“හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි” කියමින් අම්මලා තාත්තලාගේ අඩි පාරේ යන දුවලා පුතාලාගෙන් මේ දවස්වල පත්තර පිටු පිරිලාය. එහෙත් ඒ පත්තර පිටුවල යන බොහෝ දුවලා පුතාලාගේ වැඩ එසේ මෙසේ වැඩ නොවේ. මෙය කුඩා කාලයේ අසා තිබූ ගිරවුන් දෙන්නාගේ කතාව නම් සත්තිකුම්භ ජාතකය සිහිපත් කරයි. පුංචි තිරයේත් බැලු බැලූ අත මහින්දගෙ පුතා, කෙහෙළියගෙ දුව, මර්වින්ගෙ පුතා ආදී එකී නොකී කතා බොහෝමය. ඒ අතරට අලුතෙන්ම තවත් පුතෙක් එකතු වෙලාය. මෙතෙක් කලක් කරළියේ සිටියේ අම්මා පමණකි. ඒ අම්මා තම පුංචි පුතුත් කරළියට ගෙනැවිත් සේය. ඒ පුතා අන් කවරකුත් නොව හංසමාලිගේ පුතාය.
රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස ප්‍රදේශයේ රිය අනතුරක සිද්ධියකට පුද්ගලයකුට පහරදීමක් හේතුවෙන් නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා පසුගියදා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රිය අනතුර අවස්ථාවේ එම ස්ථානයට යම් පිරිසක් ඒකරාශී වී ඇත. ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පුද්ගලයකු එම ස්ථානයේ සිදුවන්නේ කුමක්දැයි විපරම් කර බැලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තරුණ පිරිසකගේ පහරකෑමට ලක්ව ත්‍රිරෝද රියැදුරු රෝහල්ගත කර ඇත. පහරකෑමට ලක්වූ ත්‍රිරෝද රියැදුරුගේ බිරිය පැවසුවේ පියුමි හංසමාලි නමැත්තියගේ පුත්‍රයා ඇතුළු 20 ක පමණ කණ්ඩායමක් පැමිණ හෙල්මට්වලින් පන්න පන්නා පහරදුන් බව සැමියා පැවසූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 14 හැවිරිදි දරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හරිනු ලැබ ඇත. පියුමි හංසමාලි පවසන ආකාරයට ඇයගේ පුතුගේ වයස අවුරුදු 14 කි. ඒ කියන්නේ ඔහු තවම බාලවයස්කරුවෙකි. පොඩි දරුවෙකි. අප මේ ලිපිය ලියන්නේ මෙම සිද්ධිය තලුමැරීමට නොවන අතර මෙරට වැඩිහිටියන්ට තම වගකීම මතක් කර දීමටය.
පසුගියදා මුහුණුපොතේ පළවූ වීඩියෝවක් සම්බන්ධයෙන් පියුමි හංසමාලි නම් වූ මව දමා තිබූ කෙටි සටහනෙහි කොටසක් අපි මෙසේ උපුටා දක්වමු. “මගේ දරුවා ඕක කරා නම් මම අත්දෙක කඩනවා. හැබැයි පෙර පිනකට එහෙම නරක දරුවෙක් මට නෑ. මට ඉන්න දරුවා පාරේ අසරණ වුණු පූස් පැටියෙක් බලු පැටියෙක් හරි ඕනෑම සතෙක් අරන් ඇවිත් පිහිටවෙන පින්වත් දරුවෙක්. වීඩියෝ එකේ ඉන්න එකාගේ අම්මලා තාත්තලා ගැන හිතන්නකො. දරුවාට හපන් ඇති. පවු වැඩ කරනවා ඇති...”
උණහපුළු අම්මාට උගෙ පැටියා මැණිකක් සේම පියුමි හංසමාලි තම දරුවාට ආදරණීය මවකි. කෙතරම් බාධක කරදර පැමිණියත් තම දරුවා හදා වඩා ගැනීමම ඇයගේ මාතෘත්වය කියාපායි. කාවිංග නම් පියුමිගේ දරුවා කළ වරද නැවත වරක් තම දරුවාගෙන් නොවීමට ඒ මව වගබලා ගන්නේ නම් එය සැබෑ මවු සෙනෙහසයි. එමෙන්ම දරුවා දිනෙක සමාජය ඉදිරියේ වැරැදිකරුවකු නොවීමට එය හේතුවක් වෙයි. මෙම සිද්ධියෙන් පසු පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබූ සටහන ද අපි මෙසේ උපුටා දක්වමු.
“.......... මගේ පුතාට සහෝදර සහෝදරියන් කිසි කෙනෙක් නෑ. මේ අනතුරට ලක්වෙලා හිටියේ මගේ පුතාගේ හොඳම යාළුවා. යාළුවාගේ ලේ දැකලා දුක හිතිලා තමයි ත්‍රිවිල් එකේ අයියාට ගහලා තියෙන්නේ. මම අම්මා කෙනෙක් විදිහට වැඩිහිටි කෙනකුට අත උස්සපු එක අනුමත කරන්නේ නෑ. මගේ පුතා තනිකරම වැරැදියි. පහරකෑමට ලක්වූ පවුලේ අයගෙනුත් මම පොලිසියේදීම සමාව ගත්තා.”
මෙම ලිපියේ අතීතයේ සිටම අපේ රටේ පුතාලා දුවලාගේ වැඩ ගැන ගැන ඕනෑ තරම් ලිවීමට හැකි වුණත් ඒ දරුවන් ගොඩට මෙම බාලවයස්කාර දරුවා මුසු කිරීම නුසුදුසු යැයි සිතමු. එයට හේතුව මේ වනවිට මෙම සිද්ධියට නීතිය මගින් නිරාකරණය වී ඇති හෙයිනි. දේශපාලකයන්ගේ පුත්තුන්ට තාත්තලාගේ රස්නය ගහන්නාක් මෙන් මවුපිය බලපුළුවන්කාරකම්වලට දරුවන් සමාජයට හානි කිරීම ගැටලුකාරී තත්ත්වයකි. එහෙයින් පැවසීමට ඇත්තේ දරුවන්ගේ මෙවැනි වැරැදිවලට නිසි දඬුවම් නොදී නිවැරදි නොකිරීම හැඳි නොගහා හදන හොද්ද හා සමාන වන බවයි. මෙවැනි බොහෝ අවස්ථාවල වැඩිහිටියන් විසින්ම තම දරුවන් සුදු හුණු ගාන්නේ කොලුකමට ගැටවරකමට කරන වැඩ මිසක් ඕවා ගණන් ගත යුතුදැයි කියමිනි. එහෙත් වරද වරදමය.
ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 75 වගන්තියට අනුව වයස අවුරුදු 8 ට අඩු දරුවකු කරන කිසිදු ක්‍රියාවක් වරදක් වශයෙන් නීතිය නොසලකයි. එසේම 76 වගන්තියේ සඳහන් වන්නේ යම් අවස්ථාවකදී තමාගේ හැසිරීමේ ස්වභාවය සහ ප්‍රතිඵලය නිශ්චය කිරීමට ප්‍රමාණවත් ලෙස පැසුණු බුද්ධියක් නොලත් වයස අවුරුදු 8 කට වැඩි අවුරුදු 12 කට අඩු දරුවකු විසින් කරන කිසිවක් වරදක් නොවන බවයි. එහෙයින් එයින් එපිටට සිදු කරන සියලු වැරැදි ක්‍රියා වරදක් ලෙස විභාග කිරීමට හැකි බව එයින් කියැවෙයි. කෙසේ වෙතත් තම දරුවා සමාජයට බරක් නොවන පරිදි රැකබලා ගැනීමේ වගකීම මෙරට සියලු මවුපියන් වැඩිහිටියන්ට ඇති බව පමණක් අපි අවසාන වශයෙන් සිහිපත් කරමු.
• සසංක චලන ගිම්හාන