත්පුඩි ගහපු අයටත් වැවෙන් යන්න වෙනවා. වන්දි ඉල්ලන්න එන්න එපා, වන්දි දෙන්න ඕන රජයට. තමන් වැව් තාවුල්ලට ආවට, වැව් ඇතුළෙ ඉන්න අය කරුණාකරලා එළියට යන්න යවන්න කලින්.” ඔහු ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූයේය. මේ කතා නම් කටේ මසුරං දාන්නට වටිනා ඒවාය. ඒවා මෙයට පෙර දේශපාලන කයිවාරු මෙන් වචනවලට පමණක් සීමා වේද යන සැකය නම් මෙරට දුහුනන්ට තිබෙන බව සමාජ මාධ්‍ය අදහස් පීරන විට අපට පෙනේ.

ඒ අතර උතුරුමැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක පවසා ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නුවර වැව් රක්ෂිතයේ ඉදිකර ඇති මහ ඇමැති නිල නිවස, ආණ්ඩුකාර නිල නිවස සේම ආබාධිත රණවිරුවන්ගේ සුව නිවහනක් වන අභිමංසල වැනි රාජ්‍ය ඉදිකිරීම් ද පළමුව ඉවත් කර රටට ආදර්ශයක් ලබා දිය යුතු බවයි. ඒ කතා ඇහෙන විට අපට පෙනෙන්නේ රුපියල් බිලියන ගණනක රාජ්‍ය දේපල ද මේ වැව් රක්ෂිතවල පහුගිය ආණ්ඩු කාලේ ඉදිකර තිබෙන බවය. ඒවා කඩා දැමීම ජාතික අපරාධයක් බවට මැසිවිලි නැගෙන්නටත් බැරි නැත.

අනුරාධපුර පූජනීය නගරයේ අනවසර ඉදිකිරීම් ගැන විගණන කොමිසම බොහෝ වෙහෙස වී විශේෂ විගණනයක් කළේ පසුගිය ආණ්ඩු කාලයකය. එම වාර්තාවේ අනවසර පදිංචිකරුවන්ගේ නම් සහ ලිපින පවා තිබූ බව ලියුම්කරුට මතකය. එම විගණන වාර්තාවට අනුව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පොන්නාරම්කුලම වැව හා රක්ෂිතය තුළ පෞද්ගලික හෝටලයක්, බෞද්ධ මධ්‍යස්ථානයක ඉදිකිරීම් නිසා ජල පෝෂක ප්‍රදේශය අහිමි වී ඇති බව නිරීක්ෂණය වී ඇත. එයට අමතරව කුම්බිච්චන්කුලම වැව හා රක්ෂිතය, වන්නියන්කුලම වැව හා රක්ෂිතය, ඇත්තිකුලම වැව සහ රක්ෂිතය පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර එම වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් පිළිබඳව අදාළ බලධාරීන් තොරතුරු රැස්කිරීමක් හෝ ලේඛනගත කිරීමක් හෝ කර නැත.

නගරයට බීමට ජලය සැපයෙන නුවර වැව හා තිසා වැව වන්දනාකරුවන් ස්නානයට ද පැමිණෙන ස්ථානයකි. මෙලෙස සෙනඟ ගැවසෙන නිසා එහි වෙළෙඳසල් රැසක් ද පවතී. නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 275 ක් සහ තිසා වැව ආශ්‍රිතව එවැනි ඉදිකිරීම් 130 ක් පවතින බව විගණන කොමිසමට හෙළිවී තිබේ. එය ජලය දූෂණය වීමට මෙන්ම පාරිසරික ගැටලු‍ නිර්මාණයට ද හේතුවකි. නමුත් මේ ආණ්ඩුව පත්වන විටත් එම අනවසර ඉදිකිරීම් එසේම තිබුණු බව නිසැකය.

කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල අනවසර ලෙස පරිහරණය කරන පුද්ගලයන් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම වැළැක්වීමට වැවේ පැරණි පිටවාන ඉවත් කර අලු‍තෙන් ඉදිකර ඇත්තේ බලධාරීන් නින්දේ සිටියදීය.

ක්‍රි.පූ. පළමුවැනි සියවසේදී වට්ටගාමිණී අභය රජු විසින් ඉදිකරන ලද බවට සැලකෙන නුවර වැව හෙක්ටයාර 3180 ක ජල තලයකින් යුක්තය. වර්ෂ 2022 දී අපට වාර්තා වුණේ එකල රැස් විහිදාගෙන සිටි අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු බැකෝ යන්ත්‍ර දෙකක් සහ ලොරි යොදාගෙන මහා පරිමාණයෙන් නුවර වැව ගොඩකරමින් සිටින බවය. එම කැබිනට් ඇමැතිවරයාගේ නිවස ආසන්නව ඇමැතිවරයාට අයත් හෝටලයක නවීකරණ කටයුතු එලෙස සිදුකර තිබුණි. එකල ගොවි සංවිධාන නියෝජිතයන් පවසා සිටියේ වැව පිටාර ගලන අවස්ථාවලදී හෝටලය සහ ඉඩම යටවීම පාලනය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා වැවේ පිටවාන තවත් උස් කිරීමේ සූදානමක් පවතින බවය. මේ නිසා නුවර වැවෙන් දියවර ලබා ගොවිතැන් කරන සිය ගණනක් ගොවීහු අනුරාධපුර නගරයේදී විරෝධතාවක ද නිරත වූහ.

වැව් රක්ෂිත පමණක් නොව අනුරාධපුරය අලංකාර කරන ප්‍රධාන ජල මූලාශ්‍රය වන මල්වතු ඔයද කලක පටන්ම අනවසර ඉදිකිරීම්වලට යටවූ තැනකි. එම ජල මූලාශ්‍රය ප්‍රසිද්ධ හෝටල් සහ ලැඟු‍ම්හල් හිමියෝ අනවසරයෙන් භාවිත කරති. සමහර හෝටල් විසින් සංචාරකයන් සඳහා නගර සභාවේ හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව බෝට්ටු සවාරි සංවිධානය කර තිබුණු බව විගණන වාර්තාව සඳහන් කරයි. මෙම බෝට්ටු සවාරි සඳහා නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍ර ද ලබාගෙන තිබුණේ නැත. මල්වතු ඔය අසල භූමිය නගර සභාව විසින් පෞද්ගලික ලැඟු‍ම්හල් සඳහා බදු දී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විධිමත් අනුමැතියකින් තොරවය.

මෙලෙස අනුරාධපුර නගරයේ වැව් රක්ෂිත සහ පුරාවිද්‍යා රක්ෂිත ඉඩම් අයාලේ ගොස් ඇත්තේ නාගරික බල ප්‍රදේශය තුළ සිදුකරනු ලබන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට හෝ තහනම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරි පනතින් හෝ නගර සභා පනතින් ඍජුවම එම ආයතන වෙත බලතල ලබාදී තිබියදීය. නමුත් රාජ්‍ය ආයතන අනවසර ඉදිකිරීම් පිළිබඳව තොරතුරු රැස්කර ලේඛන නිසි පරිදි නඩත්තු කිරීමක්වත් කර නැති බව විගණන කොමිසමට පෙනී ගොස් තිබේ.

කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇමැතිවරු දැන් කළ යුතුව ඇත්තේ වේදිකාවල කතා කරමින් ගැලරිය පිනවීම නොවේ. ළඟදී ඡන්දයක් නැති නිසා පාරට්ටු කතා කීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය වන්නේ ද නැත. ඒ නිසා පටන්ගත් වැඩේ හරියට කිරීමට නිලධාරීන්ට මඟපෙන්වීම ඔවුන්ගෙන් ඉටුවිය යුතුය. එවිට ජනතාව අත්පුඩි ගසනු ඇත.

• කුසුම්සිරි විජයවර්ධන