2025 ජුලි 26 වන සෙනසුරාදා

පොල්තෙල් සිල්ලරට මීට පස්සෙ බැරිද?

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:05 85

තෙලේ බලය ගැන සිංහලයාට අමුතුවෙන් කිව යුතු නැතිය. පොල්තෙලේ සිට හෙණරාජ තෙල දක්වා හැම බලයක්ම හෙළ යක්ඛ පුත්තු හොඳින් දනිති. ඒ බලේ ගැන අමුතුවෙන් අටුවා ටීකා අවැසි නැත. පොල් ගෙඩිය නිස්සාරණය කර ලබාගත් තෙලෙන් ලක්වාසීන් වැඩක් නොගන්නා අවස්ථාවක් නැත. පොල්තෙල් කතාවක් අලු‍තෙන්ම කරළියේ බඩපිනුම් ගහන්නට පටන්ගෙනය. ඒ මේ ආණ්ඩුව තෙල් ගාලා අත ගා කනේ පාරක් දෙන්න යන වැඩකිනි. එනම් පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීමට සැරසීමට ආණ්ඩුව මේ වනවිට තීරණයක් ගෙන ඇති බව පසුගියදා පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේය.

අපේ රටේ පොඩි මිනිහා හන්දියේ කඩෙන් වගේම ගමේ තෙල් මෝලෙන් තෙල් බෝතලයක් ගන්නේ මාසේ පරිභෝජනය සඳහාය. ඒ අතරින් බොහෝ දෙනකු බෝතල් බාගයක්, අරික්කාලක් ගන්නේ ගෙදරින් බෝතලයක් ගෙනිහින්ය. ෂොපින් බෑග්වලට ගන්නේ එහෙමමත් කෙනෙකි. වර්තමානයේ සිල්ලර කඩේ මුදලාලිගෙන් පොල්තෙල් බෝතලයක් ගන්නේ රුපියල් 700 කට අඩුවෙනි. එහෙත් මහා පරිමාණ සුපිරි වෙළෙඳසල්වල ලේබල් ගැසූ බෝතල්වලින් සුදු පොල්තෙල් ඇතුළු පොල්තෙල් බෝතලයක් අස්ප ගාණක්ය. ඒ සමහර තෙල් මෝලට වඩා කාලයක් කඩේ තිබිලාම මිදිලාය.

සුද්දා මේ රට අල්ලාගන්නට කලියෙන් ලංකාවේ පොල් ගස්වලට වඩා තිබුණේ මී ගස්ය. ඒ මී ගස්වල මී ඇටවලින් තෙල් හින්දා ඔලිව් තෙල් පරිභෝජනය කරන්නට අපේ මිනිස්සු පුරුදු වී සිටියහ. පොල්තෙල් ගත්තා නම් ගත්තේ ඒ කලාතුරකිනි. පහන් පත්තු කළේ තල තෙල්වලිනි. ගිතෙල්වලිනි. මී තෙල්වලින් වැඩ ගන්නවා දුටු සුද්දා උගේ තියෙන බලේ පෙන්නන්න අපේ රටේ මී ගස් ටිකට වැඩේ දුන්නේය. ලංකාවේ අපිට පොල්තෙල් කෝකටත් තෛලය වුණේ ඊටපස්සේය.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනුයේ පාරිභෝගික අධිකාරිය සමඟ එක්ව පොල්තෙල් ඇසුරුම්කරණය කර පමණක් විකිණීම සඳහා වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙමගින් දැනට බෝතල්වලට ෂොපින් බෑග්වලට පොල්තෙල් විකිණීමේ ක්‍රමවේද සියල්ල තහනම් වන බවත් පාරිභෝගිකයා අතට ලැබෙන සෑම පොල්තෙල් බෝතලයක්ම නිසි ලෙස ලේබල් කර ඇසුරුම් කර මුද්‍රා තබන ලද නිෂ්පාදන පමණක් බවත් සභාපතිවරයා පවසයි. නිෂ්පාදන දිනය සහ කල් ඉකුත්වීමේ දිනය පහසුවෙන් හඳුනාගත හැකි පරිදි පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් නිෂ්පාදන පමණක් මෙමගින් ඉදිරියේදී පාරිභෝගිකයාට මිලදී ගැනීමට හැකි වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

කලවම් පොල්තෙල් අලෙවි කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර වසරක පමණ කාලයක් ඇතුළතදී මෙම තීරණය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා සඳහන් කළේය. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බවද පැවසූ ඔහු මෙම තීරණයට අනුගත වීම සඳහා නිෂ්පාදකයන් වෙත මාස අටක පමණ සහන කාලයක් ලබා දෙන බවද පැවසුවේය. එසේම පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් මේ වනවිට කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා සිදු කරමින් ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීමට රජය ගෙන ඒමට යන නීතිය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. එහි ලේකම් සුනිල් ජයසේකර මහතා එම නිවේදනය නිකුත් කරමින් දන්වා සිටිනුයේ ආහාර පරිභෝජනයට අදාළ භාණ්ඩ සහ සේවාවලට නීති පැනවීමේදී මෙරට සමාජ හා සංස්කෘතික පසුබිමට හානිදායක නොවන ආකාරයට ප්‍රතිපත්ති සහ නීති පැනවීම සිදු කළ යුතු යැයිද රටේ බලධාරීන් මෙවැනි තීරණ ගත යුතු වන්නේ රටේ ජනතාවගේ ආහාර සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය මිලදී ගැනීමේ ශක්තිය සහ රටේ බහුතරයේ මිලදී ගැනීමේ සංස්කෘතිය කෙරෙහි අවබෝධයකින් යුතුව බවත්ය. රටේ ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාවටත් පොල්තෙල් වැනි ඇතැම් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සිල්ලර ප්‍රමාණවලින් මිලදී ගන්නවා මිස ඉහළ ප්‍රමාණවලින් මිලදී ගැනීමට ශක්තියක් නැති බවත් මෙරට ඕනෑම සිල්ලර වෙළෙඳසලක ආහාර අලෙවි වන රටාව නිරීක්ෂණය කිරීමේදී පොල්තෙල් මිලදී ගැනීමේදී මෙරට පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ රටාව හැඩගැසී ඇත්තේ බෝතල් කාල සහ භාග ආදී ප්‍රමාණවලට බව නිරීක්ෂණය වන බවත් ඔවුහු පවසති. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරනුයේ ජන ජීවිතයේ සරල සංස්කෘතික ජීවන රටාවට හානිදායක වන තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

පසුගිය කාලය පුරාම පොල්තෙල් පොදු සමාජයේ ප්‍රධාන තේමාවක් වී තිබුණේය. පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ කන්ටේනර් 13 ක් මෙරටට ගෙන්වා රට පුරා අලෙවි කිරීමෙන් රජයට බිලියන 5 ක බදු ආදායමක් අහිමි කළ බවට පසුගිය කාලයේ සමහර සමාගම්වල නම් කියැවිණි. එසේම වරායට ගෙන්වා ඇති පොල්තෙල් බහාලු‍ම් පරීක්ෂා කිරීමේදී එම පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බවට වාර්තාවක් ලැබී ඇතැයිද ඒ වනවිට වෙළෙඳපොළට තෙල් මුදාහැර ඇතැයිද වාර්තා විය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සඳහා පනවා තිබූ සියයට 18 ක බද්ද ආනයනික තෙල් සඳහා පනවා නැතැයිද එකල වාර්තා විය. එකල රජයේ මැදිහත්වීමෙන් පොල්තෙල් ආනයනය කිරීමට අවස්ථාව උදා කරදීම හේතුවෙන් මෙරට පොල්තෙල් නිෂ්පාදන ආයතනවලින් සියයට 90 ක් වැසී ගොස් එහි සේවය කළ ලක්ෂ හතරක පිරිසකට රැකියා අහිමි වී ඇතැයිද පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පැවසීය.

කෙසේ වෙතත් රුපියල් දාහෙන් උඩ ගිනි ගාණට පොල්තෙල් බෝතල් ගන්නට අපේ රටේ කීයෙන් කී දෙනකුට හැකිදැයි ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් බොහෝ ගෙවල්වල පොල්තෙල් බෝතලය භූමිතෙල් බෝතලය වනාහි ලු‍ණු පොල්කටුව වගේය. ඇත්තේ එකකි. පොල්තෙල් ඉවර වුණාම නැවත නැවත පුරවන්නේත් එකම බෝතලයකටය. එහෙම නැතිනම් කුප්පියකටය. එහෙත් වර්තමානයේ රජය ගෙන එන්නට යන තීරණය අනුව ගෙවල්වල ප්ලාස්ටික් බෝතල් ගොඩගැහෙන්නට හේතුවක් වනවා නොඅනුමානය. කෙසේ නමුත් සිල්ලරට පොල්තෙල් විකිණීම තහනම් කරනවා නම් පොල්තෙල්වලටත් පාලන මිලක් අනිවාර්ය කළ යුතුය. එම මිල සැමට සාධාරණ විය යුතුය. ආණ්ඩුවේ වර්තමාන තීරණයෙන් ගමේ ගොඩේ කොප්පරා තෙල් මෝලේ සිට සුළු පරිමාණ පොල්තෙල් කර්මාන්තය දක්වා වැළලී යාමේ මළගම වැඩි ඈතක නොවේ.

• සසංක චලන ගිම්හාන