ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී ගොඩ ඒමට සූදානම් වෙමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ඉහළ උද්ධමනය, විදේශ විනිමය හිඟය සහ දැවැන්ත ණය බර හමුවේ, රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම ක්‍රියාමාර්ග අතරින් ප්‍රමුඛ එකක් වන්නේ බදු ආදායම් වර්ධනය කර ගැනීමයි.
ඒ සඳහා, දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පැවති දේපළ බද්ද නැවත හඳුන්වා දීමට රජය සූදානම් වන බව පසුගිය සතියේදී පෙනී ගියේය. මෙය, වත්මන් ආර්ථික තත්ත්වය තුළ රටේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැකි නමුත් එම පියවර බොහෝ දෙනකු පීඩාවට පත් කරන්නක් බව පැහැදිලිව සඳහන් කළ යුතුය.
සාමාන්‍යයෙන් දේපළ බද්ද යනු යම් පුද්ගලයකු සතු නිශ්චල දේපළවල වටිනාකම මත පදනම්ව පනවන බද්දකි. බොහෝ රටවල සමාන මෙවැනි බදු පළාත් පාලන ආයතන මගින් පනවනු ලබන්නේ සේවා සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ අරමුණ සහිතවය. ශ්‍රී ලංකාවේද මෙලෙස පළාත් පාලන ආයතන මගින් දේපළ බදු අය කිරීමක් දැනටමත් සිදු වුවද, ජාතික මට්ටමින් පුළුල් දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සූදානම් වීම සුවිශේෂී තත්ත්වයකි. එම නිසාම මෙම බද්ද මීට පෙර අප අත් නොවිඳි විශේෂිත බදු ක්‍රමයකි. මෙම තත්ත්වය යටතේ පෙර අපර දෙදිග මෙම බද්ද පිළිබඳ වන සංවාදය ගැන යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව මෙම නව බද්ද හඳුන්වා දීමට රජය කටයුතු කරන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. නවතම වාර්තා අනුව රජය අපේක්ෂා කරන්නේ 2027 වසරේ සිට මෙම බද්ද ක්‍රියාත්මක කිරීමටයි. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමෙන් රජයට සැලකිය යුතු අමතර ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය අයවැය හිඟය පියවා ගැනීමටත්, ජනතාවට සහන සැලසීමටත් උපකාරී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ශ්‍රී ලංකා රජය ද විශ්වාස කරයි.
කෙසේ වෙතත්, මෙම නව බද්ද හඳුන්වා දීම රටේ ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට විවිධාකාරයේ බලපෑම් ඇතිකළ හැකි බැවින්, ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ අදහස් හා මතවාද පළ වී ඇත. එම නිසාම දේපළ බද්ද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ එහි විවිධ පැතිකඩ පිළිබඳව පුළුල් ලෙස විග්‍රහයක අවශ්‍යතාව මතුව තිබේ.
ශ්‍රී ලංකාවේ දේපළ බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නොවේ. ඓතිහාසිකව ගත් කල බ්‍රිතාන්‍යය යටත්විජිත සමයේ සිටම දේපළ බදු හා ආදායම් බදු ක්‍රමවේද පැවතුණි. විශේෂයෙන් 1970 දශකයේ අග භාගයේ ආර්ථික ලිබරල්කරණයෙන් පසු බොහෝ බදු ලිහිල් විය. ධනවත් පුද්ගලයන්ට සහ සමාගම්වලට හිමි දේපළවලින් සාධාරණ බදු ආදායමක් නොලැබීම හේතුවෙන්, රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) අඩු ප්‍රතිශතයකට සීමා විය. සැබෑවටම මෙය රටේ මූල්‍ය අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් විය.
මෙවන් නව බද්දක් පිළිබඳ සංවාදය මෑත දශකයේ දේශපාලන සහ ආර්ථික සංවාද තුළදී කතාබහට ලක් වූ බව අපට මතක ඇත. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ යහපාලන රජය සමයේ (2015-2019) නිවෙස්වල ප්‍රමාණය සහ ඉඩම්වල වටිනාකම මත පදනම් වූ දේපළ බද්දක් හඳුන්වා දීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණි. මෙය එවක රජය මුහුණ දුන් මූල්‍ය අභියෝගවලට පිළිතුරක් ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතනවල නිර්දේශවලට අනුකූලවත් ගනු ලැබූ පියවරක් ලෙසත් සාකච්ඡා නිර්මාණය විය. දේශපාලනික ප්‍රතිරෝධ හමුවේ මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවුණි.
කෙසේ වෙතත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි සංවිධාන විසින් ශ්‍රී ලංකාවට සිය ආදායම් මාර්ග ශක්තිමත් කර ගැනීමට නිර්දේශ කර ඇති ප්‍රධාන ක්‍රමවේදයන්ගෙන් එකක් වන්නේ දේපළ බද්දයි. දේපළ බදු පිළිබඳ නැවත සාකච්ඡා මතු වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදීය. අනුර කුමාර දිසානායක පාලනය යටතේ මේ වන විට නිර්මාණය වී ඇති සාකච්ඡාව එහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.
ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, දේපළ බද්ද යනු ලොව පුරා ප්‍රගතිශීලී බදු ක්‍රමවලට අයත් වූවක් බවයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දීමට නියමිත දේපළ බද්ද ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට විශාල බලපෑමක් ඇතිකළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම බද්ද ක්‍රියාත්මක වුවහොත්, ඉඩම් හා ගොඩනැගිලි හිමිකරුවන්ට වාර්ෂිකව අමතර බරක් දැරීමට සිදුවේ. රජයේ බලාපොරොත්තුව වන්නේ ධනවතුන්ගෙන් වැඩි බදු අය කර ගැනීම වුවද, මධ්‍යම පාන්තිකයන්ටද මෙහි බලපෑම් ඇතිවිය හැකි බවට විවේචන පවතී. බදු පැනවීම් පිළිබඳ කටයුතුවලදී සාමාන්‍ය මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු දුන් ජාතික ජනබලවේගය ආණ්ඩුව බලය දරන අවස්ථාවකදී, මෙම බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මකට සිදුව තිබීම දෛවෝපගත තත්ත්වයකි.
විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඉකුත් සතිය තුළදී අපට දැකගත හැකි විය. ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා මෙවැනි බද්දක් අත්‍යවශ්‍ය බවයි. ඔවුනට අනුව මෙම බද්ද නිසි ලෙස ක්‍රියාත්මක කළ යුත්තේ දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාවට අසාධාරණයක් නොවන අයුරිනි. බදු ප්‍රතිපත්ති විශ්ලේෂකයකු වන මහාචාර්ය සිරිමල් අබේරත්න වැනි අය BBC සිංහල වෙත පෙන්වා දුන්නේ දේපළ බද්ද ආදායම් උත්පාදනය සඳහා ඵලදායී ක්‍රමයක් බවයි.
අනෙක් අතට මහජනතාවගෙන් සහ ඇතැම් දේශපාලන පක්ෂවලින් මේ පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් රටේ ජනතාව අධික බදු බරකින් පීඩා විඳින බවකි. නව දේපළ බද්ද තවත් ආර්ථික පීඩනයක් ඇති කරන බව මෙම නව බද්දට විරෝධය දක්වන්න පාර්ශ්ව පෙන්වා දෙති. විශේෂයෙන්, උරුමයෙන් ලැබුණු දේපළ හෝ ජීවිත කාලය පුරා වෙහෙස මහන්සි වී උපයාගත් දේපළ සඳහා නැවත බදු ගෙවීම අසාධාරණ බවට මතයක් පවතී. නිවැරදි තක්සේරු ක්‍රමයක් නොමැතිවීම, බදු ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු සහ බදු ආදායම නිසි පරිදි කළමනාකරණය නොකිරීම පිළිබඳව ද සැක සංකා පළ වී ඇත.
ශ්‍රී ලංකාව තුළ දේපළ බද්ද සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රජයට විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ප්‍රධාන අභියෝගයක් වන්නේ දේපළ තක්සේරු කිරීමයි. රටේ සියලුම නිශ්චල දේපළවල නිවැරදි හා සාධාරණ තක්සේරුවක් සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය හා විශේෂඥ දැනුම අවශ්‍ය වේ. තවද බද්ද ගණනය කිරීමේ ක්‍රමවේදය, ගෙවීමේ ක්‍රමවේදය සහ බදු පැහැර හැරීම් වැළැක්වීම සඳහා වන නීති රීති පැහැදිලිව සකස් කළ යුතුය. මේ සඳහා, තොරතුරු තාක්ෂණය (IT) උපයෝගී කර ගනිමින් විනිවිදභාවයෙන් යුත් දේපළ තක්සේරු පද්ධතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.
එසේම මෙම තත්ත්වය යටතේ සමාජ සාධාරණත්වය පිළිබඳව රජය සැලකිලිමත් විය යුතුය. අඩු ආදායම්ලාභීන්ට සහ එක් නිවෙසක් පමණක් හිමි අයට මෙම බද්දෙන් සහන සැලසීම හෝ බදු ගෙවීමේ සීමා ඉහළ නැංවීම වැනි ක්‍රමවේද හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත්, මෙම බද්ද මහජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක් විය හැකිය. බදු ආදායමෙන් ලැබෙන මුදල් යොදවන්නේ කුමන අරමුණු සඳහා ද යන්න පිළිබඳව විනිවිදභාවයක් පවත්වා ගැනීමද වැදගත්ය. මේ මොහොත වන විට මෙරට තුළ මහජන බදු මුදල් නාස්තිය පිළිබඳ පුළුල් සමාජ කථිකාවක් පවතින බව අමතක නොකළ යුතුය.
ලෝකයේ බොහෝ දියුණු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දේපළ බද්ද සාර්ථකව ක්‍රියාත්මක වේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල දේපළ බද්ද පළාත් පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගයකි. මෙම බදු මගින් අධ්‍යාපනය, මාර්ග නඩත්තුව, පොදු පහසුකම් සංවර්ධනය වැනි දේශීය සේවා සඳහා අරමුදල් සපයා ගනියි. සාමාන්‍යයෙන්, දේපළෙහි වටිනාකම, පිහිටීම, ප්‍රමාණය සහ භාවිතය වැනි සාධක මත පදනම්ව බද්ද ගණනය කෙරේ.
සිංගප්පූරුව වැනි රටවලද දේපළ බද්ද අය කරන අතර, එහිදී ප්‍රගතිශීලී බදු ක්‍රමයක් භාවිත කරයි. එනම් දේපළෙහි වටිනාකම වැඩි වන විට බදු අනුපාතයද වැඩි වේ. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල දේපළ බදු ක්‍රියාත්මක වන අතර එය පළාත් පාලන ආයතනවල මූල්‍ය ශක්තිය සඳහා වැදගත් වේ. මෙම රටවල අත්දැකීම් අධ්‍යයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට සිය දේපළ බදු ක්‍රමය වඩාත් කාර්යක්ෂමව හා සාධාරණව සකස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමු. එහෙත් කඩිමුඩියේ නිසි ඇගයීමකින් තොරව මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් බරපතළ සමාජ ගැටලුවක් නිර්මාණය වීම වළක්වා ගත නොහැකිය.
Property Tax හෙවත් දේපළ බද්ද පිළිබඳ වර්තමාන සංවාදය මතු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයක් නම් කර ගනිමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවරණය කළේ, 2027 වර්ෂයේ සිට දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බවය. ඔවුනට අනුව මෙය මූලිකව සැලසුම් කර තිබුණේ, 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටය. කෙසේ වෙතත් දැන් මෙම බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේදී හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
පෙර අවස්ථාවලදී සඳහන්ව තිබූ පරිදි බොහෝ දුරට මෙය ආරෝපිත කුලී ආදායම් බද්දකි. එනම් පුද්ගලයකු තමන් සතු නිවෙසක හෝ දේපළක ජීවත් වන්නේ නම්, එම නිවෙස කුලියට දුන්නා නම් උපයාගත හැකිව තිබූ “මනඃකල්පිත” හෝ “විය හැකි” කුලී ආදායමක් මත පනවන බද්දකි. මෙහිදී සැබෑ කුලී ආදායමක් නොලැබුණත්, එම දේපළෙහි වෙළෙඳපොළ වටිනාකම මත පදනම්ව, එයින් උපයාගත හැකි යැයි සැලකෙන කුලී ආදායමක් ගණනය කර ඒ මත බද්දක් අය කරයි.
උදාහරණයක් ලෙස, ඔබ සතු නිවෙසක කුලී වටිනාකම මසකට රුපියල් 100,000 ක් නම්, ඔබ එම නිවෙසේ ජීවත් වුවද, එම රුපියල් 100,000 “ආරෝපිත කුලී ආදායමක්” ලෙස සලකා ඊට බදු පැනවිය හැකිය. නැතිනම් ඔබ ජීවත් වන නිවෙසට අමතරව වෙනත් නිවෙසකට දේපළකට මෙම බද්ධ පැනවිය හැකිය. මෙම බදු ක්‍රමය පිළිබඳව ආර්ථික අර්බුදයෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ද පුළුල්ව සංවාදයට ලක් විය. එහිදී කියැවුණේ මෙම බදු ක්‍රමය හරහා සැලසෙන්නේ අවාසියක් නොව වාසියක් බවකි. කෙසේ වෙතත් 2024 වසරේ පැවති මෙම සංවාදයේ දිගුවක් ලෙස මෙම දේපළ බද්ද නමින් සංවාදයක් නිර්මාණය වූ බව සඳහන් කළ හැකිය.
කෙසේ වෙතත් මෙම බද්ද හඳුන්වා දීමේදී රජය විසින් මහජන අදහස් සැලකිල්ලට ගනිමින් සාධාරණ, විනිවිදභාවයකින් යුතු කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කළ යුතුය. නිවැරදි තක්සේරු ක්‍රම, සහන ක්‍රම සහ බදු ආදායම නිසි පරිදි කළමනාකරණය කිරීම මගින් මෙම බද්ද රටට සහ ජනතාවට සැබෑ වාසියක් ලබා දෙනු ඇත. නැතිනම් මෙම නව බදු ක්‍රමය හරහා දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් වී රට තුළ තවදුරටත් බරපතළ ආර්ථික ගැටලුවක් නිර්මාණය වීම වළක්වා ගත නොහැකිය.
• චමිඳු නිසල් ද සිල්වා