2025 ජුලි 19 වන සෙනසුරාදා

කියපු වැඩ කරලද සොයන අනුර මීටරය

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:02 58

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වුණු ප්‍රධාන පොරොන්දු 22 අතරින් එකක් මේ වනවිට සාර්ථකව ඉටුවී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. මෙම තොරතුර සනාථ වන්නේ ජනාධිපතිවරයාගේ පොරොන්දුවල ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කරන ‘අනුර මීටරය’ නමැති මාර්ගගත මෙවලම හරහාය.
අනුර මීටරය යනු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමකි. මෙය වෙරිටේ රිසර්ච් ආයතනයේ manthree.lk වෙබ් අඩවිය මගින් ක්‍රියාත්මක වේ. අනුර මීටරය යාවත්කාලීන කිරීම සඳහා ප්‍රකාශිත මූලාශ්‍රවල ඇති දත්ත, තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කරන ලද ඉල්ලීම් සඳහා ලැබුණු ප්‍රතිචාර, සහ පරිශීලකයන් විසින් සපයන ලද විශ්වාසදායක තොරතුරු යන තොරතුරු මූලාශ්‍ර තුනකින් ලබාගෙන ඇත.

අනුර මීටරය මගින් විමර්ශනය කරනු ලබන පොරොන්දු 22 අතරින්, ජනතාවගේ විශේෂ අවධානය යොමුවන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂණය යන අංශ ආවරණය වේ. උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට රු. 10,000 ක් හෝ ඊට වැඩි සහනාධාර මුදලක් ලබා දීම, සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5000 ක මාසික දීමනාවක්, තර්කානුකූලව වෙන් කරන ලද අමාත්‍යාංශ 25 කට ඇමැතිවරුන් 25 ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම සහ රාජ්‍ය ඇමැති ධුර අහෝසි කිරීම, දැනට දින නියමයක් නොමැතිව කල්තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් ඇතුළත පවත්වා ජනතාවට පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම, ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්ති ඉවත් කර 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත සංශෝධනය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන් නිදහසේ සමාජගත වීම සහතික කිරීම සහ 2019.04.21 දින සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කරුණු එම පොරොන්දු 22 ට ඇතුළත් විය.

මෙම විශ්ලේෂණය අනුව ලබාදුන් පොරොන්දු 22 අතරින් 5% ක් සම්පූර්ණයෙන් ඉටුකර ඇත. 35% ක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වී ඇති අතර, තවත් 14% ක් ආරම්භ කර ඇත. එම පොරොන්දුවලින් 45% කට (පොරොන්දු 10ක්) සම්බන්ධව මෙතෙක් යාවත්කාලීන තොරතුරු නොමැති යැයි එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ. ඉටුකර ඇති එම පොරොන්දුව වන්නේ උපයන විට ගෙවිය යුතු බද්ද (PAYE) සංශෝධනය කිරීමයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ

උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීම - (ඉටුකර ඇත.)

2025 අප්‍රේල් 1 දින සිට ක්‍රියාත්මක වන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් බදු කාණ්ඩ සංශෝධනය කර ඇති අතර, උපයන විට ගෙවීමේ (PAYE) බද්ද සඳහා බදු රහිත සීමාව රු. 100,000 සිට රු. 150,000 දක්වා වැඩි කර ඇත.

ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාව අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙල කිරීම (DSA) නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබාගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් (Debt Audit) සිදු කිරීම
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

සමාජ ආරක්ෂණය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට රු. 10,000 ක් හෝ ඊට වැඩි සහනාධාර මුදලක් ලබා දීම - (අර්ධ වශයෙන් ඉටුකර ඇත.)

2024 දෙසැම්බර් 2 දිනැති කැබිනට් තීරණයකින්, අඩු ආදායම්ලාභී පවුල් කාණ්ඩ දෙකකට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව ඉහළ නැංවීමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී ඇත. දුගී සහ ඉතා දුගී පවුල් සඳහා දෙනු ලබන දීමනා පිළිවෙළින් රු. 8,500 සහ රු. 15,000 සිට රු. 10,000 සහ රු. 17,500 දක්වා වැඩි කරන ලදී. 2024 දී අස්වැසුම සඳහා වෙන්කර තිබූ මුදල රු. බිලියන 205 ක් වූ අතර 2025 අයවැය ඇස්තමේන්තුවල එය රු. බිලියන 232.5 දක්වා වැඩි කර ඇත. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටුකරන ලද්දක්”‍ ලෙස සලකනු ලැබේ.
සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5000 ක මාසික දීමනාවක්

2025 මාර්තු 17 දිනැති කැබිනට් තීරණයකින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය සංශෝධනය කරන ලදී. මෙම තීරණය මගින් වැඩිහිටි පුරවැසියන්ට ලබා දෙන මාසික දීමනාව රු. 3,000 සිට රු. 5,000 දක්වා වැඩි කරන ලද අතර, රජය මෙම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කළ බව පැවසේ. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්”‍ ලෙස සලකනු ලැබේ.
ආධාර අවශ්‍ය නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට අවම වශයෙන් මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාර
2025 මාර්තු 17 දිනැති කැබිනට් තීරණයකින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය සංශෝධනය කරන ලදී. මෙම තීරණය මගින් නොදන්නා හේතු මත ඇතිවන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDU) පෙළෙන රෝගීන්ට ලබා දෙන මාසික දීමනාව රු. 7,500 සිට රු. 10,000 දක්වා 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන ලදී. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්”‍ ලෙස සලකනු ලැබේ.

කඳුකර වතු කම්කරුවන්ගේ වැටුප් ජීවන වියදමට සරිලන සේ ඉහළ නැංවීම 2025 ජූනි 3 දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවක නියුතු සියලු‍ම සේවකයන් සඳහා ජාතික අවම මාසික වේතනය රු. 27,000 ක් (අයවැය සහන දීමනාව ඇතුළුව) විය යුතු අතර, සේවකයකුගේ ජාතික අවම දෛනික වේතනය රු. 1,080 ක් විය යුතුය. මීට පෙර අවම මාසික වේතනය රු. 17,500 ක් වූ අතර අවම දෛනික වේතනය රු. 700 ක් විය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2025 අප්‍රේල් මාසය වන විට ජාතික දරිද්‍රතා රේඛාව රු. 6,342 ක් විය. ඉහත කරුණු මත පදනම්ව, පනත් කෙටුම්පත බලාත්මක වන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්”‍ ලෙස සලකනු ලැබේ.

අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාරයක් ලබා දීම 2025 මාර්තු 17 දිනැති කැබිනට් තීරණයකින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය සංශෝධනය කරන ලදී. මෙම තීරණය මගින් ආබාධ සහිත පුද්ගලයන්ට ලබා දෙන මාසික දීමනාව රු. 7,500 සිට රු. 10,000 දක්වා 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන ලදී. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක් ලෙස සලකනු ලැබේ.

කඳුකර ප්‍රජාවට ස්ථිර නිවසක් තනා ගැනීම සඳහා ඉඩම් ලබා දීම 2024 සැප්තැම්බර් මාසයෙන් පසු කාලයට අදාළව 2025 පෙබරවාරි 28 වැනි දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට 2025 අප්‍රේල් 07 වැනි දින පහත සඳහන් ප්‍රතිචාරය ලැබී ඇත. අමාත්‍යාංශය විසින් ඉදිකරන ලද නිවාසවල ප්‍රතිලාභීන් 725 දෙනකුට ඔප්පු පිරිනමා ඇත.

ජාතිවාදය හා ආගමික අන්තවාදය හේතු කොටගෙන සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

ආණ්ඩුකරණය

තර්කානුකූලව වෙන් කරන ලද අමාත්‍යාංශ 25 කට ඇමැතිවරුන් 25 ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම සහ රාජ්‍ය ඇමැති ධුර අහෝසි කිරීම වත්මන් අමාත්‍යාංශ 24 සඳහා, කැබිනට් අමාත්‍යවරුන් 22 ක් (ජනාධිපතිවරයා ඇතුළුව) සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28 ක් පත් කර ඇත. අමාත්‍යාංශ පහකට නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් බැගින් සිටිති. රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර නොමැත.

දැනට දින නියමයක් නොමැතිව කල්තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් ඇතුළත පවත්වා ජනතාවට පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම මෙරට පළාත් පාලන ආයතන 341 න් 339 ක් සඳහා (මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ද ඇතුළුව) මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ නොපැවැත්විණි.

විනිවිදභාවය සහතික කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්වල මෙහෙයුම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මහජනතාවට ලබා ගැනීමට පහසුකම් සැලසීම

2025 ජූනි 20 වන විට, මුදල් අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ට්‍රැකරයට අනුව, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 න් 8 ක් 2024 සඳහා වාර්ෂික හෝ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කර නොමැත. එමෙන්ම, ට්‍රැකරයෙහි ඇතුළත් රාජ්‍ය ව්‍යවසාය වාර්තා 22 ක් විගණනය කර නොමැති බව වාර්තා වේ. ඉහත කරුණු මත පදනම්ව, මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්”‍ ලෙස සලකනු ලැබේ.
ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්ති ඉවත් කර 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම
2025 මැයි 25 දිනැති කැබිනට් තීරණයකින්, අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඊට අදාළ සියලු‍ම අංශ නියෝජනය වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 2025 මැයි 8 දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජය විසින් නොව, විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක විසින් සභාගත කරන ලද්දකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු‍ මර්දනකාරී අණ පනත්‌ අහෝසි කර රට පුරා ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුවී තිබුණද, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා කොමිසමක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති හෙයින් මෙම පොරොන්දුව “ආරම්භ කරන ලද්දක්”‍ ලෙස සලකනු ලැබේ. මෙම කොමිසම පිහිටුවා ඇත්තේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අවසන් කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කර, එම පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමටය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව විසින් පත් කිරීම නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත. 2025 පෙබරවාරි 28 වැනි දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට, 2025 මාර්තු 21 වැනි දින පහත ප්‍රතිචාරය ලැබී ඇත. “මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.”‍

2015-2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කර සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව එක රටක් තුළ සියලු‍‍ ජනතාව පාලනයට සම්බන්ධ විය හැකි වන ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම, දිස්ත්‍රික්කයකටම සහ පළාතකටම අවස්ථාව සැලසීම
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

නීතිය හා සාමය

උතුරු නැගෙනහිර ඇතුළු සෑම ප්‍රදේශයකම පසුගිය කාලයේ සිදුවූ දේශපාලන ඝාතන, අතුරුදන් කිරීම් සහ පහරදීම් පිළිබඳ විමර්ශනය කර යුක්තිය ඉටු කිරීම
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන් නිදහසේ සමාජගත වීම සහතික කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෑතකදී සිදුකළ ද, එය රජයේ තීරණයක් මගින් ආරම්භ නොවූවක් බැවින්, සමස්ත පොරොන්දුව ‘යාවත්කාලීන කිරීම් නැත’ යනුවෙන් ලකුණු කර ඇත.
2019.04.21 දින සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

දූෂණ විරෝධී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව රජය සමඟ ව්‍යාපාර හෝ ගිවිසුම්වල යෙදීම වැළැක්වීම නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

සොරකම් කරන ලද වත්කම් ආපසු ලබාගැනීමේ වැඩසටහන සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබ‍ඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආදී ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික සහ උපදේශන සේවා ලබා ගනිමින් සොරාගත් රාජ්‍ය වත්කම් නැවත ලබා ගැනීමට සොරකම් කළ රාජ්‍ය වත්කම් නැවත ලබාගැනීමේ ආයතනයක් පිහිටුවීම නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.

2025 පෙබරවාරි 28 වැනි දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට, 2025 මාර්තු 21 වැනි දින පහත සඳහන් ප්‍රතිචාරය ලැබිණි. “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.”

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා