2025 ජුලි 19 වන සෙනසුරාදා

සත්‍යජිත් රායිගේ පාරම්පරික නිවාසය කඩා දැමුවේ ඇයි?

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:05 156

ලෝක සිනමාවේ ආසියානු නම රැන්දූ ප්‍රවීණ සිනමාකරුවකු, පුවත්පත් කලාවේදියකු, නිර්මාණ ශිල්පියකු සහ ගත් කතුවරයකු වන සත්‍යජිත් රායිගේ පාරම්පරික නිවාසය රජය විසින් කඩා ඉවත් කිරීම විශාල ආන්දෝලනයකට හේතු විය. එපමණක් නොව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රිකමය හිත් නොහොඳතාවකට ද මෙය හේතු විය.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පොදු සංස්කෘතිකමය දායාදයක් ලෙස සම්භාවනාවට ලක්වන සත්‍යජිත් රායි පරපුර සතු මේ මුල් නිවස කඩා ඉවත් නොකරන ලෙස ඉන්දියාව ඉල්ලා තිබුණි. බංග්ලාදේශයේ මයිමෙන්සිං හි පිහිටි මේ දේපළ කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය කනගාටුව ප්‍රකාශ කළ අතර එය ප්‍රතිසංස්කරණය කිරීමේදී සහයෝගය ලබා දීමට පවා කැමැත්ත පළ කර තිබුණි.

“ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක සහ සාහිත්‍ය රචක සත්‍යජිත් රායිගේ සීයා සහ කීර්තිමත් සාහිත්‍ය රචක උපේන්ද්‍ර කිෂෝර් රේ චෞද්‍රිට අයත් ඔහුගේ මුතුන් මිත්තන්ගේ දේපළ කඩා දමනු ලැබීම ගැන අපි දැඩි කනගාටුවෙන් සටහන් කරමු,” යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා තිබුණි.

“මෙම දේපළ අලු‍ත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දීය රජය කැමැත්තෙන් සිටී,” යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. තවද, “වර්තමානයේ බංග්ලාදේශ රජය සතු දේපළ අබලන් තත්ත්වයේ පවතින”‍ බව ද අමාත්‍යාංශය අවධාරණය කළේය.

ඩකා සිට කිලෝමීටර් 120 ක් පමණ උතුරින් මයිමෙන්සිං හි හරිකිෂෝර් රේ චෞද්රි පාරේ පිහිටා ඇති සත්‍යජිත් රායිගේ මුතුන් මිත්තන්ගේ නිවස කලක් බොංගාලයේ පමණක් නොව මුළු මහත් ඉන්දියාවේම බුද්ධිමය හා නිර්මාණාත්මක ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් වූ අතර බෙංගාලි සාහිත කලා පුනරුදය හැඩගැස්වීමට දායක වූ පවුලක් එහි වාසය කළේය. එහි විසූ පැරැන්නා වන උපේන්ද්‍ර කිෂෝර් යනු බෙංගාලි පද්‍ය සඳහා ප්‍රසිද්ධ සුකුමාර් රායිගේ පියා සහ ලෝක සිනමාවේ වඩාත්ම කීර්තිමත් අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනකු වන සත්‍යජිත් රායිගේ සීයාය. සියවසකට පෙර ගෞරවනීය සමින්දාර් වරයකු සහ ලේඛකයකු වන උපේන්ද්‍ර කිෂෝර් රේ චෞද්රි විසින් මෙය ඉදිකරන ලදී. පසුව මෙම නිවස 1989 සිට මයිමෙන්සිං සිසු ඇකඩමිය පවත්වාගෙන ගිය අතර, ඒ මගින් එහි පොහොසත් අතීත උරුමය ද ආරක්ෂා කරමින් එය ඉගෙනීමේ ආයතනයක් බවට පරිවර්තනය කළේය.

ඉන්දු-‌බෙංගාලි පොදු උරුමයක් ලෙස සලකමින් මෙහි ව්‍යුහයේ දුර්වලතා ප්‍රතිසංස්කරණය කර ඉපැරැණි බවද රැක ගනිමින් අනාගත පරපුරට වටිනා දායාදයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ආධාර කිරීමට ඉන්දියානු බලධරයන් කිහිප වතාවක්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලා තිබුණි.

නමුත් බංග්ලාදේශ බලධාරීන් ඉන්දියානු ඉල්ලීම නොතකා හැර නිවස කඩා දැමීම පුළුල් ලෙස පැතිර ගිය කලකිරීමකට සහ රසික විරෝධයකට හේතු විය. විශේෂයෙන් එය අර්ධ වශයෙන් විනාශ කිරීමේ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ, ඉක්මනින් ප්‍රතිචාර දක්වමින් බොහෝ රසිකයෝ සිය විරෝධතා අන්තර්ජාලයේ වැපිරූහ. නවදිල්ලිය කීවේ මෙය පොදු සාහිත්‍ය කෞතුකාගාරයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම වැදගත් බවය. ඒ සඳහා ආධාර දීමට ද කැමැති විය. එහෙත් රාජ්‍ය තාන්ත්‍රිකත්වයෙන් ඈත්වූ බංග්ලාදේශ නිලධාරීන් ඉන්දියානු මැදිහත්වීම් සහයෝගීතාවයක් ලෙස නොව, කරදරකාරී මැදිහත්වීමක් ලෙස සලකන බව පෙනෙයි. මයිමෙන්සිං නියෝජ්‍ය කොමසාරිස් මොෆිදුල් අලාම් සහ දිස්ත්‍රික්කයේ ළමා කටයුතු කමිටුව ඇතුළු පළාත් පාලන ආයතන, ළමා ආරක්ෂාව පිළිබඳ කාරණයක් ලෙස ඔවුන්ගේ කඩා දැමීමේ තේරීම ආරක්ෂා කළහ. ව්‍යුහයේ වහලයේ ඉරිතැලීම් සහ අනාරක්ෂිත කාමර ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මතු කරන ලද කරුණු අනුව, එය මුලින් සියවසකට පෙර ඉදිකරන ලද බව සඳහන් කළේය. 1947 බෙදීමෙන් පසු එය බංග්ලාදේශ රජයේ අයිතියට යටත් වූ බවත් 1989 දී ළමා අධ්‍යාපනය සඳහා නැවත භාවිත කරන ලද බවත් අමාත්‍යාංශය තහවුරු කළේය.

ඩකා බලධාරීන්, කඩා දැමීමේ තීන්දුව ඉදිරියට ගෙන ගොස් එම ස්ථානයේ “අර්ධ-කොන්ක්‍රීට්මය”‍ බහු-භාවිත ඇකඩමි ගොඩනැගිල්ලක් තැනීම සඳහා වූ සිය සැලසුම් එළිදක්වා තිබේ. බොහෝ බංග්ලාදේශ පුරවැසියන් සහ සාහිත්‍යවේදීන් ප්‍රශ්න කරන්නේ කඩා දැමීම සැබවින්ම හදිසියේ අවශ්‍ය වූවක් ද නැතහොත් සංරක්ෂණ වියදම් මගහැරීම සඳහා යෙදූ ලාබදායී උපක්‍රමයක්ද වූවාද, යන්නයි. කවියකු වන ෂාමිම් අෂ්රෆ් දුක් වූයේ, “නිවස වසර ගණනාවක් කනගාටුදායක තත්ත්වයේ පැවතුණා. ප්‍රදේශවාසීන් එහි සංරක්ෂණය සඳහා නැවත නැවතත් ඉල්ලා සිටියද, කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. දැන් හදිසියේම එය කඩා දැමීම අරඹලා” කියමිනි. සංස්කෘතික උරුමය නොවෙනස්ව තබා ගනිමින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම මගින් ආරක්ෂක අවශ්‍යතා සපුරාලිය හැකිව තිබූ බවට තවමත් විචාරකයෝ තර්ක කරති.

ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායි 1921 මැයි 2 වැනි දින කොල්කටාවේ උපත ලැබීය. ඔහුගේ වඩාත් කැපී පෙනෙන කෘති අතරට ද අපූ ත්‍රිත්වය, ජල්සඝර්, චාරුලතා, ගූපි ගයින් බාගා බයින්, පාතර් පංචාලි සහ ෂත්‍රංජ් කේ කිලාඩි ඇතුළත් වේ. ඔහු තිර රචකයෙක්, වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, කතුවරයෙක්, රචනාකරුවෙක්, ගීත රචකයෙක්, සඟරා සංස්කාරවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් අක්ෂර වින්‍යාස ශිල්පියක් සහ රචකයෙක් ද විය. ඔහු තම වෘත්තීය ජීවිතය තුළ ප්‍රධාන සම්මාන රාශියක් ලබාගත් අතර, ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන 32 ක්, ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ සම්මාන උත්සවවල සම්මාන ගණනාවක් සහ 1992 දී ඇකඩමි ගෞරව සම්මානයක් ද ඇතුළුව 1992 දී භාරත රත්න සම්මානයෙන් ද සත්‍යජිත් පිදුම් ලැබීය.

• සුගත්